ප්‍රේමානිසංස

අකිල චේතනාව තනි කරලා යතුරු පැදියට නැග්ගා.  අවුරුදු අටකට පස්සේ චේතනාව එහෙම තනි කරලා යන්න වෙන එක ගැන අකිලට තිබුණේ සුලු පටු වේදනාවක් නෙවෙයි. ඒ තරමෙන්ම වේදනාවක් චේතනාගේ හිතෙත් තියෙන බව අකිලට දැනෙනකොට, අකිලගේ වේදනාව දෙඟුණ තෙඟුණ වුනා.   ඒත් අම්මාගෙන් දිගින් දිගටම එල්ලවෙන පීඩනේ එක්ක අකිලට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.

“උඹ අදින් හෙටින් ඔය තේ උඩිච්චි එක්ක තියෙන සම්බන්ධේ දිග පළල තීරණය කරපං අකිල… එහෙම නැත්නම් මේ අම්මා මළා කියලා හත් දවස දානේ දෙන්න ලෑස්ති කරගනිනින් ..දැන් දොස්තර නලාව එල්ලගෙන හිටියට ඕකුන්ගේ මහ උන් අපේ ඉඳුල් කාලා හැදුනේ .. එහෙව් උන්ගේ පොඩි උන් කියන්නේත් ඉඳුල් කාලා හැදිච්ච උන් ”

අම්මා එක දිගට විනාඩියක් ගානේ  එහෙම කියනකොට, අහිතකර කතා දිගින් දිගටම කියනකොට, අකිල තේරුම් ගත්තා තමන්ට මොනවාම හරි කරන්න වෙන බව. චේතනා එක්ක අලුත් ජීවිතයක් වෙනුවෙන් විදෙස්ගත වෙන සැලැස්ම තමයි අකිලගේ හිතේ ඉස්සෙල්ලාම තිබුණේ. ඒත් ඒ හැම සැලැස්මක්ම ව්‍යර්ත වෙලා ගියේ, අම්මා ඒ හැමදේම ගැන දැනගත්ත දවසේ.

“ උඹ මේ අම්මව දාලා පලයංකෝ පුතේ එහෙනම් ..ලේ කිරි කරලා උඹව ලොකු මහත් කරලා, තාත්තා නැති වුනාම බඩට කන්නේ නැතුව උඹව ලොකු මහත් කරපු අම්මාව දාලා උඹ පලයංකෝ බලන්න … ….”

එහෙම කියලා අම්මා කාමරේ ඇතුලට ගිහිල්ලා දොර වහ ගත්තාට පස්සේ, අකිලගේ හිත ආයේම නොසන්සුන් වෙන්න ගත්තා. රෑ තිස්සේම අම්මාව කාමරෙන් එලියට ගන්න කොයි තරමින් උත්සාහ කලා වුවත්, අම්මා කාමරෙන් එලියට නේන බව කියමින් තමන්ට බැණැ වදිද්දී අකිලට සිද්ද වුනා පොරොන්දු වෙන්න.

“ හරි අම්මේ හරි … එලියට එන්න අපි කතා කරමු … අම්මා කියන දේ කරන්නම් මම …”

පාන්දරට වෙන්න අකිල එහෙම කිව්වේ හදවතේ භාගයක් ගැලවෙන්න දීලා. අම්මා එලියට ඇවිල්ලා වාඩි වුනාම අකිල අම්මාට කිරි එකක් හදලා දුන්නා. අකිලත් කිරි එකක් හදාගෙන වාඩි වුනා.

“ අම්මේ..”

“ උඹ මට අම්මේ කියන්න එන්නෝනි නෑ… මට කියපං අකිල උඹ තීරණයක් ගත්තාද කියලා..”

“ හරි … ගන්නම් ..”

“ උඹ අරකිගෙන් අයින් වෙන්නෝනි .. අර යෝජනාවෙන් ආව දැරිවි එක්ක ආශ්‍රය කරලා බලලා කසාද බ්ඳින්න ඕනි … එච්චරයි මගේ ඇස් දෙක පියවෙන්න කලින් මට දකින්න ඕන්…..”

“ හරි ..කරන්නම් ..කරන්නම් .. ඒකට මට ටික දවසක් දෙන්න … එතකල් අම්මා විකාර වැඩ නොකර ඉන්න ..”

අකිල චේතනාට තමන් ඉන්න තත්වේ කෙලින්ම පැහැදිලි කලා. ඒ වෙද්දිත් චේතනා ඒ ගැන දැනගෙන උන්න නිසා අකිල හරි පහසුවෙන් සිදුවීම චේතනාට ඒත්තු ගන්වන්න පුලුවන් වුනා.

අද ඒ පැහැදිලි කිරීම් වල අවසාන දවස. අදින් පස්සේ ආයෙම චේතනාව මුණ නොගැහෙන බව අකිල අන්තිමේදි කිව්වා.

“ මං ඔයාගෙන් සමාව ඉල්ලන්නේවත්, ඔයාට කිසිම දෙයක් කියන්නේවත් නැහැ චේති …. ඇත්තටම මට එහෙම කියන්න බැහැ… මට ඔයාට කිසිම දෙයක් කියන්න බැහැ… මට සමාවෙන්න කියන්නවත් බැහැ.. ඒත් , අනේ චේති, අදින් පස්සේ හරි පරෙස්සමට ජීවත් වෙන්න … අම්මලා කියන පලියට හදිසි වෙලා රිලේශන්ශිප් වලට යන්නෙපා… ඔයාට හිතට දැනෙන කෙනෙක් … ඔයාට ආදරේ කෙනෙක් හමුවෙනකල් ඉවසන්න …”

අකිල එහෙම කියවගෙන යද්දී, චේතනා ගල් පිළිමයක් වගේ බලාගෙන උන්න එකයි කලේ.

අකිල අම්මාගේ  යෝජනාවේ ගෑණු ළමයා එක්ක කතාබහ කරන්න ගත්තෙ ඉන් මාස දෙකකට පස්සේ. ඒ අතරවාරයේ කිසිම දවසක චේතනා අකිලට කතා කලේවත් නැහැ. පාරකදීවත් චේතනාව දකින්නවත් ලැබුනේ නැහැ. අකිල චේතනාගේ යාලුවො කිහිප දෙනෙක්ටම කතා කලත්, ඒ කිසිම කෙනෙක්ගෙන් පිළිතුරක් ලැබුනෙත් නැහැ.

“ එක අතකට උන් මට කතා කරන්නේ මොකටද හිතනවා ඇති ..”
මාස හැකි න් අකිලගේ අම්මා අකිලට ගෙනාව  යෝජනාවේ ගැහැණු ළමයා අකිලව නොගැලපෙන බව කියලා අයින් වුනා. ඉන් මාස තුනකට විතර පස්සේ ඇය විවාහ වෙලා බව අකිලට කිව්වේ අම්මාමයි.

“ ඒකි කොහොමටත් ඩයනා කුමාරිගේ සෑම්පලෙන් හිටියේ… උඹ වගේ ගුණයහපත්කමින් ඉන්න බෑ .. අපි වෙන කවුරු හරි බලමු …”
අම්මා එහෙම කිය කියා සිදුවීම සාධාරිණීකරණය කරද්දී, අකිල නිසොල්මනේ උපේක්ෂාවෙන් ඒ සියල්ල බැහැර කලා.

ඔහුට ඒ සිදුවීම් ගැන දැනුනේ නිස්සාර බවක්.

අම්මා විටින් විට ගේන යෝජනා ඇතැමකින් තමන්ව ප්‍රතික්ශේප වෙද්දී වගේම අම්මාම සමහර යෝජනා ප්‍රතික්ශේප කරද්දී, අකිල තමන්ගේ රාජකාරි ජීවිතේ ගැන විතරක්ම අවධානය දුන්නා.

අවුරුද්දක් විතර ගෙවුනා. චේතනා ගෙවල් අතෑරලා ගිහිල්ලා කියලා අකිල හොයාගෙන තිබුණේ. ඇගේ සමාජ මාධ්‍ය ජාලා සියල්ලම වගේ අක්‍රීය තත්වයෙ තිබුණා. ඒ අතරේ  නුවර නෑදෑයෙකුගේ ගෙදර ගිහිල්ලා උන්න වෙලාවක එකපාරටම අකිලගේ අම්මා අසනීප වුනා. ඇය අංශභාග තත්වයට ඇදගෙන වැටෙන රෝග ලක්ෂණ පේන්න ගත්තා. අකිල මිතුරන්ගේත්, නුවර නෑදෑයන්ගෙත්  නිර්දේශ අනුව අම්මාව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලු කලා.

“ එහෙ ඉන්නවා මේ සිද්දි වලට ශෝක් ලේඩි ඩොක්ටර් කෙනෙක් … කොළඹ ඉඳලා මෙහේ ඇවිල්ලා වැඩි කාලයක් නෑ ..”

නෑදෑ ගෙදර අය එහෙම කියද්දි තමන්ට එකපාරටම චේතනාව මතක් වුනේ ඇයි කියන්න  අකිලට හිතාගන්න ඹැරි වුනා

“ අද ඩොක්ටර් නිවාඩු මචං… අපි ඉන්ෆොර්ම් කලා…… ඩොක්ටර් ඒවි…”

රෝහලේ උන්න මිතුරෙක් එහෙම කියද්දී අකිල හිස සැලුවා. ඊට පස්සේ පැය කිහිපයක් යනකල් අකිලට පුලුවන් වුනේ, බලාපොරොත්තු අත් නොහැර බලාගෙන ඉන්න එක විතරයි. හිස මත මහ බරක් දැණුනා. අම්මාට එහෙම පීඩනයක් දැනෙන තමනුත් හේතුවක් වුනාද කියලා හිතෙන එක අකිලට දරාගන්න බැරි වුනා.

එකපාරටම ඇහුණ හඬකින් අකිල ඔලුව ඉස්සුවා.  තමන් ඉස්සරහ  ඉන්නේ කවුද කියලා අදහගන්න බැරිව අකිල කලේ එහෙමම ඉඳගෙන උන්න එක. ඒත් තමන් ඉස්සරහ හිටගෙන ඉන්න රුව තමන්ගේ එහා පැත්තෙන් වාඩි වෙලා, තමන්ගේ අතින් අල්ලා ගත්තාම අකිල පියවි සිහියට එලඹුණා.

“ අම්මාට අවුලක් නැහැ… එයා හොඳින්..තවම අයි සී යූ ඉන්නේ… තව ටිකකින් ඊ ටී යූ දාවි හොඳේ …”

අවුරුද්දකට පස්සේ තමන්ව අල්ලගෙන ඉන්න ඇයව අකිලට පියවි සිහියේවත් අදහා ගන්න බැරි වෙලා තිබුණේ.

“ යමු .. එන්න .. තේකක් බොමූ …”
චේතනා බලෙන්ම අකිලව නැගිට්ටුවා ගත්තා.

.

.

.

අකිල අම්මාත් එක්ක නුවර ඇනෙක්ස් එකක නැවතුණේ ප්‍රතිකාර පහසුව වෙනුවෙන්. නිවසේ ඉඳගෙන වැඩ කරන පහසුව ඔහු සති කිහිපයක් වෙනුවෙන් සකසාගෙන තිබුණා. චේතනා කිසිම වෙනසක් නැතිව ඒ ඇනෙක්ස් එකට ආවා. අම්මාගේ තත්වය විමසුවා. දෙන්නාට කෑම හදලා තිව්වා. රෑ කීයට වුනත් කුලී රියක් ගෙන්වාගෙන පිටත් වෙලා ගියා.

එක දවසක හවස හය හමාරට විතර චේතනා යන්න සූදානම් වෙද්දී මහ වැසි පටන් අරගෙන තිබුණේ. ඒ නිසාම තව ටිකක් ඉඳලා යනවා කියන සිතුවිල්ලෙන් චේතනා ගමන පරක්කු කලා. අට වෙනකල්ම බලාගෙන උන්නාත් වැස්ස ඒකාකාරිවම තිබුණා මිසක්, අඩුවක් තිබුනෙම නැහැ.

“ තව රෑ වෙලා තනියෙන් යන්න බෑනේ දරුවෝ … අද ඔහොම ඉන්න … හෙට උදෙන්ම යන්න බැරියැ .. ඔය මගේ ඇඳුමක් දැනට ඇඳගන්න ..”
එකපාරටම අම්මාගේ හඬ එහෙම ඇහෙද්දී, අකිල ඒ හඬ විශ්වාස කරගන්න බැරිව ආපසු හැරිලා බැලුවා. අම්මාගේ මූණේ තිබුණ හැඟීම වටහා ගන්න අකිලට අපහසු වුනෙ නැහැ.

චේතනාට ඒ ගැන කිසිම දෙයක් හිතන්න ඉඩ නොදී, අකිල චේතනාට ගේ ඇතුලට යන්න ඉඟි කලා.

More Stories

Don't Miss


Latest Articles