පසළොස්වක මල් – 31

0
531

කාලයට තටු ලැබ තිබුණි. තත්පර , මිනිත්තු , හෝරා දිගු වී එකතු වූ දින සතක් වෙද්දීත් කේන්තිකාරිය එක දිගට ඇවිළෙමින් සිටියා විනා ඈ තුළ නිවීමක් දකින්නට තිබුණේ නැත. මුල් දින කිහිපයේ ඈ හිතාමතාම ඔහු හමුවන රාත්‍රී කෑම මේසය මඟ හැරියාය. බොහෝ විට ඔහු අසුන් ගන්නට ප්‍රථම ඈ ආහාර ගෙන අවසන් වූවාය. නැතහොත් ඔහු ආහාර ගෙන අවසන් කරනා තෙක් ඈ කෑම මේසයට නෑවිත් සිටියාය. එසේත් නැතහොත් පාඩම් වැඩ අධික බව පවසා කෑම පිඟාන නිදන කාමරයට ගෙන්වා ගත්තාය.  උදෑසන බොහෝ වේලාවට ඔහු පිටත්ව යන කාලයට ප්‍රථම ඈ නිවසින් පිට වූවාය. නැතහොත් ඔහු යන තෙක් නිදන කාමරය තුළට වැද පිටතට නෑවිත් සිටියාය. 

පළමු දින කිහිපය තුළ ඈ හා දොඬමලු වීමට බොහෝ උත්සාහ ගත්තද ඈ ඒ කිසිවකට අවනත නොවන බව වටහාගත් ඔහුද ඇගේ ක්‍රියා පටිපාටියටම අනුගත වෙමින් සිටියේය. හේ ද දැන දැනම ඈ මඟ හැරියේය. වෙනදාට රාත්‍රී හතේ කණිසම වන විට නිවසට ගොඩ වන ඔහු මෙකී කාලය තුළ එය රාත්‍රී දහය පමණ වන තෙක් දීර්ඝ කර ගත්තේය. සිතා මතාම උදෑසන ඈ පිටව යන තෙක් හිඳ කාර්යාලට පිටත් වූයේය .

සූදානම් කර ගත් පරිදි අෂ්මිලගේත් , ශනුලිගේත් විවාහ ලියාපදිංචි උත්සවය සඳහා යොදා ගත් දිනය ක්‍රම ක්‍රමයෙන් ළං වෙමින් තිබුණු අතර මහීකා සැමට වඩා ඒ කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වී සිටියාය. ඉදින් නිවසේ විරසක වී උන් දෙදෙනාගේ සීත යුද්ධය පිළිබඳව සෙවීමට ඈ හට කාලයක් නොවුණි. උත්සව සංවිධානයේ බොහෝ කටයුතු ඈ තනිවම සැලසුම් කරමින් ඒ වෙනුවෙන් සූදානම් වෙමින් සිටියාය. 

ඇතුළාන්තයෙන් බිඳෙමින් උන් තරුණිය ඒ සියල්ල පසෙක දමා මහීකා වෙත උදව් වෙමින් සිටියද නොයෙක් වර සිදුවන මීෂාගේ ආගමනයන් වලදී නිදන කාමරයට කොටුවී උන්නාය. ඈ එසේ ඇයවත් , ඔහුවත් මඟ හැර සිටියදී කෙසේ හෝ එකී කුඩා උවන දැක ගැනීමේ නොහැකියාවෙන් බොහෝ රාත්‍රීන් වල දරදඬු සිත සඳලුතලයේ තනිවම දැවෙමින් සිටියේය. වෙනදාට එකකින් , දෙකකින් අවසන් වන දුම්වැටි ප්‍රමාණය දැන් දැන් හතර , පහක් දක්වා දිගු වද්දී ඔහු සඳලුතලයේ කෙළවර කාමරයේ සිත් පිත් නැතුවා සේ වෙසෙන ඇගේ බැල්මක් හෝ ඔහුටම හොරා අයදින්නට පටන් ගෙන සිටියේය. 

” දුමී.. දුමී..!” 

” ආන්ටී..!” 

” ඔයා දැන්ම යනවද පුතේ ?” 

” මේ දැන් පිටත් වෙනවා ආන්ටී..”

නිදන කාමරයෙන් පිටතට පැමිණෙමින් තරප්පු පෙළ බැස ආ ඈ ගමන් බෑගය දෙවුරේ රඳවා ගනිමින් පැවසුවාය.

” ආ.. එහෙනං විනාඩි පහක් ඉන්න දුමී.  මාත් වැඩ වගේකට එළියට යන්න හදන්නේ. “

ප්‍රධාන ද්වාරය ඉදිරියේ දෑතම පසුපසට කොට ඉදිරියේ බලා උන් අහංකාරයා දෙස ඇස් කොනින් බැලූ ඈ යළි මහීකා දෙස බැලුවාය. 

” මාව එක්කන් යන්න දිහස් අයියා එනවා කිව්වා ආන්ටි. මං පාර ලඟට යනකන් පයින් යන්නං. “

පසුපසට එකතු කර තිබූ දෑත කිටි කිටියේ තද වූ අතර මහීකාගේ දෙපා නැමැඳ ඈ විගසින් ඔහු අසලින්ම ඔහු වෙත බැල්මක් හෝ නොහෙළා නිවසින් පිටතට අඩි තැබුවාය. ඔහුට හැකියාව ඇත්තේ  කුමන ප්‍රමාණයකින්ද ඊට වඩා දෙතුන් ගුණයක් හැකියාවක් තමන්ටද ඇති බව පෙන්විය යුතුය යන කෲරතර අදහස සහිතව මුසාවක් දෙඩූ ඈ නිවසේ සිට මාර්ගය වෙත ඇවිද විත් ත්‍රී රෝද රථයකට ජයග්‍රාහී හදවතින් ගොඩ වූවාය.

*******************************************

” හරි ශෝක්…!” 

සමාජ ශාලාවේ අඳුරු මුල්ලක මත්පැන් බෝතල් ඉදිරියේ වූ සෝපාවේ ඉහලට හිස බර කර දෑස පියා සිටි ඔහු හුරුපුරුදු හඬට කිසිදු කලබලයකින් තොරව හිස ඔසවා බැලුවේය. 

” උඹ මොකෝ මෙහේ ?” 

” දැන් මං අහන්න ඕනේ ප්‍රශ්නේ උඹ මොකද මගෙන් අහන්නේ ? උඹ දන්නවද දැන් වෙලාව කීයද කියලා ?” 

” එකයි දහයයි. “

අත රැඳි ඔරලෝසුව දෙසට දෑස විතැන් කළ ඔහු පිළිතුරු බැන්ඳේය.

” මොකක්ද බං මේ කරන්නෙ ? තොට පිස්සුද ?” 

” උඹ දැන් මොකද මේ වෙලාවේ මාව හොයාගෙන මෙතනට ආවේ ?” 

මිතුරාගේ පැනයත් සමඟ කෝපාවිෂ්ට වූ තේජ් ඉදිරියේ වූ මත්පැන් වීදුරුවක් ගෙන එක හුස්මට මුවට හළා ගත්තේය.

” පිස්සු නටන්නෙපා #$& . තව දවස් තුනකින් අෂ්මිලයගේ registration එක. ආන්ටි සිහියක් නෑ ඒකේ වැඩ. උඹ නේද හරි නං ඒවා බලලා කරන්න ඕනේ ?” 

” ඒ වැඩ හැමදේම පිළිවෙළට වෙනවා බං. ඒවායේ අවුලක් නෑ “

” මචං මේ අහපන්.. යකෝ .. ඒ උඹේ මල්ලි. කිසිම දේකට ආන්ටිගෙන්වත් , උගෙන්වත් එක රුපියලක් වියදං කරවන්නැතුව උඹ ඒ හැමදෙයක්ම බාර ගත්තු එක ග්‍රේට් මචං. ඒ උනත් අයියා විදිහට උඹෙන් එතනට වෙන්න ඕන දේවල් ටිකක් තියනවා බං. සල්ලි ටික ඉස්සරහට දාලා ඒවගෙන් මඟ අරින්න හිතන්න එපා. අනික  උඹ මොකද්ද මේ අලුතින් නටන පිස්සුව කියහන්.? මහ රෑ වෙනකන් කොහෙටහරි වෙලා බිබී ඉන්න? උඹට මොකද්ද තියන ප්‍රශ්නේ ?” 

” ගෙදර පලයන් මචං. උඹට ගෑනියෙක් , ළමයෙක් ඉන්නවා. ඒ මිනිස්සු එක්ක හිටහන්. මං වගේ කාලකණ්නියෙක් එක්ක කාලේ නාස්ති කරන්නෙපා. “

” මොකද්ද #$& කියන්නේ ?” 

එවර පෙරට වඩා තේජ්ගේ ස්වරයේ කෝපය ගුගුරා හැළුණේය.

” පිස්සුද බං උඹට ? මොනවද උඹ ඔය කියවන්නේ ? උඹ කවදාවත් උඹවම ඔය තරම් පාතට දාලා කතා කරනවා මං දැකලා නෑ. මොන කෙහෙල්මලක් වෙලාද උඹට? ” 

” මට මුකුත් වෙලා නෑ. “

දල්වා ගත් දුම් වැටියක උගුරක් උරා බිව් ඔහු තම රක්ත වර්ණ දෑස මිත්‍රයාගෙන් සැඟවීමට උත්සාහ දැරුවේය.

” මචං…!”

තත්පර කිහිපයක් නිහඬවම ඔහුගේ ඉරියව් දෙස බලා සිටි තේජ් සම්පූර්ණ නිවුණු ස්වරයෙන් යළිත් ඔහු ඇමතුවේය.

” මොකද්ද බං අවුල ? බිස්නස් එකේ ලෙඩක්ද ?” 

ඔහු ඉවත බලමින්ම හිස දෙපසට සලා නැත යැයි පැවසුවේය. 

” කතා කරන්නෑ මචං.. “

බොහෝ වේලාවකට පසුව ඔහුගේ උගුරෙන් මතු වූ පැටළුණු ස්වරය බොහෝ මන්ද වී තිබූ අතර ඉවත බලා උන් දෑසේ වෙව්ලීමේ ඉදිරිපස අසුනේ උන් තේජ්ගේ දෑසට හොඳින්ම හසු වූයේය.

” මොකක් ? කවුද ?” 

කිසිදිනක මිතුරාගේ මුවින් පිටතට පැමිණි එතරම් පසුතැවිලිදායක ස්වරයක අහු මුළු කියවා නොමැති තේජ් තව දුරටත් ඔහු දෙස වික්ෂිප්තව බලා සිටියේය.

” අඩු තරමේ පැහැදිලි කරන්නවත් චාන්ස් එකක් දුන්නෑ බං “

ඔහු දිගින් දිගටම දුම් වැටිය උරා බොමින් දුම් වළලු පිට කළේය. හිඳ උන් අසුනෙන් නැඟිට මිත්‍රයා සිටි අසුනටම බර වූ තේජ් නිහඬවම තවත් මොහොතක් ඔහු දෙස බලා සිටියේය.

” කවුද කෙල්ල ?” 

විසල් සුසුමක් හෙළූ ඔහු තවත් දිගු තත්පර කිහිපයක් නිහඬවම ඉවත බලා සිටියේය.

” උඹට මට හංගන්න දෙයක් තියනවද බං ? මේ මට..?” 

” එහෙම දෙයක් නෙමෙයි බං “

උගුරෙන් නැඟෙන්නාවූ බොහෝ පහත් ස්වරය එකී හැඩිදැඩි පිරිමියාගේ සම්පූර්ණ වතෙහිම බල පවත්වන්නාවූ ගාම්භීරත්වය පළවා හැර දමා තිබුණේය.

” එදා පොඩි ඔලුවේ කැක්කුමක් ඇල්ලුවා බං. එයාගේ අතින්ම පේන් කිලර්ස් දෙකක් අරන් බිව්වේ. මං හිතුවා ලඟට වෙලා ඉඳී කියලා. ඒත්.. නෑ . කොහෙහරි ගිහිල්ලා. මීෂා ආපු නිසා මං මීෂාට කියලා හෙඩ් මසාජ් එකක් දාගත්තා. කොයි වෙලෙත් නැට්‍ට ගිනි ගත්තා වගේ දුවන් යන විදිහටම කෙලින්ම රූම් එකට දුවන් ආවා. මීෂා මගේ ඔලුව මසාජ් කරනවා දැක්කා විතරයි එදා ඉඳන් කතා නෑ. අඩුම මූණවත් බලන්නෑ. උනේ මොකද්ද කියලා කියන්න මටත් අයිතියක් තියනවනේ බං. අපේ ලොකු මාමාලා පිස්සු නැටුවට මීෂා එදා ඉඳන් මට මගේ නංගි. ඒකි දිහා ඊට වඩා එහාට මට බලන්න බෑ. ඔය වචන ටික තේරුම් කරන්න මං සෑහෙන්න කට්ටක් කෑවා. එක විනාඩියකට ඒකට ඉඩක් දුන්නෑ. ඒ අස්සේ මට රිද්දන්න අර දිහස් එක්ක යන්න එන්න පුරුදු වෙලා. දැන් මට රිද්දන එක එයාට පුරුද්දට ගිහිල්ලා. “

එක දිගට කියවාගෙන ගිය ඔහු තේජ් දෙස නොබලාම යළිත් දුම් වැටිය ඉරුවේය. තත්පර කිහිපයක් ඔහු දෙස බලා සිටි තේජ් විසල් සුසුමක් හෙළා සෝපාවේ පසුපසට බර වූයේය. පෙර අපර ගලපා ගත් කතාවේ කතා නායිකාව කවුදැයි අමුතුවෙන් තෝරා බේරා ගැනීමට තේජ්ට ඉඩක් අවශ්‍ය නොවීය.

” උඹ මිහිදුමීට ලව්ද ?” 

තිගැස්සුණු රක්ත වර්ණ දෑස ක්ෂණිකව තේජ්ගේ උවන පුරා ගොස් යළිත් ඉවතට හැරුණේය.

” නෑ..” 

” එහෙනං උඹට ඒකිව ඕනෙද?” 

” පිස්සුද බං ?” 

” එහෙනං ?” 

එතෙක් පැවති සන්සුන් ස්වරය බොහෝ කලබල වී තිබුණේය. වේගයෙන් හුස්ම ඉහල පහල වැටෙන උරපතු මිත්‍රයාගේ නොසන්සුන් බව මනාවට පෙන්වූ අතර ඔහු දිගින් දිගටම තේජ්ගෙන් තම දෑස සඟවා ගත්තේය. 

” එහෙම මුකුත් නෑ. එහෙම ලව් එකක් නෑ. මං ගැන වැරදි විදිහට හිතන් ඉන්න එක ගැන මට අප්සට්. එච්චරයි. “

තව දුරටත් තමාගේ උකුසු බැල්ම මඟ හරිමින් ඉවත බලා උන් මිත්‍රයා දෙස සමච්චල් සිනහවක් පෑ තේජ් යළිත් ටීපෝව මත වූ මත්පැන් වීදුරුවක් අතට ගත්තේය. 

” මහීකා.. ඩාලින්..! මට ඔයාට අයි ලව් යූ කියන්න ඕනේ. “

තව දුරටත් සඟවා හිඳින මිත්‍රයාගේ හදවතේ වූ විපරීත කැළඹිල්ල දෙස සතුටු සිතින් බැලූ තේජ් මත්පැන් වීදුරුව එක හුස්මට මුවට හළා ගත්තේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here