5th Avenue – 17

0
107

ශෙනෝලි පිළිතුරක් දෙන තුරු අශේන් ඇය දෙස එක එල්ලේම බලා උන්නේය.

” ඔව් මට කියන්න දෙයක් තියෙනවා “

ශෙනෝලි හඬ නගා පිළිතුරු දුන්නාය. දුරකථනය දෙස බලා හුන් රිහාන් එකවරම ශෙනෝලි දෙස හැරී බැලුවේ ඉශිනිගේ පැමිණීම සහ ඇය තමා වෙත තිළිණ කළ මල් කළඹ පිළිබඳව ශෙනෝලි ට පවසන්නට ඇත්තේ කුමක්දැයි සිතමිනි.

” කියමුකෝ බලන්න මැඩම් ? ” 

අශේන් රිහාන් දෙස ද හැරී බලා කීවේය.

” දැන් අපි හැමෝම ගෙවල් වලට ගියොත් හොඳයි.දවසෙම ප්‍රැක්ටිස් කරපු නිසා ඔයාලා හැමෝම දැන් රෙස්ට් කරන්න ඕනේ “

ශෙනෝලි උකුල මත වූ laptop පරිගණකය වසා දමා නැගිට්ටාය. අශේන් ඇය දෙස බැලුවේ පුදුමයෙනි. තමා ඇය වෙතින් බලාපොරොත්තු වූයේ කිසිසේත්ම මෙවන් පිළිතුරක් නොවේ.

” ඔයාට ඒක විතරද කියන්න තියෙන්නේ ? ” 

අශේන් නැවත ඇසුවේ ඉශිනි පිළිබඳව කුමක්ම හෝ ශෙනෝලි විසින් පවසනු ඇතැයි බලාපොරොත්තු වෙමිනි.

” පැහැදිලිවම ඔව් ” 

ඉශිනි පිළිබඳව කතාබහ තවදුරටත් ඉදිරියට නොයාම පිළිබඳව යටි සිතින් සතුටු වෙමින් රිහාන් නැගී සිටියේය.

” මං හිතාගෙන හිටියේ අද මෙතනම නිදාගන්න “

සිහිනද තම අසුනෙන් නැගී සිටිමින් දෑත් දෙපසට විහිදවා සැහැල්ලු වූයේය.අනෙක් සාමාජිකයන්ද ඒ අනුව තම තමන්ගේ බඩු බාහිරාදිය එකතු කර ගනිමින් පුහුණු වීම් අවසන් කරන්නට සූදානම් වූහ.

” ඔයාලා මගෙන් කලින් ඇහුවනම් මං කලින්ම කියනවා ගෙදර යං කියලා “

ශෙනෝලි සැහැල්ලුවෙන් සිනාසෙමින් තම ලැප්ටොප් පරිගණකය ප්‍රවේශමෙන් බෑගය තුළ තැන්පත් කළාය. පිටව යන්නට සූදානමින් සිටි අශේන් නැවත හැරී එය වෙත පැමිණ නතර වූයේය.

” එතකොට දැන් අපේද වැරැද්ද ? “

” ඔව් ” 

ශෙනෝලි පිළිතුරු දී අනතුරුව සිනහව තදකර ගත්තාය.

” මගෙන් අහන දේට තමයි මං උත්තර දෙන්නේ. මුකුත් ඇහුවේ නැත්නම් මම මුකුත් කියන්නෙත් නෑ “

” ඕකේ ඕකේ ෆයිනලි කෝඩිනේටර් මැඩම් අපිට ගෙදර යන්න අවසර දුන්නනේ කොහොම හරි. දැන් යන් ” 

අශේන් මේඝ සමග පිටවී ගිය පසුව අනෙක් සාමාජිකයන් එකා දෙන්නා ද ස්ටූඩියෝවෙන් පිටව ගිය පසු එහි ඉතිරි වූයේ රිහාන් සහ ශෙනෝලි පමණි. ඇය හැකිතාක් රිහාන් ගේ දෑස් මඟ හැර හිඳ ස්ටූඩියෝවේ විදුලි පහන් එකින් එක නිවා දමා එකක් පමණක් ඉතිරි කර රිහාන් පිට වනතුරු බලා උන්නාය.

” යන්නෙ නැද්ද රිහාන් ? ” 

රිහාන් ශෙනෝලි අබියසටම පැමිණ නතර වූයේය. ඇයත් රිහානුත් අතර වූයේ අඩියකටත් වඩා අඩු පරතරයකි. තමාට වඩා බොහෝ උසැති දේහධාරී තරුණයා කුමක් හෝ කියන්නට බලාපොරොත්තුවෙන් තමා අසල සිටගෙන නැවතී හිඳීම ශෙනෝලි වෙත ගෙන ආවේ තදබල අපහසුවකි. ශෙනෝලි සූදානම් වූයේ රිහාන් වෙතින් මෑත් වී දොරටුව වෙත යන්නට වුවත් ඔහු එයද වළක්වුවේය.

” මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා නම් ප්ලීස් ඒක මට කෙලින් කියන්න. ඔය විදිහට බිහේව් කරන එක මට හරිම අවුල් “

රිහාන් අවංක වූයේය. ශෙනෝලි කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනාටම මවක වෙමින් ,සියලු දෙනාගේම ඕනෑ එපාකම් සොයා බලමින් කලට වේලාවට වැඩ කිරීම කණ්ඩායම මෙතෙක් දුර රැගෙන ඒමට මහත් පිටිවහලක් විය. එවැනි තත්ත්වයකදී ඇය වෙතින් දක්නට ලැබෙන කුමක්දෝ එක වෙනස්කමක් තමාට රිදවන බව පමණක් රිහාන් හට දැනෙමින් තිබිණි.

” මට ගෙදර ගිහිල්ලත් කරන්න වැඩ තියෙනව රිහාන්. යමු. ඔයා ඔය හිතන විදිහේ දෙයක් මෙතන නැහැ “

රිහාන් යමක් කියන්නටත් මත්තෙන් එයට ඉඩක් හෝ නොතබා ශෙනෝලි අවසාන විදුලි පහනද නිවා දමා දොරටුවෙන් පිටතට පැමිණියාය. කොරිඩෝවේ නතර වූ ශෙනෝලි දෑත් බැඳ තවත් තත්පර කිහිපයක් බලා සිටියාය. රිහාන් සතුවද ස්ටූඩියෝවේ යතුරක් ඇති බැව් සිහි වී ඇය සෙමෙන් පඩිපෙළ බැස පැමිණියේ හදවතින් නැගෙන සුසුමක් හිර කර ගෙනය.

රිහාන් ස්ටූඩියෝවේන් පිටතට පැමිණියේ තවත් විනාඩි කිහිපයකට පසුවය. ඒ වෙනතුරුත් ශෙනෝලි ඉන් පිටත රැඳී සිටිනවා යයි බලාපොරොත්තු වුවද හිස්ව තිබූ කොරිඩෝව දුටු විට කුමක්දෝ කම්පනයක් රිහාන්ගේ හදවතට නැගිණි. දොර අගුලු දැමූ රිහාන් පඩිපෙළ බැස පැමිණ වාහන අංගනයේ නතර වී වටපිට බැලුවද ශෙනෝලි පිටව යන සේයාවක් වත් ඔහුට දැක ගන්නට නොලැබිණි.

වාහන අංගනයෙන් ඔබ්බට වන්නට නතර කළ වාහනයේ සිටි ඉශිනි උන්නේ මේ සියල්ල බලාගෙනය.කණ්ඩායම් සාමාජිකයන් එකිනෙකා පිටව යන ආකාරයත් ඉන් ටික වේලාවකට පසුව ශෙනෝලි පිටව යන ආකාරයත්, රිහාන් පිටතට පැමිණ වටපිට බලමින් සිටින ආකාරයත් ඉශිනි පැහැදිලිවම දුටුවාය. ශෙනෝලි පිටව ගිය ආකාරයෙන් රිහාන් මේ සොයන්නේ ඇයව බව තේරුම් ගන්නට ඉශිනි හට අපහසු වූයේ නැත.

ඇය තම අත් බෑගයද ගෙන වහාම වාහනයෙන් බැස රිහාන්ගේ වාහනය වෙත පැමිණ වීදුරුවට තට්ටු කළාය. වාහනයට නැගී ජංගම දුරකථනය එහා මෙහා කරමින් හුන් රිහාන් තිගැස්සී බලා ඉශිනි ව දැක වහාම වාහනයේ දොර විවෘත කර ඉන් බැස්සේය.

” ඔයා ආපහු ආවද ? ” 

ඉශිනි තප්පර කිහිපයක් තමා ඉදිරියේ සිටගෙන සිටින කඩවසම් තරුණයා දෙස බලා උන්නාය. මේ තරුණයා නිසා බොහෝ දිනයක සිට තමා ගෙවන්නේ පාලනයෙන් තොර ජීවිතයක් බව ඉශිනි ඒ වන විටත් පිළිගෙන තිබුණු අතර පුහුණු වීම් අවසන් වන තුරු ස්ටූඩියෝව අසල වාහනය නවතා ගෙන රැඳී සිටීමද එහි ප්‍රතිඵලයකි.

” ආපහු එන්න, මම ගියේ නෑ රිහාන්”

රිහාන්ගේ දෑස් පුදුමයෙන් මහත් විය.

” What do you mean ? ” 

” ඔයාලට විශ් කරලා මම ආපහු ගියේ නෑ.මං හිටියේ මෙතනමයි.මගේ කාර් එකේ “

” ඉතිං ඔයාට තිබ්බනේ ඇතුලට එන්න ? ” 

ඉශිනි රිහාන් තප්පර ගණනාවක් බලා උන්නාය. කියන්නට අවැසි බොහෝ දේ ඇතත් ඒවා එකින් එක ගලපා ගන්නේ කෙසේ දැයි ඇය රිහාන් දෙස බලා ගත්වනම තවදුරටත් කල්පනා කළාය. 

” මට හැමෝටම විෂ් කරන්න ඕන උනාට මට කතා කරන්න ඕන වුනේ ඔයත් එක්ක රිහාන් “

රිහාන් මුනිවත රැක්කේය. මේ සිදු වෙමින් පවතින්නේ කිසිසේත්ම බලාපොරොත්තු වූ දේවල් නොවේ. උදෑසන සිට ඉශිනි බොහෝ වාරයක් තමා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඇයට කතා කිරීමට තරම් නිදහසක් නොමැති වීමත්, තරමක චකිතයක් තිබීමත් නිසා තමා එසේ නොකිරීම පිළිබඳව රිහාන් තමාටම දොස් පවරා ගත්තේය. එවැන්නක් අවසානයේදී ඉශිනි මේ තරම් වේලාවක් තමා වෙනුවෙන් බලා හිඳී යැයි රිහාන් කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත.

රිහාන්ගේ නිහඬ බව හමුවේ විනාඩි කිහිපයක් බලාහුන් ඉශිනි අත් බෑගය විවෘත කර එහි වූ කුඩා දිනපොතක් අතට ගෙන එය දිගහැර එහි අලවා තිබු ඡායාරූපයක් රිහාන් වෙත දිගු කළාය. රිහාන් ඉතා ඕනෑකමින් එම කුඩා දිනපොත අතට ගෙන එම ඡායාරූපය දෙස බලා උන්නේ විශ්මය පිරි දෑසිනි.

ඡායාරූපයේ සිටින්නේ තමාය.වසර කිහිපයකට පෙර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රසංගයකදී වේදිකාව මත හිදින තමාගේ ඡායාරූපය දෙස රිහාන් බලා උන්නේය.

” මේ ෆොටෝ එක ? ” 

රිහාන් ඉශිනි දෙස බැලුවේය 

” එදා තමයි පළවෙනි පාරට මං ඔයාව ළඟටම දැක්කේ. මං ගාව තිබුන පොඩි ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් ඔය. ඒකයි එච්චර ක්ලියර් නැත්තේ.හැබැයි ඕක මට මාර වටින මෙමරි එකක් “

” එතකොට ඔයා එච්චර කල් මේක තියාගෙන හිටියා ඔයා ලඟ ? ” 

” මං ගාව තව හුඟක් මෙමරීස් තියෙනව රිහාන්”

” එතකොට ඔයා අද මේක මට පෙන්නන්නෙ ?” 

රිහාන් ඔහු අත වූ දින පොත නැවත ඉශිනි වෙත දිගු කලේ එසේ අසමිනි. එම ඡායාරූපය ඔහු හට පෙන්වීමට උවමනාව තිබුණත් එයට අවස්ථාවක් ලැබුණේම නැත. එහෙත් තවදුරටත් එය නොපෙන්වා හිඳීමටද ඉශිනි හට හේතුවක් වූයේ නැත.

” මේක පෙන්නන්නෙ නැතුව ඉන්න හේතුවක් මට නැති හින්දා “

ඉශිනි ආයාසයෙන් සිනාසුනත් ඇගේ මුහුණේ තැවරී තිබුණේ විස්තර කළ නොහැකි තරමේ දුක්බර බවකි. එය දුක්බර හමුවේ රිහාන් ද නිහඬවම උන්නේය.

” සමහර දේවල් තියෙනව රිහාන් අපි කොහොමටවත්ම පරක්කු වෙන්න හොඳ නැති. මේකත් එහෙම දෙයක් “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here