යාළුකමක් වෙනුවෙන් ඔයාගේ සතුට නැති කරගන්න එපා

අපේ ජීවිතේට එන හැම කෙනෙක්ම අපි එක්ක එකම දුරක් ඇවිදගෙන යන්න එන්නෙ නෑ. 

සමහරු එන්නෙ අපේ ජීවිතේ ලස්සනම කාලයක් අපි එක්ක බෙදාගන්න. සමහරු එන්නෙ අපිට මොනාහරි හොඳ පාඩමක් උගන්වලා යන්න. තවත් සමහරු නම්, කොච්චර කාලයක් අපිත් එක්ක හිටියත්, අපේ ජීවිතේට ඇත්තටම හොඳ බලපෑමක් කරන අය නෙවෙයි.

ඒත් අවුරුදු ගාණක් යාලුවෙලා හිටපු කෙනෙක් ගැන එහෙම පිළිගන්න එක ලේසි නෑ නේද?

දුකෙන් උනත් ඉතින් ඇත්ත පිළිගන්නම වෙනවා. සත්‍ය බොහෝම කටුකයි තමයි.

“අපි පොඩි කාලෙ ඉඳන් යාලුවෝනෙ.”

“එයා එහෙම තමයි ඉතින්.”

“එයාගෙ හැටි මං දන්නවනෙ.”

“මොනවා උනත් එයා මගේ යාලුවෙක්.”

අපි සමහර වෙලාවට මේ වගේ දේවල් කිය කියා, අපිට රිද්දන friendship එකක් අල්ලගෙන ඉන්නවා. මොකද යාලුවෙක්ව අතහරින එක, relationship එකක් අතහරිනවා වගේ හැම වෙලාවෙම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසාම සමහර toxic friendships අවුරුදු ගාණක් අපේ ජීවිතේ තියෙනවා. මොකෝ ඒව අපිට ලේසියෙන් අත ඇරගන්න බැරි හන්දා.

හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන. යාලුවෙක් කියලා අපි ළඟ ඉන්න හැම කෙනෙක්ම, අපේ ජීවිතයට හොඳ කෙනෙක් වෙන්නෙ නෑ.

ඒක තේරුම් ගන්න පුළුවන් හොඳම විදිහක් තමයි, ඔයා සතුටින් ඉන්න වෙලාවක එයා හැසිරෙන්නෙ කොහොමද කියලා තේරුංගන්න එක.

ඔයාට දුකක් තියෙන වෙලාවක ඔයා ළඟ ඉන්න එක හරි ලේසියි. ඔයා අඬනකොට “අනේ මොකද වුණේ?” කියලා අහන එකත් ලේසියි.

හැබැයි ඔයාට හොඳ දෙයක් සිද්ධ වෙනකොට? ඔයාගෙ ජීවිතේ ලස්සන වෙනකොට, සන්තෝසෙන් ඉන්නකොට. ඔයාට promotion එකක් ලැබෙනකොට. ඔයා ආස කරපු කෙනෙක් ඔයාට කැමති වෙනකොට. ඔයාගේ වැඩක් සාර්ථක වෙනකොට. ඔයාගෙ හීනයක් හැබෑ වෙනකොට.

එතකොට එයා ඇත්තටම සතුටු වෙනවද?

නැත්නම් මොනාහරි විහිළුවෙන් වගේ වචනයක් දාලා බලලා ඒ සතුට අඩු කරනවද?

“අනේ ඕක ඉතින් එච්චර දෙයක් නෙවෙයි.”

“ඒක නම් මටත් ලැබුණා.”

“ඕකම එයා අරයටත් කියලා තිබුණා?” වගේ  කියලා, ඔයා සතුටු වෙන මොහොතකල් ඔයාගෙ සන්තෝසෙ පොඩි කරන්න හදනවද?

සමහර වෙලාවට අපිට කෙනෙක් අපිට ඉරිසියා කරනවා කියලා තේරෙන්නෙ එයා අපිට නරක දෙයක් කරනකොට නෙවෙයි. අපිට හොඳ දෙයක් වෙනකොට එයාට ඒක දරාගන්න බැරි වෙන විදිහෙන්.

ඒ වගේම තවත් සමහරු ඉන්නවා. ඔයා ඉස්සරහ හරිම හොඳයි. හැබැයි ඔයා නැති තැන ඔයා ගැන කියන දේවල් වෙනස්.

ඔයා විශ්වාස කරලා කියපු දෙයක් තව කෙනෙක්ගෙන් ඔයාට ආපහු ඇහෙනවා.

“ඒක මං එයාට විතරයි කිව්වෙ.” කියලා එහෙම වෙලාවක තමයි තේරෙන්නෙ, සමහර මිනිස්සුන්ට අපේ ජීවිතේ ඇතුළට එන්න දීලා තියෙන දුර, අපි හිතන තරම් ආරක්ෂිත දුරක් නෙවෙයි කියලා අපිට තේරුං යන්නෙ අන්න ඒ වෙලාවෙ.

ඒ වගේම, හැමදාම ඔයාගෙන් දේවල් ඉල්ලන යාලුවෙක් ඉන්න පුළුවන්. උදව්වක් ඕන වෙලාවට ඔයා තමයි එයාට පළවෙනියටම මතක් වෙන කෙනා වෙන්නෙ. ප්‍රශ්නයක් ආවම ඔයාට තමයි පළවෙනි call එක දෙන්නෙ. එයාට දුක හිතුණම ඔයාට තමයි message එකක් දාන්නෙ.

හැබැයි එක දවසක් ඔයාට උදව්වක් ඕන වුණාම?

“අනේ අද නම් බෑ.”

“මං ටිකක් busy.”

“පස්සෙ බලමු.” කියන්න කියන්න පුළුවන්.

යාලුකමක් කියන්නෙ කෙනෙක් වෙනුවෙන් හැම වෙලාවෙ කොන්දේසි විරහිතව පෙනී ඉන්න එකම නෙවෙයි. එක පැත්තකින් විතරක් ගලාගෙන යන සම්බන්ධයක් friendship එකක් වෙන්නෙ නෑ.

ඒ වගේම ඔයාගේ boundaries වලට ගරු නොකරන යාලුවෝ ඉන්නවා.

ඔයා “බෑ” කිව්වම ඒ “බෑ” කියන එක පිළිගන්නෙ නෑ.

ඔයාට තනියම ඉන්න ඕන කිව්වම, “අනේ මාව දැන් එපා වෙලාද?” කියලා අහලා ඔයාව Victim කෙනෙක් කරන්න හදනවා.

ඔයා වෙන යාලුවෙක් එක්ක close වුණාම තරහ වෙනවා.

ඔයා වෙන කෙනෙක්ට priority එකක් දුන්නම ඒක betrayal එකක් වගේ භාරගන්නවා.

ඒක friendship එකක් වගේ පේන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඒක friendship එකකට වඩා අයිතිවාසිකමක්.

“ඔයා මගේ යාලුවා. ඒ නිසා ඔයා මෙහෙම වෙන්න ඕන.”

එහෙම සම්බන්ධයක් සෞඛ්‍ය සම්පන්න නෑ.

හොඳ යාලුවෙක් කියන්නෙ ඔයාට තමන්ගේම කියලා ජීවිතයක් තියෙන බව තේරුම් ගන්න කෙනෙක්. ඔයාට වෙන යාලුවෝ ඉන්න පුළුවන් කියලා පිළිගන්න කෙනෙක්. ඔයා හැම වෙලාවෙම available නැති වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න කෙනෙක්. ඒ වගේම ඔයාගේ වැරදි කියලා දෙන්න බය නැති කෙනෙක්.

මේකත් වැදගත්. හොඳ යාලුවෙක් කියන්නෙ හැමදාම “ඔයා හරි” කියන කෙනෙක් නෙවෙයි.

සමහර වෙලාවට, “ඔයා මේ කරන දේ වැරදියි.”

“මට හිතෙන්නෙ ඔයා මේ කෙනා නිසා තමන්ටම රිද්දගන්නවා.”

“මං ඔයාගෙ පැත්තෙ ඉන්නවා. හැබැයි මේක නම් හරි නෑ.” කියන්න පුළුවන් කෙනෙක්.

මොකද ඔයාට කැමති වෙන එකයි, ඔයාට හොඳක් වෙන්න ඕන කියලා හිතන එකයි කියන්නෙ දෙකක්.

ඇත්ත යාලුවෙක් සමහර වෙලාවට ඔයාට අහන්න අමාරුම දේ කියයි. හැබැයි ඒක කියන්නෙ ඔයාව පහත් කරන්න හිතාගෙන නෙවෙයි. ඔයාව රැකගන්න.

ඒ නිසා friendship එකක් දිහා බලද්දි “අපි කොච්චර කාලයක් යාලුවෝද?” කියන ප්‍රශ්නයට වඩා, “මේ සම්බන්ධය ඇතුළෙ මට ලැබිලා තියෙන තැන මොකද්ද?” කියන ප්‍රශ්නය වැදගත්.

එයා එක්ක ඉන්න එකෙන් ඔයාට නිතරම තමන් ගැන සැක හිතෙනවද?

තමන්ගේ සතුට hide කරන්න වෙනවද?

තමන්ගේ සාර්ථකත්වය කියන්න බයද?

හැම conversation එකකින් පස්සෙම “මං අපරාදෙ එයාට ඒක කිව්වෙ?” කියලා හිතනවද?

එයා එක්ක ඉන්නකොට තමන්ට තමන් වෙන්න බැරිද?

එහෙනම් ඒ friendship එක ගැන ටිකක් නැවතිලා හිතන්න වටිනවා. මොකද සමහර වෙලාවට අපි යාලුවෙක්ව නැති කරගන්න බය වෙලා, අපිවම නැති කරගන්නවා.

ඒත් friendship එකක් රැකගන්න ඔයාට හැමදාම තමන්ව explain කරන්න, තමන්ව prove කරන්න, තමන්ගේ සතුට අඩු කරන්න, තමන්ගේ boundaries අතහරින්න සිද්ධ වෙනවා නම් ඒක රැකගන්න ඕන friendship එකක්ද කියලා හිතලා බලන්න.

හැම යාලුවෙක්ම ජීවිතේ අන්තිම වෙනකම් අපි එක්ක ඉන්න ඕන නෑ. සමහරු එක්තරා කාලයකට විතරයි අපේ ජීවිතේට ගැළපෙන්නෙ. ඒක අසාර්ථක friendship එකක් කියලාම කියන්න ඕන නෑ.

සමහර මිනිස්සු අපේ ජීවිතේට ඇවිල්ලා, ලස්සන මතක දීලා, අපිට යමක් උගන්වලා, ඊට පස්සෙ අපේ පාරෙන් වෙනස් පාරකට යනවා. ඒකත් ජීවිතේ කොටසක්.

ඒ නිසා යාලුවෝ ගොඩක් ඉන්න එකට වඩා, ඔයා සාර්ථක වෙනකොටත්, වැටෙනකොටත්, ඔයා නැති තැනත්, ඔයා ඉස්සරහත් එකම විදිහට ඔයාට ගරු කරන යාලුවෝ කිහිපදෙනෙක් ඉන්න එක වටිනවා.

මොකද අවසානයේදී, හොඳ යාලුවෙක් කියන්නෙ ඔයාගේ ජීවිතේ හැම දවසකම ඉන්න කෙනෙක් නෙවෙයි.

ඔයාට ඔයා වෙලා ඉන්න පුළුවන් විදිහට, ඔයාගේ ජීවිතේ ඉඩක් දෙන කෙනෙක්.

Related Articles

Don't Miss


Latest Articles