බොහෝ වෙලාවට අප වටා සිටින අය ඇත්තටම අපේ මිතුරන් නෙමෙයි. බොහෝවිට ඔවුන් ඇතුලාන්තයෙන් සමග තරගකාරී බවකින් පසුවන අතර බාහිරින් අපට බොහෝ ලෙන්ගතු බව පෙන්වීමට උත්සාහ කරනවා. මෙවැනි මිතුරන් ඇත්තටම ඔබේ ජීවිතයට ගෙන එන්නේ ඍණාත්මක බවක් පමණයි. මෙවැනි මිතුරන් සමඟ ඔබට ඔබේ ජීවිතයේ ඉදිරියට යාමක් හෝ ඔබේ ඉලක්ක කරා ළඟා වීමක් සිදු කරන්නට බැහැ. ඔබට ලෙන්ගතු බව පෙන්වන, ඔබට කරුණාව සහ ආදරය දක්වන මිතුරන් ඇත්තටම ඔබේ මිතුරන්ද කියා හදුනා ගන්නේ කොහොමද ? එහෙමත් නැත්නම් මිතුරු වෙසින් ඉන්න හතුරන් හඳුනා ගන්නේ කොහොමද ?
ඔවුන් කලාතුරකින් ඔබේ සාර්ථකත්වයන් සමරයි
ඔබට හොඳ දෙයක් සිදු වූ විට ඔවුන් ඒ පිළිබඳව එතරම් උනන්දු වන බවක් පෙන්වන්නේ නැහැ. ඔබ ඔබේ ජයග්රහණ පිළිබඳව කතාබහ කරන විට ඔවුන් මාතෘකාව වෙනස් කිරීම හෝ වහාම ඔවුන්ගේම ජයග්රහණ ගැන කතා කිරීමට පටන් ගන්නවා. ඔබ සාර්ථක වන විට ඔබේ සැබෑ මිතුරන් ඒවා පිළිබඳව සතුටු වන්නේ ඔවුන් ඔබේ සතුට ගැන සැලකිලිමත් වන නිසායි. ඇත්තටම ඔබට ලෙන්ගතු නොවෙන මිතුරන් ඔබේ සාර්ථකත්වය ඔවුන්ට තර්ජනයක් ලෙස හෝ එය ඔවුන්ට කිසිදා ලබා ගත නොහැකි දෙයක් සලකනවා.
ඔවුන්ගේ ප්රශංසාවල බොහෝ විට සැඟවුණු විවේචන අඩංගු වේ
සමහර මිතුරන් “අද ඇත්තටම ඔයා ලස්සනයි” හෝ “මම හිතුවේ නැහැ ඔයාට ඒක කරන්න පුළුවන් කියලා” වැනි දේවල් ඔබ සමග පැවසිය හැකියි.එවිට ඔබට එය අවංක ප්රශංසාවක් හෝ ඔබව අගය කරන ලෙස දැනුනත් ඔවුන් ඇත්තටම ඔබව ප්රශංසා කළාද නැතහොත් විවේචනය කළාද යනුවෙන් සැකයක් දැනෙන්නට පුළුවන්.මෙවැනි දේවල් වලින් කාලයත් සමඟ ඔවුන් කෙරෙහි පවතින ඔබේ විශ්වාසයට සෙමෙන් හානි කරනවා.
ඔවුන් ඔබේ ජයග්රහණවලට වඩා ඔබේ වැරදි භුක්ති විඳියි
ඔබේ ජීවිතයේ යම් දෙයක් වැරදී ගිය විට සමහර මිතුරන් ඒවා පිළිබඳව අසාමාන්ය ලෙස උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා නම් හෝ ඔබේ අසාර්ථකත්වයන් පිළිබඳව නැවත නැවතත් කතා කරනවා නම් එය ඔවුන් පිළිබඳව ඔබ දෙවරක් සිතිය යුතු සංඥාවක්.ඔබ ජීවිතයේ යම් අරගලයක යෙදෙන විට සැබෑ මිතුරන් ඔබට සහාය වන අතර ඉදිරියට යාමට ඔබව දිරිමත් කරනවා. නමුත් ඔබ අසාර්ථක වන ආකාරය දැකීමෙන් එය භුක්ති බුක්ති විඳින්නේ මිතුරු වෙසින් ඔබ වෙතට පැමිණ සිටින සතුරන් පමණයි.
ඔවුන් නිරන්තරයෙන් ඔබ සමඟ සංසන්දනය කරයි
බොහෝ සංවාද වලදී වැඩිපුර මුදල් උපයන,වඩා හොඳ පෙනුමක් ඇති ,වැඩි මිතුරන් ප්රමාණයක් සිටින හෝ වැඩි වත්කමක් සහිත කෙනා පිළිබඳව කෙනෙකු කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම එහි අදහස වන්නේ එම පුද්ගලයා යටි සිතින් ඔබ සමග තරගකාරී අදහස් වලින් යුතුව සිටින බවයි. සෞඛ්ය සම්පන්න මිත්රත්වයන් සහයෝගය සහ අන්යෝන්ය ගෞරවය මත පදනම් වන අතර නිරන්තරයෙන් ඔවුන් ඔබව සංසන්දනය කිරීම ආතතියක් ඇති කරමින් සැබෑ මිත්රත්වයක් වර්ධනය වීම වළක්වනවා.
ඔවුන් ඔබ නොමැති තැන ඔබ පිළිබඳව කතා කරයි
ඔබ නොමැති විට යම් මිතුරෙක් ඔබේ පුද්ගලික තොරතුරු බෙදා ගත් බව, ඔබව විවේචනය කළ බව හෝ කටකතා පතුරුවා හරින බව ඔබට දැනගන්නට ලැබෙනවා නම් එය ඔබ එම මිත්රත්වයෙන් ඉවත් විය යුතු බවට ලැබෙන අතිශය බරපතළ සංඥාවක්. විශ්වාසය යනු මිත්රත්වය ඇතුළු ඕනෑම බැඳීමක් ශක්තිමත්ව පවත්වාගෙන යන අත්තිවාරමක් වන අතර ඔබ අවට නොමැති විට යමෙකු ඔබ ගැන නැවත නැවතත් නිෂේධාත්මකව කතා කරනවා නම් ඔවුන් සමඟ සෞඛ්ය සම්පන්න සහ ආරක්ෂිත මිත්රත්වයක් ගොඩනඟා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක්.
ඔවුන් ඔබව සම්බන්ධ කරගන්නේ ඔවුන්ට යමක් අවශ්ය වූ විට පමණි
කෙනෙක් ඔබෙන් උපදෙස්, උදව්, මුදල් හෝ මානසික සහයෝගය අවශ්ය වූ විට හදිසියේම ඉතා මිත්රශීලී වනවා නම් එසේ අවශ්ය නොවූ විට ඔබට දුරකථන ඇමතුමක් හෝ නොදෙනවා නම් එවැනි මිත්රත්වයක් පවත්වාගෙන යාම පිළිබඳව ඔබ දෙවරක් සිතා බැලිය යුතු වනවා.ඕනෑම මිත්රත්වයකට අන්යෝන්ය සැලකිල්ල සහ උත්සාහය ඇතුළත් විය යුතු අතර යමෙකු ඔවුන්ට යමක් අවශ්ය වූ විට පමණක් පෙනී සිටිනවා නම් ඉන් අදහස් වන්නේ ඔවුන් පුද්ගලයෙකු ලෙස ඔබව අගය කරනවාට වඩා ඔබට ඔවුන් වෙනුවෙන් කළ හැකි දේ අගය කරන බවයි.
ඔබේ වර්ධනය වීම ගැන ඔබට වරදකාරී හැඟීමක් ඇති කරයි
යම් මිතුරෙකු ඔබේ ඉලක්ක විවේචනය කරනවා නම් , ඔබේ අභිලාෂයන් අධෛර්යමත් කරනවා නම්, නැතහොත් ඔබ ඔබේ ජීවිතය වැඩිදියුණු කිරීමට උත්සාහ කරන විට නිෂේධාත්මක අදහස් දක්වනවා නම් ඔවුන් සැබෑවටම ඔබේ වර්ධනය වීම කෙරෙහි ඔබ තුළම සෘණාත්මක බවක් ඇති කරන බව ඔබ තේරුම් ගත යුතුයි. සැබෑ මිතුරන්ට ඔබ වර්ධනය වී සාර්ථක වනු දැකීමට අවශ්ය වනවා මිසක ඔබ ජීවිතයේ පියවරක් හෝ පසුපසට යාම දකින්නට හැකි වන්නේ නැහැ.
ඔවුන් වටා ඔබට මානසික වශයෙන් වෙහෙසකාරී බවක් දැනේ
සමහර පුද්ගලයන් සමඟ කාලය ගත කිරීමෙන් පසුව , ඔබට සාමයක් සහ සැහැල්ලුවක් දැනීම වෙනුවට කනස්සල්ල, අනාරක්ෂිත බව, වෙහෙස හෝ අසතුටක් දැනෙන්නට පුළුවන්.
මෙය ඉවත දැමිය යුතු කාරණාවක් නොවේ. එවැනි තත්ත්වයන් වලින් පැහැදිලි වන්නේ එවැනි පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ඔබට සහ ඔබේ මානසිකත්වයට බලපෑමක් එල්ල වන බවයි. සෞඛ්ය සම්පන්න මිත්රත්වයකදී සාමාන්යයෙන් ඔබට ගෞරවයක් සහ වටිනාකමක් දැනෙන බවක් දැනිය යුතුයි. එම නිසා යම් පුද්ගලයන් කාලය ගත කිරීමේදී ඔබට වෙහෙසකාරී බවක් දැනෙනවා නම් ඒ පිළිබඳව ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
සැබෑ මිතුරෙකු පරිපූර්ණ විය යුතු වන්නේ නැහැ . ඔවුන් අතින් වැරදි සිදුවිය හැකි අතර ,ඔබ සමඟ එකඟ නොවීමද ඔවුන් අතින් සිදුවිය හැකියි.ඒ කෙසේ වෙතත්, ඔවුන්ගේ සමස්ත හැසිරීම තුළින් ඔබට ගෞරවය, සහයෝගය, විශ්වාසය සහ වටිනාකම දැනිය යුතුය. මිත්රත්වයක් නිරන්තරයෙන් ඔබව රිදවීම, පහත් කොට සැලකීම හෝ චිත්තවේගීය වශයෙන් වෙහෙසට පත් කිරීම සිදු කරනවා නම් එය සැබැවින්ම සැබෑ මිත්රත්වයක් ද යනුවෙන් ඔබ සිතා බැලිය යුතු වනවා.











