“ඔෆිස් යනවා කියලා කොහේ යනවද කියලා දන්නෙ නෑනෙ. පොඩ්ඩක් නංගි හොයලා බලන්න. මහ එකා ගෙදරින් ගියා වගෙ නෙවෙයි ඉතින් දෝණියැන්දා ගෙදරින් ගියොත්. මොකෝ ආය වැද්ද ගන්න කියලද ගෙට?”
නෙත්මලී ඉරිදා උදේ ඇහැරුනේ ඔන්න ඔය සද්දෙටය. තාත්තා ගෙදරින් ගියයින් පස්සේ ලොකු අම්මා විඩෙන් විඩේ ගෙදෙට්ට විත් අම්මාගේ ඔලුවට එක එක අන්දමේ විසබිජ පුරවන්නට කටයුතු කර බව නෙත්මලී දැනගෙන උන්නද නෙත්මලී වැඩට යන්නට පටන් ගෙන උන් නිසාත් ලොකු අම්මා වැඩිහරියක් ආවේ සතියේ දවස්වල නිසාත් නෙත්මලීට ලොකු අම්මාව හම්බුනේ නැති බව ඇත්තකි. ඒකම “බුදු අම්මේ කොච්චර ලොකු වාසනාවක්ද?” කියා හිතන තැනකට ඒ වෙද්දී නෙත්මලී ලොකු වෙලා උන්නා උනාට අද නම් ආයෙ වතාවක් සුපුරුදු කතන්දර අහගෙන ඉන්න වෙන විත්තිය දන්න හන්දා නෙත්මලී තව මොහොතක් ඇඳට වී උන්නෙ කර කියා ගන්නට දෙයක් නැතුවය.
“මං කියන්නෙ නංගි, කෙල්ලෙක් ඔහොම හැදෙන්න බෑ. උදේ ගෙදරින් යනවා, හවස එනවා. කොහෙ ගියාද, කාත් එක්කද කියලා අපි දන්නෙ නෑ. ඔෆිස් එකේ මිනිස්සුත් ඉන්නවනෙ. දැන් කාලෙ කොල්ලො නෙවෙයි විශ්වාස කරන්න අමාරු කෙල්ලො. කොල්ලන්ව නං අනික මොන වැරැද්ද කරගෙන ආවත් හෝදලා කරලා ගෙට ගන්න ඇහැකි කොයි කාලෙක උනත් කෙල්ලො එහෙම බෑනෙ. අන්තිමේ උඹට ඒ බරත් උහුලන්න වෙයි.”
“ඔව් ඉතින්” අම්මා එහෙම කියනු ඇසුණේ නෙත්මලීටය. අම්මාගේ ඒ වචන එක්කම රෙදි මැශිම කැරකෙන හඬ ඇහෙද්දි නෙත්මලී ආයෙ වතාවක් කොට්ටයට හිස තබා ගත්තේ කාමරයෙන් එලියට යාම මේ වෙලාවේ නුවණට හුරු නොවන බව තේරෙන හන්දාය.
“මං කිව්වෙ නංගි, දැන් කාලෙ හැටි වෙනස්. අපේ කාලෙ වගේ නෙවෙයිනෙ.”
“ඒක නම් ඇත්ත” හිත රිදුණ බව ඇත්තකි. අම්මා ඔහොම කියන එකක් නැතැයි ක්කියලොකු අම්මාට අම්මාත් එක්ක කතා කරන්නට පටන් ගත්තොත් පැයක් දෙකක් යනතුරු කතාව ඉවර නොවන බව නෙත්මලී හොඳින් දැන උන්නාය. ඒත් ඊළඟට අම්මා කියූ දෙය ඇහුණු විට නම් ඇය ආයෙමත් කන දුන්නාය.
“හැබැයි අක්කෙ, නෙත්මලී කොහෙ ගියත් මට කියනවා.”
“කියනවා ඇති. ඒත්…”
“නෑ ඉතින්. මට කියනවා.”
අම්මා ඒ වචන ටික කිව්වේ වෙනදාට වඩා තදිනි.
“මං දන්නවා එයා කොහෙද ඉන්නෙ කියලා. ඔෆිස් එකේ වැඩක් තියෙන දවසට පරක්කු වෙනවා කියලා කලින් කියනවා. කාත් එක්ක හරි යනවා නම් ඒකත් කියනවා.”
“ඒත් නංගි, මං කියන්නෙ ඔය වයසෙ ළමයෙක් ගැන එහෙම ලොකු විස්වාසයක් තියලා ඉන්න එක…”
“මට එයාව විස්වාසයි අක්කෙ.”
“මං දන්නවානෙ අක්කෙ ඉතින් මගේ ළමයා ගැන.”
“ඒ ඉතින් උඹ හිතන විදියනෙ. අතුල ගැනත් ඔහොමනෙ හිතන් උන්නෙ. කෝ අන්තිමේ මොකද්ද උනේ? පැදුරටත් නොකියනෙ ගියේ”
“හිතන එක නෙවෙයි. මං දැකලා තියෙන දේනෙ අක්කෙ. අනික අතුලයි දරුවයි කියන්නෙ දෙන්නෙක්නෙ” කියා අම්මා එහෙම කියද්දී ලොකු අම්මා මඳ වේලාවකට නිහඬ වූ බව ඇත්තකි. ඒ උනාට ඔය නිහඬ බව වචන කුණාටුවකට පෙර එන නිහඬ බවක් විය හැකි බව නෙත්මලීට නොහිතුණා නොවේ. අනෙක් අතට නෙත්මලීටත් ඒ නිහඬකම ඇතුළේ මොකක්දෝ අමුතු දෙයක් දැනුණ බව ඇත්තකි. අම්මා තමන් වෙනුවෙන් එහෙම කතා කරනවා මීට කලින් ඇය අහලා තිබුණේ නැත. විශේෂයෙන්ම ලොකු අම්මලා ඉස්සරහා තමන්ට ඉස්සර අනන්ත අපහාස කර අම්මා අද ජීවිතෙ පලවෙනි වතාවට මෙහෙම කතා කරද්දී මේ වචන විස්වාස කර යුතුදැයි කියා නෙත්මලී විස්වාස කර බව ඇත්තකි.
“අනික අක්කෙ” අම්මා ආයෙමත් කියන්නට වූයේ අන්න ඒ අතරවාරයේය. “හැමදාම එයා කොහෙ යනවද, කාත් එක්ක යනවද කියලා අහ අහ හිටියොත් අපිට නැති වෙන දේවල් තියෙනවය කියන එකත් අමතක කරන්න නරකයි”
“මොනවද?”
“ළමයා අපිත් එක්ක කතා කරන එක.”
ඒ වචන ටික ඇහුණු පසු නෙත්මලී තවත් කිසිවක් අහන්නට උත්සාහ නොකල බව ඇත්තකි.කොට්ටය මත හිස තබාගෙනම ඇය සිවිලිම දිහා බලාගෙන උන්නේ අම්මා විසින් කියන්නට යෙදුණ වචන මතක් කරගෙනය අම්මා තමන්ව විශ්වාස කරන බව දැනගැනීම හිතට සැහැල්ලුවක් වූ බව ඇත්තකි. එහෙත් අනෙක් අතටම තමන් නලින්ද්‍ර වන් “තමන්ට නොගැලපෙනවායි” අම්මාගේ නිර්ණායක අනුව තිරණය වන මිනිසෙකු සමග සබඳතාවයක් අරඹා තිබීමම ඔය කැමැත්ත නැතිවෙන්න හේතුවක් විය හැකි බව නෙත්මලීට මතක් නොවුණා නොවේ.
නෙත්මලී කාමරයෙන් එළියට ආවේ ඕන්න ඔය සිතුවිලි කන්දරාව එක්කය.
පෙරදා රැයේ අද දවසට උයන්නට ඕන කරන ජාති ලක ලෑස්ති කර තිබෙන හන්දා උයන්න වැඩිය මහන්සිවෙන්නා හේතුවක් නැත. අනෙක් අතට ඉරිදාට අම්මා තමන්ට කොහොමත් වැඩිපුර නිදාගන්න දෙන හන්දා උදයේම ඇහැරෙන්න හේතුවක්ද නැත. ලොකු අම්මා උදේ පාන්දර ඇවිද කෑකොස්සන් ගසන්න හේතුවක් නොවුනා නම් තව නිදාගන්න, කොට්ටය බදාගෙන ඇඳට වී නිලේන්ද්‍ර ගැන කල්පනා කරන්න හේතු තිබුණද එසේ ඉන්න එකම ලොකු අම්මාගෙන් තව කතන්දර අහන්න හේතුවක් විය හැකි නිසාම නෙත්මලී කකුල් දෙකට පණ දී කුස්සිය දිහාවට ඇදෙන්නට විය.
“ආහ් මොකෝ දැන්ද නැගිට්ටේ? අම්මා කරන සුමේ හැටියට දැන් නැගිටලා හරියනවද ළමයො? හරි නං උදේ ඇහැරෙන්න එපාය. රස්සාවල් වලට යන ගෑනු නේද දැන්? ගෙදර වගකීං එහෙමත් ඒ හැටියට කරන්නෝන නේද?”
“ඉරිදානෙ ලොකු අම්මෙ” නෙත්මලී එහෙම කියාගෙනම කුස්සියට ආවෙ නතර වෙවී ලොකු අම්මා එක්ක කතා කරන්න ගියොත් තව කතන්දර දහක් අහගන්න වෙන විත්තිය දන්න හන්දාය.
“ඉරිදා කියලා ගෙදර වැඩ නැද්ද?” කියා ලොකු අම්මා කිව්වට නෙත්මලී කිසිවක් නොකියා ෆ්‍රිජ් එක ළඟට ගියාය. ෆ්‍රිජ් එකේ පෙට්ටිවල පෙරදා අසුරා තිබූ කැපූ එලවලු හෙම එලියට ගත්තාය.
“මොනවද කරන්නෙ?”
“අම්මා මහනවනෙ. මං දවල්ට උයන්නෙ”
“දවල්ට උයන්නෙ?”
“ඔව්.”
“එහෙනම් ඔය එළවලු දැන්ම කපලා ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නෙ මොකටද?”
“දවල්ට කපන්න වෙලාවක් නැති වෙයිනෙ.”
“අනේ මන්දා. එළවලු කපලා ෆ්‍රිජ් එකේ දාලා තියන්නෙ මොකටද? වේලෙනවනෙ හීතලට. නැත්තං රස නැති වෙනවා.”
“ටිශූ එකක් යටට අතුරලා පෙට්ටියක දාලා තියෙන්නෙ ලොකු අම්මෙ.”
“එහෙම දැම්මා කියලා හුලං වැදිල එළවලු වේලෙන්නෙ නැද්ද? අනේ මන්දන්නෙ නෑ ළමයො ඔය ළමයින්ගෙ මේ අලුත් සුකුරුත්තං. නිවාඩු දවසකටවත් බැරිද උදේට ඇහැරිලා පොඩ්ඩක් උයන්න කරන්න” කියා ලොකු අම්මා කිව්වාට නෙත්මලී ඒවට පෝර දාන්න ගියේ නැත්තේ ඔය කතන්දර ආය කොහෙන් ඉවර වේද කියා දන්නෙ නැති හන්දාය. ඒ උනාට ලොකු අම්මා නම් උන්නේ ඒ නිහඬබව පිළිගන්න අදහසක නොවේ.
“අනේ මන්දන්නෙ නෑ ඉතින්. ඔය ළමයි ඉතින් අපි කියන දෙයක් කණකට ගන්න අය නෙවෙයිනෙ. ඉගෙන ගත්තෙත් නෑ හරියකට. අන්තිමේ ඉතින් මොකද්ද බලන්න සිද්ද උනේ? නිකන් මේ අඩු පඩියකට ඔෆිස් වල කුරුටු ගාන්න යන්න වෙච්ච එකනෙ.
ඒකට බලන්නකො අපේ කසුනි. අපි කිව්වට එහයින් කිසි දෙයක් කරේ නෑනෙ. තාම එහෙමනෙ. අපි කිව්ව හන්දා සයන්ස් කරා. හුම් කිව්වෙ නෑ. කැම්පස් ගියා. දැන් තව අවුරුද්දකින් පාස් වෙලා ආවම රස්සාව අතේ නෙ. අනික සයන්ස් කරලා ආවම කොහොමත් ඕන තැනක සැලකීමක් තියෙනවනෙ. ඊටපස්සෙ හොඳ පඩියකට රස්සාවකට යන්න තියෙන්නෙ. ඔය ප්‍රයිවට් තැන්වල රස්සාවල් වගේද ළමයො රජයේ ඒවගෙ රස්සාවල්. ඔය ළමයිට ඒව තේරෙන්නෙ නෑනෙ.
අනික බලන්නකො ඔය වැඩ කරන වෙලාවල්. අද ඉරිදා කියලා ගෙදර ඉන්නවා. හෙට උදේ ඉඳන් ආය ඔෆිස්. සෙනසුරාදා ඉරිදා කියලා නිවාඩුවක් තියෙනවද කියලත් දන්නෙ නෑ. මේ අම්මා මට කිව්වෙ සමහර දවසට ශූට් ද අරවම මේවද කියල ඔය ලමයට ගෙයින් එලියට යන්න වෙනවා කියල.
ඔය ඒජන්සිවල අනික ඉන්නෙ හරියට පිරිමි නේද? මං අපේ කසුනිටත් කිව්වා නෙත්මලී නංගි මෙහෙම ඒජන්සියක වැඩට යනවා කියලා. අක්කා ඒත් ඇහුවා නංගි කොහොම ඕවයි ඉන්නවද දන්නෙ නෑ කියලා. ඔය ඒජන්සිවල පිරිමි හරියට බොනවා. බොන එක විතරක් නෙවෙයි අනිත් ජාතිත් ගන්නවා. ගෑනු ළමයින්ට යන්න හොඳ තැන් නෙවෙයි කියලත් ඒත් කිව්වා.
මං නිකන් කියනවා නෙවෙයි. මිනිස්සු කියන කතා තමයි ඔය. අපිට ඉතින් හොයලා බලන්න පුළුවනෑ. උඹලා ගියාම මොනවා වෙනවද කියලා අපි දන්නෙ නෑනෙ. ඔෆිස් එකේ ඉන්න මිනිස්සුත් එක්ක කොහොමද ආශ්‍රය කරන්නෙ, කවුද හොඳ, කවුද නරක කියලා දන්නෙත් නෑ.
අනික මේ වයසට ගියාම ළමයි හිතන්නෙ අපිට වඩා තමන් දන්නවා කියලනෙ. අපි කියන දෙයක් අහන්නෙ නෑ. පස්සෙ මොනවා හරි උනාම තමයි අම්මලා මතක් වෙන්නෙ. එතකොට ඉතින් පරක්කු වැඩියි.
මං මේ කියන්නෙ උඹේ හොඳට නංගි. නංගිගෙ දරුව මොකද මගෙ දරුව මොකද. නරකක් වෙනවා බලන් ඉන්න අපිට බෑනෙ. දැන්ම ටිකක් හිතලා බැලුවොත් හොඳයි. රස්සාවක් කියලා ඕන තැනක යන්න බෑ. ගෑනු ළමයෙක්නෙ”


