පසළොස්වක මල් – 35

0
227

තව දවසක්.. හමුවී..ඉමු මේ බවේ..

එක සැරයක් දුටුවත් .. ඇති දෑස් ඔබේ..

ඔබ වෙනුවෙන් හැඬුව තරම්.. කියන්න හීන් සැරේ

තව දවසක්.. හමුවී .. ඉමු මේ බවේ..

මඳ පවනේ .. මුසු කෙරුවේ

යළි නොවෙනා.. මතක අපේ

නිදි පැදුරේ.. ගෙවෙන පැයේ

සිහි කෙරුවා.. සුවඳ ඔබේ ජීවිතේ

පාළුයි මගේ..

ගීතයක් ගයමින්ම තෙත වරලස පිසළමින් නිදන කාමරයට පැමිණි මිහිදුමී කැඩපතින් පෙනෙන තම රුව දෙස බලා සෙමින් සෙමින් පැද්දෙන්නට වූවාය. 

තව දවසක්.. හමුවී.. ඉමු මේ බවේ

එක සැරයක්..දුටුවත්.. ඇති දෑස් ඔබේ..

ගීතයේ සිහිය මතම නැළවෙමින් සිටි ඈ හදිස්සියේ පොත් මේසය මත වූ ආගන්තුක කුඩා කඩදාසි බෑගයක් දැක වහා එය විවර කර බැලුවාය. dusty rose pink පැහැයෙන් එහි වූ තොල් ආලේපනය අතට ගත් ඈ විසල් කරගත් දෙනෙතින් ඒ දෙස මඳ වේලාවක් බලා සිටියාය.

” මං හොයපු කලර් එක . ඒත්.. මේක මගේ නෙමෙයිනේ. අලුත්ම එකක්. සීල් එකවත් කඩලා නෑ. සමහරවිට ආන්ටිගේ වෙන්නැති. “

තනිවම මුමුණමින් ඈ මහීකා වෙත යෑමට නිදන කාමරයෙන් පිටතට පැමිණියාය. නමුත් තරප්පු පෙළේ අත් වැටට බරව උන් රුව දැක හදවත සේම පූර්ණ සිරුරද විළියෙන් හැකිළුණි.

” සිංදුවක් කිව්වොත් මෙයා කොහෙන්හරි ඉන්නවනේ. ඇහුණද දන්නෑ.. “

තනිවම සිතමින් සෙමින් සෙමින් ඉදිරියට අඩි තැබූ ඈ ඉවත බලා උන් එකී කඩවසම් උවනේ රේඛා ගණනය කළාය. 

” කොහෙද යන්නෙ ?” 

” ආ.. මේ.. ආ.. ආන්ටිගේ ලිප්ස්ටික් එකක්ද කොහෙද වැරදිලා මගේ රූම් එකේ. “

අතැති තොල් ආලේපනය ඔහු වෙත පෙන්වමින් ඈ පැටළෙමින් පිළිතුරු දුන්නාය. 

” අම්මගේ ඒවා ඔයාගේ රූම් එකේ කොහෙද ?” 

ඔහුගේ පැනය අත් වැටට බරව තවමත් පහත මහල දෙස බලාය.

” ආ.. ඔව්. ඒක හරි. ඒත්.. මේක මගේ නෙමේ. “

තොල්පට මඳක් සැපීගියද තවත් තදින් අත් වැටට බර වූ ඔහු මොහොතකට නිහඬ වූයේය.

” තමන්ගේ රූම් එකේ තියෙන්න ඕනේ තමන්ගේ දේවල්. ඒක තේරුම් ගන්න බැරිද ?” 

” ඒ.. ඒක හරි. ඒත්.. මේක මගේ නෙමෙයිනේ. “

එවර පහතට හෙළා සිටි බැල්ම කෝපයෙන්ම ඈ වෙතට විතැන් විණි. 

” සමන් දෙයියනේ.. ! පුදුම රැවිල්ලක්නේ මේක. මං මොනා කරාටද මට ගිනි පිඹින්නේ ?” 

තනිවම සිතූ ඈ වහා එකී කෝපාවිශ්ට බැල්මෙන් මිදී ඉවත බලා ගත්තාය.

” කවුරුහරි දුන්නා කියලා හිතාගෙන තියාගන්න. එච්චරයි. “

වහෙන් ඔරෝ කතා කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව ළතැවෙන තරුණියගෙන් යළිත් දෑස ඉවතට ගත් ඔහු එසේ පැවසුවේය.

” ආ.. මේ.. මේක මටද ගෙනාවේ ? ඔයාද ගෙනාවේ ? ඔයාද මේක කාමරෙන් තිබ්බේ ? ඇයි ඉතිං හොරෙන් තිබ්බේ ? මට කෙලින්ම දුන්නානං ඉවරනේ ?” 

මුව පුරා පළල් කර ගත් සිනහවෙන් ඈ ප්‍රශ්න රාශියක් ඔහුගෙන් විමසුවාය. එතෙක් අත් වැටට බරව උන් ඔහු කෙලින් වූ සෘජු කයෙන් නිහඬවම හැරී තම නිදන කාමරයට අඩි තැබුවේය. නමුත් තව දුරටත් ප්‍රශ්න විචාරය අවසන් නොකරගත් ඈ ඔහු මුවින්ම පිළිතුරු දැන ගැනීමේ රිසියෙන් ඔහු පසුපසින් නිදන කාමරය තුළට වැදුණාය.

” අනේ.. කියන්නකෝ..! මේක මටද ගෙනාවේ ?” 

” ඒ නිසානේ ඔයාගේ කාමරෙන් තිබ්බේ ?” 

බේරුමක් නොමැති තැන ඔහු යළිත් ඉවත බලා පිළිතුරක් වෙනුවට පැනයක්ම තැබුවේය.

” මේ.. මේක කොහෙන්ද ගත්තේ ? මං මෙහෙ ශොප්ස් කීපෙකින්ම බැලුවා. හොයාගන්න තිබ්බේ නෑනේ. ? එක තැනක මේ කලර් එක තිබ්බට මේ බ්‍රෑන්ඩ් එක තිබ්බේ නෑ. තව තැනක බ්‍රෑන්ඩ් එක තිබ්බට මේ කලර් එක තිබ්බේ නෑ. ඊට පස්සේ තමයි මාමාට ගේන්න කිව්වේ. එයාත් රට පටළවගෙනනේ. ඉල්ලපු එක වෙනුවට වෙන තුනක්නේ ගෙනාවේ. මං හිතන් හිටියේ ඔන් ලයින් ඕඩර් කරන්න. ඔයා මේක මේ ලඟ පාතින්ද ගත්තේ ? අනේ මට මේක ගත්තු ශොප් එක කියන්නකෝ. එතන තව හොයාගන්න බැරි දේවල් තියනවද දන්නෑ. “

” මං.. මං නෙමෙයි ඕක ගත්තේ “

” එහෙනං ?” 

ඉවත බලා උන් උස් සිරුරැතියාගේ මුව ඉදිරියටම ආ ඇය එකී උවන දෙස එක එල්ලේ බලා සිටි අතර ඔහුට කිසිසේත්ම ඇගේ බැල්මෙන් ගැලවී යා නොහැකි විය.

” ඔෆිස් එකේ වැඩ කරන ගර්ල් කෙනෙක්ට කියලා ගෙන්න ගත්තේ. “

” ආ.. එහෙමද ? එයාට මතකද දන්නෑ ගත්තු තැන. ?” 

” නැතුව ඇති. ඕක අරන් දැන් දවස් දහයකටත් වැඩියි. “

” ආ.. එච්චරකල්ද ? ඉතිං මෙච්චර දවස් තියාගෙන හිටියේ දෙන්නැතුව ?” 

නැවත වතාවක් කෝපයෙන් පිරි උවන මත ‍යටි තොල්පට සැපී ගියේය.

” ගිය දවස් ටිකේ හිටපු හැටි මතක ඇතිනේ. ? ඉතිං ඕවා කොහෙ දෙන්නද ?” 

” මේ බ්‍රෑන්ඩ් එක ටිකක් ගණන්. ඔයාට මේකට කීයක් ගියාද ? “

ඈට ඔහුගේ ඇනුම්පද පිළිබඳව හැඟීමක් නොවුණු අතර මුළු හදවතම තොල් ආලේපනය ලැබීමේ චිත්තඃප්‍රීතියෙන් පිනා ගොස් තිබුණි.

” ප්‍රශ්න නාහා දෙන දෙයක් ගන්නේ මාමා දුන්නොත් විතරද ?” 

ඇගේ ප්‍රශ්නාවලියෙන් හෙම්බත්ව සිටි ඔහුගේ එකම පැනය හමුවේ ඈ නැවත වාරයක් තිගැස්සී ගියාය. 

” එ.. එහෙම එකක් නෑ.. “

තව දුරටත් ඈ වෙතට බැල්මක් නොහෙළූ ඔහු මේසය මත වූ ජංගම දුරකතනයත් , ලිපි ගොනුවකුත් , මෝටර් රථයේ යතුරත් අතට ගත්තේය.

” ඔයා ඔය යන්නද ?” 

” හ්ම්ම්.. “

” සමන් දෙයියන්ගේ පිහිටයි ..!” 

යන්නං හෝ ගිහින් එන්නං වැනි කිසිදු සමුගැනීමක් පිට නොවූ ඔහු දෙස බලා ඈ අනවසරයෙන්ම එසේ පැවසූ අතර නිහඬ බැල්මක් ඈ වෙත හෙළූ ඔහු තරප්පු බැසීමට පටන් ගත්තේය. පළමුව මුළුතැන්ගෙය දෙසට ඇවිද ගොස් නැවත මහීකාගේ නිදන කාමරය දෙසට ගොස් නිවසින් පිටතට යන ඔහු දෙස බලමින් ඈ ද සීරුවට තරප්පු පෙළ බැස ආලින්දයේ ප්‍රධාන ද්වාරය අසලට ඇවිද ගියාය. නිවසේ සිටිනා සමයේ කුඩා කළ පුරුද්දට අදද භරණ කොහේ හෝ පිටව යන විට ගෙමිදුලට දුව ගොස් මෝටර් රථය නොපෙනී යන තෙක්ම අත වනමින් සිටින තමාවම මතකයට නැඟි ඇගේ දෙතොලට සිහින් සිනහවක් මෝදු විය. ආලින්දයේ ද්වාරයෙන් පිටතට බට ඈ විසල් වැරැන්ඩාවේ සිමෙන්ති කණුවකට අත තබා මෝටර් රථය වෙත ඇවිද යන ඔහු දෙස නිහඬවම බලා සිටියාය. නුහුරු නුපුරුදු හැඟීමකින් හදවත පෙළද්දී රථයේ ද්වාරය හැරීමට පෙර හිස ඔසවා නිවස දෙස බැලූ නිශ්ශබ්දකාරයා තමා දෙස බලා උන් ඈ දැක හදවතින් මෝදු වන සියුම් සතුටක ස්වරය වින්ඳේය. 

දෑස් අගින් සමුගැනීමක සටහනක් මතු වද්දී ස්වයංක්‍රීයව ඇරුණු ගේට්ටුවෙන් පිටතට බට මෝටර් රථයේ හඬ නෑසෙන තෙක්ම වැරැන්ඩාවේ උන් තරුණිය සැනසුම් සුසුමක් හෙළා යළි නිවසට පා තැබුවාය. 

” හෙලෝ..!” 

” අනේ.. අක්කේ සොරි. මං පහල හිටියේ. ඔයා කෝල් දෙකක්ම අරන්  “

මඟ හැරුණු සුභාවීගේ ඇමතුම් ද්විත්වයක් සටහන් වූ ජංගම දුරකතනය අතට ගත් ඈ වහා පෙරළා ඇයට ඇමතුමක් ලබා ගත්තාය. 

” මං හිතුවා ඒත් ඔයා නිදිද දන්නෑ කියලා. ?” 

” අනේ නෑ අක්කේ. මං ඔයාට කෝල් එකක් දෙන්න හිටියේ. අපි අක්කාගේ ඩොකියුමන්ට් එක ගන්න යන්න ඕනේ නේද ?” 

” ඔව් මං ඒකට තමයි නංගි කතා කළේ නංගි. අදනේ අපිට එන්න කිව්වේ. “

” අක්කට එන්න ලේසි කීයට වගේද ? මට අද එකොළහට ලෙක්චර් එකක්. දොළහා වෙනකන් . ආයේ තියෙන්නේ දෙකට. “

” එහෙනං අපි ඒ වෙලාවේ යමුද නංගි ? මොකද උදේ වරුවේ මං දුවගේ ස්කූල් එකට ටිකක් යන්න ඕනේ. “

” හා. එහෙනං අක්කා ඒ වැඩ ටික කරගන්න. මං  දොළහට විතර අක්කට කෝල් එකක් දෙන්නං.” 

” හොඳයි පැටියෝ. . එහෙනං එහෙම කරමු . ආ.. මේ මං අහන්න හිටියේ. කොහොමද පාටි එක ?” 

” ම්ම්.. ශෝක්..”

” ආවු.. ආවු.. වොයිස් එකෙන්ම කෙල්ලගේ හිතේ සතුට දැනෙනවා ඈ.. හරියට නිකන් මෙයා මනමාලි වගේ. මල්ලි විතරයි නේද මැරි කළේ ? අයියා නෙමෙයි නේ? “

” අනේ.. අක්කේ..” 

විසල් වූ ප්‍රීතිමත් සිනහව මිහිදුමීගේ පසෙකින් පමණක් නොව සුභාවීගේ පසෙකින්ද නැඟී එන විට තරුණිය තව තවත් ලැජ්ජාශීලී සතුටුදායක හැඟීම් සමුදායකින් පිරී ගියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here