චාමිකගේ යතුරු පැදිය සුඛෝපබෝගී මෝටර් රියේ ගැටුණේ චාමිකගේ මුලු ජීවිතේම අඳුරකට ඇදලා දාලා. යතුරු පැදිය ආයෙම භාවිතයට ගන්න බැරි තරමටම කුඩු පට්ටම් වෙලා තිබුණා. චාමිකගේ දෙපා දණහිසෙන් පහල අස්ති කොටස් කිහිපයකටම වෙන් වෙන විදියට කැබලි වෙලා තිබුණා. ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිඝනකය ගැණ බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මට්ටමක් තිබුණේ නැහැ. ජංගම දුරකතනය සහ පරිඝනකය ගැන එතරම් විශේෂයෙන් කිව්වේ එහි වටිනාකම යතුරු පැදියේ වටිනාකමට ඉහල මට්ටමේ වුන නිසා. යතුරු පැදියට වගේම ජංගම දුරකතනයටත් වාරික ගෙවමින් තිබුණේ. රැකියාව සහ ඔහු කරමින් උන්න අනෙක් අන්තර්ජාලය හා අදාල ව්‍යාපාර නිසා ඔහු එම වාරික පිළිවෙලට ගෙවමින් අනෙක් කටයුතු සැළසුම් කරගනිමින් උන්න කාලයක් තමයි ගෙවෙමින් තිබුණෙ.
ඒත්, හීනෙකින්වත් නොහිතපු විදියට සිදුවුණ අනතුර නිසා චාමිකගේ ජීවිතේ නතර වුනා. මාස තුනකට පස්සේ රැකියාවෙන් ඉවත් වෙන්න සිදු වුනා. ඒ වෙනුවෙන් සාධනීය මුදලක් ලැබුනත්, ඒකෙන් චාමිකගේ ජීවිතේ තිබුණ ගැටලු වලට විසඳුම් හොයාගන්න පුලුවන් වුනේ නැහැ. ඇඳෙන් නැගිටලා තනියෙන් වැඩක් කරගන්න එකත් අපහසු වෙද්දී චාමිකට ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වුනේ නැහැ.
“ ඒ වාහනේ ඩ්‍රයිව් කලේ කෙල්ලෙක් අයියේ … මුන් ඩ්‍රයිවර් මාරු කරා…”
අන්තිමේදී චාමිකව රිය අනතුරට ලක් කල වරදට පොලිසියට භාර වුන රියැදුරාව දැක්කට පස්සේ චාමික එහෙම කිව්වතෙ ඒ බව ඔප්පු කරගන්න සාක්කි තිබුණේ නැහැ. රියැදුරා චාමිකට වන්දි ලබා දෙන්න එකඟ වුනා. පොලිසියෙන් චාමිකලාට කිව්වේ යම් කතාබහක් එක්ක මේ ගැටලුව විසඳගන්න සූදානම් නම් ඒ වෙනුවෙන් ඉඩ හදලා දෙන්න පුලුවන් කියලා.
අන්තිමේදි චාමික ඒ රියැදුරාව අත් හැරියේ, ඔහු සැබැවින්ම වරදකාරයා නොවන බව දැනගෙන උන්න නිසා.
චාමිකගේ අයියා, නෑණා, අම්මා , තාත්තා චාමිකගේ ජීවිතේ බර වෙනුවෙන් කර තිව්වා. හැමෝගෙම බලාපොරොත්තුව වුනේ චාමික දෙපයින් සිටුවා ගැනීම. මාස අටක් විතර ගෙවෙනකොට චාමිකගේ දෙපාවල තුවාල සුවපත් වුනා. ඔහුව භෞත චිකිත්සක ප්‍රතිකාර වෙනුවෙන් යොමු කරන්න නිර්දේශ කෙරුණා.
“ පුතා නුගේගොඩ නේද ?..”
“ ඔව් ඩොක්ටර් ..”
“ නුගේගොඩ තියෙනවා මයි කෙයාර් කියලා ෆිසියොතෙරපි සෙන්ටර් එකක් ..හොයාගන්න අමාරු නෑ … පාරට පේනවා අතන ෆ්ලයි ඕවර් එකට මෙහයින් … එතන ඉන්න ඩොක්ටර් හරිම සක්සස්.. ඔයාට ට්‍රැවලින් වුනත් ලේසියි .. මම ලෙටර් එකක් දෙන්නම් … එතනින් ට්‍රීට්මන්ට් කරගන්න …. “
“ ඒත් .. මෙවෙලේ ලොකු මුදලක් වැය කරන්න නම් අමාරුයි ඩොක්ටර් .. අයියයි අක්කයි තමා මෙච්චර කල් හැමදේම බලගත්තේ ..”
“ පුතා එතනට යන්න .. වියදම් ගැන කරදර වෙන්න එපා … මම කියන්නම් … ඒ ඩොක්ටර් පහසු විදියක් හදල දේවි …”
“ ඒත් ඩොක්ටර් ?..”
“ දරුවෝ .. මම මේ රස්සාව කරන්නේ මුදල් උපයන්නම නෙවෙයි …. යන්න .. එතනින් වැඩේ කෙරේවි ..”
වෛද්‍යවරයාගේ නිර්දේශය සහ විශ්වාසය එක්කල ඊට දවස් දෙකකට පස්සේ චාමික අයියත් එක්ක ඒ භෞත චිකිත්සක ආයතනය වෙත ගියා.
“ ඒ අයියේ . අර කෙල්ලද ඕයි ඩොක්ටර් ..”
තමන් එක්ක හිනාවෙමින් ආයතනය ඇතුලට ගිය යුවතිය ගිය දිහාව බලාගෙනම චාමික ඇහුවා
“ මටත් පේන්නේ ඒ වගේ … බලමු ..”
“ අනේ ඕයි මේ . මෙන්න මෙහෙ යං … පිස්සුද බං මේ පොඩි කෙල්ලන්ව ට්‍රස්ට් කරගෙන මෙච්චර අවධානමක් ගන්නේ…ඩොක්ටර් සමරනායකටත් පිස්සු .. අඩෝ මෙච්චර අමාරුවෙන් තුවාල සනීප කරගෙන කකුල් හයිය කරගත්තේ .. මේ කෙල්ල මොක කරාවිද කවුද දන්නේ ?..”
“ කෑ නොගහ ඉන්නවකෝ … ඩොක්ටර් රෙකමන්ඩ් කරන්නේ නෑනේ නොයුතු තැණක් නම් …”
අයියා එහෙම කිව්වත්, චාමික තීරණයක් අරගෙන තිබුනේ. තරුණ වෛද්‍යවරිය සිනාමුසු මුහුනින් දෙන්නා දිහාවට ආවා. චාමිකගේ දෙපා පරික්ෂා කලා. පරීක්ෂණ කිහිපයක්ම කලා.
“ ඉක්මනටම සනීප කරන්නම් මම.. මට ඩොක්ටර් සමරනායක ඔක්කොම විස්තර කිව්වා… ඩේ බයි ඩේ එන්න පුලුවන් නේ….”
වෛද්‍යවරිය එහෙම අහනකොට චාමිකගේ තීරණ දිය වෙලා ගියා. අයියා මුවින් සිනහ නොවී බලාගෙන උන්නේ හරිම අමාරුවෙන්.
“ උඹ තමා දවසකට හරි මිනිහා ..”
අයියා ගෙදර ගියාට පස්සෙත් චාමිකව කෝප ගන්වන එක නැවැත්තුවේ නැහැ.
දවස, සතිය ගානේ ගෙවුණා. මාස හතරක් ගියා. චාමික තනියෙන් ඇවිදින්න ගත්තා. වෛද්‍යවරිය ඒ දිහාව බලාගෙන උන්නෙ පුදුමාකාර සැනසීමකින් බව චාමිකට වගේම අයියාටත් වැටහුණත් ඒ සැනසීමට හේතුවක් වටහා ගන්න දෙන්නාටම පුලුවන් වුනේ නැහැ.
“ එහෙනම් … ඔන්න දැන් පරෙස්සම් වෙන්න … බයික් පදින්නේ නැතිව කාර් එකක් ගන්න බලන්න ..”
වෛද්‍යවරිය එහෙම කියනකොට ඒ ඇස් වල අමුතු කාන්තියක් තිබුණ බව චාමිකට හිතුණා. ඒත් චාමික ඒ කාන්තිය කියවගන්න උත්සාහ කලේ නැහැ.
“ මට ඔයාව ටිකක් හමුවෙන්න ඕනි ….”
සති තුනකින් චාමිකගේ ජංගම දුරකතනයට වෛද්‍යවරියගෙන් කෙටි පණිවිඩයක් තිබුණා. චාමික ඒ වෙද්දී රැකියාවට යන්න සූදානම් වෙමින් හිටියේ. කලින් සේවය කල ආයතනය චාමික වෙනුවෙන් රැකියා අවස්තාවක් සකස් කරලා තිබුණේ.
චාමික හවස ඇයට මුණ ගැහෙන්න එන්න තැනක් කිව්වා.
“ මට සමාවෙන්න දෙයියනේ.. මට නින්ද යන්නේ නෑ.. මට සැනසීමෙන් ඉන්න බෑ .. මට මේ හැම බරකින්ම නිදහස් වෙන්නොනා…”
එකපාරටම තමන්ව කිටි කිටියේ වැළැඳගෙන හඬා වැටෙන යුවතියට දෙන්න පිළිතුරක් චාමිකට තිබුනේ නැහැ. අවට ඉන්න අය තමන් කෙරෙහි විශේෂ අවධානයක් නොදෙන බව සීරුවෙන් වටහා ගත්ත චාමික යුවතියව තමන් කෙරෙන් ඈත් කරා. ඇයට හිඳගන්න සැලැස්වුවා.
‘ මට තේරෙන්නේ නෑ ඩොක්ටර් මොකක්ද කියන්නේ කියලා…?..”
“ මට සමාව දෙනවාද ඔයා ?..”
“ ඒ මොකටද ?….”
“ මාව පොලිසියට අල්ලලා දෙනවාද ?..”
“ ඩොක්ටර් ?..”
“ එදයින් පස්සේ මේ වෙනකල් මම වාහනයක් ඩ්‍රයිව් කලේ නෑ ..”
චාමිකට සැනින් හැමදේම වැටහුණා. සියල්ල සැළසුම් බව තහවුරු කරගත්තා. ඔහුගෙන් ඇයට ලැබුනේ පිළිකුල් සහගත බැල්මක්. ඇයව එතන තනි කරලා ඔහු නැගිට්ටා.
“ ආයේම මට කතා කරන්නේපා.. මට තමුනුයි, ඩොක්ටර් සමරනායකයි පිනට කරපු හැම ට්‍රීට්මන්ට් එකකටම මම වැළියු එක ගෙවන්නම් ..”
යුවතිය යමක් පහදන්න උත්සාහ කලත්, චාමික එතැනින් නික්මෙන්න ඉක්මන් අඩි වලින් ඇවිදගෙන ගියා.
ඒත් යන්න පුලුවන් වුනේ අඩි කිහිපයයි. මහ හඬින් යමක් පෙරලෙන හඬක් ඇහුණා. ඇය අසුනෙන් බිමට වැටිලා උන්නේ. කිහිප දෙනෙක් ඇය දිහාවට දිව යමින් උන්නා. චාමිකට මඟ හරින්න හිතක් තිබුනේ නැහැ.
.
.
.
“ ඔයා වාහනේ ගන්න ඕනි . හෙමින් හිතේ බය නැති කරගමු .. මම ඉන්නවනේ… වැරදි වෙනවා මිනිස්සුන්ට .. එව්වා හදාගන්න ඕනි … ඔයා අතින් ආයේ ඇක්සිඩන්ට් එකක් වෙන්න පුලුවන් .. එහෙම වුන වෙලාවක මොකක්ද කරන්න ඕනි කියලා ඔයා දැන් දන්නවා… හැබැයි .. මම ඉන්නවා…. ආයේ එහෙම වෙන්න දෙන්නේ නෑ … .”
අවුරුදු තුනකට පස්සේ, සීතල බණ්ඩාරවෙල පාරක් දිගේ චාමික එක්ක ඇය යමින් උන්නා.











