පසළොස්වක මල් – 42

0
547

විජේසිංහ නිවසින් වේගයෙන් ඈතට ගිය මෝටර් රථය නිදහස් අවකාශයක මාර්ගයේ පසෙකට කොට නතර වූයේය. ඇහිපිල්ලක් හෝ සෙළවීමට අමතකව බලා ගත් අත බලා හිඳින මිහිදුමී දෙස හැරී බැලූ භරණ තව දුරටත් හදවතින් ගලා එන වේදනාව දරා ගත නොහැකිව පැළඳ සිටි ආසන පටිය ගලවා දමා ඈ වෙතට හැරුණේය..

” දුමී..!” 

හදවත ඇවිළෙන්නේ පුරුෂ ශක්තියට වළකා ගත නොහැකි අන්දමටය. වසර කිහිපයකට පෙර අහේතුකව මිලින වී ගිය මින්දුලාගේ උවන මිහිදුමීගේ උවන අතරින් මැවී පෙනෙද්දී භරණ සුරත ළැම මත තද කර ගත්තේය. ඉදින් වෙව්ලමින් ඔහු ඇගේ හිස මත තම අත තැබුවේය.

” දුමී..! කවුරුත් නෑ.. මෙතන ඉන්නේ මං විතරයි. ඔයාට මට කියන්න බැරි දෙයක් තියෙන්න බෑ මගේ වස්තුවේ.. ! කියන්න.. මාමාට කියන්න.. මොකද්ද ප්‍රශ්නේ..?”

සෙමින් හැරී බැලූ ඈ තමා පැළඳ උන් ආසන පටිය ගලවා දමා කිසිවක්ම නොදොඩා ඔහුගේ පුළුල් ළය මතට තුරුළු වූවාය. තම ළැම මැදට දැනෙන ඇගේ හෘදස්පන්දනයේ අධි වේගය සෙමින් සෙමින් දරා ගත් ඔහු තව දුරටත් ප්‍රශ්න නොකරම ඇගේ හිස පිරිමැද්දේය. දිගු මිනිත්තු කිහිපයක්ම මෝටර් රථය තුළ නිහඬව ගලා යද්දී හදවත ඇතුළාන්තයෙන් ඈ විසල් ලෙසකින් බිඳී ඇති බැව් ඔහු තේරුම් ගනිමින් සිටියේය.

” මාමේ.. ! මං.. මං… එයාට ආදරෙයි..!” 

හිස මත අකුණක් පුපුරවා ගිය අන්දමට දැඩි රිදුමක් දැනෙද්දී සුක්කානමට තද වූ අතෙහි මාංශ පේශී තද වී ගියේය. 

” අයියේ..! මං එයාට ආදරෙයි..!” 

ඉදින් වසර ගණනකට පෙර මේ ආකාරයටම ළැම මතට තුරුළු වූ තවත් එකියක් තම ප්‍රථම ප්‍රේමය ගැන ඔහුට දැන්වූයේ ඒ ලෙසටය. නමුදු එදා මේ තරම් තත්වය භයානක වූයේ නැත. ඇගේ දෑසින් කඳුළු බිඳුවක් වැටුණේ නැත. මුව පුරා පැතිර තිබුණේ ලැජ්ජාව මුසු මල් සිනහවකි. එදා කෝලයෙන් , සිනහවෙන් තම ප්‍රේමය ගැන සැල කළ තරුණිය ඒ ආසන්න දිනක සියල්ල අත හැර නික්ම ගොස් සිටියාය. භරණගේ හදවත තුළ වූ වේදනාව මහා බියකට පෙරළෙමින් තිබුණේය. එදා සිනා මුසු මුහුණින් තම ප්‍රේමය ගැන පැවසූ ඈ යළි නොඑන ගමනකට ගිය අතර අද තමා ඉදිරියේ වැළපෙනා තරුණියගේ ගමන ඊට වඩා බොහෝ රෞද්‍ර වනු ඇතැයි ඔහුගේ හදවතේ සිටියාවූ විලම්භීතකාරයෙකු බියෙන් පුපුරමින් කෑ ගැසුවේය. වේගයෙන් ඇසිපිය සළා යළි පියවි සිහියට ආ භරණ වහා මිහිදුමීගේ නිකටින් අල්ලා තමා දෙසට ඔසවා ගත්තේය.

” ඕනෙද ..? ආ.. ? කියනව මිනිහාව ඕනෙද ? නම විතරක් කියනව දුමී.. කොයි ලෝකෙන් හරි ගෙනත් දෙන්නං. බය වෙන්නෙපා. මං ඉන්නවා. මේ මාමා ඉන්නවා.. තේරුණා නේද ? මොකද්ද ප්‍රශ්නේ ? ඌට වෙන කෙල්ලෙක් ඉන්නවද ? මොන .. මොන දේ උනත් කමක් නෑ . ඔයා කැමති නම් කියනවා දුමී. මං මොන දේ කරල හරි ගෙනත් දෙන්නං. කලබල නොකර ඉන්නවා.”

භරණගේ කලබලකාරී ස්වරූපයටම මඳ විමතියක් දැනුණු මිහිදුමී ඔහුගෙන් මිදී හිඳ උන් අසුනට හිස බර කර ගත්තාය.

” එහෙම දෙයක් නෙමෙයි. “

” එහෙනං .. ? එහෙනං මොකද්ද ප්‍රශ්නේ ? මුලින්ම කියනවා. කවුද කොල්ලා.. ?  දුමී .. ඔක්කොටම කලින් මට ඒක කියනව.. “

” අ.. අස්නක අයියා..!” 

නැත. කලබලයක් නැත. හදවත මඳ පමණකට සැනසුණේය. ඒ අස්නක පිළිබඳව ඇති යහපත් චින්තනය නිසාය. 

” හරි.. හරි.. දැන් මොකද්ද ප්‍රශ්නේ..? ” 

නැවත වතාවක් කඳුළු පිරුණු දෙනෙතින් ඔහු දෙස බැලූ ඈ සෙමින් සෙමින් වචන ඇහිළීමට පටන් ගත්තාය.

මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී ගොස් කාලය බොහො සෙයින් පියඹා ගියේය. තද කර ගත් තොල්පටින් යක්ෂාවේශ වූ භරණ මිට මොළවා සුක්කානමට පහරක් ගැසුවේය. ඉන් පසු රක්ත වර්ණ දෑසින් ඈ දෙසට හැරුණේය.

” අනේ.. මාමේ බනින්න එපා..!” 

” බනින්න..? බනින්න නෙමෙයි මට උඹව උස්සලා පොළොව ගහන්න හිතෙනවා.. “

තව දුරටත් ඔහු මත දෑස රඳවා ගෙන සිටීමට නොහැකි වූ කඳුළු සළමින්ම හිස බිමට බර කර ගත්තාය.

” මට අස්නක කසාද බැඳපු එක ප්‍රශ්නයක් නෙමෙයි දුමී.. ඒකා දරුවො ඉන්න තාත්තෙක් උනත් මට ඒක ප්‍රශ්නයක් නෑ. ඌ බැඳපු එකී සිංදුමී වෙච්ච එක මට අදාලම නෑ. මොකද මට සිංදුමී කියන චරිතෙම අදාල නෑ. මට තියන ප්‍රශ්නේ තමුන් මුල ඉඳන්ම .., මුල ඉඳන්ම මාව රවට්ටපු එක. තමුන් ජපුර තෝරගත්තෙත් ඕකට. මුල ඉඳලම කරලා තියෙන්නේ මාව රවට්‍ටපු එක. මහ ලොකු අක්කා.. අනේ .. මේ.. මගෙන් කුණුහරප අහගන්න එපා දුමී. අක්කට සාධාරණේ කරන්න. ? උඹ ඇයි මහ ලොකු මහ ඒජන්තද මැරිලා පස් වෙලා ගිය උන්ට සාධාරණේ කරන්න යන්න ? ඉන්නකාන් උඹ පොඩි එකියක් කියලාවත් බලන්නෙ නැතුව තමුසෙගේ හැමදේම ඒකි නෙමෙයිද උදුර ගත්තේ ?  ජීවත් වෙලා ඉන්නකන් එක දවසක් එක දවසක් තමුසෙට ආදරෙන් නංගි විදිහට ඒකි සලකලා තිබ්බද ?  ඔව් කියන්නෙපා දුමී.. මං ඔය කතන්දර ඔක්කොම දන්නවා. තමුන්ගේ තාත්තා ඇක්සිඩන්ට් එකක් උනේ තමුන්ගේ උපන්දිනේට තෑග්ගක් ගන්න ගිහින් කියලා නෑයෝ අතරේ කියවලා තමුන්ව මූසලියක් කරේ ඒකී.. අර තේජ් කියලා තියන කතාව හරියටම හරි. ඒකි අස්නකට කරලා තියෙන්නෙත් බලන් ගියාම උගේ ජීවිතේ විනාස කරපු එක. 

මූණ දිහා බලනවා දුමී.. මූණ දිහා බලනවා.. ඉස්කෝලේ යන කාලේ ඒකිගේ සපත්තු දෙකේ , ගවුමේ ඉඳන් හේදුවේ තමුන් නේද ?  අවුරුදු දහයක පොඩි කෙල්ලෙක්ට කියලා හිතන්නැතුව ඒකි තමන්ගේ වැඩ ටික ඔක්කොම කර ගත්‍තා නේද ?  කවදාවත් ආදරෙන් කතා කරලා නැති නිසා තමුසේ ගෙදර නොඉඳ ගමේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ එක්ක ගස් ගල් ගානේ සෙල්ලං කරන්න ගියා නේද ? අන්තිමට ඒවටත් දවස ගාණෙ අම්මගෙන් ගුටි කෑවා නේද ? මතක නෑ කියලා කිව්වත් එහෙම උනේ නෑ කියලා කියන්නෙපා දුමී.. මං ඔය හතර කොනම හොඳට හොයලා බලලා තමයි තමුසෙව අපෙ ගෙදර එක්කන් ගියේ. “

” බනින්නෑ බනින්නෑ කියලා ඔයා ඔය මට බනිනවනේ මාමේ..” 

” නෑ.. නෑ.. මං තමුසෙට බනින්නෑ. මට මේකට අල්ලගන්න වෙන කෙනෙක් ඉන්නවා. ගන්නවා කෝල් එකක්. ගන්නවා කෝල් එකක් සුභාවිට. කොයි ලෝකේ හිටියත් අපි දැන් යනවා එයාව මීට් වෙන්න. කෝල් එකක් අරන් අහනවා කොහෙද ඉන්නේ කියලා. “

” අ.. අනේ මාමේ.. එපා.. සු.. සුභාවි අක්කා මේ මුකුත් දන්නෑ. එ.. එයා මං කියපු නිසයි මේ ඔක්කොම කළේ.. “

” අනේ එයා බබානේ.. ? උඹ කියන කියන විදිහට නටන්න ? මං කටින් කුණුහරපයක්වත් පිට නොකර ඉන්නේ හරි අමාරුවෙන් දුමී. මගෙන් කුණුහරප අහ ගන්නැතුව සුභාවිට කෝල් එකක් ගන්නවා. නැත්තන් මං මේ ඔක්කොම අම්මාට කතා කරලා කියනවා. අම්මාට විතරක් නෙමෙයි අස්නකටත්.. “

“අනේ.. මාමේ එපා.. අනේ එපා.. !” 

” එහෙනං ගන්නවා කෝල් එකක්. “

ගැලවීමක් නොමැතිම තැන ඈ වෙව්ලමින් සුභාවිට ඇමතුමක් ලබා ගත්තාය.

” හෙලෝ..!” 

” සුභාවි අක්කේ.. ! ඔයා කොහෙද ඉන්නේ ?” 

” මං අම්මවයි දුවවයි ක්ලාස් එකට දාලා දැන් ගෙදර ආවේ නංගි. මේ සුප් එකක් හදනවා. මං මේකත් හදාගෙන තව පැය භාගයක් වගේ යද්දි ඔයාව බලන්න එන්නං. “

” අ.. අක්කේ.. මං එළියට ආවා. ඔ.. ඔයාලගෙ ගෙදර දැන් කවුරුවත් නැද්ද වෙන ?” 

” වෙන කවුරුත් නෑ නංගි. ඇයි ?” 

ඈ හිස හරවා හරණ දෙස බැලූ අතර ඔහු තව දුරටත් කතා කරන ලෙස කෝපාවිශ්ට දෑසින් ඉඟි කළේය.

” මේ.. මං ඔහෙ එන්නං අක්කේ “

” දැන් ? ඔයා අසනීපෙන්නේ නංගි ඉන්නේ ?” 

” නෑ.. අක්කේ.. මං කොහොමත් දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මං එන්නම්. “

” හා.. හා.. එහෙනං එන්නකෝ. මං මේක හදන්නම් එතකන්. “

දුරකතන ඇමතුම විසන්ධි කළ ඈ නැවත බියෙන් භිරාන්තවී හරණ දෙස බැලුවාය.

” පාර කියනවා. “

ඔහු එසේ පවසමින් මෝටර් රථය පණ ගන්වා ගත්තේය.

” අනේ.. මාමේ.. !” 

නැවත වතාවක් ඈ පින්සෙණ්ඩු වූවාය.

” අස්නකටත් කතා කරලා සුභාවිගේ ගෙදරටත් එන්න කියන්නද ? ඌත් දැනගන්න එපැයි බූරුවෙක් වගේ කසාද සහතිකයකට අත්සන් කරන්න කලින් මොළේ කල්පනා කරන්න. “

” අනේ එපා.. “

” එහෙනං පාර කියනවා. “

නැවත වතාවක් භරණ මෝටර් රථය තුළ ගිගිරුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here