“බොරු කියලා මිනිස්සුන්ගෙ නම සවුත්තු කරන්න ලැජ්ජ නැද්ද ඕයි?” කියාගෙන කවීන් වික්‍රමසිංහ ඇඟට කඩං පනිද්දි තමයි ආකර්ශා හරියටම දැක්කෙ සත්ත්වයා කවුද කියලා. අඩි හයක් විතර උස, මේ කණ්ණාඩි පොළඟා තමයි තමන්ගෙ මහගෙදර සින්නක්කරේටම ගන්න යන්නෙ කියලා තේරුණයින් පස්සෙ නම් හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න ශොට් එකක් දෙන්න තිබ්බ නම් හොඳයි කියලා හිතුණට මොකෝ තමන් අඩි පහක්වත් උස නැති හන්දා ඒක කරන්න පුලුවන්කමක් නැති විත්තිය තේරුනයින් කෙල්ලට සිද්ද උනා කට වහගෙන බලාගෙන ඉන්න.
දොරත් වහගෙන ලොක්කා, තමන් හන්දා ප්‍රෙග්නන්ට් වෙච්ච කෙල්ල එක්ක ඇරගන්නවා බලාගෙන උන්න ශෙහාරයි මලිතියි දෙන්නා රිසෙප්ශන් එකට වෙලා කතා කර කර උන්නෙ දෙන්නට බොන්න එකම ජාතියේ කෝප්ප දෙකක තේ අරගෙන යනවද කියන එක ගැන.
“දැන් අරගෙන යන්න ඕනද බං?”
“පිස්සුද බං? මේ වගේ වෙලාවක තේ අරගෙන යනදව? මිනිහගෙ හැටි දන්නෙ නෑ වගේ හැසිරෙන්නෙ එපා. තේක වක්කරයි ඔලුවෙ ඉඳන්”
“පස්සෙ බැන්නොත් මොකද කරන්නෙ තේකක්වත් ගෙනාවෙ නෑ කියලා. මොක උනත් සර්ගෙ දරුවයි ගෑනිනෙ”
“උඹ විශ්වාස කරනවද ඒ කතාව/”
“මොන කතාවද?”
“ඒ කෙල්ල කිව්ව කතාව?”
“කෙල්ලෙක් එහෙම කතාවක් බොරුවට කියනවද අනේ?”
“උඹ දන්නෙ නෑ කෙල්ලො ගැන. සර් කාරයාට මල පනින එක වෙනම කතාවක්. කණ්ණාඩි දාගෙන හෙන්‍රි කල්දේරා වගේ හිටියට හැන්ඩ්සම් ඩයල් එක. අනික බං සල්ලි වකාරෙට. එහෙමෙකේ බොරු කතාවක් හදාගෙන ඇවිත් සර්ව දැලේ දාගන්න ගහපු දහං ගැටයක්ද දන්නෙ නෑ”
“අම්මෝ අම්මෝ දහං ගැටේ දාලා අල්ලගන්න හරි සිරිමත්නෙ මෙයා. හිමිජ්ජා වගේ හිටියට ගෑනි කීයක් අමාරුවෙ දාපු එක්කෙනෙක්ද කවුද දන්නෙ? ඔය වගේ සල්ලි තියෙන සල්ලාලයන්ට ඕවා මහ ලොකු දේවල්ද බං? නීති රීති කතා කරාට ඉණෙන් පල්ලෙහට මොන නීතිද? බලපන්කෝ අර කෙල්ලගේ හැටි, ඒකි බොරු කියන පාටක් නෑ. හැබැයි ඉතින් අද නම් ලොක්කා සිරාවටම කොටු වුණා. වැටත් බිඳගෙන මී හරක් පැන්නා වගේ සීන් එකක් දැන් ඇතුළේ වෙන්නේ.” මලිති කිව්වේ හරිම ආසාවෙන්, ඇතුළෙන් ඇහෙන සද්ද බද්ද වලට කන් දෙන ගමන්.
“ඒකත් ඇත්ත බං. හෙන දාර්ශනිකයා වගේ හැසිරුනාට මිනිහගේ ඇතුළේ ඉන්න යකා අද තමයි මට්ටු වෙන්නෙ. හැබැයි ඉතින් අර අහිංසක කෙල්ල පව් බං. අඩි පහක්වත් නැති කෙල්ලෙක් ඇවිත් ඔය වගේ යකෙක් ඉස්සරහා ඔහොම කෑගහන්න නම් ඒකිට මාරම අසාධාරණයක් වෙන්න ඇති.” ශෙහාරා කාමරේ වහලා තිබ්බ දොර දිහා බලලා සුසුමක් හෙළුවා.
දෙන්නා රිසෙප්ෂන් එකේ ඉඳන් කටවල් ඇරගෙන බලාගෙන හිටියේ, ඇතුළෙන් ඊළඟට පිපිරෙන්න යන බෝම්බේ සද්දේ එළියට ඇහෙනකල්.
“බොරු කියලා මිනිස්සුන්ගෙ නම සවුත්තු කරන්න ලැජ්ජ නැද්ද ඕයි තමුසෙට?” කියාගෙන කවීන් වික්‍රමසිංහ තමන්ගේ මේසෙටත් අතින් ගහලා ඇඟට කඩං පනිද්දි තමයි ආකර්ශා හරියටම දැක්කෙ තමන් ඉස්සරහා ඉන්න සත්ත්වයා ඇත්තටම කවුද කියලා. අඩි හයක් විතර උස, කළු පාට සූට් එකක් දාලා, ඇස් දෙකට තද වෙච්ච කණ්ණාඩි කුට්ටමක් ගහන් ඉන්න මේ කණ්ණාඩි පොළඟා තමයි තමන්ගෙ පරම්පරාගත මහගෙදර සින්නක්කරේටම ලියෝගන්න තක්කඩි මාෆියාවක් දාලා තමන්ගේ තාත්තව අයි සී යූ එකටම ඇදලා දැම්මේ කියලා මතක් වෙද්දී ආකර්ශාව තරහට වෙව්ලන්න ගත්තා.
“මොකද තමුසෙ ගොළු වුණාද? තමුසෙ හිතුවද මේ වගේ තුන්වන පෙළේ ඩ්‍රාමා එකක් රඟපාලා, ප්‍රෙග්නන්ට් කතාවක් අටවලා මාව බ්ලැක්මේල් කරන්න පුළුවන් කියලා? මං කවුද කියලා තමුසෙ දන්නෙ නෑ ඕයි. මගේ නම කවීන් ආදිත්‍ය වික්‍රමසිංහ! තමුසෙ වගේ අහසෙන් කඩං වැටිච්ච එවුන්ට මගේ කම්පැණි එකේ නම විතරක් නෙවෙයි, මගේ හෙවනැල්ලවත් සවුත්තු කරන්න මං ඉඩ තියන්නෙ නෑ” කවීන් තමන්ගේ ඇඟිල්ලක් ආකර්ෂාගේ මූණටම දික් කරලා ගොරවන්න ගත්තා.
ආකර්ෂා තමන්ගේ බෑග් එකේ පටිය තද කරලා අල්ලගත්තා. කවීන් තමන්ව මෙච්චර පහත් කරලා, කුඩු වෙන්නම කතා කරද්දී කෙල්ලගේ ඇස්වලින් කඳුළු වෙනුවට පිටවුණේ ගිනි පුපුරු. මූ හිතන් ඉන්නේ තමන් සල්ලිවලට කෑදරකමේ ආපු අනාථ කෙල්ලෙක් කියලා වෙන්න ඇති.
“මේ හලෝ ඔහේ වගේ එකෙක්ගෙ නම ආයෙ අමුතුවෙන් කැත කරන්න දෙයක් නෑ. ඔහෙත් කැතයි ඔහේගෙ නමත් වස කැතයි. මහ ලොකු බිස්නස් කාරයා. අහිංසක මිනිස්සුන්ව තමන්ගෙ ගෙවල් දොරවවලින් එලියට ඇදලා දාලා ඔක්කොම දේවල් අයිති කරගත්තම හෙන ලොකුයි කියලා හිතාගෙන ඇත්තෙ. මං මේ ආවෙ අපේ තාත්තව ඒ මනුස්සයගෙ මහ ගෙදරින් එලියට ඇදලා දාලා, ඒ මනුස්සයට පපුවෙ අමාරුවක් හදවලා අයි සී යූ එකේ නවත්තන්න හේතු හදවපු මහ ලොකු චණ්ඩියා කවුද කියලා බලලා යන්න.
තමුන් හම්බෙන්න මට මෙතන අපොයින්මන්ට් ගන්න ඕනෙයි කිව්ව හන්ද තමයි කිව්වෙ මගෙ බඩේ ඉන්නවා කියලා තමුන්ගෙ ළමේක්. මහ ලොකු චණ්ඩියා ඒකට නම් බය උනා නේද? වැඩිය නැටුවොත් ගෙවල් දොරවල් වලට ඇවිල්ල මව් දෙමව්පියන්ටත් කියනවා තමයි මම මාව අනාථ කරා මදිවට අපිව අපේ ගෙවල් වලිනුත් එලියට ඇදලා දාන්න හදන විත්තිය. තමුන්ට ගියපු රට කියලා වෙන්නැති නේද හිතාගෙන ඇත්තෙ මේක හිතිච්ච හිතිච්ච විදියට මිනිස්සුන්ව ගෙවල්වලින් එලියට ඇදලා දාන්නෙ? තමුන් කොච්චර විතර දර දිය ඇද්දද කියනවකො ඔය ගේ හදන්නෙ? ඔහේ ඉපදිලාවත් හිටියද කියනවා මට ඒ ගේ හදනකොට දැන් මහ ලොකුවට ඒකට අයිතිවාසිකං කියාගෙන එන්නේ?”
මිනිහා එකපාරටම හොල්මනක් දැක්කා වගේ ගැස්සුණේ ඔන්න ඔය කෙල්ලගෙ වචන ඉස්සරහා. මුළු ඔෆිස් එකම තමන්ගේ අණසකට නටවපු, හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනෙ කියපු කෝටිපති කවීන් ආදිත්‍ය වික්‍රමසිංහ, අඩි පහක්වත් නැති කෙල්ලෙක් තමන්ගේ මූණටම ඇඟිල්ල දික් කරලා මේ විදිහට අමතනකල් කට ඇරගෙන බලන් හිටියේ අන්දුන්කුන්දුන් වෙලා.
“මොකක්… මොකක්ද තමුසෙ කිව්වේ? බොරු ප්‍රෙග්නන්ට් ඩ්‍රාමා එකක් රඟපෑවේ මාව හම්බෙන්න විතරක්ද? තමුසෙට පිස්සුද ඕයි? තමුසෙ දන්නවද මං කවුද කියලා?” කවීන් කට පියන් ඉන්න බැරිම තැන කෑගැහුවා.
“ඕන්න ඕකයි ඔහේගේ තියෙන ලොකුම ලෙඩේ! මං කවුද, මං කවුද කියලා හැම තිස්සෙම අහන්නේ ඔහේට ඔහේ කවුද කියලා අමතක වෙන ලෙඩක් තියෙන හන්දද? මොකෝ ඩිමෙන්ශියා ද? ඔහේ කවුරු වුණත් මට මොකද? අනුන්ගේ දේ බලෙන් අල්ලගන්න හදන තක්කඩියෙක් විතරයි ඔහේ” ආකර්ෂා අඩියක් ඉස්සරහට තියලා, කවීන්ගේ මූණටම එබිලා කිව්වා.
“කට වහගන්නවා” කවීන්ගේ සද්දෙට මේසේ උඩ තිබ්බ පෑන් කූඩුවත් හෙල්ලුණා. “තමුසෙලාගේ ඔය කියන මහගෙදර අයිතිය තියෙන්නේ අපේ කම්පැණි එකට. නීත්‍යානුකූලව ඔක්කොම ලියකියවිලි තියෙද්දී තමුසෙලා එතන පදිංචි වෙලා ඉන්නේ හොරෙන්. නීතිය දන්නැත්නම් ඉගෙනගෙන එනවා ඕයි”
“නීතිය? අනේ මේ කණ්ණාඩි පොළඟෝ, මට නීති උගන්නන්න එන්න එපා. ඔහේලා සල්ලි විසි කරලා, තක්කඩි ලෝයර්ලා අල්ලලා හදන ඔය හොර ඔප්පු වලට අපෙ තාත්තට හාට් ටෑක් හැදුනට මං ලේසියෙන් ගේම අතාරියි කියලා හිතන්න එපා. ඔහේලා වගේ සල්ලි තියෙන මිනී මරු බිස්නස්කාරයන්ට ඕවා තේරෙන්නේ නෑ. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා ඔහේලා කොහොමද නිදාගන්නේ?”
“මිනී මරු? තමුසෙ වචන පාවිච්චි කරන්නේ පරිස්සමෙන්. තමුසෙගේ තාත්තා අයි සී යූ එකේ ඉන්න එකට මං පළිද? බිස්නස් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. නීතියට අනුව අයිති දේ මං ගන්නවා. තමුසෙට පුළුවන් දෙයක් කරනවා” කවීන් තමන්ගේ ටයි පටිය බුරුල් කරන ගමන් හති දාලා කිව්වා.


