ආදර මල්වල පාට කියන්නද? – 54

0
114

කවීන්ගේ ඒ සද්දෙට කාමරේ හිටපු හැමෝම එකපාරටම ගැස්සිලා මාරුවෙන් මාරුවට අනික් කෙනාගෙ මූණ බලන්න ගත්තා. රහස් දොර හිමින් සීරුවේ ඇරෙද්දී, ආකර්ෂා තමන්ගේ පපුව ගැහෙන සද්දේ තමන්ටම ඇහෙන තරම් ලොකු බයකින්, ඒත් මාරම තීරණාත්මක බැල්මකින් කාමරේ මැද්දට ආවා. කෙල්ල එළියට ඇවිත් හිටගෙන උන්නු විදිහ දැකලා එතන උන්නු හැමෝම  විශේෂයෙන්ම සෙලීනයි, ලියනගේයි, සජිතුයි මේ මොනවද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරුව වගේ ෆුල් හොල්මන් වෙලා උන්නෙ..

කවීන් ආකර්ෂා දිහා බැලුවේ කෙල්ල තමන්ගේ ලොකුම හතුරා වගේ මාරම නපුරු බැල්මකින්. ඒ ඇක්ටින් එක කොච්චර ඔරිජිනල්ද කිව්වොත්, ආකර්ෂා පවා මොහොතකට බය වුණා මූට ඇත්තටම මං ගැන තරහ ගිහිල්ලද කියලා.

“මේ හැම මගුලකටම වගකියන්න ඕනේ මෙන්න මේ ආකර්ෂා. මාව මෙච්චර දවසක් ලෙඩ කරලා, මාව ඇඳකට සීමා කරලා දැම්මේ වෙන කවුරුත් නෙවෙයි මෙයා තමයි” කවීන් එහෙම කියපු ගමන්ම කාමරේ තිබ්බ මහ අමුතු සයිලන්ස් එක බිඳගෙන සෙලීනා එකපාරටම කට ඇරියා.

“මං දැනගෙන හිටියා. මං දැනගෙන හිටියා තමුසේ ඔය වගේ බලු වැඩක් කරනවා කියලා” සෙලීනා ආකර්ෂා දිහාට ඇඟිල්ල දික් කරලා කිව්වෙ පුදුමාකාර විදියට ඇවිස්සිලා. ඒකි තමන්ගේ හිතේ හිරකරගෙන හිටපු කුණු ඔක්කොම එකපාරටම එළියට දාන්න ගත්තෙ අන්න එහෙම. “කවීන්ගේ කිරි එකට තමුසේ මොනවා හරි ඇඩ් කරනවා මං මගේ ඇස් දෙකෙන්ම දවස් කීපයක්ම දැක්කා. මට ඒ වෙලාවේ මාර පුදුම හිතුණා තමුසේ කවීන්ගේ ෆියන්සේ වෙලත් ඇයි මේ වගේ වැඩක් කරන්නේ කියලා. පස්සේ තමයි මට තේරුණේ තමුසේ මේ ගේ ඇතුළට රිංගගත්ත සර්පයෙක් කියලා. හැබැයි තමුසෙ ඒ කරපු වැඩෙන් අපේ වැඩේ ලේසි වෙච්ච හන්දා මං සද්ද නැතුව හිටියා”

ලෝයර් ලියනගේ උන්න  පැත්ත බලලා මාරම ලොකු ලයින් එකකින් කතා කරපු සෙලීනා, ආකර්ෂාගේ රහස තමන් හොයාගත්තා කියලා පෙන්නන්න දිගටම කියාගෙන කියාගෙන ගියා.

“පස්සේ තමයි මට තමුසෙගෙයි කවීන්ගෙයි ඩීල් එකට සම්බන්ධ ඩොකියුමන්ට් එක දකින්න හම්බුණේ. තමුසේ ගැන හොයද්දි තමයි ලියනගේ දැනගෙන තිබ්බේ තමුසේ වෙන කවුරුත් නෙවෙයි, එදා වලව්වෙන් පන්නපු අර විජේන්ද්‍රගේ දූ කියන එක. තමුසේ මේ ගේ අස්සට රිංග ගත්තේ තමුසෙටත් මොකක් හරි ලොකු ප්ලෑන් එකක් තිබිච්ච නිසා නේද? තමුසේ ආවේ තමුසේගේ තාත්තා වෙනුවෙන් මේ ගෙදර මිනිසුන්ගෙන් පලිගන්න නේද?”

සෙලීනා ඒ ටික කියවද්දී ආච්චි අම්මා පවා පුදුම වෙලා ආකර්ෂා දිහා බලාගෙන හිටියා. සෙලීනා හිතාගෙන ඉන්නේ ඒකි කවීන්වයි ආකර්ෂාවයි දෙන්නවම එකපාර කොටු කරා කියලා. අනික කොහොමත් සෙලීනට ආකර්ෂා එක්ක මුල ඉඳලම ප්‍රශ්නයක් තිබිච්ච හන්දා තමන් වැටෙන්න යන වලටම ආකර්ෂවත් ඇදගෙන යන්න ලොකුම ලොකු උවමනාවක් සෙලීනට එවෙලෙ තිබ්බා.

සෙලීනා තමන්ගේ කතාව ඉවර කරලා හෙන හිනාවක් දාගෙන ලියනගේ දිහා බලද්දී, කවීන් තමන්ගේ කලිසම් සාක්කුවලින් අත් දෙක එළියට ගත්තා. මිනිහා කිසිම කලබලයක් නැතුව, හෙමින් සීරුවේ ආකර්ෂා හිටගෙන උන්නු තැනට අඩි කිහිපයක් ළං වුණේ කිණ්ඩි හිනාවක් එක්ක.

“තමුසෙගේ කතාව කියලා ඉවරද සෙලීනා?” කවීන් එකපාරටම එහෙම අහද්දී සෙලීනා විතරක් නෙවෙයි, ලෝයර් ලියනගේ පවා මොහොතකට ගොළු වුණා.

“ඔව්… මං මෙච්චර කල් ඇඳට වෙලා පණ ඇද ඇද හිටියේ තමුසෙලා හිතන් ඉන්න විදිහට මේ ආකර්ෂා මට වස දීපු හන්දා තමයි,” කවීන් කට කොනකින් හීන් හිනාවක් දාන ගමන් ආකර්ෂාගේ උරහිසට උඩින් තමන්ගේ අතක් තිබ්බා. ඒ බැල්මේ තිබ්බේ මෙච්චර වෙලා තිබ්බ වෛරය නෙවෙයි, මාරම ආදරණීය වගේම විශ්වාසවන්ත හැඟීමක්.

“හැබැයි තමුසෙලා වගේ ගොන්නු රැලකට අද වෙනකම්ම තේරුණේ නැති එකම දේ තමයි… ආකර්ෂා මගේ කිරි එකට හැමදාම රෑට එකතු කරේ අයිසින් ෂුගර් විතරයි කියන එක!”

“මොකක්?” සෙලීනගේ කට බෝක්කු කට වගේ ඇරෙනවා දැක්කම ආකර්ෂට බකස් ගාලා හිනා යන්නත් ආවා. ලෝයර් ලියනගේ අතේ තිබ්බ ඔප්පු ෆයිල් ටික බිමට වැටෙන්නත් ගියේ මේ කවීන් කිව්ව දේ හිතාගන්න බැරුව වගේ.

“පුදුමයි නේද?” කවීන් අඩියක් ඉස්සරහට තියලා සෙලීනගේ මූණටම එබුණා. “විජේන්ද්‍ර අංකල්ව බොරු උගුලක පටලවලා වලව්වෙන් එළෙව්වට පස්සේ, මේ වලව්වේ ඉඳන් ලියනගේට ඔත්තු සපයන, මගේ බිස්නස් විනාස කරන්න බලන් ඉන්න සර්පයා කවුද කියලා හොයාගන්න මට මාරම උවමනාවක් තිබ්බා. හැබැයි මං හොඳින්, සිංහයෙක් වගේ කෙළින් ඉන්නකල් ලියනගේ කවදාවත් එළිපිට ගේමට එන්නේ නෑ කියලා මං හොඳටම දැනන් හිටියා. අන්න ඒකයි මං මේ වලව්වට ආපු ආකර්ෂාත් එක්ක එකතු වෙලා මෙන්න මේ ලෙඩ වෙලා ඇඳට වැටිච්ච කවීන්ගේ මාස්ටර් ප්ලෑන් එක ගැහුවේ”

කාමරේ ඇතුළේ ආයෙමත් මරණීය නිශ්ශබ්දතාවයක් පැතිරිලා යද්දී, කවීන් ආයෙ වතාවක් සෙලීනලා දිහා බලලා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.

“තමුසෙලා හිතුවද සෙලීනා මේ වික්‍රමසිංහලව ලේසියෙන් වට්ටන්න පුළුවන් කියලා? මුළු වලව්වෙම හැමෝටම ආකර්ෂා ගැන සැක හිතුණොත් විතරයි තමුසෙලා බය නැතුව ලියනගේව වලව්ව ඇතුළටම ගෙන්නගෙන, මේ රෑ තිස්සේ ලොකර් එක අවුස්සන්න පටන් ගන්නේ කියලා අපි දෙන්නම මීට මාස ගාණකට කලින්ම ප්ලෑන් කරලා ඉවර කරලා තිබ්බේ” කවීන් කිව්ව ඒ වචන වලට ඔෆිස් කාමරේ දෙදරද්දී සෙලීනයි, සජිතුයි උන්නෙ හොඳටම සුදු මැලි වෙලා ගිහින්.

කවීන්ගේ ඒ හෙළිදරව්වත් එක්ක ලෝයර් ලියනගේ මාරම අසරණ විදිහට වටපිට බැලුවේ බේරෙන්න එකම එක පාරක් හරි ඉතිරි වෙලා තියෙනවද කියලා බලන්නයි. හැබැයි මිනිහා හිතන්නත් කලින්, ඔෆිස් කාමරේ දොර ඇරගෙන, සන්නද්ධ වෙච්ච පොලිස් ඔෆිසර්ස්ලා කාමරේ ඇතුළට කඩා වැදුණේ මුළු වලව්වම හොල්මන් කරවගෙන.

“ර් ලියනගේ, සෙලීනා,  සජිත්… තමුන්ලා තුන්දෙනාව වංචා සහගත ලෙස දේපළ මංකොල්ලකෑම, හොර ලියකියවිලි සැකසීම කියන චෝදනා යටතේ අපි ඇරෙස්ට් කරනවා!” පොලිස් ඉන්ස්පෙක්ටර් කියද්දී සෙලීනා පිස්සියක් වගේ විලාප තියන්න ගත්තා.

හැමදේම ඒ විදියට ඉවර වෙද්දි ආකර්ෂා උන්නෙ ඇත්තටම තමන්ගෙ තාත්තගෙ කිසිම වරදක් නෑ නේද කියලා ඔප්පු වෙච්ච සන්තෝසෙ දරාගන්න බැරුව අඬන ගමන්.

“දැන් ඉතින් අඬන්න හේතුවක් නැනෙ. ඔයාගෙ තාත්තා නරක මනුස්සයෙක් නෙවෙයි කියන එක ඔයා දැන් දන්නවා. එහෙමෙකේ හිනාවෙන්න ඕන වෙලාවෙ ඔයා දැන් අඬන්නෙ ඇයි?” කියලා කවීන් අහද්දි ආකර්ෂා කරේ හීන් සැරේ තමන්ගෙ කඳුළු පිරිච්ච ඇස් උස්සලා කවීන් දිහා බලලා හීනියට හිනාවෙච්ච එක.

“හැමදේම මෙතනින් ඉවරයි නේද?” කියලා කෙල්ල අහද්දි ඒ කතාව පිටිපස්සෙ තමන්ට මෙච්චර වෙලා අමතක වෙලා ගිය “ඩීල් එකක් සම්බන්ධ” කතාවකුත් තියෙන විත්තිය කොල්ලට මතක් වුණා.

“ඔයා හිතුවද මට ඒක අමතක වෙලා කියලා?” කවීන් අහද්දිත් කෙල්ල කරේ සද්ද නැතුව කඳුළු පිරිච්ච ඇස් වලින් කොල්ලා දිහාවම බලාගෙන උන්න එක.

“මං ඔයාට පොරොන්දුවක් උනා කියන එක මට අමතක නෑ. ඔයා මාත් එක්ක ඩීල් එකකට කැමතිවෙලා මේ ගෙදෙට්ට ආවෙම ඔයාගෙ තාත්තගෙයි ඔයාගෙයි ගේ බේරගන්නනෙ. මං ඒ ඩීල් එකට සයින් කරන වෙලාවෙ පොරොන්දු වෙච්ච විදියටම ඔයාලගෙ මහ ගේ ඔයාට ආයෙ භාරදෙනවා. ඒ වගේම මේ බිස්නස් ප්‍රශ්න නිසා අවුල් වෙච්ච ඔයාලගෙ ජීවිත පිළිවෙලක් කරන්න මම උපරිම උත්සහ කරනවා. සමහරවිට අපේ තාත්ත උනත් ලෙඩවෙන්න ඇත්තෙ මේ ලියනගේලා නටපු පිස්සු එයා දැනගත්තට පස්සෙ වෙන්න පුළුවන්. කවදාවත් ඉතින්  ලියනගේලගෙ කටින් අපිට ඒවයි ඇත්ත නැත්ත දැනගන්න වෙන්නෙ නෑනෙ.

තාත්තා අසනීප නොවී උන්නා නම් මේ කිසිම දෙයක් මෙහෙම නොවී තියෙන්න තිබ්බා. එහෙනම් සමහරවිට අපි හම්බෙන්නත් වගේම හම්බනොවී ඉන්නත් ඉඩ තිබ්බා. කොහොම උනත් හැමදේම වෙන්නෙ හොඳටයි කියනවනෙ.

පොරොන්දු වෙච්ච හැමදේම මං ඒ විදියටම ඉෂ්ඨ කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here