ආදර මල්වල පාට කියන්නද? – අවසාන කොටස

0
115

සාලේ පැත්තෙන් ඇහුණු තාත්තගේ ඒ රළු, කේන්ති බර කටහඬත් එක්ක ආකර්ෂාගේ අත් දෙක ගැහෙන්න ගත්තා. අතේ තිබ්බ රෙදි කෑල්ලෙන් අත් දෙක පිහදාන ගමන් කෙල්ල සාලේ පැත්තට දුවන් ආවේ පපුව ඩිග් ඩිග් ගගා ගැහෙද්දි. මොකද ලියනගේලා කරපු සේරම ජරා වැඩවලින් පස්සේ, මහගෙදර බේරගෙන යන්තම් හුස්මක් ගන්න හදන මේ වෙලාවේ ආයෙත් කවුරු හරි තමන්ගේ තාත්තව ලෙඩ කරන්න ඇවිත්ද කියන සිතුවිල්ල කෙල්ලව බය කරලයි තිබ්බේ.

හැබැයි සාලෙට පය තියලා, ඉස්තෝප්පුවෙන් ඇතුළට ඇවිත් හිටගෙන ඉන්න ඒ කෙනාව දැක්ක ගමන් ආකර්ෂාගේ කකුල් දෙක එකපාරටම පොළොව අස්සට ගිලා බැස්සා වගේ දැනුණා. මුළු ඇඟම සීතල වෙලා යද්දී කෙල්ල ඒ දිහා බලන් උන්නේ අදහන්න බැරි වුණා වගේ.

“දෙයියනේ… මෙයා ඇයි මේ හදිසියේම මෙහේ ආවේ?” කෙල්ලගේ හිත ඇතුළෙන් බයටම කෑගැස්සුණා.

එතන හිටගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි ලේඩි කලම්බු සෙවන්.

හැමදාම මාරම පිළිවෙළට, ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න ඒ කාන්තාව තමන්ගේ මේ පාලු, පරණ මහගෙදර මැද හිටගෙන ඉන්න සීන් එක  ආකර්ෂාට නිකන් හීනයක් වගේ දැනුණෙ.

අතීතයේ සිද්ධ වුණ බිස්නස් කේස්, ලොකු වංචාවන් වගේම තමන්ගේ මුළු ජීවිතේම බිමට ඇදලා දාන්න මුල් වුණු හැම අමනාපකමක්ම විජේන්ද්‍රගේ හිතේ එකපාරටම අළු යට ගිනි පුපුරු වගේ ඇවිළිලා ගියා. ඒ නිසයි තමන්ගේ දුව සාලෙට එද්දීත් විජේන්ද්‍ර ඒ මනුස්සයා දිහා මාරම අප්‍රසාදයකින්, වෛරයකින් වගේ බලාගෙන හිටියේ.

“තමුන් මොකද මෙහේ? මොන හයිරංකාරකමටද තමුන් මගේ ගෙට පය තිබ්බේ?” විජේන්ද්‍ර කෑගැසුවේ සාලේ බිත්ති පවා හෙල්ලෙන්න තරම් මාරම සැරෙන්. කවදාවත් තමන්ගේ තාත්තා කෙනෙක්ට ඔච්චර සැරෙන් කතා කරනවා ආකර්ෂා අහලා තිබ්බේ නැහැ. අනික ලෙඩවෙලා උන්න තාත්තාට ඔච්චර සද්දෙන් කෑගහන්න පුළුවන් කියන එකත් කෙල්ලට හිතාගන්න බැරිවුණා.

හැබැයි, හැමදාම වලව්වේ සේරම තමන්ගේ අණසකට යටත් කරගෙන, මාරම උඩඟුකමකින් උන්න ලේඩි කලම්බු සෙවන්, මෙන්න මේ වෙලාවේ ඒ හැම ආඩම්බරකාරකමක්ම සම්පූර්ණයෙන්ම පැත්තකින් දාලයි හිටියේ. කාන්තාවගෙ මූණේ තිබ්බේ කවදාවත් ආකර්ෂා දැකලා නැති විදිහේ සන්සුන්, හැබැයි මහා ලොකු පරාජිත බවක් ගෑවිච්ච පෙනුමක්.

එයා විජේන්ද්‍රගේ කේන්තිය ඉස්සරහා කලබල වුණේවත්, ආපිට කෑගැහුවේවත් නැහැ. කවදාවත් නැති විදිහේ මාරම සැර බාල කරපු, බොහොම බැගෑපත් වගේම සංවේදී කටහඬකින් ලේඩි කලම්බු සෙවන් කතා කරන්න ගත්තේ විජේන්ද්‍රව විතරක් නෙවෙයි, එතන හිටපු ආකර්ෂාව පවා පුදුමයෙන් පුදුමයට පත් කරන ගමන්.

“විජේන්ද්‍ර… මට ඔහොම කතා කරන්න, මං දිහා ඔය වෛරයෙන් බලන්න ඔයාට මාරම සාධාරණ හේතුවක් තියෙන බව මං හොඳටම දන්නවා. පරණ දේවල්වලින් ඔයාගේ ජීවිතේට වුණු හැම අසාධාරණයක් ගැනම මගේ හිතෙත් දැන් තියෙන්නේ ලොකු පසුතැවීමක්” ලේඩි කලම්බු සෙවන් කිව්වේ හීන් හුස්මක් හෙළන ගමන්.

විජේන්ද්‍ර ආයෙමත් මොකක් හරි කියන්න කට හදද්දීම, එයා තමන්ගේ අතක් ඔසවලා විජේන්ද්‍රව නිහඬ කරලා දැම්මා.

“හැබැයි විජේන්ද්‍ර… මං අද මෙහේ ආවේ ඔය පරණ බිස්නස් රණ්ඩු, අතීතයේ වෙච්ච වැරදි ගැන ආයෙමත් කතා කර කර කාලේ නාස්ති කරන්න නෙවෙයි. මං ආවේ වලව්වේ ලොකු නෝනා විදිහට නෙවෙයි” එයා බොහොම බැරෑරුම්, ඒ වගේම අවංක බැල්මකින් විජේන්ද්‍ර දිහා බලාගෙන කිව්වා.

ලේඩි කලම්බු සෙවන්ගේ ඒ බැරෑරුම් කතාවත් එක්ක සාලේ මැද පැතිරුණේ මාර ලොකු සයිලන්ස් එකක්. විජේන්ද්‍ර තවමත් හිටියේ තමන්ගේ කේන්තිය පාලනය කරගන්න උත්සහ කරන ගමන්. ඒත් ලේඩි කලම්බු සෙවන් කිසිම කලබලයක් නැතුව, විජේන්ද්‍රගේ ඇස් දෙක දිහාම  කෙළින් බලාගෙන තමන්ගේ කතාව ඉස්සරහට කියාගෙන ගියා.

“විජේන්ද්‍ර… ඔයාටයි, ඔයාගේ බිස්නස් වලටයි සිද්ධ වෙච්ච හැම විනාශයකටම වගකියන්න ඕනේ ලියනගේලා කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා මං මෙහේ ආවේ ඔයාලගේ විනාස වෙලා ගිය ජීවිත ආයෙමත් ගොඩනගන්න උදව් කරන්න. මේ මහගෙදර සම්පූර්ණයෙන්ම නිදහස් කරලා දුන්නා වගේම, ඔයාගේ බිස්නස්වලට පාඩු වෙච්ච හැම සතයකටම හරියන්න සම්පූර්ණ වන්දි මුදලක් ගෙවන්න මං ලෑස්තියි. ඔයාලගේ පරණ බිස්නස් ආයෙමත් තිබ්බටත් වඩා හොඳට හදලා දීලා, ඔයාලට උපරිමයෙන්ම සලකන්න මං වගකියනවා. හැබැයි… ඒ හැමදේම මං කරන්නේ එකම එක කොන්දේසියක් උඩ විතරයි”

ලේඩි කලම්බු සෙවන් ඒ වචන ටික කිව්වේ මාරම තීරණාත්මක බැල්මකින් විජේන්ද්‍ර දිහා බලාගෙන. විජේන්ද්‍රට මේ කියන කතා අදහාගන්න බැරි වුණා. එයා නළල රැලි කරලා, සැකයෙන් වගේ ලේඩි කලම්බු සෙවන් දෙස බැලුවෙ අන්න ඒ හන්දා.

“කොන්දේසියක්? තමුන්ලා මට කරපු විනාශයට වන්දි ගෙවන එක තමුන්ලාගේ යුතුකමක්. ඒකට මොනවද තියෙන කොන්දේසි? මොකක්ද තමුන්ගේ ඔය කියන කොන්දේසිය?” විජේන්ද්‍ර ඇහුවේ මාරම තරහකින්.

ලේඩි කලම්බු සෙවන් හීන් හිනාවක් දාගෙන ආකර්ෂා දිහා බලලා, ආයෙමත් විජේන්ද්‍ර දිහාවට හැරුණා.

“කොන්දේසිය සරලයි විජේන්ද්‍ර… අපිට ඔයා ගාව තියෙන, ඇත්තටම අපිට අයිති දෙයක් ආපහු ඕනේ.”

“මොකක්? තමුන්ලාට අයිති කිසිම දෙයක්,  කිසිම දේපළක් මෙහෙ නෑ. මේ හැමදේම මගෙන් පස්සෙ අයිතිවෙන්නෙ මගෙ දරුවට. තමුන්ට අයිති කිසිම මගුලක් මෙහෙ නෑ කියලා හොඳට මතක තියාගන්නවා”

විජේන්ද්‍ර සාලේ දෙදරන්න කෑගැසුවත් ලේඩි කලම්බු සෙවන්ගේ මූණේ තිබ්බ සන්සුන්කම බිඳුණේ නැහැ. එයා බොහොම නිස්කාංසුවෙ තමන්ගෙ අවසාන වචන ටික පිට කරා.

“නෑ විජේන්ද්‍ර… ඉන්නවා. ඒ තමයි මෙන්න මේ ඉන්න ආකර්ෂා. අපිට ආකර්ෂව දෙන්න.”

ලේඩි කලම්බු සෙවන් ඒක කියපු ගමන් විජේන්ද්‍ර ගල් ගැසුණා වගේ එකතැන නතර වුණා. මනුස්සයා ඇස් දෙක උඩ තියාගෙන, මුළු ලෝකෙම ඔලුව උඩට  කඩන් වැටුණා වගේ මාරුවෙන් මාරුවට තමන්ගේ දුව දිහයි, ලේඩි කලම්බු සෙවන් දිහයි බලන්න ගත්තේ මුකුත් හිතාගන්න බැරුවයි. සාලේ මැද හිටගෙන උන්නු ආකර්ෂාගේ පපුවත් ඒ වචනවලට හෝස් ගාලා පත්තු වෙලා යද්දී, කෙල්ලගේ මුළු ඇඟම වෙවුලන්න ගත්තේ මෙච්චර වෙලා හිතේ හිර කරන් උන්නු බලාපොරොත්තුවලට ආයෙමත් පණ ලැබිලා විත්තිය තේරෙද්දි.

විජේන්ද්‍ර මාරුවෙන් මාරුවට තමන් දිහයි ලේඩි කලම්බු සෙවන් දිහයි බලද්දී, ආකර්ෂාට දැනුණේ මුළු සාලයම කැරකෙනවා වගේ. තාත්තාගේ මූණේ තිබ්බ මහා ව්‍යාකූලත්වය, පුදුමය මැද්දේ කෙල්ලගේ ඇස් නිකන්ම ඇදිලා ගියේ මිදුල පැත්තටයි.

අන්න ඒ වෙලාවෙයි ආකර්ෂා දැක්කේ, ඉස්තෝප්පුවෙන් එහා පැත්තේ, මිදුලේ නතර කරලා තිබ්බ ලේඩි කලම්බු සෙවන්ගේ කලු පාට කාරෙක. ඒ කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවෙලා උන්නෙ තමන් මෙච්චර දවසක් දකින්න බලාපොරොත්තුවෙන් උන්න රූපෙ.

කවීන්!

කාරෙක ඇතුලෙ ඉඳන් තමන් දිහාවම බලාගෙන ඉන්න කවීන්ව දැක්ක ගමන් ආකර්ෂාගේ හිතේ තිබ්බ සේරම සීමාවල් බිඳිලා ගියා. තාත්තා මෙතන ඉන්නවා, පරණ ඩීල් එකක් තිබ්බා, මේ හැමදේම කෙල්ලට එක තප්පරේකින් අමතක වෙලා ගියා. තවදුරටත් තමන්ගේ හිතේ තියෙන ආදරේ හංගන්න බැරි වුණු කෙල්ල, සාලෙන් මිදිලා එක පිම්මට මිදුලට දුවන් ගියේ පියවි සිහියෙන් නෙවෙයි වගේ.

කෙල්ල දුවන් එනවා දැක්ක ගමන් කවීන් ඉක්මනින්ම කාර් එකේ දොර ඇරලා එළියට බැස්සා. මිනිහා තමන්ගේ ඉස්සරහට ඇවිත් හිටගනිද්දී, ආකර්ෂාගේ ඇස්වලින් කඳුළු කැට කම්මුල් දිගේ බේරෙන්න ගත්තේ කෙල්ලගෙ කන්ට්‍රෝල් එකක් නැතුව. දවස් දෙකක් තිස්සේ විඳපු මහා පාලුව, තනිකම, වේදනාව සේරම ඒ කඳුළු අස්සෙන් පිටවෙලා යද්දී කෙල්ලට හොඳටම ඇඬුණා.

කවීන් එකම එක වචනයක්වත් කිව්වේ නැහැ. මිනිහා ආකර්ෂාව එකපාරටම ඇදලා තමන්ගේ පපුවට තද කරලා තුරුලු කරගත්තා.

හැම ඩීල් එකක්ම ඉවර වුණාට පස්සේ, ඒ හුරුපුරුදු පපුවේ උණුසුම ආයෙමත් දැනෙද්දී ආකර්ෂාට දැනුණේ තමන්ගේ මුළු ලෝකයම ආපහු හම්බවුණා වගේ හැඟීමක්. කෙල්ල කවීන්ගේ කමිසෙ තදින් අල්ලගෙන, මිනිහාගේ පපුවේ මූණ ඔබාගෙන තව තවත් අඬන්න ගත්තා. කවීන් මාරම ආදරෙන් කෙල්ලගේ ඔළුව අතගාන ගමන්, තමන්ගේ පපුවට තවත් තද කරගත්තා.

“ඇයි එදා මට යන්න දුන්නේ? එකම එක පාරක් නතර වෙන්න කියන්න තිබ්බා නේද” කෙල්ල අඬ අඬ ඇහුවා.

ටික වෙලාවකින් කවීන් කෙල්ලගේ මූණ තමන්ගේ දෝතට අරන්, කඳුළු පිහදාන ගමන් මාරම ලස්සන, කවදාවත් නැති විදිහේ ආදරණීය හිනාවකින් ආකර්ෂාගේ ඇස් දෙක දිහා කෙළින්ම බැලුවා.

“ආයෙ පාරක් වස දීලා, ලෙඩ කරවලා මාව ඔයා ළඟින්ම තියාගෙන බලාගන්න ඔයාට බැරිද මැණික?”

“පුළුවන් හැබැයි මතක තියාගන්න, ඔය වසට වඩා මං මාරම විසයි!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here