ආදර මල්වල පාට කියන්නද? – 55

0
223

වලව්වට උඩින් පායලා තිබ්බ අඳුරු, මූසල වලාකුළු ටිකෙන් ටික මකලා දාලා දවස් කිහිපයක්ම ගෙවිලා ගියා.

 සෙලීනලා, ලියනගේලා කරපු සේරම ජරා වැඩ එළිවෙලා, උන්ව පොලිසියෙන් කුදලන් ගියාට පස්සේ මුළු වලව්වටම දැනුණේ මාරම නිදහස්, සැහැල්ලු හැඟීමක්. හැබැයි ඒ සැහැල්ලුව අස්සේ ආකර්ෂාගේ හිත විතරක් දවසින් දවස මාරම විදිහට බර වෙන්න ගත්තා. මොකද, කැලැන්ඩරේ දවස් එකින් එක ගෙවිලා යද්දී, කවීනුයි කෙල්ලයි අතරේ තිබ්බ අර මාස හයක රහස් ගිවිසුම නිල වශයෙන්ම ඉවර වෙන දවස එදා උදේ වෙද්දී උදා වෙලා තිබ්බා.

උදේම කවීන්ගේ ඔෆිස් කාමරේ ඇතුළේ තිබ්බේ වෙනදා වගේ කලබලයක් නෙවෙයි, මාරම අමුතු සයිලන්ස් එකක්. කවීන් තමන්ගේ ලොකු මේසෙ පිටිපස්සෙ ඉඳගෙන, ලෙදර් කවරයක දාපු නිල් පාට ෆයිල් එකක් දිහා බලාගෙන උන්නා. මිනිහා කිසිම කලබලයක් නැතුව, මේසෙ උඩ තිබ්බ ඒ ෆයිල් එක හෙමින් සීරුවේ ආකර්ෂා ඉන්න පැත්තට තල්ලු කරා.

“මෙතන ඔයාගේ තාත්තගේ මහගෙදරට අදාළ සේරම සින්නක්කර ඔප්පු වගේම, ලියනගේ හොරට හදලා තිබ්බ හැම ලීගල් ඩොකියුමන්ට් එකක්ම නිදහස් කරපු ලියකියවිලි තියෙනවා. අදින් පස්සේ ඔයාලගේ මහගෙදර සම්පූර්ණයෙන්ම ඔයාගේ. ඒකට අයිතිවාසිකම් කියන්න දැන් කාටවත්ම අයිතියක් නැහැ” කවීන් කිව්වේ මාරම කූල්, ඒත් බැරෑරුම් හඬකින්.

ආකර්ෂා ගැහෙන අත් දෙකෙන් ඒ ෆයිල් එක තමන්ගේ අතට ගත්තා. ඒක බදාගන්නකොට කෙල්ලගේ ඇස් දෙකට කඳුළු උනන්න ගත්තේ තමන්ටවත් හිතාගන්න බැරි විදියට. මේ ඔප්පු ටික, මේ ලියකියවිලි ටික වෙනුවෙන් තමන් විඳපු දුක, කාපු කටු, මේ වලව්වේ මිනිස්සුන්ගෙන් අහපු කතා ඒ හැමදේම ෆ්ලෑශ්බැක් වීඩියෝ එකක් වගේ කෙල්ලගෙ ඇස් ඉස්සරහින් මැවුණා. තමන්ගේ ජීවිතේ ලොකුම හීනයක් වුණ තාත්තගේ මග ගෙදර ආයෙමත් තමන් සතු වුණ එක ගැන, තාත්තට වෙච්ච අසාධාරණය වෙනුවෙන් සාධාරණය ඉටු කරගන්න ලැබුණු එක ගැන කෙල්ලගේ හිතට දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලොකු සැනසීමක්.

“තෑන්ක්ස් කවීන්… ඔයා ඔයාගේ පොරොන්දුව අකුරටම ඉශ්ඨ කරා” ආකර්ෂා කඳුළු පිහදාන ගමන් හීන් හඬින් කිව්වා.

කවීන් පුටුවට බර වෙන ගමන් කෙල්ල දිහා බලාගෙන උන්නා. ඒ ඇස්වල මොකක්දෝ නොකියපු කතාවක් හැංගිලා තිබ්බා.

“මං මගේ පොරොන්දුව ඉශ්ඨ කරා විතරක් නෙවෙයි ආකර්ෂා, ඔයා නැත්නම් මට කවදාවත් ලියනගේව මේ විදිහට කොටු කරගන්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි ඉතින් අදින් පස්සේ අපේ ඩීල් එකත් ඉවරයි නේද?” කවීන් එහෙම අහද්දී ආකර්ෂාගේ පපුව එකපාරටම හෝස් ගාලා පත්තු වුණා වගේ දැනුණා. ඒ වචන ටික කෙල්ලගේ හිතට මාරම තදින් වැදුණා.

ඔප්පු ටික ලැබිලා මහගෙදර නිදහස් වුණු සතුට එක පැත්තකින් තියෙද්දී, මාස හයක් තිස්සේ තමන්ගේ ජීවිතේම කොටසක් වෙච්ච මේ මනුස්සයගෙන්, මේ වලව්වෙන් වෙන් වෙන්න වෙනවා නේද කියන යථාර්ථය කෙල්ලගේ හිත අස්සෙන් මතු වෙන්න ගත්තේ අන්න ඒ වෙලාවේ. හැදෙන්න ඕන සේරම ප්ලෑන් හරියටම හැදිලා, බලාපොරොත්තු වුණු සැනසීම ලැබිලා තියෙද්දීත්, හිතේ කොනක මාරම ලොකු හිස්තැනක් ඉතිරි වෙලා තියෙනවා විත්තිය ආකර්ෂාට තේරුණේ කවීන්ගේ ඒ සයිලන්ට් බැල්ම දිහා බලාගෙන ඉන්න බැරිවෙද්දි.

හැබැයි මහගෙදර ඔප්පු ටික අතට ලැබුණු එකෙන් හිතට දැනුණු ඒ මහා සතුට අස්සේ, ආකර්ෂාගේ මුළු හදවතම හීතල කරලා දාන ලොකු හිස්තැනකුත් එකපාරටම හැදෙන්න ගත්තා. වලව්වේ ප්‍රශ්න සේරම ඉවරයි තමයි, හැබැයි ඒ ඉවර වුණු විදිහත් එක්ක තමන්ට තවදුරටත් මේ වහල යට ඉන්න කිසිම ලීගල් හෝ සදාචාරාත්මක අයිතියක් නෑ කියන ඇත්ත කෙල්ලට මාරම තදින් දැනෙන්න ගත්තා.

එදා සෙලීන  තමන්ගේ වාසියට කවීනුයි තමනුයි කොටු කරන්න හිතාගෙන, මේ තිබ්බ ඩීල් එක ගැන හැම දෙයක්ම එළියට දැම්ම එකෙන් ආච්චි අම්මගෙන් හංගන් ඉන්න වුණ ලොකුම රහස එළියට ආව එක ගැන තමන් වගේම කවීනුත් ඉන්නෙ අවුලෙන් කියන එක කෙල්ල දැනගෙන උන්නා. ඒකෙන් වුණේ වෙන මුකුත් නෙවෙයි, ආච්චි අම්මා දැන් තමන් දෙන්නා අතරේ මෙච්චර කල් තිබ්බේ බොරු ප්‍රේම සම්බන්ධයක් විත්තියයි, ඒ හැමදේම සල්ලි සහ බිස්නස් ඩීල් එකකට අත්සන් කරපු මුදල් ගිවිසුමක් විතරයි විත්තියයි අකුරක් නෑර දැනගත්ත එක. ආච්චි අම්මා කවීන්ගේ ප්ලෑන් එකට උදව් කරලා සෙලීනලාට හිනා වුණාට, තමන් මෙච්චර කල් ඇත්තක් විදියට භාරගත්ත ෆියන්සේ පටලැවිල්ල බොරුවක් කියලා දැනගත්ත එක ඉදිරියට ප්‍රශ්නයක් වෙන්න නියමිත බව කෙල්ල වගේම කොල්ලත් දැනගෙන හිටියා.

තවදුරටත් කවීන්ගේ බොරු ෆියන්සේ විදිහට මේ ගෙදර මිනිස්සුන්ව රවට්ටන්නවත්, හැමෝටම බොරු මූණක් දාගෙන මේ වලව්වේ රැඳිලා ඉන්නවත් තමන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ කියන එක ආකර්ෂාගේ හෘද සාක්ෂියට හැම තප්පරේකදීම මාරම වදයක් දෙන්න ගත්තා.

“මං ආපු අරමුණ දැන් සේරම ඉටු වෙලා ඉවරයි. තාත්තා නිවැරදිකාරයෙක් වුණා. මහගෙදරත් මගේ අතට ආවා. ඉතින් තවදුරටත් මෙතන රිංගගෙන ඉන්න එක මහ විකාරයක්, ලැජ්ජා නැති වැඩක්.” ආකර්ෂා තමන්ගේ හිතටම කියාගත්තෙ අන්න ඒ හන්දා.

කවීන්ගේ කාමරේ ජනේලෙන් එළිය බලද්දී වලව්වේ වත්ත පුරා වෙනදා වගේම ලස්සනට අව්ව වැටිලා තිබ්බා. ඒවා දකිද්දි කෙල්ලට මතක් වුණා මේක තමන්ගේ නවාතැන නෙවෙයි, තමන් ආවේ රඟපෑමකට විතරයි කියලා. ඒක පපුව අස්සෙන් මහා බරක් මතු කරන්න හේතුවෙච්ච සිතුවිල්ලක්. කවීන්ට තමන්ව වටින්නේ ගිවිසුමට විතරක් නම්, ඒ ගිවිසුම අදින් ඉවර නම්, තවදුරටත් හිත හයිය කරන් මෙතන ඉන්න එක බොරු වැඩක් කියලා තේරුම් ගත්තු කෙල්ල මේ ගෙදරින් යන්න හිත හදා ගත්තේ හිත ඇතුළෙන් මහ හයියෙන් අඬන ගමන්.

හැබැයි ආකර්ෂා ඒ කිසිම දෙයක් කවීන්ට තමන්ගෙ මූණෙන් දැනගන්න ඉඩ තිබ්බෙ නෑ. ඒ නිසාම කෙල්ල කවීන් එක්ක ලොකුවට මේවා ගැන කතා කරන්න ගියෙත් නෑ.

මොකද, වැඩිපුර කතා කරන්න ගියොත් තමන්ගේ හිතේ හැංගිලා තියෙන දුක කවීන්ට තේරෙයි කියලා කෙල්ල බය වුණා.

“මං එහෙනම් ලෑස්ති වෙන්නම් කවීන්”

ආකර්ෂා හීන් සැරේ එහෙම කියාගෙනම කවීන්ගේ ඔෆිස් කාමරෙන් එළියට ආවේ නිශ්ශබ්දවම මෙතනින් සමුගන්න හිතාගෙනයි. කෙල්ල කෙළින්ම ගියේ තමන් මෙච්චර කල් නතර වෙලා හිටපු කාමරයට. තවදුරටත් කාටවත්ම බරක් වෙන්න, නැත්නම් නිකරුණේ මේ වලව්වට වෙලා ඉන්න කෙල්ලගේ ආත්මගරුත්වය ඉඩ දුන්නේ නැහැ. කාමරයට වැදුණු ගමන් කෙල්ල ඇඳ උඩින් තමන්ගේ පරණ බෑග් එක තියලා ඒක දිග ඇරියා. මාස හයකට කලින් මේ වලව්වට එද්දී තමන් අරන් ආපු ඇඳුම් ටිකයි, තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ටිකයි විතරක් එකින් එක අරන් හරිම පිළිවෙළට බෑග් එකට අහුරන්න ගත්තේ මාරම දුකකින්.

බෑග් එකත් කරට දාගෙන ආකර්ෂා කාමරෙන් එළියට ඇවිත්, පල්ලෙහට යන්න තියෙන පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට යන්න ගත්තා. හැම අඩියක් ගානෙම කෙල්ලගේ හිත අතීතයට දුවන් ගියා. මේ ගෙදරදි කවීන් එක්ක රණ්ඩු වෙච්ච හැටි,ආදරේ වෙච්ච හැටි, සෙලීනලා එක්ක ප්‍රශ්න දාගත්ත හැටි කෙල්ලට මතක් වුණා. පඩිපෙළ පාමුල ඉන්න කවීන් දිහා බලද්දී කෙල්ලගේ ඇස්වල තිබ්බේ වචන නොකරපු මාරම හැඟීම් ගොඩක්. ඒ ඇස්වල මං යනවා කියන පණිවිඩය වගේම, නොකියපු ආදරයකුත් ලියවිලා තිබ්බට ඒක කවීන්ට තේරුං ගන්න පුළුවන් උනාද කියන ප්‍රශ්නෙ කෙල්ලට තිබුණා.

වලව්වේ සාලේ මැද හිටගෙන උන්නු ආච්චි අම්මා දිහාවත්, කවීන් දිහාවත් බලලා ආයෙත් අමුතුවෙන් සමුගන්න කෙල්ල ගියේ නැහැ.

මොකද වචනයක් හරි කතා කරොත් තමන්ට මහ හයියෙන් ඇඬෙයි කියලා කෙල්ල හොඳටම දැනන් හිටියා. කිසිම කෙනෙක්ට කරදරයක් නොවී, තමන්ගේම කියලා කියන්න දැන් ඉතිරි වෙලා තියෙන එකම එක නවාතැන වෙන, තමන්ගේ නිදහස් වුණ මහගෙදරට යන්න ආකර්ෂා වලව්වේ ලොකු ඉස්තෝප්පුවෙන් එළියට බැහැලා මිදුල දිගේ ඇවිදගෙන යන්න ගියේ හිතේ ලොකුම ලොකු බරක් වගේම හිස්තැනක් තියාගෙන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here