ලස්සනම චිත්‍රය

වගීෂා කැඩපත ළඟ කැරකුණේ හිත් වේදනාවෙන්.අත් දිගට මහපු ගවුමේ කර හොඳින් පියවී තිබීම සහනයක් කියලා වගීෂාට හිතුණා.ෂෝල් එකත් කරට දාගත්තු ඇය තොල් ආලේපනයක් අතටත් අරගෙන ආයේ කණ්නාඩි මේසය උඩින් ආලේපනය තියලා දිග හුස්මක් ගත්තේ හිතේ හැම වේදනාවක්ම පිට කරන්න හිතාගෙන.

“අම්මී..නිලූ ආන්ටි එනවා..”

ලොකු දූ කාමරේට එබිලා කෑගහන්න ගත්තා.චූටි පුතා නම් නිලූ ළඟට දුවගෙන යනවා වගීෂා දැක්කේ කාමරයේ ජනේලයෙන්.

“මෙයාට හැඩ වෙන්න යන වෙලාවක්..”

නිලූ කාමරයට එබුණේ එහෙම කියාගෙන.ඊටත් පස්සේ දෑත් ඉනට අරන් වගීෂා දිහා බැලුවේ මුහුණට තරහක් ආලේප කරගන්න ගමන්.

“ඔය ඇඳන් ඉන්නෙ මොකක්ද? සිල් ගන්න යන්න වගේ රෙද්දකුත් පොරෝගෙන..”

වගීෂා ආයෙම හුස්මක් පහළට දාලා ඇඳ උඩ වාඩි වුණා.

“ඔයා සිලෙක්ට් කරපු ගවුම අඳින්න බෑ නිලූ.අත් නැති ඇඳුම් මට කැතයි.අනික මං වගේ වංගෙඩියක් ඒ වගේ ගවුමක් අඳින්න..”

නිලූ මිතුරිය දිහා බලාගෙන හිටියේ තරහින්.මේ සිතුවිලි ඇයට එන්න හේතුව දන්න නිසාම නිලූට තරහ ගන්න හිතෙන්නෙත් නැහැ.

“පොඩි මේකප් එකක් දාමු වගී..චිත්‍ර ප්‍රදර්ශනේ අයිතිකාරි චිත්‍රයක් වගේ ඉන්න එපැයි.ඊට කලින් කරුණාකරලා මං ඔයාට තෝරලා අරන් එවපු ගවුම අඳින්න.
නැත්නම් අපේ යාලුකමට තිත තියලා ඔයාගෙ චිත්‍ර ප්‍රදර්ශනෙත් යකාට ගියාවේ කියලා මං යනව යන්න හරිද?”

වගීෂා මිතුරියගේ සරදම බාර ගත්තේ සන්සුන් බැල්මකින්.ඊටත් පස්සේ ඈ කිව්ව කතාව ගැන නිලූට ඇති වුණේ කියා ගන්න බැරි දුකක්.

“අවුරුදු ගාණක් ආදරේ කරලා කසාද බැඳලා දරුවො හදපු මනුස්සයත් මාව දාලා ගියානම් යාලුවෙක්ට යන්න බැරි නෑනෙ නිලූ..”

නිලූ වගීෂාට ඇඳුම් මාරු කරන්න ඉඩ ඇරලා සාලෙට ආවේ හේමන්ත ගැන සිහියට එන මතක වලට වෛර කරමින්.වගීෂාගේ දරුවන්ගේ තාත්තා වුණු හේමන්තඉඩක් ලැබෙන ඕනෑම වෙලාවක වගීෂාට කියන කතා නිලූට මතක් වෙන්න ගත්තා.

“ඔයාලා ෂොපිං කරන්න ගියාට වගීෂාව නම් අර පෙරහැරේ යන අලින්ට ඇඳුම් මහන මනුස්සයෙක් ගාවට අරන් යන්න වෙයි..”

ඒ දවස්වල නිලූ සාප්පු සවාරියක යන්න වගීෂාට කතා කරන්න ආවම හේමන්ත එහෙම කියන්නේ අසංවර තාලෙට හිනා වෙමින්.වගීෂාගේ මුහුණේ ඒ වෙලාවට ඇඳෙන අසරණ බැල්ම නිලූට තවමත් මතකයි.

“අපේ නෝනා නම් බත් බෙදා ගන්නේ හැන්දෙන් නෙවෙයි සවලෙන්..”

මිතුරු පිරිසක් එක්ක රෑ කෑමකට පිටතට ගියාම හේමන්ත එහෙම කියන හැටි නිලූට තවම මතකයි.

“මොනතරම් ඩයටීෂියන්ලා පස්සෙ ගියත්, ජිම් ගියත් මගෙ ඇඟ බහින්නෙ නෑනෙ..”

වගීෂා කණගාටුවෙන් කියන්නේ ඒ කතා අහන් ඉන්න බැරිකමට.

“ඔයාගේ ඇඟේ හැඩය බාර ගන්න වගීෂා.ඔය අනවශ්‍ය මහතක් නෙවෙයි.ඔයාගේ සයිස් නිළියෝ කොච්චර ඉන්නවද?ලස්සනට ස්ටයිල්ස් කරලා ලස්සනට ඉන්න එයාලාට පුලුවන් වෙලා තියෙන්නෙ එයාලා ඇඟේ හැඩය බාර අරන් තියන හින්දා.ඔයා කෙට්ටු වෙන්න දඟලන්නෙ හේමන්ත ඔයාට කැතයි කියන හින්දානම් ඒක හරි මෝඩ වැඩක්.ඔයා කැත කෙනෙක් නෙවෙයි..”

නිලූ පුලුවන් තරම් දේවල් වගීෂාට පැහැදිලි කළා.ඒත් තමන්ගේ සැමියා මන්තරයක් වගේ තමන් “කැත බතලියක්” කියනකොට ඒක දරා ගන්න වගීෂාට අමාරු බව කාටත් නොතේරුණා නෙවෙයි.

“හේමන්ත ඩිවෝස් එක ඉල්ලනව නිලූ..”

වගීෂා ඒ ආරංචිය අරන් ඇවිත් අඬපු හැටි මතක් කරමින් නිලූ සාලය පුරා ඇවිද්දා.මේ සාලයේ බිම වැටිලා වගීෂා ඇඬුවේ හේමන්ත ඇයව දාලා යන්න තිබුණු එකම හේතුව “වගීෂා කැත වීම” හින්දා.ඒ වගේ විකාර හේතුවක් දික්කසාදයකට හේතුවක් නෙවෙයි කියලා මිතුරියන් කැට තියලා කියපු කාරණාව ඇත්තක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ.දික්කසාදයට මාසයකට පස්සේ ප්‍රසිද්ධ යොවුන් නිරූපිකාවක් එක්ක රටම හෙල්ලිලා යන මංගල්ලයක් ගන්න හේමන්ත වග බලා ගත්තා.

එදායින් පස්සේ වගීෂා තවත් මුළුගැන්වුණු චරිතයක් බවට පත් වුණා. රැකියාවෙන් ලැබෙන මුදල දරු දෙන්නාට ප්‍රමාණවත් නෑ කියලා හිතෙන නිසා හිත නිවා ගන්න කරන විනෝදාංශය මුදල් බවට හරවන්න වගීෂා තීරණය කළා. ඒ චිත්‍ර ඇඳලා විකිණීම.

වගීෂාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම නිලූ ප්‍රමුඛ මිතුරියන්ගේ වැඩක්. තමන් වටිනා කෙනෙක්,දක්ෂ කෙනෙක් කියලා තේරුම් ගත්තාම වගීෂා ආපහු හිනා වෙයි කියලා මිතුරියන්ට විශ්වාසයක් තිබුණා.

චිත්‍ර ප්‍රදර්ශනය බලන්න බොහෝ අය ආවා.ඒ අතර හිටිය මැදිවියේ වැදගත් පෙනුමැති කෙනෙක් වගීෂාගෙන් චිත්‍ර ගැන බොහෝ කාරණා අහන හැටි නිලූ බලාගෙන හිටියේ ඈත ඉඳන්.

“මගේ වයිෆ් චිත්‍ර වලට හරි ආසා කරපු කෙනෙක්.අපි ජීවත් වුණේ ඇමරිකාවල. බ්‍රේන් ටියුමර් එකකින් එයා නැති වුණාට පස්සේ මටයි දූටයි චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න හිතුණාමයි..”

එහෙමෙහෙ දුවන පුංචි දූ පෙන්නමින් තිමිර එහෙම කියද්දී වගීෂාගේ චිත්‍ර ගැන ඔහුට කියන්න නිලූත් හවුල් වුණා.එදා තිමිර ආපහු ගියේ වගීෂාගේ චිත්‍ර කිහිපයක්ම මිලදී අරන්.ඔහු චිත්‍ර සම්බන්ධයෙන් කතා කරන්න කිහිපවතාවක්ම වගීෂාට දුරකථනයෙන් අමතන්න අමතක කළේ නැහැ

සොබාදහම සමහර අසාධාරණකම් වලට නිවැරදි යුක්තිය ඉටු කරන්නේ තරමක කාලය අරන්.හැබැයි බොහොම සුන්දර විදියට.හේමන්තට කැතට පෙනුණට තමන්ට තමන්ගෙ අනන්‍ය සුන්දර බවක් තියෙනවා කියලා වගීෂා ඉගෙන ගනිමින් ඉන්න බව නිලූට පෙනුණේ සන්තෝසය උතුරා හැලෙද්දී. වගීෂාගේ චිත්‍රවල පවා වසන්තය උතුරා යමින් තිබුණා.ඇය හඬමින් පසුතැවෙන්නේ නැතුව සතුටින් ජීවත් වීම ගැන ඇයට ආදරය කරන හිතවතුන්ට දැනුණේ සැනසීමක්.ඒත් තමන් කැත නැති බවත් සුන්දර බවත් වගීෂා තනියම ඉගෙන ගත්තේ නැති බව නිලූ දැනගෙන හිටියා.

වසන්ත කාලය ආවේ ශීත සමය පලවා හරිමින්.ඇමරිකාවේ ගම්බද පලාතක නිවසක් ඉදිරියේ ඡායාරූපයකට පෙනී ඉන්න පවුලක ඡායාරූපයක් ෆේස්බුක් මත දකිද්දී නිලූට දැනුණේ ඉහිලුම් නැති සන්තෝසයක්.වගීෂා ඇගේ දියණියත් පුතුත් තිමිර ඔහුගේ දියණියත් එක්ක වසන්ත සමයේ හිරු රැස් දිහා බලාගෙන හිනා වෙන්නේ ප්‍රීතියෙන් සහ ආදරයෙන්.හේමන්තට කැතට පෙනුණු වගීෂා සුන්දර ගැහැනියක් බව තිමිර වටහා ගෙන අවසන්.නිලූ ආයෙම ඒ ඡායාරූපයේ උද්ධෘතය දිහා බැලුවා.

Family is more than blood.

මැණිකක් කබොක් ගලක් යැයි අපහාස විඳි සමය අවසන් වෙලා.ඇය කිරුළක් මත රැඳී අවසන්.ඇගේ අලුත් පවුල මොනතරම් ලස්සනද කියලා නිලූ හිතුවා.
තමන්ට අපහාස ලැබෙන තැනකින් ඉවත් වෙලා වටිනාකම හඳුනන තැනක රැඳෙන්න සමත් හැම ගැහැනියක්ම මැණිකක්.ඒකේ සැකයක් නැහැ.

More Stories

Don't Miss


Latest Articles