මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 53

0
533

“ඔයා අනාගතේ ප්ලෑන් කරද්දී”

මං හෙමින් අර මුදු පෙට්ටිය මේසේ උඩින් තිබ්බා.

“මං බලාගෙන හිටියේ කොයි වෙලාවෙද තමුන්ගෙන් මම ගැලවෙන්නේ කියලා.”

ඒ වචන ටික අපාර්ට්මන්ට් එක පුරාම හරි අමුතු විදිහකට රැව් දුන්නා. මතින්ද්‍රගේ මූණේ තිබුණ පෙනුම ඒ තත්පරේම වෙනස් වෙනවා මට පැහැදිලිවම පෙනුණා. මුලින්ම වේදනාවක්, පස්සේ පුදුමයක් ඊටපස්සේ ඒ හැමදේම මහා ලොකු කේන්තියකට හැරුණා.

“මොකක්ද?”

එයා හෙමින් ඇහුවා. හැබැයි ඒ කටහඬ ඇතුළේ තිබුණේ මහා භයානක නිශ්ශබ්දතාවයක්.

“ඇයි?” මං මාරම මහන්සියකින් ඇහුවා. “පුදුමද?”

“ඔයා මේ කියන්නේ” එයා හුස්ම පාලනය කරගන්න උත්සාහ කරන ගමන් කතා කළා. “ඔයා මේ මුළු කාලෙම බලාගෙන හිටියේ මගෙන් පැනලා යන්නද?”

මං උත්තර දුන්නේ නැහැ. මොකද ඒ නිශ්ශබ්දතාවයම හොඳටම ඇති උත්තරේ තේරුං ගන්න.

“මට උත්තර දෙන්න!”

එයා මේ පාර මාර හයියෙන් කෑගැහුවා. මං ඇස් දෙක පියාගෙන හුස්මක් ගත්තා.

“ඔව්.”

මහා ලොකු නිශ්ශබ්දතාවයක්.

“මාරයි, වාව්.”

එයා තනියම හිනා වුණා. හැබැයි ඒ හිනාව ඇතුළේ තිබුණේ මහා එපා වෙච්ච ගතියක්. එයාට දරාගන්න බැරි වුණේ මං එයාට ආදරේ නොකරපු එක නෙවෙයි, එයා හදපු ඒ ලස්සන මායාව මං මගේ අතින්ම කුඩු කරලා දාපු එක. එයා හිතාගෙන හිටපු පර්ෆෙක්ට් කතාවේ මං රූකඩයක් වෙන්න ලෑස්ති නැහැ කියලා එයාට තේරෙන්න ගත්තේ ඒ වෙලාවේ.

හැබැයි ඒක හිනාවක් නෙවෙයි. ඒක හරියට මං කියපු දේ අදහගන්න බැරුව ආපු හිනාවක් වගේ.

“මාරයි මේඝා…”

එයා හෙමින් ඔළුව වැනුවා. “එතකොට මං මේ මාස ගාණක් තිස්සේ මෝඩයෙක් වගේ තමයි හැසිරිලා තියෙන්නෙ නේද?”

“මතින්ද්‍ර”

“නෑ” එයා අත උස්සලා මාව නැවැත්තුවා. “දැන් මට කතා කරන්න දෙන්න.”

එයා අපාර්ට්මන්ට් එක ඇතුළේ එහාට මෙහාට වේගෙන් ඇවිදින්න ගත්තා. හරිම කලබලෙන්, හරියට ඇඟ ඇතුළේ මොකක් හරි පුපුරන්න යනවා වගේ.

“මං හැමදේම හරිගස්සන්න උත්සාහ කළා”

මං මුකුත් කිව්වේ නැහැ.

“මං ඩිවෝස් එකකට මූණ දුන්නා”

මං තාමත් නිශ්ශබ්දයි.

“මං ඇත්තටම හැමෝවම, හැමදේම නැති කරගත්තා!” එයා තමන්ගේ පපුවට ඇඟිල්ලෙන් ඇනගත්තා. “ඒ හැමදේම කළේ ඔයා වෙනුවෙන්!”

“මං කිව්වේ නැහැ ඔයාට ඒ දේවල් කරන්න කියලා.”

“ආ ඇත්තද?” එයා මහා කිණ්ඩියට වගේ හිනා වුණේ. “එහෙනම් ඇයි? ඇයි මගෙත් එක්ක හිටියේ ? යන්න තිබ්බනේ”

මං එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

“මොකද මං බය වෙලා හිටපු නිසා.”

ඒ වචන ටික ඇහුණ ගමන් එයා හිටපු තැනම ගල් ගැහුණා.

“මොකක්ද?”

“මං බය වෙලා හිටියේ.”

“මට?” එයා ඇහුවේ හරියට ඒක හිතාගන්න බැරි දෙයක් වගේ. එයාට එයාගේ ආදරේ පෙනුණේ මහා ලොකු කැපකිරීමක් වගේ වුණාට, මට ඒක පෙනුණේ දම්වැලක් වගේ කියලා එයාට තේරුණේ ඒ වෙලාවේ. මගේ ඇස්වල තිබුණේ බොරු ආදරයක් නෙවෙයි, ජීවිතේ බේරගන්න දඟලන මනුස්සයෙක්ගේ අසරණකම විතරයි කියලා එයා දැන් පිළිගන්න අකමැති වුණත් එයාට ඒක දැනෙන්න පටන් අරන් තිබුණා.

මං හෙමින් ඔළුව වැනුවා.

එයාගේ ඇස්වල තිබුණ වේදනාව ඒ තත්පරේම මට පැහැදිලිව පෙනුණා. හැබැයි ඒ වේදනාව තත්පර ගාණක් ඇතුළත ආයෙත් මහා කේන්තියකට හැරුණා.

“බොරු කියන්න එපා ඕයි” එයා කෑගැහුවා.

“ඒක බොරුවක් නෙවෙයි.”

“මං කවදාවත් තමුසෙට අතක් උස්සලා තියෙනවද?”

“බය කියන එක හැමතිස්සෙම ෆිසිකලිම එන එකක් නෙවෙයි මතින්ද්‍ර” මං මේ පාර මගේ මුළු හයියම දාලා කෑගැහුවා.

මුළු කාමරයම එකපාරටම ගල් ගැහුණා වගේ වුණා. මහා බර නිශ්ශබ්දතාවයක්.

“ඔයා මාව මානසිකව මාර විදියට හිර කරා.”

එයාගේ මුණෙ මස්ල්ස් ආයෙ තද වුණා. “තමුසෙට දැන් හරි ලේසියි නේද? හැමදේම මගේ පිට පටවලා තමුසෙ නිර්දෝෂී වගේ රඟපාන්න.”

“මං නිර්දෝෂී නැහැ” මං හෙමින් කිව්වා. “හැබැයි තමුසෙ හිතන තරම් වැරදිකාරියකුත් නෙවෙයි.”

මතින්ද්‍ර හිනා උනෙ මහා කැත විදියට. “අනේ ප්ලීස් දැන් තමුසෙ සාන්තුවරියක් වෙන්න හදන්න එපා මේඝා.”

මං ඇස් දෙක හීනි කරලා එයා දිහා බැලුවා. “තමුසෙට ඇත්තටම තේරෙන්නේ නැද්ද?”

“මොකක්ද?”

“තමුසෙ මාව සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දැම්මා  කියලා.”

මතින්ද්‍ර මුකුත් කිව්වේ නැහැ. මං එයා දිහා බලාගෙන හිටියේ හරිම නිස්කලංක විදිහට. ඒ නිශ්ශබ්ද බව තමයි මතින්ද්‍රව තවත් අවුස්සන්න පටන් ගත්තේ.

“ඔයා දන්නවද මේ හැමදේකම තියෙන නරකම කොටස මොකක්ද කියලා?” මං හෙමින් ඇහුවා.

“මොකද්ද?”

“තමුසෙ තාමත් හිතාගෙන ඉන්නේ මේක ලව් ස්ටෝරියක් කියලා.”

මං ඒක කියද්දී මතින්ද්‍ර මං දිහා බලන් හිටියේ හරියට මං එයාගේ පපුවට පිහියකින් ඇන්නා වගේ වේදනාවකින්. එයා ලෝකෙටම පේන්න මාව රත්තරන් කූඩුවක දාගෙන හිටියා වුණාට, මට ඒ කූඩුව ඇතුළේ තිබුණු පීඩනය එයා කවදාවත් දැක්කේ නැහැ. එයාගේ ආදරේ හැමවෙලේම තිබුණේ එයාට ඕන විදිහට විතරයි. මගේ කැමැත්ත, මගේ හුස්ම ගැනීම ඒ හැමදේම තිබුණේ එයාගේ පාලනය යටතේ.

“තමුසෙ තාමත් හිතාගෙන ඉන්නෙ මේක ලව් ස්ටෝරි එකක් කියලා.”

මං එහෙම කියද්දි මතින්ද්‍රගේ මූණේ තිබුණ පෙනුම තවත් තද වුණා.

“එහෙනම් මොකක්ද මේක?” එයා දත් මිටි කමින් ඇහුවා. “ගේම් එකක්ද?”

මං උත්තර දුන්නේ නැහැ.

“මට උත්තර දීපන් මේඝා”

“මට මහන්සියි.”

“තමුසෙට මහන්සියි?” එයා එකපාරටම හිනා වුණා. “අනේ පව් තමුසෙට මහන්සියි.” එයා සරදමට වගේ අත්පුඩි ගහන්න පටන් ගත්තා. “මරු!”

“මතින්ද්‍ර”

“නෑ ඇත්තටම මේක නම් පට්ටම රඟපෑමක්.” එයාගේ ඇස් දැන් රතු වෙලා. “තමුසෙට පුළුවන් වුණා මාව මේ කතාවේ දුෂ්ටයා  කරන්නනේ. තමුසෙනෙ ඕයි රඟපාන්න යන්න තිබ්බෙ, මන්දස්මිතා නෙවෙයිනෙ ඕයි නිළිය තමුසෙනෙ. තමුසෙ හරි ලස්සනට අහිංසක චරිතෙ රඟපාලා මාව නිකන් බලු මිනිහෙක් කරා නේද?”

“නෑ ඒකට ලොකුවට මහන්සිවෙන්න දෙයක් කරන්න තමුන්ට තිබ්බෙ නෑ.” මං කෙළින්ම කිව්වා.

ඒ වචනෙත් එක්ක එයාගේ මූණේ තිබුණ සරදම් හිනාව එකපාරටම නැති වෙලා ගියා.

“ඔයා හිතනවද ඔයා මාර පර්ෆෙක්ට් කියලා?”

“නෑ.”

“ඔයා හිතනවද ඔයා අහිංසකයි කියලා?”

 “නෑ.”

“එහෙනම් තමුසෙගේ මුළු ජීවිතේම මං කාලා දැම්මා වගේ රඟපාන එක නවත්තපන්!”

අපාර්ට්මන්ට් එක පුරාම එයාගේ කෑගැහිල්ල රැව් දුන්නා. හැබැයි පුදුමෙ කියන්නේ මං මේ පාර බය වුණේ නැහැ. සමහරවිට අන්තිමේදී මට ඇත්තටම තරහා ගිහින් තිබුණ නිසා වෙන්න ඇති.

“ඔව්.” මං හෙමින් කිව්වා.

එයා ඇස් පිල්ලම් ගහලා මං දිහා බැලුවා. “මොකක්?”

“තමුසෙ මගේ ජීවිතේ විනාශ කළා තමයි.”

“අනේ මේ තවත් රඟපාන්න එපා ඕයි”

“රඟපාන්න?” මං හිනා වුණා. “තමුසෙ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා දැම්මා මතින්ද්‍ර.”

“තමුසෙත් මට හොරෙන් දේවල් කළානේ”

“මං?” මං පුදුම වෙලා වගේ ඇහුවා. “මොනවද මං තමුසෙට හොරෙන් කරේ?”

“මෙච්චර දෙයක් මෙච්චර දවසක් හංගගෙන උන්න එකම හොරයක් නෙවෙයිද ඕයි? තමුසෙ හිතුවද මට තනිකමක් දැනුණේ නැහැ කියලා? මගේ හිත රිදුණේ නැහැ කියලා?”

“අහ් එතකොට අන්තිමේදී තේරුණාද?”

“මොකක්ද?”

මං එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ඊටපස්සේ හරිම හෙමින්, වචනයෙන් වචනය මං කතා කළා.

“ඔයාටත් ඒ රහ බලන්න දෙන්න මට ඕන වුණා කෙනෙක් තමන්ට හොරෙන් දේවල් කරන එක කොහොමද දැනෙන්නේ කියලා.”

එයාගේ මූණ එකපාරටම ගල් ගැහුණා. හරියට මං එයාගේ පපුව මැදට පිහියකින් ඇන්නා වගේ.

“මේඝා”

“නෑ, අහගෙන ඉන්න.” මං අත උස්සලා එයාව නැවැත්තුවා. “තමුසෙ දන්නවද මට කොහොමද දැනුණේ කියලා මන්දස්මිතා ගැන දැනගත්ත දවසේ? එදා මට දැනුණේ මගේ මුළු ජීවිතේම මහා ලොකු බොරුවක් වගේ.”

මගේ හුස්ම වේගවත් වුණා. කටහඬ වෙව්ලන්න ගත්තා.

“මං මගෙන්ම ප්‍රශ්න කළා මං ලස්සන මදිද? මං දක්ශ මදිද? මං ටොක්සික් කෙනෙක්ද? මාව අයින් කරලා තව කෙනෙක්ව ළංකරගන්න එක ඒ තරම්ම ලේසිද? තමුසෙ මාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා, ඊටපස්සේ බලාපොරොත්තු වුණා මං මොකුත් නොවූ ගාණට සාමාන්‍ය විදිහට ඉඳියි කියලා.”

මගේ ඇස්වල කඳුළු පිරුණා. හැබැයි මං මේ පාර ඒවා පිහදාන්න ගියේ නැහැ. මට ඕන වුණා එයාට ඒ වේදනාව පේන්න. මතින්ද්‍ර දැන් මුකුත් කියන්නේ නැහැ. මහා භයානක නිශ්ශබ්දතාවයක එයා ගිලිලා හිටියා. එයා හිතාගෙන හිටියේ එයා කරපු වැරදි ආදරේ නාමයෙන් වහන්න පුළුවන් කියලා, ඒත් ඒ හැම වැරැද්දක්ම මගේ පපුවේ කොච්චර ලොකු කැළලක් ඇති කරලා තියෙනවද කියලා එයාට තේරෙන්න ගත්තේ දැන්.

“ඔයාට ආදරේ තිබුණා.” මං හෙමින් කිව්වා. “හැබැයි වගකීමක් තිබුණේ නැහැ.”

මං මගේ කටහඬ තවත් පහත් කළා. “ඔයා හිතාගෙන හිටියා ඔයාට ඕන වෙලාවට මාව කඩලා බිඳලා දාන්නත් පුළුවන් කියලා. ආයෙත් ඕන වුණාම ඒ කෑලි අහුලලා අලවගන්න පුළුවන් කියලා ඔයා හිතුවා.”

මං එයාගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඒ ඇස්වල තිබුණේ තමන්ගේ බලය ගිලිහී යනවා දකින මනුස්සයෙක්ගේ අසරණකමද, නැත්නම් පරාජය දරාගන්න බැරි කේන්තියක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. හැබැයි මං එක දෙයක් දැනගෙන හිටියා; මං ආයෙත් කවදාවත් එයාට ඕන විදිහට හැඩගස්වන්න පුළුවන් මැටි පිඩක් නෙවෙයි කියලා. එයා මුද්දක් දීලා බලාපොරොත්තු වුණේ මාව සදහටම අයිති කරගන්න වුණාට, ඇත්තටම එයා ඒකෙන් කළේ මට නිදහස් වෙන්න තිබුණ අන්තිම දොරත් ඇරලා දීපු එක.

“ඕන වෙලාවට ආයෙ අහුලගන්නත් පුළුවන් කියලා.”

අපාර්ට්මන්ට් එක ඇතුළේ තිබුණ නිශ්ශබ්දතාවය ඒ වචන ටිකෙන් පස්සේ හරිම බර වුණා. මතින්ද්‍ර මුකුත් කිව්වේ නැහැ. හැැබැයි එයා හුස්ම ගන්න විදිහ වෙනස් වෙලා තිබුණා. හරිම හෙමින්, ඒ වගේම බර හුස්මවල්. හරියට ඇඟ ඇතුළේ මොකක් හරි භයානක දෙයක් රත් වෙවී තියෙනවා වගේ.

මං එයා දිහා බලන් හිටියා. එයා මං දිහා බලන් හිටියා. ඒත් එක්කම මට එකපාරටම තේරුණා  මං වැඩියෙන්ම බය වුණ මතින්ද්‍ර ආයෙත් මගේ ඉස්සරහට ඇවිත් කියලා. අර මට ආදරේ කරපු මතින්ද්‍ර නෙවෙයි, වරදකාරී හැඟීමෙන් හිටපු මතින්ද්‍රත් නෙවෙයි. මේ ඉන්නේ අර කේන්තිකාර, තමන්ව පාලනය කරගන්න බැරි මතින්ද්‍ර.

“ඉතින් ඒකද?” එයා හෙමින් ඇහුවා.

 “මොකක්ද?”

 “තමුසෙ මේ කරපු හැමදේකටම හේතුව .”

එයාගේ ඇස් දැන් සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා. “පළිගැනීමක් නේද එතකොට මේක?”

“නෑ.”

“බොරු කියන්න එපා” එයා මේ පාර කෑගැහුවා. මං ඉබේටම වගේ අඩියක් පස්සට ගියා. එයා ඒක දැක්කා. අන්න ඒ තත්පරේම එයාගේ මූණේ පෙනුම තවත් වෙනස් වුණා. වේදනාව, තරහා, ඊගෝ එක හැමදේම එකට මික්ස් වෙච්ච පෙනුමක් ඒක.

“ඔයා තාමත් මට බයයි නේද?” එයා හෙමින් ඇහුවා.

මං උත්තර දුන්නේ නැහැ. මොකද උත්තරේ ඕනෑවටත් වඩා පැහැදිලි නිසා. එයා හරිම කැත විදිහට හිනා වුණා.

“බැල්ලි උඹ මාව කෑවා” කියලා එයා අතින් මූණ තදින් අතුල්ලගත්තා.

“මේ මුළු කාලෙම” එයා ඔළුව පහත් කරගෙන තනියම හිනා වුණා. “මං හිතුවේ මං හැමදේම හරිගස්සනවා කියලා.”

මං හරිම හෙමින් කිව්වා “සමහර දේවල් ආයෙ හරිගස්සන්න බැහැ.” කියලා.

“එහෙනම් මට එක දෙයක් කියන්න.”

මං කතා කළේ නැහැ.

“ඔයා මට කවදාවත් ආදරේ කළේ නැද්ද?”

ඒ ප්‍රශ්නය ඇහුණ තත්පරේ දෙයියනේ, මගේ පපුව ඇතුළේ මොකක් හරි ඇඹරිලා ගියා වගේ දැනුණා. මොකද මේ කතාවේ තියෙන ලොකුම ඛේදවාචකය ඒකයි.

“මං ආදරේ කළා,” මං හුස්මකටත් වඩා හෙමින් මිමිනුවා. “ඕනෑවට වඩා වැඩියෙන්”

එයාගේ ඇස් එක තත්පරේකට මෘදු වුණා. හැබැයි මං ඊළඟට කිව්ව වාක්‍යයත් එක්ක හැමදේම ආයෙත් කුඩු වෙලා ගියා.

“හැබැයි දැන් මට දැනෙන්නේ” මං හෙමින් ඔළුව වැනුවා. “මං ආදරේ කරලා තිබුණේ මං හිතින් මවාගෙන හිටපු ඔයාගේ රූපයකට මිසක්, ඇත්තටම ඉන්න ඔයාට නෙවෙයි කියලා.”

ඒ නිශ්ශබ්දතාවය. මහා දිගු නිශ්ශබ්දතාවයක්. ඊටපස්සේ මතින්ද්‍රගේ මූණෙ මස්ල්ස් ආයෙ තද වුණා. එයාගේ අත් දෙක මිටි වුණා. ඒත් එක්කම හරිම හෙමින්… හරිම හෙමින්… එයා මගේ දිහාවට ඇවිදගෙන එන්න පටන් ගත්තා.

මගේ හදවත එකපාරටම වේගයෙන් ගැහෙන්න ගත්තා.

“මතින්ද්‍ර.”

එයා නතර වුණේ නැහැ. “එක අඩියක් පස්සට යන්න,” මගේ හිත ඇතුළෙන් මට කෑගහලා කිව්වා. හැබැයි මගේ මුළු ඇඟම ගල් ගැහිලා තිබ්බෙ. එයා තවත් ලං වුණා.

තවත්… තවත්…

“මතින්ද්‍ර?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here