මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 55 (අවසන් කොටස)

0
1

මන්දස්මිතාගෙ කතාව

ස්ටුඩියෝ එකේ ලයිට්ස් මගේ මූණට වැටෙද්දි මට එකපාරටම මතක් වුණේ කැමරා වලට මං මුලින්ම මුහුණ දීපු කාලෙ. එදා මං ලස්සන නිළියක් විතරයි. හැබැයි අද මං කතාවක් අරගෙන ආපු ගැහැනියෙක්.

“ලෑස්තිද මැඩම්?” මේකප් කරන ළමයා හෙමින් ඇහුවා.

මං කණ්ණාඩිය දිහා ටික වෙලාවක් බලන් හිටියා. අවුරුදු ගාණක් ගිහින් තිබුණත් සමහර දේවල් මූණෙන් මැකිලා යන්නෙ නෑ කියලා මට ඒ හෙවණැල්ල දිහා බලද්දි හිතුණා. සමහර හදවත බිඳුණු තැන් සදාකාලිකවම ඉතිරි වෙනවා. ඒක පිටතට පේන්නෙ නෑ. හැබැයි කොහේ හරි ඇස් ඇතුළේ ඒක හැංගිලා තියෙනවා.

“මං ලෑස්තියි,” මං හෙමින් කිව්වා.

තත්පර කීපයකට පස්සෙ ස්ටුඩියෝ එකේ ෆ්ලෝ මැනේජර් ගණන් කරන්න ගත්තා. “පහයි… හතරයි… තුනයි…”

රතු ලයිට් එක දැල්වුණා. නිවේදකයා හිනාවෙලා කැමරාව දිහාවට හැරුණා. “සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අද අපිත් එක්ක ඉන්නෙ ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ ගොඩක් ගරු කරන නිෂ්පාදකවරියක්. නිළියක් විදියට තමන්ගේ ගමන පටන් ගත්ත එයා අද ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක.”

එයා මා දිහා හැරුණා. “සාදරයෙන් පිළිගන්නවා මන්දස්මිතා.”

මං හිනා වුණා. “ස්තූතියි.”

“මුලින්ම සුබ පතනවා. මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම කතා වෙන්නේ ඔයාගේ ඉදිරියට එන්න තියෙන අලුත්ම නිර්මාණය ගැන.”

මං හෙමින් ඔළුව වැනුවා.

“හැමෝම දැනටමත් කියනවා මේක ඔයා කරපු නිර්භීතම වැඩේ කියලා.”

“සමහරවිට,” මං හිනා වෙලා කිව්වා. “නැත්නම් සමහරවිට මගේ අවංකම නිර්මාණය වෙන්නත් පුළුවන්.”

නිවේදකයා උනන්දුවෙන් මං දිහාවට නැඹුරු වුණා.

“අවංකම?”

“ම්ම්.”

“එහෙනම් අපිට කියන්න මේ නිර්මාණය හරියටම මොකක් ගැනද?”

ස්ටුඩියෝ එකේ ලයිට් එකපාරටම රත් වුණා වගේ මට දැනුණා. මං මගේ ඇඟිලි දෙක හෙමින් පටලවාගත්තා.

“ආදරය ගැන.”

නිවේදකයා හිනාවුණා. “ආදර කතාවක්ද?”

මං ටික වෙලාවක් කතා නොකර හිටියා. ඊටපස්සේ හරිම හෙමින් “නෑ.” කියලා කිව්වා.

“එහෙනම්?”

මං කැමරා කාචය දිහා බැලුවා. කෙළින්ම. “ආදරයයි, උමතුවයි වරදවා වටහාගත්ත, පටලවාගත්ත මිනිස්සු ගැන.”

ස්ටුඩියෝ එක ඇතුළේ ලොකු නිශ්ශබ්දතාවයක් ඇති වුණා. නිවේදකයාගේ හිනාව ටිකක් මැකිලා ගියා. “ඒක හරිම ආකර්ෂණීය කතාවක් මං කැමති ඒ ගැන තව ටිකක් දැනගන්න.”

“අපි හරිම ලස්සනට දකින සමහර බැඳීම් කොයි තරම් භයානක වෙන්න පුළුවන්ද කියන එක ගැනයි මේ නිර්මාණය.”

“භයානක?”

“ම්ම්.” මං හෙමින් හුස්මක් ගත්තා. “සමහර බැඳීම් තියෙනවා පිටතින් බැලුවම හරිම පරිපූර්ණ, ලස්සන ආදරයක් වගේ පෙනෙන.”

“හැබැයි ඇතුළතින්?”

මං හීනියට හිනාවුණා. “ඇතුළතින් හැමෝම හෙමින් හෙමින් හුස්ම හිරවෙලා ගිලෙනවා.”

නිවේදකයා තත්පර ගාණක් යනකල් නිහඬ වෙලා හිටියා.

ඊටපස්සේ හරිම පරිස්සමින් මෙහෙම ඇහුවා.

 “මේ නිර්මාණය සැබෑ සිදුවීම් ඇසුරෙන් කරපු එකක්ද?”

මං ඒ ප්‍රශ්නෙ ඇහුණ ගමන් හිනාවුණා. හැබැයි ඒ හිනාව ඇතුළේ සතුටක් තිබුණෙ නෑ. හරියට කාලයක් තිස්සේ හංගගෙන හිටපු මතකයක් ආයෙ හෙමින් ඇවිල්ලා පපුව අස්සෙ තෙරපුණා වගේ හැඟීමක් මට දැනුනෙ.

“හැම කතාවක්ම කොයි විදියකින් හරි සත්‍යයක්,” මං හෙමින් කිව්වා.

නිවේදකයා කුතුහලයෙන් පිරුණු බැල්මකින් මං දිහා බලන් හිටියා. “ඒ කිව්වේ?”

“අපි හිතනවට වඩා මිනිස්සු හිතින් කැඩිලා ඉන්නේ.” මං පුටුවට ටිකක් හේත්තු වුණා. “විශේෂයෙන්ම ආදරය ඉස්සරහදී.”

“මේ නිර්මාණයේ ප්‍රධාන තේමාව අනියම් සම්බන්ධයක් කියලා කටකතා යනවා.”

මං ටික වෙලාවක් නිහඬව හිටියා. ඊටපස්සේ අන්තිමේදී “ඔව්.” කියලා මං කිව්වා.

“සමාජ මාධ්‍යවල දැන්ම ඒ ගැන වාද විවාද යනවා. සමහරු කියනවා අනියම් සබඳතා ඇති වෙන්නේ ආදරය ඉවර වුණාම කියලා. තවත් සමහරු කියනවා සැබෑ ආදරය සමහර වෙලාවට එන්නේ වැරදි වෙලාවක කියලා.මන්දස්මිතා මොකද ඒ ගැන හිතන්නෙ?”

මං හෙමින් හිනා වුණා. “සමාජ මාධ්‍යවල අනියම් සබඳතා ගැන කවි වගේ ලස්සන දේවල් ලියන්න ලේසියි.”

නිවේදකයා අපහසුවෙන් වගේ හිනා වුණා. “ඒක නම් ටිකක් සැර වැඩියි.”

“ඒත් ඒකයි ඇත්ත.” මං කැමරාව දිහාම බලන් කියන්න පටන් ගත්තා. “අනියම් සම්බන්ධයක් කියන්නේ ලස්සන සමනල්ලු පියාඹනවා වගේ හැඟීමක් නෙවෙයි.”

“එහෙනම් ඒක මොකක්ද?”

“හීන් සීරුවේ සිද්ධ වෙන විනාශයක්.”

ස්ටුඩියෝ එක ඇතුළේ ලොකු නිශ්ශබ්දතාවයක් ඇති වුණා.

“මිනිස්සු අවධානය දෙන්නේ ඒකේ තියෙන කුතුහලයට විතරයි. හොර රහසේ ගන්න කෝල්ස්, හංගගෙන කරන හමුවීම්, ඒ බැඳීමේ තියෙන හැඟීම් වලට වහල් වීම, ආසක්ත වීම වගේ අන්න ඒ වගේ දේවල් වලට.” එහෙම කියලා මං හෙමින් ඔළුව වැනුවා.

“හැබැයි ඒ එක්කම එන මානසික පීඩනය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. බොරු කියන්න සිද්ධ වීම, හැම වෙලේම සැකයෙන් ඉන්න එක, වරදකාරී හැඟීම, ඒකෙන් ඇති වෙන මානසික බිඳවැටීම.”

“ඔයා මේ නිර්මාණයෙන් හරියටම කියන්න උත්සාහ කරන්නේ මොකක්ද?”

මං ටික වෙලාවක් කල්පනා කළා.ඇත්තටම ඒ උත්තරය මං අවුරුදු ගාණක් තිස්සේ හොයපු ප්‍රශ්නයක් වගේ. ඊටපස්සේ හරිම හෙමින්  “අනියම් සම්බන්ධයක් කියන්නේ ආදර ත්‍රිකෝණයක් නෙවෙයි කියන එක” කියලා කිව්වා.

“එහෙනම්?”

“වෙනස් වෙලාවන් වලදී ලේ ගලන හදවත් තුනක් ගැන කියන බැඳීමක්.”

නිවේදකයා නිහඬ වුණා.

“සමහර වෙලාවට තුන් දෙනෙකුටත් වඩා වැඩි පිරිසක්.”

මං හීනියට හිනාවුණා. “මොකද වේදනාව කියන දේ පැතිරිලා යනවා.”

ස්ටුඩියෝ කැමරා හෙමින් මං දිහාවට ළං වෙද්දී  මං මගේ ඇඟිලි තද කරගත්තා. “මිනිස්සු හැමවෙලේම වැරදිකාරයෙක්ව හොයනවා.”

“වැරදිකාරයෙක්?”

“ඔව්. අනිත් ගැහැණිය. අනිත් මිනිහා.” මං හෙමින් ඔළුව වැනුවා. “හැබැයි තමන්ට ඕන විදියට හිත වෙනස් කරපු, මැනිපියුලේට් කරපු කෙනා ගැන කතා කරන්නේ හරිම අඩුවෙන්.”

නිවේදකයා හරිම පරිස්සමින් මෙහෙම ඇහුවා: “ඔයා හිතනවාද මේ වගේ තත්ත්වයන් වලදී සමාජය ගැහැණු අයට වැඩියෙන් දොස් පවරනවා කියලා?”

මං ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් තත්පර කීපයක් නිශ්ශබ්දව හිටියා.

ඊටපස්සේ මං හෙමින් කිව්වා.

“සෑමවිටම.”

“ඒ අයත් ගොදුරක් වුණු වෙලාවකදී පවා?”

“විශේෂයෙන්ම එතකොට.”

නිවේදකයාගේ මූණේ පෙනුම හෙමින් මෘදු වුණා.

“මේ නිර්මාණයේ ඉන්න ප්‍රධාන ගැහැණු චරිත දෙන්නා අතර තියෙන හැඟීම්බර බැඳීම ගොඩක් ශක්තිමත් කියලා රංගන ශිල්පීන්ගේ සම්මුඛ සාකච්ඡා වල පවා කියවෙනවා.”

ඒක ඇහුවම මගේ මූණට හිනාවක් ආවා. මේ පාර ඒක ඇත්තම හිනාවක්.

“මොකද ගැහැණු අය වේදනාව තේරුම් ගන්න විදිහ වෙනස්.”

“ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?”

“සමහර වෙලාවට ඔයාගේ ජීවිතය විනාශ කළා කියලා ඔයා හිතන ගැහැණු කෙනා ඇත්තටම ඒ මනුස්සයාගෙන්ම බේරෙන්න උත්සාහ කරන තවත් එක අසරණයෙක් විතරක් වෙන්න පුළුවන්.”

නිවේදකයා ඒ වචන ටික ඇහුවට පස්සේ තත්පර කීපයක් යනකල් සම්පූර්ණයෙන්ම ගොළු වෙලා හිටියා. හරියට ඒ වාක්‍යය එයා බලාපොරොත්තු නොවුණු විදිහට හිතට වැදුණා වගේ.

“පුදුමයි”

එයා හෙමින් හිනාවුණා. “ඒක හරිම බලවත් ප්‍රකාශයක්.”

මං මගේ උරහිස් ටිකක් උස්සලා හීනියට හිනාවුණා. “මොකද ඒක ඇත්ත නිසා.”

“ඔයා මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවාද?”

“පණිවිඩයක් කියන වචනෙ ඇත්තටම මම දෙන්න හදන දේ විග්‍රහ කරන්න හරිම සරල වැඩි.”

“එහෙනම්?”

“සමහරවිට අනතුරු ඇඟවීමක් වගේ දෙයක් කියන වචනෙ වඩාත් ගැලපෙනවා කියලා මම හිතනවා.”

නිවේදකයා උනන්දුවෙන් මං දිහාවට නැඹුරු වුණා. “මොකක් ගැනද?”

“අධික බැඳීම සහ ආදරය පටලවාගැනීම සහ වරදවා වටහා ගැනීම ගැන.”

මං කැමරාව දිහා කෙළින්ම බැලුවා. “කවුරුහරි ඔයා ගැන උමතුවෙන් හිටපු පළියට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයා ඔයාට හොඳ විදිහට ආදරය කරනවා කියලා.සමහර වෙලාවට පාලනය කිරීම මුල් කාලෙදි දැනෙන්නේ හරිම රොමැන්ටික් විදියට. ඊර්ෂ්‍යාව දැනෙන්නේ දැඩි ආදරයක් වගේ. අයිති කරගන්න හදන එක දැනෙන්නේ ආරක්ෂාවක් වගේ. හැබැයි දවසක ඔයාට තේරෙනවා ඔයාට ආයෙ හුස්ම ගන්නවත් ඉඩක් ඉතුරු වෙලා නැහැ කියලා.”

ස්ටුඩියෝ එක ඇතුළේ තිබුණ නිශ්ශබ්දතාවය දැන් හරිම බරයි. හරියට එතන හිටපු සේවක මණ්ඩලයත් හුස්ම නොගෙන අහගෙන ඉන්නවා වගේ.

නිවේදකයාගේ කටහඬ දැන් ගොඩක් මෘදු වෙලා.

“ඔයා හිතනවාද මිනිස්සුන්ට මේ නිර්මාණය දකිද්දී හිතට අපහසුවක් දැනෙයි කියලා?”

“හොඳ නිර්මාණයක් කියන්නේ හිතට අපහසුවක් දැනෙන්න සලස්වන එකටයි කියල මං විශ්වාස කරනවා.”

“වේදනාකාරී වුණත්?”

“විශේෂයෙන්ම වේදනාකාරී වෙන්න ඕන.”

නිවේදකයා ටිකක් පසුබට වුණා ඊලඟ ප්‍රශ්නෙ අහන්න. ඊටපස්සේ අන්තිමේදී හැමෝම බලාපොරොත්තු වෙලා හිටපු ප්‍රශ්නය එයා ඇහුවා.

“අන්තර්ජාලය පුරා මේ කතාවට පාදක වුණු සැබෑ ජීවිතයේ අත්දැකීම ගැන එක එක මතවාද පළ වෙනවා.”

මං හිනා වුණා. “අන්තර්ජාලයේ ඉන්න මිනිස්සුන්ට හැමතිස්සෙම එක එක දේවල් ගැන එක එක මතවාද තියෙනවා.”

“සමහරු විශ්වාස කරනවා මේක මීට අවුරුදු ගණනකට කලින් වෙච්ච ඔබේ හිටපු සැමියා සහ ඒ සිද්ධියට සම්බන්ධයි කියලා.”

මුළු සම්මුඛ සාකච්ඡාව පුරාම පළවෙනි වතාවට සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වුණා. සංගීතයක් නැහැ. සෙලවීමක් නැහැ. මුකුත්ම නැහැ. කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වෙ නෑ. හුස්ම ගත්තෙත් නැද්ද මන්දා.

නිවේදකයා හරිම පරිස්සමින් ඒක දිගටම ඇහුවා. “අර අපාර්ට්මන්ට් එකේ සිද්ධ වෙච්ච සිදුවීම.”

මං හෙමින් මං වාඩිවෙලා උන්න පුටුව පිටිපස්සට හේත්තු වුණා. හරියට ඇඟ එකපාරටම බර වුණා වගේ මට දැනුණා.

“මිනිස්සු තාමත් ඒ ගැන කතා වෙනවා” නිවේදකයා හෙමින් කිව්වා. “විශේෂයෙන්ම එදා රෑ ඇත්තටම මොකක්ද වුණේ කියලා කවුරුත් හරියටම දන්නේ නැති නිසා.”

මං ටික වෙලාවක් කතා කරේ නැහැ. කැමරාව මගේ මූණට හරිම ළඟට හෙමින් ළඟා වුණා.

“ඔයා දන්නවද?”

නිවේදකයා ඒක ඇහුවේ හරිම හෙමින්, හරියට රහසක් වගේ.

“ඇත්තටම මොකක්ද වුණේ කියලා ඔයා දන්නවද?”

මං කැමරා කාචය දිහා තත්පර ගාණක් බලාගෙන හිටියා. ඊටපස්සේ අන්තිමේදී හරිම හෙමින් මං හිනා වුණා. ඒක හරිම දුක්බර, පුංචි හිනාවක්.

“සමහර කතා වල” ඊළඟ වචන ටික කියන්න කළින් මං හුස්මක් ගත්තා.

“ඇත්ත දැනගන්නවට වඩා ඒවයෙන් ඉගෙනගන්න එක වැදගත්.”

නිවේදකයා ඒ වාක්‍යයත් එක්ක තත්පර කීපයක් හුස්ම අල්ලගෙන හිටියා වගේ මට දැනුණා.

“ඉගෙනගන්න එක වැදගත්” එයා හෙමින් ඒ වචන ටික ආයෙත් කිව්වා.

මං හිනාවුණා. හැබැයි ඒ හිනාවේ සතුටක් ගෑවිලාවත් තිබුණෙ නෑ.

“ම්ම්.”

ස්ටුඩියෝ ලයිට් තාමත් මගේ මූණට වැටෙනවා. හැබැයි මට ඒ වෙලාවේ දැනුණේ මං කැමරාවක් ඉස්සරහ නෙවෙයි අතීතයක් ඉස්සරහ ඉන්නවා වගේ.

නිවේදකයා ආයෙත් තමන්ගේ අතේ තිබුණු කොළය දිහා බැලුවා.

“අවසාන වශයෙන් තව එක ප්‍රශ්නයක් තියෙනවා.”

මං ඔළුව වැනුවා.

“අහන්න.”

“මේ හැමදේකටම පස්සේ ඔයා තාමත් විශ්වාස කරනවාද ආදරය කියන දේ වටිනවා කියලා?”

එතන ඇතිවුණේ නිශ්ශබ්දතාවයක්. දිග බර නිශ්ශබ්දතාවයක්. කැමරාව බලන කෙනා පවා ගල් ගැහිලා වගේ හිටියෙ.

මං හෙමින් හුස්මක් ගත්තා. ඊටපස්සේ හෙමින් මගේ කතාව කියන්න පටන් ගත්තා.

“ආදරය”

මං කැමරාව දිහා බැලුවා. කෙළින්ම.

“ආදරය නෙවෙයි ප්‍රශ්නය.”

නිවේදකයා ඇස් පිල්ලම් ගැහුවා. “එහෙනම් මොකක්ද?”

මං හීනියට හිනාවුණා.

“ආදරය කරන්න දන්නේ නැතිව ඒත් ළඟටම වෙලා ඉන්න තෝරාගන්න මිනිස්සු තමයි ප්‍රශ්නෙ.”

ආයෙමත්  ඇතිවුනේ නිශ්ශබ්දතාවයක්. මේ පාර ඒක වෙනස්. ඒක බර නැහැ ඒක හිස්. මගේ හිත වගේම හරිම හිස්.

නිවේදකයා හෙමින් ඔළුව වැනුවා. “ස්තූතියි, මන්දස්මිතා.”

“ස්තූතියි.”

රතු ලයිට් එක හෙමින් නිවිලා ගියා. ස්ටුඩියෝ එකේ සාමාන්‍ය ශබ්ද ආයෙත් ඇහෙන්න ගත්තා. සේවක මණ්ඩලය ආයෙත් එහා මෙහා වෙන්න පටන් ගත්තා. හැබැයි මං එක තත්පරයකට නොසෙල්වී හිටියා. එකම එක තත්පරයකට.

මොකද මම දැනගෙන හිටියා

සමහර කතා ඉවරවෙන්නෙ යුක්තියෙන් නෙවෙයි ඒ කතාවෙන් පස්සේ අපි ජීවත් වෙන්න ඉගෙනගන්න විදිහෙන් කියලා.

———————————————————————————————————————–

මේ කතාව පටන් ගත්තෙත්, අතරමග ගෙවී ගියෙත්, අවසානයේ ඉවර වුනෙත් ඔයාලා බලාපොරොත්තු වුන වෙනදා ගේන කතාවල තියෙන ලස්සන, සුන්දර බව එක්ක නෙවෙයි කියන එක වගේම ඒ නිසාම මේ කතාව කියවන්න ගොඩක් අය අකමැති වුණ බවත්, සමහරු මේක කියෙව්වෙ හිතේ ලොකු පීඩනේකින් බවත් මම දන්නවා.

ඒකට මට අනේකවාරයක් සමාවෙන්න ඕන.

ඒත් හැමදාම අරගෙන එන ආදරණීය කතා අස්සෙම සමාජයේ ඇත්තටම අපිට මූණ දෙන්න සිදුවෙන අනියම් සබඳතා වගේ දේවල් වල නරක පැත්ත කොච්චර දුරට නරක් වෙන්න පුළුවන්ද කියන එක පෙන්නලා දෙන්න මේ වගේ කතාවක් ලිවිය යුතුමයි කියලා හිතුණ නිසායි මම මේ කතාව ලිව්වේ.

අනියම් සම්බන්ධයක් කියන්නේ පිටින් බලන කෙනෙකුට හරිම රොමැන්ටික්, ලස්සන කතාවක් වගේ පෙනුනට, ඇත්තටම ඒක හෙමින් හෙමින් සිද්ධ වෙන ලොකු විනාශයක්. රහස් ඇමතුම්, හොර හමුවීම් මැද්දේ තියෙන ඒ කුතුහලය ඇතුළේ ඇත්තටම තියෙන්නේ තමන්ගේම හිත එක්ක කරන ලොකු සටනක්. බොරු කීම, හැමවෙලේම පපුවේ තියෙන බය, වරදකාරී හැඟීම මේ දේවල් නිසා මනුස්සයෙක් මානසිකව වැටෙන තැන කියන්න වචන නැහැ. ආදරය කියන ලස්සන වචනය පාවිච්චි කරලා තවත් කෙනෙක්ව රවට්ටන එක, තවත් කෙනෙක්ගේ විශ්වාසය කඩන එක මොනම හේතුවක් නිසාවත් සාධාරණීකරණය කරන්න බැහැ. මොකද, සැබෑ ආදරය කියන්නේ තවත් කෙනෙක්ගේ ඇස්වලට කඳුළු දීලා, හදවතක් කෑලි වලට කඩලා විඳින සතුටක් නෙවෙයි.

මේ කතාව අහගෙන ඉන්න ඕනෑම කෙනෙකුට තේරෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි, අපි ආදරය කියලා හිතාගෙන අනුන්ගේ ජීවිත විනාශ කරන එක කොච්චර පව්කාර වැඩක්ද කියන එක. සමාජ මාධ්‍යවල මේ දේවල් ලස්සනට ලියන්න පුළුවන් වුණාට, ඒ දේවල් අස්සේ හැංගිලා තියෙන කඳුළු ගොඩක් තියෙනවා. ඒ නිසා, අනුන්ගේ සතුට උදුරගෙන තමන් සතුටු වෙන්න හදන කිසිම බැඳීමක් කවදාවත් සාධාරණ වෙන්නේ නැහැ කියලා අපි හැමෝම තේරුම් ගන්න ඕනේ.

කතාව හිතට බර වැඩි වුණා නම් ඒකෙ සම්පූර්ණ වගකීම (බැණුම් ඔක්කොම එක්ක) මම භාරගන්නවා.

ඊලඟට අරගෙන එන කතාව එහෙම සමාජ පණිවිඩයක් අරගෙන එන කතාවකට වඩා හිතට සැහැල්ලුවක් අරගෙන එන කතාවක් කරන්න මං සම්පූර්ණයෙන්ම උත්සහ කරන බව කියන්න කැමති.

එතෙක් කතාව කියවපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි!

ආදරෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here