කට උත්තරය 1
“මේඝා ටික කාලෙක ඉඳන් නෝමල් මනුස්සයෙක් විදියට හිටියෙ නෑ සර්”
රුවිනි පොලිස් ස්ටේශන් එකේ පුටුව උඩ ඉඳගෙන එහෙම කියද්දි එයාගේ අත් දෙකම හොඳටම වෙව්ලනවා මං දැක්කා.මේසෙ උඩ තිබුණ ටිශූ බොක්ස් එකෙන් ටිශූ එකක් ඇදලා ගත්තත් එයාගෙ ඇස් වල කඳුළු නතර වුණේ නෑ.
“තව ටිකක් පැහැදිලි කරන්න මිස් රුවිනි,” ඔෆිසර් හෙමින් කිව්වා.
රුවිනි ටික වෙලාවක් සද්ද නැතුව හිටියා.හරියට කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව වගේ.
“එයා…” අන්තිමේ එයා කතා කරන්න ගත්තා. “එයා බලාගෙන උන්නෙ කොයි වෙලාවෙද මතින්ද්‍රගෙන් ගැලවෙන්නෙ කියලා.”
ඔෆිසර් එකපාරටම ලියන එක නවත්තලා බැලුවා.
“ගැලවෙන්න?”
“ඔව්.”
“ඒ කිව්වෙ?”
රුවිනි හුස්මක් ගත්තා.
“සර්… ඔයා එළියෙන් බැලුවොත් හිතෙයි ඒ දෙන්න පිස්සුවෙන් වගේ දෙන්නට දෙන්න ආදරේ කරනවා කියලා. මතින්ද්‍ර මේඝා වෙනුවෙන් හැමදේම කැප කළා වගේ පෙනුණා.”
“හැබැයි?”
“හැබැයි ඇතුළෙන් ඒ සම්බන්ධය සම්පූර්ණයෙන්ම නරක් වෙලයි තිබුණේ.”
කාමරය ඇතුළේ මහා නිශ්ශබ්දතාවයක් ඇති වුණේ රුවිනිගෙ ඒ වචන එක්ක.
“මේඝා කවදාවත් තමන් ඇබියුස් වෙනවා කියලා එළිපිට කියලා නැහැ,” රුවිනි හෙමින් කියන්න ගත්තා. “හැබැයි සමහර වෙලාවට ඇබියුස් වෙනවා කියන්නේ ගහන එකම නෙවෙයිනේ සර්.”
ඔෆිසර් නිහඬව අහගෙන හිටියා.
“එයා හැමවෙලේම හිටියේ ලොකු පීඩනයකින්. ෆෝන් එක රින්ග් වෙද්දී එයා කලබල වෙනවා. රිප්ලයි එකක් දාන්න පරක්කු වුණොත් කලබල වෙනවා. ඔෆිස් එකෙන් යන්න ටිකක් පරක්කු වුණත් එයා බය වෙනවා.”
රුවිනි එහෙම කියලා ආයෙ වතාවක් කඳුළක් පිහිදගත්තා.
“ආදරවන්තියකට වඩා එයා හිටියේ හැම දේකටම අවසර ඉල්ලගෙන ජීවත් වෙන කෙනෙක් වගේ.”
ඔෆිසර් නෝට්ස් ලියන ගමන් ඇහුවා, “එයා මතින්ද්‍රව දාලා යන්න ප්ලෑන් කරලා තිබුණද?”
රුවිනිගේ ඇස් හෙමින් ඔෆිසර් දිහාවට ඉස්සුණා. “ඔව්.”
“කොහේටද?”
“රට යන්න.”
ඔෆිසර්ගේ ඇහි බැම රැලි වුණා. “ශුවර්ද?”
“ඔව්.”
“සාක්ෂි තියෙනවද?”
“මං දැක්කා. එයා මට කියලා තිබ්බෙ. එයා ඒ හැම ඩොකියුමන්ට් එකකම සයින්ඩ් කොපි එකක් මං ගාව තියලා තිබ්බා මොන විදියකින් හරි මතින්ද්‍රට ඒවා අහුවෙලා එයා ඒවා විනාස කරොත් පාවිච්චියට ගන්න”
රුවිනිගේ කටහඬ දැන් හුස්මකටත් වඩා හෙමින් ඇහුණේ.
“පාස්පෝට් කොපි,ඇප්ලිකේෂන්ස්, බෑන්ක් සේවිංග්ස්, හැමදේම.”
“ඇයි ඒක කාටවත් කිව්වේ නැත්තේ?”
“මොකද එයා බය වෙලා හිටපු නිසා.”
ආයෙමත් සයිලන්ස් එකක්.
“ඇත්තටම මොකටද එයා බය වුණේ?”
රුවිනි ටික වෙලාවක් ඔෆිසර් දිහා බලාගෙන හිටියා. ඊටපස්සේ හරිම හෙමින් මෙහෙම කිව්වා.
“මේ ගැන දැනගත්තොත් මතින්ද්‍ර මොන වගේ මනුස්සයෙක් වෙයිද කියන බයට.”
කාමරය එකපාරටම සීතල වෙලා ගියා වගේ මට දැනුණා.
“මේ සිදුවීම වෙච්ච දවසෙ මේඝා ඔයා එක්ක කතා කරාද?”
“ඔව්.”
“මොනවද එයා කිව්වෙ?”
රුවිනිගේ ඇස් ආයෙ කඳුළින් පිරුණා.
එයා හෙමින් ඔලුව පහත් කරගත්තා.
“එයා කිව්වෙ…”
හරි ලොකු සයිලන්ස් එකකට පස්සෙ රුවිනි ඒ වචන ටික කිව්වා.
“‘මට හුස්ම ගන්නවත් බැරි තරං මං හිරවෙලා වගේ මට දැනෙනවා රුවිනි’ කියලා එයා මට කිව්වා.”
—————————————————————————————————————————–
කට උත්තරය 2
“ඔව් සර්… රණ්ඩු වෙන සද්ද ඇහුණා.”
අල්ලපු අපාර්ට්මන්ට් එකේ හිටපු ගෑනු කෙනා ස්ටේට්මන්ට් එක දෙද්දී කොෆී කප් එක දෑතින්ම බදාගෙන හිටියේ. එයාගේ නියපොතු කප් එකට තද වෙලා තිබුණ විදිහෙන්ම එයා තාමත් හිටියේ හොඳටම බය වෙලා කියලා පෙනුණා.
“මොන වෙලාවෙද?” ඔෆිසර් ඇහුවා.
“හරියටම වෙලාව නම් කියන්න බෑ… හැබැයි රෑ 12න් පස්සේ වෙලාවක.”
“මොන වගේ සද්දද ඇහුණේ?”
ඒ ගැහැණු කෙනා පොඩ්ඩක් පැකිළුණා.
“පිරිමි කෙනෙක් කෑගහන සද්දයක්.”
“වෙන?”
“බඩු මුට්ටු වැටෙන සද්ද, වීදුරු බිඳෙනවා වගේ සද්දයක්, කවුරුහරි අඬන සද්දයක්.”
ඔෆිසර් පෑනෙන් නෝට්ස් ලියන ගමන් ආයෙත් ඇහුවා,
“ගැහැණු කෙනෙක් අඬන සද්දයක්ද?”
“ම්ම්.”
“විශ්වාසයිද ?”
“ඔව්.”
කාමරය ඇතුළේ තත්පර ගාණක නිශ්ශබ්දතාවයක් ගලාගෙන ගියා.
“ඔයා පොලිසියට කෝල් කළේ නැද්ද?”
ඒ ගැහැණු කෙනා හරිම අපහසුවෙන් වගේ) හිනා වුණා. “ඇත්තම කියන්නම් සර් අපිට ඒක එච්චර අමුතු දෙයක් වුණේ නැහැ.”
ඔෆිසර්ගේ ඇහි බැම ආයෙ වතාවක් රැලි වුණා. “ඒ කිව්වේ?”
“ඒ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා අපිට ඇහිලා තිබුණා.”
“නිතරම?”
“ඔව්, හුඟක් වෙලාවට.”
“ගහගන්න බනින සද්ද ඇහුණද?”
“නෑ හරියටම එහෙම නෙවෙයි. හැබැයි”
“හැබැයි?”
ඒ ගැහැණු කෙනා හෙමින් හුස්මක් හෙළුවා. “ඒ පිරිමි කෙනාගෙ කටහඬ සමහර වෙලාවට හරිම බය හිතෙනවා.”
ඔෆිසර්ගේ ඇස් ටිකක් හීනි වුණා. “කොහොමද බය හිතෙන්නේ?”
“හරියට තමන්ව පාලනය කරගන්න බැරි කෙනෙක් වගේ.”
ආයෙමත් සයිලන්ස් එකක්.
“සිද්ධිය වෙච්ච රෑ හරියටම මොනවද ඇහුණේ?”
ඒ ගැහැණු කෙනා ටිකක් කල්පනා කළා. “මුලින්ම හයියෙන් වාද කරගන්න සද්ද.”
“ඊටපස්සේ?”
“ඊටපස්සේ අර පිරිමි කෙනා තවත් හයියෙන් කෑගැහුවා.”
“කියපු වචන මතකද?”
“නැහැ හැබැයි මට උත්තර දීපන් වගේ දේවල් ඇහුණා.”
ඔෆිසර් ඉක්මනින් ඒක ලියාගත්තා.
“ඊටපස්සෙ?” ඒ ගැහැණු කෙනාගේ මූණ හෙමින් වෙනස් වුණා. “ඊටපස්සේ එකපාරටම” එයාගේ කටහඬ ගොඩක් පහත් වුණා. “හැමදේම සයිලන්ට් වුණා.”
ඔෆිසර් ලියන එක නැවැත්තුවා. “ඒ කිව්වේ?”
“මුකුත්ම සද්දයක් ඇහුණේ නැහැ.”
“මුකුත්ම?”
“ඔව්, මුකුත්ම නැහැ.”
“ඒක තමයි වෙච්ච අමුතුම දේ දැන් කල්පනා කරලා බලද්දි.”
“පැහැදිලි කරන්න.”
“ඒ දෙන්නා රණ්ඩු වෙද්දී සාමාන්‍යයෙන් හුඟක් වෙලාව අරන් රණ්ඩු වෙනවා. බඩු මුට්ටු පොළොවෙ ගහන සද්ද ඇහෙනවා. ඇවිදින සද්ද, අඬන සද්ද මොකක් හරි දෙයක් ඇහෙනවාමයි.හැබැයි එදා” එයා හෙමින් කෙළ පිඩක් ගිල්ලා. “එකපාරටම හැමදේම නතර වුණා.”
කාමරය ඇතුළේ දැන් ඇහෙන්නේ ඒසී එකේ සද්දේ විතරයි. ඔෆිසර් හෙමින් ඇහුවා.
“ඊටපස්සේ?”
ඒ ගැහැණු කෙනා ඔෆිසර් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.
ඊටපස්සේ හරිම හෙමින් මෙහෙම කිව්වා.
“විනාඩි ගාණකට පස්සේ කොරිඩෝ එකේ අඩි සද්ද ඇහුණා.”
——————————————————————————————————————————-
කට උත්තරය 03 සහ CCTV දර්ශන
පාන්දර 03:17.
අපාර්ට්මන්ට් ලොබි එකේ කැමරාවෙ ටයිම් ස්ටෑම්ප් එක බ්ලින්ක් වෙනවා. ස්ක්‍රීන් එක මුලින්ම හිස්. හරිම නිශ්ශබ්දයි. සෙලවීමක්වත් නැහැ.
ඊටපස්සෙ පඩිපෙල දිගේ එන කාගෙහරි හෙවණැල්ලක් පේනවා. මුලින්ම පේන්නෙ සපත්තුවක්. ඊළඟට අතක්. කමිසෙ පැත්තක මොකක් හරි ලොකු පැල්ලමක් තියෙන බව පේනවා. විසිරිච්ච පැල්ලමක්.
“සර් මං ඒ වෙලාවේ හිටියේ හාෆ් ඩියුටි එකේ. එළියට එන දොර ඇරෙන සද්දෙට මං බැලුවා. ඒ මනුස්සයා එළියට ආවේ මිනීමරුවෙක් වගේ නෙවෙයි. කිසි ගාණක් නෑ වගේ. හැබැයි එයාගේ ඇස්, ඒ ඇස්වල කිසිම පණක් තිබුණේ නැහැ. එයාගේ සුදු පාට ටී-ෂර්ට් එකේ හැමතැනම රතු පාට පැල්ලම්. මං අහන්න හැදුවා සර් මොකද වුණේ? කියලා. හැබැයි මගේ කටින් වචනයක්වත් ආවේ නැහැ. එයා මං දිහා බැලුවෙවත් නැතුව කෙළින්ම එළියට ඇවිදගෙන ගියා. හරියට මළපෙරේතයෙක් වගේ. ඒ සර් නිතරම තුන්වෙනි තට්ටුවේ කෙලවරේ අපාට්මන්ට් එක අරගෙන ඉන්න මිස්ගෙ ගෙදරට එනවා මම දැකලා තියෙනවා. මං හිතුවා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලාද දන්නෙත් නෑ කියලා. මම ඒ අපාට්මන්ට් එක බලද්දිත් ඒකෙ පොඩි ලයිට් එක දාලා තිබ්බෙ. හැබැයි කවුරුවත් පේන්න නම් උන්නෙ නෑ බැල්කනියෙවත්.”
සිකියුරිටි රූම් එකේ ටීවී ස්ක්‍රීන් එක දිහා බලන් හිටපු ඔෆිසර් තමන්ගේ සිගරට් එක නිවලා දැම්මා.
“ඒ කියන්නේ ඒ වෙලාවේ අපාර්ට්මන්ට් එක ඇතුළේ ඉතුරු වෙලා හිටියේ මේඝා විතරයි?”
“ඔව් සර්. ඒත්”
“ඒත් මොකක්ද?”
“මං එහෙම කවුරුත් ඉන්නවා දැක්කෙ නෑ”
සීසීටිවි ෆුටේජ් එක දිගටම බලද්දී කැමරාවට පැහැදිලිවම අහු වෙනවා මතින්ද්‍රව.
එයා පඩිපෙල දිගේ ඇවිදගෙන එන්නෙ පල්ලෙහට නිකන් දෙපැත්තට වැනි වැනී. එයා ඇඳන් ඉන්න සුදු පාට ෂර්ට් එකේ ඉස්සරහ තද රතු පාට පැල්ලම්. අත් දෙකේම ලේ. එක අතක් සම්පූර්නයෙන්ම ලේ වලින් නෑවිලා වගේ. හැබැයි මේ හැමදේටම වඩා බය හිතෙන දේ ලේ නෙවෙයි. එයාගේ මූණ.
සම්පූර්ණයෙන්ම හිස් බැල්මක්. තරහක් නැහැ. කලබලයක් නැහැ. ඇඬීමක් ගෑවිලාවත් නැහැ. හරියට ඇතුළේ තිබුණ හැම හැඟීමක්ම එකපාරටම මැරිලා ගියා වගේ.
සිකියුරිටි ගාඩ්ගේ ස්ටේට්මන්ට් එකේ තව පේළියක් තිබුණා. “සර් එයාට හුස්ම ගන්න පවා අමතක වෙලා වගේ තමයි හිටියේ.”
ෆුටේජ් එකේ මතින්ද්‍ර ලොබි එක මැදට ඇවිත් එකපාරටම නතර වෙනවා. තත්පර ගණනක් ගෙවිලා යනවා. එයා හෙලවෙන්නේ නැහැ. හරියට එයාගේ ඇඟයි හිතයි අතර සම්බන්ධය කැඩිලා ගියා වගේ.
ඊටපස්සේ හෙමින්, හරිම හෙමින්, එයා ඔළුව උස්සනවා. කැමරාව දිහා බලනවා. කෙළින්ම.
පස්සේ කාලෙක පොලිස් නිලධාරීන් පවා මේ ෆුටේජ් එක නවත්තලා බලද්දී, ඒ බැල්මේ තිබුණේ මොකක්ද කියලා කාටවත් කියන්න බැරි වුණා. ඒක තිගැස්මක්ද, පසුතැවීමක්ද , බයක්ද, නැත්නම් ඊට වඩා භයානක දෙයක්ද? කියන එක හරිම ලොකු ප්‍රශ්නාර්තයක් වුණා.
අන්තිමේදී එයාගේ තොල් ටිකක් හෙලවෙනවා. සද්දයක් ඇහෙන්නේ නැහැ. මුකුත්ම නැහැ. හැබැයි ෆුටේජ් එක බලපු ෆොරන්සික් ඔෆිසර් කෙනෙක් පස්සේ කාලෙක මෙහෙම කිව්වා.
“පේන විදිහට එයා සොරි කියනවා වගේ.”
නැත්නම් සමහරවිට සමුගැනීමක් වෙන්නත් පුළුවන්.
කවුරුත් ඒක හරියටම දැනගෙන හිටියේ නැහැ. මොකද පොලිසිය මේඝාගේ අපාර්ට්මන්ට් එකට එද්දී සාලය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. වීදුරු කෑලි බිඳිලා විසිරිලා. හැමතැනම ලේ බිංදු. අර මුද්ද දාපු පෙට්ටිය බිම වැටිලා තිබ්බා.


