ජීවිතේ කියන්නේ එක එක පාටවල් තියෙන කැන්වස් එකක් වුණාට, සමහර වෙලාවට අපේ ජීවිතේට පාට වැටෙන්නේ බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි, හරියට හොද්දට ලුණු දාන්න ගියාම බෝතලේම ලෝස් නැතුව හැලෙනවා වගේ අංජබජල් විදියට.
ආකර්ශාගෙ ජීවිතෙත් අංජබජල් වෙන විදියෙ කෝල් එකක් ආකර්ශාගෙ තාත්තට ආවෙ අන්න ඒ වගේ ආකර්ශා හෙනම ආතල් එකේ එයාගෙ පාට පාට ලෝකෙ සැරිසරන ගමන් ඉද්දි තමයි.
ඉමු ලංවී ප්‍රේමී සදා…
ඔබේ උණුහුමේ මැවුනා සිනා…
සඳ යාවී හැංගී බලා…
ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා”
ආකර්ෂා සිංදුව කිව්වේ පින්සල කටේ ගහගෙන හන්දා වචන නිකන් ඇහුනෙ මහ අංජබජල් තාලෙට. යූ ටියුබ් එකේ සිංදුව කිය කිය උන්න අලුතෙන් කසාද බැන්ද ශනුද්‍රිට ආකර්ශා සිංදුව කිව්ව විදිය ඇහුන නම් කෙල්ල දිනේශ් එක්ක ආකර්ශව හම්බෙන්න ගෙදෙට්ට ඇවිත් කියනවා “අනේ නංගි ප්ලීස් මගෙ සිංදුව කන්න එපා” කියලා. ඒ තරං ලස්සනයි, ශෘතිය අස්ථාවරයි. ගායනයි මධුරයි මනෝහරයි.
කොහොමත් ආකර්ශා කියන්නේ මූඩ් ෆික්ස් කරන්නෙ මරු ඉඟුරු වගේ ඕන වෙලාවක බැලුවොත් ආතල් එකේ ඉන්න ඩයල් එකක් තමයි. “ක්‍රියේටිව් මිනිස්සුන්ට බෑ අප්පා ඔය මූඩ් එක දෙක කරගෙන ජීවත්වෙන්න. මගේ චිත්‍ර ලස්සන වෙන්නෙ මං සන්තෝසෙන් හිටියොත් විතරයි. ඒ හන්දා නැව ගිලුනත් බෑන් චූන් කියලා මං ආතල් එකේ ඉන්නවා” කියලා කියාගෙන තමයි ආකර්ශා කොහොමත් ජීවත් වුණේ.
කෙල්ලට චිත්‍ර අඳින එක ගැන මාරම පිස්සුවක් තිබ්බ හන්දා ඒ ගැන ඉගෙනගන්න අතරෙම, කාටවත් බරක් නොවී තමන්ගේ වියදම් ටික පියවාගන්න මරු වැඩ කිහිපයක්ම සෙට් කරගෙනයි තිබුණේ. මේ දවස්වල ට්‍රෙන්ඩින්ම වෙන ලයිව් වෙඩින් ස්කෙචින් කියන්නෙ ආකර්ශාට හොඳටම සෙට් වෙච්ච ඉන්ඩස්ට්‍රි එකක්. ඒ විතරක් නම් මදෑ, කෙල්ල තමන්ගේ කාමරේට වෙලා අඳින පුංචි පුංචි ලස්සන චිත්‍ර, කැන්වස් බෝඩ්, ඩීටේල්ඩ් පොට්‍රේට්ස් සේරම ටික්ටොක් එකේ වගේම ඉන්ස්ටග්‍රෑම් එකේ රීල්ස් විදිහට දැම්මේ මරු ට්‍රෙන්ඩින් ඕඩියෝ කෑලිත් එක්ක. Aesthetic ලෝකේ ජීවත් වෙන කොල්ලෝ කෙල්ලෝ ආකර්ෂාගේ ඒ වීඩියෝස් දැකලා, පේජ් එකේ ඉන්බොක්ස් එක පිරෙන්නම ඕඩර්ස් එවන්න ගත්තේ පිස්සුවෙන් වගේ. හැබැයි ඉතින් කෙල්ලයි තාත්තයි ඇත්තටම එදා වේලේ ගොඩක් ඒවා පිරිමහ ගත්තෙ කෙල්ල එහෙම හරිහම්බ කරන ඒවයින් තමයි.
“අනේ අක්කේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එකට මේ වගේ එකක් ඇඳලා දෙන්නකෝ”, “අනේ නංගි මගේ බබාලගේ ෆොටෝ එකක් තියෙනවා මේක කැන්වස් එකකට ගන්න පුළුවන්ද” කියාගෙන එන මැසේජ් පෝලිම හන්දා ආකර්ෂාගේ අතට මාසෙ අන්තිමට පට්ට ගාණක් සෙට් වුණා. තමන්ගේ පාට කූඩු, තීන්ත කුප්පි, බ්‍රෂ් සෙට් විතරක් නෙවෙයි, ඉගෙනගන්න තැන්වල ෆීස් ටික පවා කාටවත් අත නොපා තනිවම ගෙවාගන්න පුළුවන් තරමට මේ අඩි පහේ කෙල්ල තමන්ගේ හිත වගේම ආර්ථිකයත් ශක්තිමත්ව හදාගෙන තිබුණා. කෙල්ලට ඕනේ වුණේ තමන්ගේ කලාවෙන් ලෝකයක් හොයාගෙන, තාත්තාවත් රජෙක් වගේ බලාගන්න විතරයි.
ලෝකෙට පේන්න හිනාවෙලා ආතල් එකේ උන්නට ජීවිතේ ඇත්ත කොච්චර දුකද කියලා දැනගෙන උන්නෙ ආකර්ශම තමයි. නම ආකර්ශා උනාට කියන තරම් නම් ජිවීතේ ආකර්ශණයක් කෙල්ලට තිබ්බෙ නෑ.
කෙල්ලගෙ අම්මා නැතිවෙද්දි කෙල්ලට අවුරුදු දහයක් වගේ.
අම්මා නැති උනේ පිළිකාවකින්. තාත්තා කෙනෙක්ට තනියෙන් කෙල්ලෙක් හදාගන්න එක කොච්චර අමාරුද කියන එක කොච්චර තේරුං ගියත් මොකෝ සෙනෙවිරත්න මහත්තයා, එහෙම නැත්තම් ආකර්ශාගෙ තාත්තා නෙවි දෙවනි ගෑනියෙක් ගැන හිතුවෙ. මනුස්සයා ආකර්ශාව බලාගත්තා හරියට ඇස් දෙක වගේ. ආකර්ශාට හොඳට උගන්නන්න සෙනෙවිරත්න මහත්තයගෙ හිතෙ ලොකුවටම අදහස තිබ්බට මොකෝ නෝනා නැති උනත් පස්සෙ හිත කැඩුණ එකට එහා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ මනුස්සයගෙ බිස්නස් එකින් එක කඩන් වැටුණෙ. අන්තිමෙ තිබ්බ සබ්බ සකල මනාවම නැති කරගෙන පොඩි පොඩි වැඩ පල ටිකක් කරගෙන ඉන්න තැනකට වැටුණයින් පස්සෙ සෙනෙවිරත්න මහත්තයා බීමට හරීයට නැඹුරු වුණා.ආකර්ශා ලොකු උනේ “අපිට සල්ලි නෑ” කියලා තේරුං අරගෙනමයි. ඒ හන්දමද මන්දා කෙල්ලා පුංචි කාලෙ ඉඳලා තාත්තට මෙලෝ දේකට වද දුන්නෙ නෑ. ඉස්කෝලේ ට්‍රිප් යන ඒවා යන්නවත් සල්ලි ඉල්ලුවෙ නැති, අනං මනං කඩචෝරු කන්නවත් සල්ලි ඉල්ලුවෙ නැති කෙල්ල තාත්තට වද දුන්නෙ පාට පැන්සල්, තින්ත කුප්පි හෙම ගන්න විතරමයි. ඒකත් චුට්ට චුට්ට ලොකු වෙද්දි පොඩි පොඩි පාට් ටයිම් රස්සාවල් කරලා හොයාගන්න තරමට ආකර්ශා උන්නෙ හිත දියුණු කරගෙන.
“ඔය පාට කරලා කාට ද ළමයො හරි ගියේ?” කියලා තාත්තා සුපුරුදු ධර්ම දේශනාව කරද්දි නම් ආකර්ශා අමතක කරන්නෙ නෑ තමන්ගෙ දෝණියැන්දා භූමිකාවෙන් එළියට ඇවිල්ලා සෙනෙවිරත්න මහත්තයගෙ ලොකු අම්මාගෙ භූමිකාව රඟපාන්න.
“මිස්ට සෙනෙවිරත්න මේ අමතක කරන්නෙපා, ඔය ඉඳලා හිටලා ශොට් එකක් දාන්න කීයක් හරි අතේ මිටේ මොලවන්නෙත් එහෙම පාට කරලා හොයාගත්තුවයින් තමයි කියලා හොඳේ”
“අම්මෝ අම්මෝ ව්‍යවසායිකාව. දැනටමත් ලෝක ප්‍රසිද්ධ වෙලා වගේනේ කතාව. ඔය ඇඳලා තියෙන එකක් විකුණලා මට අර අලුතෙන් ඇරපු බාර් එකෙන් හොඳ ජාතියේ බෝතලයක් අරන් දෙනවාකෝ බලන්න. ” සෙනෙවිරත්න මහත්තයා සාලේ සෝෆා එකට බර වෙන ගමන් කිව්වේ ආකර්ෂා දිහා රවන ගමන්. හැබැයි ඒ රවිල්ල ඇතුළෙත් තිබ්බේ දෝණියැන්දා ගැන මාරම ආදරයක් කියන එක ආකර්ශා වගේම සෙනෙවිරත්න මහත්තයත් දැනගෙන උන්නා. අම්මා කෙනෙක් උන්නෙ නැති හන්දද මන්දා තරවටු කරලා හදාගන්න කෙනෙක් උන්නෙ නැති හන්දා මේ තාත්තයි දුවයි දෙන්නා හැදුණෙ යාළුවො දෙන්නෙක් වගේ.
“හරි හරි කලාව අඳුරන්නෙ නැති හන්දනෙ ඔය ඉරිසියා කරන්නෙ” කියලා එවෙලෙට ඔරවගෙන කියන ගමන් ආකර්ශා අතේ තියෙන පින්සලේ ගෑවිලා තියෙන තින්ත ටිකක් තාත්තගෙ නාහෙ තවරන්න තමයි බලන්නෙ.
සෙනෙවිරත්න මහත්තයත් “හිටපංකො අද කලාව අඳුරන්නෙ නැත්තෙ කවුද කියලා කියලා දෙන්න” කියාගෙන ආකර්ශාට බණින සෙනෙවිරත්න මහත්තයගෙ ඔය රණ්ඩුව හැමදාම වගේ ඉවර වෙන්නේ කුස්සියට ගිහින් තාත්තටයි දුවටයි දෙන්නටම තේ එකක් හදන එකෙන්.
අන්න එහෙම දවසක නොහිතුව විදියට තමයි ආකර්ෂාගේ පාට ලෝකෙට එකපාරටම හෙනහුරා පාත් වුණේ.
“මහත්තයා… මේ ඔයාලා මහ ලොකු කම්පැණිකාරයෝ වුණාට මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය අඳුරන්නේ නැද්ද? මගේ මැරිච්ච ගෑනිගෙ ඔක්කොම මතක තියෙන, මමයි, මගේ දරුවායි හැදිච්ච වැඩිච්ච මගේ මහගෙදර සින්න කරගන්න මම තමුසෙලාට ඉඩ දෙයි කියලද හිතන් ඉන්නෙ? මේ සෙනෙවිරත්න එහෙම ලේසියෙන් ඒවට ඉඩ දෙයි කියලා හිතන්න එපා. අල්ලනවා මම තමුසෙට වඩා හොඳ ලෝයර් කෙනෙක්. මේක තමුසෙලටම ගිය රටනෙ. ඉතින් ගිහින් කියනවා ඔය වික්‍රමසිංහ කියන එකාට මං බය නැති විත්තිය. මිනිහගෙ සල්ලි වලට හැමදේම යට කරගන්න බැරි විත්තිය කියනවා ගිහින්.”
අන්න ඒ වචන ටික කනට වැටෙද්දී කෙල්ලට හිතාගන්න බැරි වුණා මොකක්ද මේ වෙන්නේ කියලා. ඇත්තනෙ ඉතින්, ඩාම් වෙනවා ඩූම් වෙනවා කියලා මෙහෙමත් වෙනවද?
කෙල්ල කටේ ගහන් හිටපු පින්සල අතට අරන්, හෙමින් සැරේ පුටුවෙන් නැගිටලා කාමරේ බාගෙට වහලා තිබ්බ දොර ළඟට කිට්ටු වුණා. සාලේ ඉන්න තාත්තාගේ හුස්ම වැටෙන සද්දේ පවා අමුතුම විදිහකට වේගවත් වෙලා, මනුස්සයා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරුව දඟලනවා කියලා ආකර්ෂාට දොර රෙද්ද අස්සෙන් පෙනුණා. තාත්තගෙ මූණ මාරම විදිහට රතු වෙලා, මුළු ඇඟම වෙව්ලනවා කියලා කෙල්ල දැක්කෙ එහෙම බලන් ඉද්දි
“නීති රීති දාලා, අසරණ මිනිස්සුන්ව පාරට ඇදලා දාන තමුසෙලා වගේ හදවතක් නැති සල්ලිකාර රොබෝලට…” තාත්තාගේ කටහඬ එකපාරටම වේගවත් වෙලා, ඊළඟ තත්පරේදී ගොළු වෙලා ගියා.
මේසෙ උඩ තිබිච්ච තේ එකත් බිම ඉහිරවගෙන තාත්තා බිම ඇදගෙන වැටුණෙ පපුව එක පැත්තක් අතකින් මිරිකගෙන.


