අංගාර – 97

0
1
angara


චරක විහඟිගේ හිස පීරුවේය. ඒ ඔවුන් දෙදෙනා දැන් උන් ජීවිත කාලය පුරාම පලමු වතාවටය. තමා එලෙසින් කරන්නේ ඇයිදැයි චරක දැන උන් නමුත්, විහඟිට එය වටහා ගන්නට හැකි වූයේ නැත.ඇගේ හදවත රිදුම් දෙමින් තිබුණි. චරක යම් නපුරක් පිළිගැනීමට සූදානම් වන්නේදැයි යටි හිත විමසයි. හෙලෙන සුසුම් පවා ඇයට නවතා ගන්නට හැකි වූයේ නැත.

” මොකෝ හූල්ලන්නේ ?..”

චරක කොණ්ඩය ගොතන්නට නොදන්නා බව නොපවසා, කොණ්ඩය පීරීම අවසන් කර ඇය ඉදිරියේ හිඳගනිමින් විමසුවේය. ඇගේ මුහූණේ කලබලය  ඔහුට නොපෙනෙනවා නොවේ.

” ඇයි අයියේ මෙහෙම ?..”

” කොහොමද ?..”

” මුකුත් දන්නේ නෑ වගේ කතා කරන්නෙපා අයියේ .. ඔයා වේගෙන් හුස්ම ගත්තත් මට දැනෙනවා.. තේරෙනවා..  එහෙව් ඔයා මෙහෙම කරන්නේ මොකක්ම හරි දෙයක් නිසා…. මේ අවුරුදු ගානටම, ඔයා .. මෙහෙම වෙලාවක… මෙච්චර ආදරෙන් … මගේ කොණ්ඩේ අතගාලා නෑ අයියේ …  ඔයා … කවදාවත් මේ කාමරේට කෑම ගෙනල්ලා මට කවලා නෑ …”

චරක සැහැල්ලුවෙන් සිනාසුනේය. තමා සිතා උන් මිනිසාම නොවේය. තමා නිසා ජීවිතයේ අප්‍රමාණ දරාගැනීම් කල ගැහැණිය අද පටන්, මේ මොහොතේ පටන් තම දරාගැනීම වන්නේය. ඕ තමාගෙන් බලාපොරොත්තු වන, එහෙත් කිසිදිනෙක නොඉල්ලා උන් ලෝකය අද පටන් තැනීම තමා අතින් වන අබ්ව චරක දනි.

අමාත්‍ය ධූරය ගිලිහී ගියහොත් , එය එසේ වන්නට ඉඩ දීම ගැටලුවක් නොවන බවට වන සැනසිම දැනෙයි. තවදුරටත් මවාපෑම් මතින් වන හඹා යෑම ජීවිතයේ ඉලක්කයක් නොවන්නේය. විහඟි සහ තමන් දෙදෙනාගේ ලෙයින් ඉපදෙන දරුවාත්, චායා සහ ඇගේ ලෝකයත් තම ජීවිතයේ සතුටු පෙති වන්නේය.

” ඇයි දැන් මට මගේ නෝනාගේ කොණ්ඩේ පීරන්න බැරිද ?….”

” අයියේ ?… “

” මං … ඔයා බලාපොරොත්තු වුණ අයියා වෙන්න යන්නේ නෝනා … ඉදලා හිටලා හරි බත් කටක් කවනවාට ආසයි නේද /.. ඉඳලා හිටලා හරි දෙන්නාම එකට වොශ් දානවානම් ආසයි නේද ?… මං එක්ක ඇවිදින්න යන්නයි, ඔහේ කියවා කියවා ඉන්නයි ආසයි නේද ?…  එක එක සුකුරුත්තම් කෑම හදාගෙන මට එව්වා කවන්නයි, කම්ප්ලිමන්ට් අහන්නයි ආසයි නේද ? ..  ඔය මොක නැතත්, රෑ ඔයා නිදාගන්නකල් මොනාම හරි කියවන්නවත් වෙලා නැත්තේ ඇයි කියලා අහනවා නේද ?…”

විහඟි කෙළ පිඩක් ගිල්ලාය. ඔය සියල්ලම සත්‍ය වේ. එහෙත්, ඒ කිසිවක් තමා ලබා නොමැති බව සිතා සිත හදා ගැනීම හැරෙන්නට අන් යමක් දැන උන්නේ නැත. දැන් මේ විපර්‍යාසය ඒ හිත හදා ගැනීමේ වේදනාව සහ ඉච්ඡාබංගත්වයද ඉක්මන්නේය.

” ඔව් අයියේ .. ඒත් .. මේ අවුරුදු ගානකට පස්සේ?..”

” මෙහෙම හොඳ නැද්ද ?..”

” හොඳයි … හොඳයි .. ඒත් ..මේ හොඳ පස්සෙන් මොකක්ම හරි නපුරක් එනවා කියලා මට දැනෙනවා අයියේ … අනේ මට මේ හොඳ එපා එහෙම නම් . මට ඔයාව ඕනි අයියේ .. මගේ ජීවිතේ, මං කොච්චරක් වුනත් දුක් විඳින්නම් අයියේ. උහුලගන්නම් ..හැමදේම බලාගන්නම් .. අනේ මට ඔයාව නැති කරන්නෙපා… මෙහෙම හොඳ වෙන්න ගිහින්, ඔයාට ඔයාව නැති වෙන්න දෙන්නත් එපා.. අනේ මේ බබායි , මමයි …. ඔයාට ආදරේ කරන්නේ, ඔයාගේ අංශුමාත්‍රික දෙයක්වත් බලාපොරොත්තුවෙන් නෙවෙයි අයියේ ..”

චරක ඇයට ඉන් එහා කිසිවක් පවසන්නට දුන්නේ නැත. ඇය මෙතරමින්වත් විඳවීම තවදුරටත් තමා ඉඩ දිය යුතු යමක් නොවේය.

” පහලට යමු … ලොකු ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න තියෙනවා…”

ඒ පවසා නිමවන්නට පෙර චරකගේ ජංගම දුරකතනය නාද වූවේය. ඔහු ඇමතුමට පිළිතුරු දුන්නේ කලබලයෙන් බව විහඟි නිරීක්ෂණය කලාය. එහෙත් ඔහු එතැනින් ඉවතට ගියේ නැත.

” කොහොම හරි, කීය ගියත්, කොල්ලව හොයාගනින් ..හොඳින් හරි නරකෙන් හරි …අද දවස ඇතුලත මට කොල්ලා ඕනි …මට උඹව විශ්වාසයි සුරේ… මම මෙහෙන් මගේ පැත්තෙන් වෙන්න තියෙන දේවල් හදනවා..උඹ මට අවසාන වතාවට කියලා හිතලා හරි, මේ උදව්ව කරපං …. මේක මම ජීවිතෙන් ගෙවන්නෝනි වන්දියක් කියලා උඹම කිව්වානේ… උදව් කරපං . “

විහඟි ඉන් තිගැස්සුණාය.

” අයියේ ?..”

” යං .. යං … දැනට මෙච්චරක් මතක තියාගන්න මගේ නෝනා.. අදින් ඉස්සරහට අයියාව ඔයාට වැඩියෙන් ලැබෙනවා මිසක්, නැති වෙන්නේ නැහැ ..ම්ම්ම් .”

” සස්මිතට මොකක් හරි කරදරයක්ද අයියේ ?…”

” යං .. එන්න … මං අම්මලාට කියලා ආවේ කාලා සාලෙට එන්න කියලා… චායා කොහෙ හරි යන්න ලෑස්ති වෙන ගමන් උන්නේ.. මං එයාටත් කිව්වා මට පැයක් ඕනි කියලා..”

” අනේ.. අයියේ … චායා අමාරුවෙන් හිත හදාගන්න ගමන් ඉන්නේ අයියේ… එයා …”

” හරි නෝනේ .. ඒක මම තරම්  දන්න කෙනෙක් නෑ කියලා හිතාගන්නකෝ …කෝ … යංකො .. අද මට වැඩත් ගොඩයි … අනිද්දා තියෙන වැඩේ  දන්නවානේ..”

විහඟි ඉන් එහා චරක හා වාද කරන්නට උත්සාහ නොකලාය.

චරක බැරෑරුම් මුහුණක් මවාගෙන සිටීම ඔහුගේ දෙමාපියන්ට වටහා ගන්නට හැකි වූයේ නැත. චායා උන්නේ ඇගේ සියලු කතන්දරය අයියා අම්මලා ඉදිරියේ පවසනවාය යන සිතුවිල්ල සමඟය.

” කමක් නෑ…කියපු දෙන් … මං දැන් ඕනි එකකට ලෑස්තියි… ඔව් .. මං ආදරේ කලා… බලන් උන්නා.. ආවම, කොන්දේසි නැතුව ආයේ මගේ ජීවිතේ ඉඩ දුන්නා.. දැන් ගිහින් … මං ඒකත් පිළිගත්තා කියලා අම්මලට කියනවා මම … ආයේ කිසිම දෙයක්  හංගගෙන දුක් විඳින්න ඕනි නැහැ මට …”

ඕ යටි හිතට අවධාරණය කලාය.

” තාත්තේ .. මං මේ කියන දේවල්, අහන දේවල්, පැහැදිලි කරගන්න හදන දේවල් ඉස්සරහ … ඔයයි අම්මයි දෙන්නම ඉවසිමෙන් ඉන්නෝනි .. මොකද, මොන අරමුණින් සිද්ද වුනා වුනත්, මේ දේවල් නිසා අපි අපිටම කොච්චරක් හානි කරගෙනද කියලා ඔයාලත් තේරුම් ගන්නවා මේ කතා බහ අවසානේ..”

” කියන දෙයක් තේරෙන සිංහලෙන් ඉක්මනට කියන්න ලොකු .. අද දෝණිගේ චැනල් එක …”

” හරි . ඒ හවස පහටනේ.. මම එක්ක යන්නම්..  තවම දොළහයි නේ..”

චරක එලෙසින් කියද්දි සියලු දෙනා නිහඬ වූයේ, චරක විහඟිව වෛද්‍යවරයා වෙත රැගෙන යෑම සාමාන්‍යෙන් මඟ හරිමින්ම උන් නිසාය.

” මට කතාව පටන් ගන්න ඕනි, මගේ සිංගප්පූරු ගමනට හේතු වුන කතාවෙන් …”

චරක එලෙස පවසද්දී. විහඟි සහ චායා එතරම්  ගණනකට නොමැත්විවද, අම්මා සහ තාත්තා බියපත්වද බලා උන් හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here