මුතු බෙලි හදවත -44

ආදිත්‍යා දුමාල් ගේ අතින් මින්දුල ව ගන්නට ගිය ය. නමුත් ඔහු ඊට ඉඩ දුන්නේ නැත. සිටින්නේ හොඳ සිහියෙන් බව ආදිත්‍යා ට හඟවන්නට දුමාල් ට ඕනෑ වන්නට ඇත. කෙසේ වෙතත් ආදිත්‍යා දුටුවේ කෝපයකින් ඇවිලෙමින් හිඳිනා දුමාල් ව ය. ඈ සිය දෑතින් ම ඔහු ව අල්ලා ගත්තා ය. ආදිත්‍යා ගේ උගුර කට වියළී යමින් තිබිණි. ඇය බිය වී සිටියා ය. සේනක දුමාල් පස්සේ පන්නා එක නිමාවක් නොවේවිද යන බියෙන් ඇය අකර්මණ්‍ය වෙමින් සිටියා ය.

“දුමාල්. මට කතා කරන්න ඕන පුතා”

සේනක වෙව්ලුම් ස්වරයකින් කියා ගත්තේ ය.

“පුතා…”

දුමාල් සිනහ වුණේ සතුටකින් නම් නොවේ. නමුත් එහි වූයේ කෝපයක් ද ද්වේශයක් ද ශෝකයක් ද කියා වෙන් කොට හැඳින ගන්න ට ආදිත්‍යා ට හැකි වූයේ නැත.

“ඔව් කියමුකො බලන්න”

දුමාල් ආදිත්‍යා මත නෙතු නතර කළේ ය. ඇයගේ ඇස් මත වූයේ බැගෑපත් බවකි. සේනක ගෙන් දුමාල් ව සඟවා රැක ගන්නේ කෙසේදැයි ඇය මේ කලබල අතරේ ම සිතමින් සිටියා ය. දුමාල් ඇස් වලින් ඇය ව සිප සැනසුවේ ය.

“ළමයො. මට කතා කරන්න ඕනෙ මෙහෙම ටෙලිෆෝන් එකෙන් නෙවෙයි”

එවර නම් දුමාල් ට සිනහව නතර කර ගත හැකි වූයේ නැත. ඔහු හඬ නගා හෙළුවේ වියරු සිනහවකි. සුපිරි වෙළෙඳ සැලෙහි හාත්පස වන මිනිසුන් ඔවුන් දෙස බලත් දැයි ආදිත්‍යා වට පිට බැලුවා ය. 

“දුමාල්..මිනිස්සුන්ට වැරදි වෙනව. ඒක සාමාන්‍ය දෙයක්…”

“මිස්ට විජයවික්‍රම…හැබැයි හිතා මතා වැරදි කරන මිනිස්සුංව ජීවිතේ පැත්ත පලාතකට වද්ද ගන්න ඕන නෑ. මගෙ අම්ම මට කියල දීල තියෙන්නෙ එහෙමයි”

සේනක ගේ අන්තයෙන් සුසුමක හඬ නැගිණි. නමුත් දුමාල් සසැලෙන්නට ගියේ නැත. කිඹුල් කඳුළු හා හැබෑ කඳුළු අතර වෙනස ඔහු හොඳින් දනී. බඩ පොත්ත කුස පොත්තට ඇලී, යන්නට එන්නට තැනක් නැතිව, ඉන්න හිටින්නට තැනක් නැතිව ගස් ගල් යට, සොහොන් පොළේ සොහොන් ගෙවග දවස් හැරි අතීතයේ ඔහු ගේ ත් මව් ගීතා ගේත් ඇස් වලින් වට කඳුළු ගැන එදා මේ මිනිසා ට කිසිදු හැඟීමක් තිබිණි දැයි දුමාල් ඔහු ගෙන් ම ප්‍රශ්න කළේ ය.

“පුතා. මං දන්නව…ඔය කේන්තිය සාධාරණයි කියල මං පිලිගන්නව..ඒත් චැරැද්දක් කරපු මිනිහෙක්ට වුණත් ඒ වැරැද්ද හදා ගන්න ඕන නං ඒකට අවස්ථාවක් දෙන්න ඕන නේද”

සේනක කතා කළේ බොරුවට නොවේ..ඔහු හොඳ නළුවෙකු බව ඇත්ත ය. මිනිස්සු ඉදිරියට ඇවිත්, මහජන නියෝජිතයෙකු වශයෙන් ඔහු කළේ ම රංගනයකි. සැබවින් සේනකලා වාගේ අයගේ සමස්ථ ජීවිතය ම රංගනයක් කීවත් වරදක් නැත.කොයි තරම් බොරුවෙන් ජීවත් වී ද යත් ඔවුන්ට දැන් බොරුව කුමක් ද ඇත්ත කුමක්ද කියා හෝ වෙන් කොට සිහිපත් කර ගත නො හැකි තරම ය..එපමණට ම බොරුව ජීවිතයට කාවැදී තිබේ. ඇත්ත අමතක ම වී තිබේ. නමුත් මේ මොහොත ඒ සියලු අවස්ථාවන් ට වඩා වෙනස් ය. රංගනය දෙදරා ගොස් ජීවිතය මතු වෙන්නට ගෙන තිබේ. නළුවා බිඳ වැටී හැබෑ මිනිසා හිස ඔසවන්නට පටන් ගෙන තිබේ!

සේනක මේ දින ගණනාව පුරා ම කල්පනා කරමින් සිටියේ ය. දුමාල් කියා කෙනෙක් සිය ජීවිතය මතුපිටට කැඳවා ගන්නට ඔහු ට උවමනා නැත. නමුත් දිය යට ඔබා ගෙන ඉන්නා රබර් බෝලයක් අත් හළ ගමන් මතුපිටට එන්නා සේ, දුමාල් හිත තුළ කැළඹීමක් ඇති කරයි. ඔහු ට එක වරක් දුමාල් ව වැළඳ ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබේ. එක ම එක වරක්!

“මට එකම එක සැරයක් දුමාල් ව මුණගැහැනනං ඇති”

“දායාද පවරල දෙන්නද දන්නෑ නේ…”

තරුණයා සමච්චල් සරකින් පිළිවිසියේ ය. ආදිත්‍යා ඔහු ගේ අතක් පිරිමැද්දා ය. සන්සුන් ය කියා පෙන්වන්නට තැත් කළා ට ඇය හිටියේ නො සන්සුන් ව ය.

“මං දායාද පවරල දෙන්න හැදුවත්…දුමාල් බාර ගන්නෑ කියල මං දන්නව”

“ලොකු දෙයක් දන්න එක”

“දුමාල්. එල්ලුං ගහට නියම වෙච්ච මිනිහෙක් ට වුණත් අන්තිම කැමැත්තකට ඉඩ දෙනව. මට එක අවස්ථාවක් දීපං පුතා”

ඔහු ගේ හඬ බිඳී ගියේ ය. ඒ මොහොතේ සිය හදවත ද බිඳිති වලට බිඳී යන සෙයක් දුමාල් ට දැනිණ.

“හරි. කොහෙටද මං එන්න ඕන…”

ආදිත්‍යා තිගැස්සුණා ය. සේනක වෙතට දුමාල් ව යවන්නට හිත හදා ගන්නට ඇය ට නුපුළුවන. නමුත් ඔහු ගේ තීරණයට එරෙහි විය නොහැකි බව ද ඇය දැන සිටියා ය.

“අනේ දුමාල්..යන්න එපා”

ඈ ඔහු ගේ අතක එල්ලී බැගෑපත් වූවා ය.

“බය වෙන්න එපා. දැන් එයා මට මොනාත් කරන්න එන්නෑ”

ඔහු ගේ මඳහසෙහි වූයේ දුවක ගේ හිත සනහන තාත්තා කෙනෙකු කෙරේ වන දයාවකි.

“ඔය මනුස්සයව විශ්වාස කරන්න බෑ සත පහකටවත්”

“ඒත් මට දැනෙනව. මේ වෙලාවෙ අවුලක් කරන එකක් නෑ”

“එහෙනං මාත් එන්නං”

ආදිත්‍යා කීවේ අකීකරු ලෙස ය. දුමාල් ගේ පීතෘ සිනහව නැවතත් පිපිණි. බඩු ටික ගෙදරට දාල මං ඔයාවයි පුතාවයි ඕගොල්ලංගෙ ගෙදර දාල යන්නං”

“මාත් එන්නං දුමාල්”

“මට එතන මැනේජ් කර ගන්න පුළුවන් ආදි”

ඒ හමුව පැවැත්වුණේ ප්‍රකට හෝටලයකදී ය. දුමාල් හිස කෙළින් කර ගෙන සිංහයෙකු සේ සේනක වෙත ගියේ ය. ඔහු තමන් ඉදිරියට එත්දී සිය කුදු බව වැඩි වැඩියෙන් සේනක ට දැනෙන්නට විය. ඔහු ට අසුනෙන් නැගිටුණේ ඉබේට ම ය. අඩියක් දෙකක් පෙරට ආ සේනක දුමාල් ව වැළඳ ගත්තේ ය. ඒ වැළඳ ගැනීම දැඩි එකකි. තත්පර ගණනාවක් ඔහු ඒ වැළඳගැනීමෙන් සිටියේ ය.නමුත් දුමාල් සිය අතක් හෝ සේනක ගේ සිරුර මතින් නො තබන්නට ප්‍රවේසම් විය. බාහිරයෙන් කෙසේ හැසිරුණ ද ඔහු ගේ ඇතුළාන්තයෙහි වූයේ ටර්නාඩෝ සුළි කුණාටුවක් බඳු තත්වයකි.

“මට සමා වෙයං පුතා. උඹගෙ තාත්තට පුළුවන් නං සමාව දියං පුතා. පුළුවන් නං විතරක්. බැරිනං එපා”

ඒ වචන ඉපදුණේ සේනක ගේ හදවත පත්ලෙනි. මෙහෙම වාක්‍ය කිහිපයක් සිය දිවියෙහි කොයියම්ම හෝ මොහොතක කියන්නට සිදු වෙතැයි ඔහු සිතා තිබුණේ නැත.

ගැහැනු කුසයක තමන් ඉපදෙන්නට නියමිත කළලය රෝපණය කොට පැන ගිය මිනිසාට සමාවක් දෙන්නට ඔහු ට උවමනා ද නැද්ද කියා දුමාල් දැන සිටියේ නැත. ඒ ගැන සිතන්නට හෝ ඔහු ට උවමනා නොවිණ. සේනක ගේ ග්‍රහණයෙන් මිදුණ පසු, ඔහු දෙස නො බලා ම දුමාල් අසුනක් ඇද හිඳ ගත්තේ ය. සේනක ඔහු දෙස ඇස් පිය නො සලා බලා සිටියේ ය. තමන් ගේ ශරීර ලක්ෂණ හෝ මුහුණුවර, දුමාල් වෙතින් සොයා ගන්නට සේ සමස්ත ඔහු ගේ දේහය පුරා සේනක ගේ ඇස් හනි හනික දිව ගියේ ය. ඔහු ගේ ඇස්, තොල්, නහය, උස මහත…ඒ සියල්ගෙහි තමන්ගේ ඡායාවක් සැඟව ඇතැයි අන්තිමට සේනක තීරණය කළේ ය.

“ඒ වෙලාවෙ මට ඕන වුණෙ ඒ ප්‍රශ්නෙං පැනල යන්න විතරයි. ඒ දරුව ලොකු වෙනව…දවසක ඒ දරුව මගෙ ඉස්සරහට එනව වගේ දේවල් ගැන මං දුරට දිගට හිතුවෙ නෑ”

දුමාල් සමච්චල් සිනහවක් පෑවේ ය. සේනකට ඔය වගේ සිනහවල් නම් නුපුරුදු නොවේ. රටේ ම මිනිස්සු ඔහු ගේ රැහේ අයට එහෙව් සිනහ පාති. නමුත් ඔවුන් ට ඒ ගැන ලැජ්ජාවක් හෝ බයක් නොවේ. දේශපාලනයට එත්දී ඒ සම්බන්ධ ස්නායු අකර්මණ්‍ය වී තිබිය  යුතුම ය. 

නමුත් දුමාල් ගේ මේ සිනහව සේනක ට දැනුණේ පපුව මැදට ම එල්ල කරන ලද පිහි පහරක් සේ ය.

“දුරට දිගට හිතල ඉතිං මොනාද කළේ…අර ආදි…”

කියවෙන්නට ගියේ ආදිත්‍යා ට ඔහු ගෙන් සිදු වූ නො කටයුතුකම් ගැන ය. නමුත් දුමාල් වහා ම ඒ ගිල ගත්තේ ය. සේනක ට ද ඒ නොතේරුණා නොවේ. නමුත් ආදිත්‍යා ගැන වචනයක් හෝ කතා නොකරන්නට ඔහු ප්‍රවේසම් වූයේ ය.

“මට කියන්න ඕන මේකයි. මගෙන් කරදරයක් වෙයි කියල හිතන්න එපා පුතා. විකුම් ගැන වුණත් මං බලා ගන්නව. ඕන තැනක දුමාල් මගෙ පුතා කියල කියන්න මං ලෑස්තියි”

“වැඳල කියන්නං ඒකනං කරන්න එපා”

දුමාල් වහා කීවේ ය. සේනක ගේ මූණ විරූපී වී ගියේ ය.

“ඊට වඩා මට ආඩම්බරයි මාව උපද්දන්න හේතු වෙච්ච පිරිමිය කවුද කියල දන්නෙ නෑ කියල කියන එක”

සේනක බිම බලා ගත්තේ ය. ඔහු ට ඒ කම්මුල් පහර ඉවසා ගන්නට පුළුවන. දුමාල් ට මෙතෙක් සියතින් සිදු වූ වැරදි වලට, සිය ලේ ඥාති පරම්පරාවේ නාමයෙන් ඕනෑ ම සිත් වේදනාවක් ඉවසා ගන්නට සේනක ගේ තුන් සිත සැදී පැහැදී සිටියේ ය.

“මං යන්න ඕන”

දුමාල් නැගී සිටියේ ය.

“කියන්න තියෙන හැම දේ ම කියල ඉවරයි කියල හිතනව..මොකද…ආයෙ සැරෙන් සැරේ මට එන්න වෙන්නෙ නෑ”

සේනක අසරණයෙකු සේ බලා සිටියේ ය. දුමාල් සිංහයෙකු සේ නික්ම ගියේ ය. 

කෙසේ වෙතත් ඒ හමු වීම සේනක ගේ හිත සැහැල්ලු කළේ ය. දුමාල් ට ද යම් කිසි සැහැල්ලුවක් නො දැනුණා නොවේ. 

විවාහය ලියාපදිංචියකට පමණක් සීමා කොට, සමීපතම හිතවතුන්ට කුඩා හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන්නට ආදිත්‍යා සහ දුමාල් කටයුතු කළහ.

“මං හිතං හිටියෙ රජෙක්ගෙ වගේ මංගල්ලයක් ගන්න. මං හැදුවෙ එකානෙ දෙයියනේ”

ගීතා කඳුළක් පිස ගත්තා ය. දුමාල් ඇය වෙත ගොස් අම්මා ගේ හිස් මුදුනේ අතක් තැබුවේ ය.

“අම්ම බලන්නකො. එදාට මං රජෙක් වගේ ඉඳියි”

“ඒත් පුතේ…පෝරුවක නැගල…අෂ්ටක ජය මංගල ගාතා කියල…නෑ සනුහරේට පේන්න පුතා ගෙ මගුල කන්න මං කොයි කාලයක් හීන දැක්කද…”

“අම්මෙ…දෙන්නෙක් එකතු වෙන්න ඕන හිත් වලින් නේද…ඒකට පෝරුවකට නගින්නම ඕනද…අම්ම පෝරුවකට නැග්ගෙ නැතුවට මාව ලස්සනට හැදුවෙ නැද්ද…අම්ම ට දුක් වෙන්න කිසිම හේතුවක් නෑ අම්මෙ. අම්මගෙ පුතා හැමදාම සතුටෙන් ඉඳියි. මං ආදිත්‍යා ව තෝර ගත්තෙ අම්ම නිසා. පොඩි කාලෙදි අම්මගෙං මං දැක්ක ධෛර්යවන්ත ගෑනි…ආදිගෙ ඇස් ඇතුළෙත් මං දැක්ක අම්මෙ. අම්මා මාව හදා ගන්න විඳපු දුක…මින්දුල නිසා ආදි විඳිනව අම්මෙ. මාව අනාථ නිවාසෙකට දාන්න කියල අම්මගෙ නෑයො කොච්චර කිව්වද…අම්ම එහෙම කළා ද…අර බය හිතෙන සොහොන් ගෙයි හරි මාව තියාගෙන ලොකු කළා. අර ඉටිකොල වලින් වට කරපු…වැස්සට සේරම ගහගෙන යන ඇල අයිනෙ පැල් කොටේ ඉඳගෙනත් මට ඉගැන්නුව. ආදිත් එහෙමයි අම්මෙ. අම්මට වඩා යමක් එයාට තියෙනව. ඒත් එයාට ඉන්නෙ ඔටිසම් පුතෙක්. විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. අම්ම දන්නවද ඒ පුතාව සාමාන්‍ය දරුවෙක්ගෙ තත්වෙට ගේන්න ආදි මොන දහ දුකක් විඳිනවද කියල…ආදියි අම්මයි මට පේන්නෙ එක විදිහට අම්මෙ. මට ඕනෙ සීනි බෝල කෙල්ලෙක් කසාද බැඳගෙන ජීවිතේ උඩිං පැනල දුවන්න නෙවෙයි. අම්ම වගේ ආත්ම ශක්තියක් තියෙන ගෑනියෙක් බැඳගෙන ඇත්තටම ජීවත් වෙන්න. ඒකට ආදිව තෝර ගත්ත එක ගැන මට කිසි පසුතැවීමක් නෑ අම්මෙ. අනික අම්ම හිතනව ඇති මේක මං ආදි ගැන අනුකම්පාවකින් ගත්ත තීරණයක් කියල. එහෙම නෑ අම්මෙ. මින්දුල කියන්නෙ මට මගෙම පොඩි කාලෙ. ඒ පැටියව මං හැදුවෙ නැත්තං කවුරු හදන්නද අම්මෙ…”

ගීතා ගේ ඇස් කඳුළින් තෙත් වී ගෙන ආවේ ය. ඕ ගවොම් උරහිසෙන් ඒ කඳුළේ තෙත මාත්තු කර ගත්තා ය.

ආදිත්‍යා ගේ පැත්තෙන් සාදයට සහභාගී වීමට සිටියේ පවුලේ හතර දෙනා පමණකි. දූව ඇමති පුතෙකුට විවාපත් කොට දී ලෙඩ ළමයෙකු සමග යළි ගෙදරට ම ගෙන්නා ගත් එක ගැන ඥාතීහු එක එක සමච්චල් කතා කියමින් රහසින් සතුටු වූහ. මූණට මූණිච්චාවට අනේ අපොයි කී ඔවුහු, ලොකු අතු අල්ලන්නට ගියා ට හොඳ වැඩේ යයි නැති තැන කීහ. ඒ බව දත් ආදිත්‍යා, සිය දෙවන විවාහයේ සතුටු සාදයට, සැබවින් ඒ ගැන සතුටු වෙන කිහිප දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් යයි තරයේ කියා සිටියා ය. වෙනදාට නම් මෙවැනි දේක දී එදිරි ව කෑ කෝ ගසන ලලිතා මුණිවත රැක්කා ය.

පවුලෙන් පිටත කෙනෙකුට කියා ඈ ඇරයුම් කළේ එක ම එක්කෙනෙකුට ය. ඒ සඳසීලී ට ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...