බර වැඩි නම් ලේසියෙන්ම අඩු කරගන්නේ මෙහෙමයි.

ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි වීමට විවිධ හේතු තියෙන්න පුළුවන්. ව්‍යායාම කළ පමණින්ම බර අඩු කරගන්නට බැහැ.ශරීරයේ බර වැඩි වීමට හේතුවන කාරණාව පිළිබඳව හරි අවබෝධයක් ලබාගෙන එයට පිළියම් යෙදීම මගින් නිසි ලෙස බර අඩු කරගන්නට ඔබට පුළුවන්. බර වැඩි වීමට හේතුව වන්නේ අධික ලෙස ආහාර ගැනීම හෝ ව්‍යායාම නොකිරීම නෙමෙයි.සමහර සෞඛ්‍යමය කාරණා වුණත් බර වැඩිවීමට හේතුවක් වන්න පුළුවන්.බර වැඩි වෙන්නට පුළුවන් හේතු මොනවාද ? ඒවාට යෙදිය හැකි පිළියම් මොනවද ? ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු 

මානසික අවපීඩනය

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා මිලියන 350 ක ජනතාවක් ( සෑම වයස් කාණ්ඩයක් ම ඇතුළත් ) මානසික අවපීඩනයෙන් පෙළෙනවා.එය අධික ලෙස බර වැඩිවීමට හේතුවක් ලෙස දැක්විය හැකි අතරම සමහර විශාද නාශක ඖෂධ ද බර වැඩි වීමට හේතුවක් වන්නට පුළුවන්.ඔබ කිසියම් හෝ මානසික අවපීඩන තත්ත්වයකින් පෙළෙනවා යැයි ඔබට දැනෙනවා නම් වහාම උපදේශන සේවයකට හෝ ප්‍රතිකාර ගැනීමට ඔබ යොමු විය යුතුයි.ඊට අමතරව ඔබ ප්‍රිය කරන ක්‍රියාකාරකම් වල නිරත වීම , ඔබට සතුටු විය හැකි ක්‍රියාකාරකම් වල නිරත වීම සහ ඔබ ප්‍රිය කරන පුද්ගලයන් ඇසුරු කිරීම කරන්නට ඔබට පුළුවන් 

ආතතිය

කාර්යබහුල ජීවන රටාව සහ රැකියාවේ ගැටලු නිසා බොහෝ දෙනා ආතතියෙන් පෙළෙනවා.මෙසේ ආතතියෙන් පෙළෙන බොහෝ දෙනා අධික ලෙස ආහාර ගැනීමට පෙළඹෙන අතර එය අනවශ්‍ය ලෙස බර වැඩි වීමට ද හේතු වනවා.කුසගින්න වැඩිවන විට ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට වඩා පෙළඹෙන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන , තෙල් අධික රසවත් ආහාර ගැනීමටයි. මෙය ශරීරයට ඉතාම අහිතකර දෙයක්.ඒ නිසා ආතතිය කළමනාකරණය කර ගැනීම සඳහා භාවනා කිරීම , යෝග අභ්‍යාසවල නිරතවීම හෝ ඔබේ ආතතිය පාලනය කළ හැකි යැයි හැඟෙන ඔබ ප්‍රිය කරන ක්‍රියාවල නිරත වන්නට ඔබට පුළුවන්

තයිරොයිඩ් අසමතුලිතතාවය 

ඔබ සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ලබා ගත්තත් නිසි ලෙස ව්‍යායාම වල නිරත ඔබේ බර හදිසියේම වැඩි වී ඇති බව ඔබට දැනෙනවා නම් එයට එක හේතුවක් ලෙස තයිරොයිඩ් අසමතුලිතතාවය හේතුවක් වන්නට පුළුවන්. එවැනි අවස්ථාවල ඔබ ඉතා ඉක්මනින් තයිරොයිඩ් පරීක්ෂණයක් කෙරෙහි යොමුවීම ඉතාම සුදුසුයි. ඔබ තයිරොයිඩ් අසමතුලිතතාවයකින් පෙළෙන බව වෛද්‍යවරයා පවසනවා නම් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම ඔබ කල යුතු වන අතර සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ලබා ගැනීම කෙරෙහි සහ නිසි ලෙස ව්‍යායාම කෙරෙහි ද ඔබ අවධානය යොමු කළ යුතුයි.

සෞඛ්‍යයට අහිතකර වන ආහාර තේරීම් 

කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට ඔබේ ආහාර කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට කාලයක් නොමැති වන්නට පුළුවන්. නමුත් පසුකාලීනව එය ඉතා භයානක තත්ත්වයක් විය හැකියි.තරබාරුකම හෘද රෝග , දියවැඩියාව සහ පිළිකා අවදානම් වලට හේතු විය හැකි නිසා තෙල් අධික ආහාර, ක්ෂණික ආහාර , පිටි සහිත ආහාර සහ වෙනත් සැකසූ ආහාර ලබා ගැනීම ඔබ සීමා කළ යුතුයි.හැකිතාක් නැවුම් පළතුරු සහ එළවළු, නිවසේදීම සකස් කරගත් ආහාර පරිභෝජනය කරනවා නම් සෞඛ්‍යයට අහිතකර වන ආහාර තේරීම් මගින් ඇතිවන බර වැඩිවීමේ තත්ත්වයන් වළක්වා ගන්නට ඔබට පුළුවන් 

අනුභව කරන ආහාර ප්‍රමාණය 

ඔබ ප්‍රධාන ආහාර වේල් වලදී එළවළු අඩුවෙන් ආහාරයට ගෙන බත් වැඩිපුර ආහාරයට ගන්නවානම් එය එතරම් හොද තත්වයක් නෙමෙයි.ඔබට බර අඩු කරගැනීමට අවශ්‍ය නම් සමබල ආහාර වේලක් පරිභෝජනය කිරීමම ප්‍රමාණවත් වන්නේ නැහැ.ඔබ ආහාරයට ගන්නා බත් ප්‍රමාණය අඩු කර එළවළු සහ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කළ යුතු වන අතර උදෑසන ආහාර වේලට පෝශ්‍යදායි smoothie වර්ගයක් , සලාදයක් හෝ පෝශ්‍යදායි රොටි වර්ගයක් ආහාරයට ගන්නට ඔබට පුළුවන්. 

අක්‍රමවත් ජීවන රටාව

තාක්ෂණය දිනෙන් දින දියුණුවට පත්වන ලෝකයේ මිනිසාගේ ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම බොහොම සාමාන්‍ය දෙයක්. බොහෝ දෙනා රාත්‍රී ආහාරය පවා ලබා ගන්නට පුරුදු වී සිටින්නේ රූපවාහිනිය ඉදිරියේ සිටයි. තවත් බොහෝ දෙනෙකුට ව්‍යායාම කිරීමට පවා කාලයක් සොයාගැනීමට අපහසුයි.නමුත් මෙයින් ඔබට ඇති වන්නට පුළුවන් අහිතකර ප්‍රතිඵල බොහෝමයක් තිබෙනවා.ඔබේ ශරීරයේ ඇති ශක්තිය නිසි ලෙස දහනය කිරීමට ඔබ වග බලා ගන්නට ඕනේ. ශරීරය නිසි ලෙස ක්‍රියාකාරී නොවන විට ඉතා වේගයෙන් බර වැඩිවිය හැකි නිසා දිනකට පැයක් හෝ එළිමහනේ ඇවිදීම , ක්‍රීඩා කිරීම හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකම් වල සතියට දින හතරක් හෝ පහක් වත් නිරත වීමට හැකිනම් මේ තත්ත්වයන් මගහරවා ගන්නට ඔබට පුළුවන්.

ආර්තවහරණය

ආර්තවහරණයේදී ඔබේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම අඩු වනවා.ඊස්ට්‍රජන් මට්ටම අඩු වීමෙන් පරිවෘත්තීය වේගය ද අඩු වෙනවා.මෙහිදී මේදය ශරීරය පුරා තැන්පත් කෙරෙනවා.ඒ නිසා වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම කිරීම , හරිත තේ පානය කිරීම , සුව නින්දක් ලබා ගැනීම වැනි පියවරයන් අනුගමනය කරන්නට ඔබට පුළුවන් 

ආහාර දිරවීමේ ගැටළු

අපගේ ශරීරයේ ඇතිවන සමහර රෝග තත්ත්වයන් සඳහා ආහාර ජීර්ණ පද්ධතිය පදනම් කරගත් ප්‍රතිකාර තිබෙනවා.ඔබට ඔබේ උදරය ආශ්‍රිතව ගැටළු තිබෙනවා නම් ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම සාමාන්‍ය දෙයක්.සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ගැනීම , අනවශ්‍ය ලෙස ආහාර ගැනීම , ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම , ප්‍රමාණවත් තරම් හොඳ බඩවැල් බැක්ටීරියා නොමැතිවීම නිසා මෙවැනි ආහාර දිරවීමේ ගැටලු ඇති වන්නට පුළුවන්.ප්‍රෝබයෝටික් අඩංගු පාන වර්ග ලබා ගැනීම , තන්තු බහුල ආහාර ලබා ගැනීම , නැවුම් පළතුරු යුෂ , යෝගට් සහ කිරි වැනි ආහාර දිරවීම පහසු කරවන දේවල් පරිභෝජනය කිරීමෙන් ආහාර දිරවීමේ ගැටළු මග හරවා ගෙන ශරීරයේ බර වැඩිවීම වළක්වා ගන්නට ඔබට හැකියාව තිබෙනවා

ගැබ් ගැනීම 

ගර්භණී සමයේ දී කාන්තාවන් බොහෝ හෝමෝන වෙනස්කම් වලට සහ ශාරීරික වෙනස්කම් වලට ලක් වෙනවා.දරු ගැබට පෝෂණය අවශ්‍ය වන නිසා ඇති තරම් ආහාර ලබා ගන්නයි බොහෝ දෙනා උපදෙස් දුන්නත් ඇති තරම් ආහාර ගැනීම පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම කෙරෙහියි ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ.මීට අමතරව වෛද්‍ය උපදෙස් මත පූර්ව ප්‍රසව ව්‍යායාම කෙරෙහි යොමු වීමට ද ඔබට පුළුවන්.

වයස

වයස අවුරුදු 30 – 35 පසුවන විට කාන්තාවන්ගේ මාංශ පේශීන් වල ක්‍රියාකාරිත්වය මන්දගාමී වනවා.එය පරිවෘත්තිය මන්දගාමී වීමට ද හේතුවක් වනවා.ඊට අමතරව ඊස්ට්‍රජන් , තයිරොයිඩ් , ප්‍රොජෙස්ටරෝන් සහ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් සියල්ලමද පහත වැටෙනවා.කාන්තාවන් වයස්ගත වන විට ක්‍රියාකාරී බව අඩු වන අතර එය බර වැඩි වීමට ද හේතුවක් වනවා.ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම අවුරුදු 30 පසුවන විට ඔබේ සෞඛ්‍ය තත්වය අනුව ව්‍යායාම වල නිරත වීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.එය හෝමෝන සමතුලිතතාවය නිසියාකාරව පවත්වාගැනීමට සහ මාංශ පේශීන් වල ක්‍රියාකාරිත්වය කෙරෙහි ද වැදගත් වනවා. 

ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඔබේ සෞඛ්‍යය කෙරෙහි අවධානයක් යොමු කරන්නට ඔබ විශේෂයෙන් වග බලාගන්නට ඕනේ.ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගැනීමට ඔබට කිසියම් අසනීපයක් මතුවන තුරු ම සිටිය යුතු නැහැ.අප නොදැන අපගේ ශරීරය තුළ ඕනෑම රෝග තත්ත්වයක් තිබිය හැකියි.ඒවාට හේතු සොයාගෙන පිළියම් යෙදීම මගින් නීරෝගි ජීවිතයකට හිමිකම් කියන්නට ඔබට පසහුවෙන්ම පුළුවන් 

Related Articles

Don't Miss


Latest Articles