සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ ය. පපුව ඇතුළේ හිර වීමක් මට නො දැනුණා නොවේ. ඒ බව අමතක කොට මම ලොකු හුස්මක් ගත්තෙමි. පිරිමියෙකු කෙරේ පෙමින් බැඳුණා වූ ගැහැනු හදක වන සිතිවිලි සමුදාය වෙන් කොට හඳුනා ගන්නට මට හැකි වූවා නොවේ. නමුත් ඒ සිතිවිලි සමුද්‍රය තුළ කැළතී ඇත්තේ ආදරය ම බව හඳුනා ගන්නට බැරි කමක් මට නැත.

“මට මෙහෙම ඉන්න දෙන්න අයියෙ”

මම මගේ දෑතින් ම ඔහු ගේ අතක් වැළඳ ගනිමින් ඒ උර මඬල වෙත බර වූවෙමි. මගේ කොපුල ඔහු ගේ උරහිසෙහි ස්පර්ශ වෙත්දී ම මට දැනුණේ ලොව්තුරු සුවයකි. සුනෙත් කියනා කතා ඇසිල්ලකින් මට සිහි විය. බොහෝ ගැහැනු ළමයින් මෙන්න මේ සුවදායි හැඟීමක් තැවරුණා වූ ස්පර්ශයට අතිශය ලෝභ ය. සුනෙත් කියන්නේ බහුතරයක් පිරිමි ප්‍රයෝජන ලබන්නේ ඒ අවස්ථාවෙන් බවයි. ගැහැනු ආදරය සොයති. පිරිමි ඉන් රාගය දකිති.

“ඔයා ළඟට වෙලා…ඔයාට ආදරේ කරං…හැමනාටම මට මෙහෙම ඉන්න දෙන්න. ඔයා දන්නෑ මගෙ හිත ඔයාට ආදරේ කරන තරං…ඒක මේ අවුරුදු පහළවක දාසයක ගෑනු ළමයෙක් ගෙ හිතක නොදැනුවත් කමට ඇති වෙන ඇට්‍රෑක්ශන් එකක් නෙවෙයි. මේක මීට කලින් මේ තරං ලොකුවට දැනිල තියෙන දෙයක් නෙවෙයි වුණත්…මං දන්නව මේක ආදරේ කියල”

මා කතා කර ගෙන ගියේ ඔහු ගේ උරහිස මත්තේ හිස තියා ගෙන ඇස් පියා ගෙන ය. ඇස් පියා ගෙන කතා කරත්දී කියනා දේ වඩා හොඳින් අපේ ම මොළයට අවධාරණය වේ. අප මොනවා කියන්නේ දැයි අපට ම සවන් දී ගත හැකි වේ. මා කියනා දේ හා මට ඇහෙනා දේ අතර කිසිදු පරස්පර විරෝධී බවක් නොවූ වග මට සහතික කළ හැකි විය. 

“එන්න පුළුවන් ප්‍රශ්න ගැන කියන්න එපා දැන්. මං ඒ හැම දේම හොඳට දන්නව. තාත්තා ගැන හිතනකොටත් මට බයයි. මගෙ පවුලට වරදක් කරන්න මට ඕනම නෑ. ඒත්…මට ඔයා නැති කර ගන්න බෑ. පවුල ගැන හිතන්න ගිහිං මට මං නැති කර ගන්න බෑ. වෙන දෙයක් වුණාවේ…මං බය නෑ. බය නෑමත් නෙවෙයි….කොහොම හරි මං ඒවට මූණ දෙන්නං”

ඔහු මගේ කන් පෙත්ත ළඟින් අතැඟිලි යවා හිස පිරිමදිනා වූ සුවය මට දැනිණ. මම තව තවත් ඇස් පියා පූස් පැටවක සේ ඔහු ට ගුලි වුණෙමි. මේ කුඩා රිය වටා විසල් ලෝකයක් වන බව හෝ එහි මිනිසුන් ඔබ මොබ සරනා බව මම අමතක ම කර සිටියෙමි. කොහොමටත් ආදරවන්තයන් අවට ලෝකය මුළුමනින් අමතක කොට දමන බව මම දැක ඇත්තෙමි.

“සනූ…”

ඒ තනි වචනයේ වූ ආදර බර බවට මගේ හද ස්වර කම්පනය විය. මම ඔහු ගේ උර මඬල මතින් නැගී සිටිමින් ඒ මුහුණ දෙස බැලුවෙමි. 

“ඔයා කරදර ගොඩකට පනින්නයි මේ හදන්නෙ”

“මං ගිනි ගොඩකට හරි පනින්නං”

“හැමදාම ඒ ආදරේ තියෙයිද කියල මට හිතෙනව”

“ඒ ඔයාගෙ එක්ස්පීරියන්ස් නිසා. ආදරේ කියල දෙයක් මේ ලෝකෙ තියෙනව අයියෙ. ඒක අපිට හම්බ වෙන්නෙ නැති එක වෙනම දෙයක්”

“තවත් තුවාල වෙන්න තැනක් මගෙ හිතේ නෑ සනූ”

“මට ඕන තවත් තුවාල කරන්න නෙවෙයි. තියෙන තුවාල සනීප කරං ඔයා ළඟින් ඉන්න. ආදරයක් මත්තෙ මැරෙන්න නෙවෙයි අයියෙ ඕනෙ…ජීවත් වෙන්න…අපි ට ජීවත් වෙන්න මගෙ ආදරේ ඇති. මට තේරෙනව. ඔයාට තාම මං ගැන ආදරයක් හිතෙන්නෙ නැතුව ඇති. ඒත් දවසක ඔයා එහෙම කරයි. එතකං බලං ඉන්න මට පුළුවන්”

ඔහු මගෙ උකුල මත වූ අතක් ගෙන සිය දෝතින් ම තදින් අල්ලා ගත්තේ ය. 

“ඔයා මට ජීවිතේ ගැන අලුත් කතාවක් කියල දෙනව”

මම රවීන් ගේ කොපුලක් මත මගේ සුරත තබා අතැඟිලි වලින් මුදු ලෙස ඔහු ගේ හිස කේ පිරිමැද්දෙමි. 

“තාත්ත මාව තේරුං ගනියි”

“තාත්තාගෙ හිත රිද්දන්න හිතන්නවත් එපා. එයා පුදුම තාත්තා කෙනෙක්”

“ඔයත්…ඔයත් පුදුම පිරිමියෙක්. තාත්තා වගේම මාව පුදුම කරපු…”

“යමුද..”

රවීන් රිය පණ ගන්වන සූදානමකින් මදෙස බැලුවේ ය. මම ආදරය හංගා නො ගත් ඇස් ඔහු ට දකින්නට හැරියෙමි. මේ මුළු දවස පුරා ඔහු ළඟට වී ඉන්න ඇත්නම් යන සිතිවිල්ල මා අවුරා ගෙන නැගී සිටියත්, මම මාව පාලනය කර ගතිමි. රිය හෙමිහිට පෙර ට ඇදෙන්නට ගත්තේ ය.

“මං සුනෙත් ට කිව්ව. ඔයා ගැන…”

ඔහු එක බැල්මක් මවෙතට හෙළුවේ ය. ඒ බැල්මේ ගැස්මක් නොවූ බව මට විශ්වාස ය.

“මට බණින්න ඇති. ඔයාටත්…”

“ඔයා හොඳ කොල්ලෙක් වගේ කියල කිව්ව. ඔයත් එක්ක කතා කරන්න ඕන කියලත් කිව්ව”

“දවසක හම්බ වෙමු”

මට දැනුණේ මට ම වචන වලට පෙරළිය නො හැකි හැඟීමකි. ගෑනු ළමයෙකු ගේ හොඳ ම මිතුරා පිරිමි ළමයෙකු වීම ඇගේ ජීවිතය ට තරමක අභියෝගයකි. ඔහු ඇගේ පෙම්වතා යයි මුළු ලෝකය ම හිතන්නට ගනී. අවාසනාව එය නොවේ. බොහෝ පෙම්වතුන් හා ස්වාමි පුරුෂයන් ඇය ව සැක කිරීමයි. ඇගේ හොඳ ම මිතුරා දෙස වපරැසින් බලන්නට ගැනීමයි. සුනෙත් සේ ම රවීන් ද මා ව වටහා ගන්නවා කියන්නේ එය මට මහත් සැනසුමකි. එසේ ම ඔවුන් ඔවුන් ව වටහා ගන්නට උත්සාහ කරනවා කියන්නේත් මට මහ මෙරකි.

“ලොකයිය මොනාහරි දන්නවද…”

මා එසේ ඇසුවේ ටික දිනක සිට හිතේ තිබූ කුකුසක් සන්සිඳුවා ගනු පිණිස ය. හැන්දෑවට ආච්චා දකින්නට එන මුවාවෙන් ලොකු අයියා රවීන් ව අපේ ගෙදරට සමීප කරවීමේ උත්සාහයක් ගන්නවා ද කියා කිහිප වතාවක් මට සිතී තිබිණි.

“නෑ. මගෙන්නං මුකුත් අහල නෑ. ඇයි…”

“නෑ…එයා මට ඔයා එක්ක යන්න ඇරල බැහැපු නිසයි ඇහුවෙ”

“මලිත් මගින් බහින්නමයි ආවෙ. කොහෙද මන්දා යන්න..ඌ මේක දැන ගත්තොත්නං…මට වෙන රූම් එකක් හොයා ගන්න වෙනව ශුවර්…”

රවීන් ගේ දෙතොලතර මඳහසක් ඇඳී තිබිණි. නමුත් ඒ මඳහස යට මම කිසියම් නිර්භීත කමක් කියවා ගතිමි. ඉදිරියේ දී මොනවා සිද්ධ වෙන්නට නියමිත වුණත් දැන් ඔහු ඊට සූදානම් බවක් ඒ සිනහවෙන් කියවුණා කියා මම සිතමි.

මෙතෙක් දඟකාර තරුණියක ව සිටි මා පරිපූර්ණ පෙම්වතියක වූ බවක් මට දැනෙන්නට ගත්තේ ය. පෙම්වතියක කියන්නේ නිකං ම නමක් නොවේ. ඒ වූ කලී වගකීමකි. පදවියකි. ඒ පදවියෙන් පිදුම් ලැබුවාට පස්සේ මා ප්‍රීතිමත් හා කාර්යක්ෂම ස්ත්‍රියක ගේ තත්වයට පත් ව තිබිණි. 

“මට ඔයාව සතුටෙන් තියන්න ඕන. ඔයා ආස කරන පිරිමියා වෙන්න ඕන”

කියා එදා සමු ගෙන මඳ වෙලාවකින් රවීන් කෙටි පණිවිඩයක් එවා කීවේ ය. මම වහා ම ඊට ප්‍රතිචාර දැක්වීමි.

“දැනටමත් ඔයා මං කැමති පිරිමියා තමයි”

ආදරය අන්ධයි කියා පැරණි කියමනක් තිබේ. එය එහෙම නොවේ කියා කියන්නට පුළුවන් කමක් මට නැත. නමුත් ආදරය ඉවසිලිවන්තයි කියා මම කියමි. ආදරය දුර දකිනවා ද ළඟවත් නො බලනවා ද කියා ස්ථිර ව කිව නො හැක. නමුත් එය ශක්තිවන්තයි කියා මම සිතමි. අපේ වාගේ විශාල පවුලක් ඇතුළේ මේ වාගේ ආදර සම්බන්ධයකට එල්ල විය හැකි පීඩනය කෙබඳු වී දැයි දැන දැන වුව මා මගේ හැඟීමෙන් මිදී පලා නො ගියේ ඒක ය.

පාසල් නිවාඩුව උදා විය. නිවාඩුවේ දී පවුලේ චාරිකාවක් යොදා ගැනීම කාලයක් තිස්සේ අපේ පවුල තුළ පැවත එන සිරිතකි. ඉඳ හිට ලොකු අයියා ඊට මිතුරෙකු කැටිව ආවේ ය. පවුලේ කෙනෙකු වාගේ වැඩි වාර ගණනක් සුනෙත් මේ ගමනට එක් වී තිබේ. ඒ හැරෙන්නට මීට පෙර වෙනත් පිටස්තරයෙකු ගමනට එක් වී නැත. 

මේ වතාවේත් පාසල් නිවාඩුව දුන් ගමන් පවුලේ ළමයි ටික පාරේ රොක් වී ගමන ගැන කතා බහ කරන්නට වූහ. 

“සනූ..එනවකෝ”

පාරේ සිට ම ඔවුහු කිහිප වරක් මගේ නම කියා හඬ ගානු මට ඇසිණ. වෙනදා ට්‍රිප් කියූ ගමන් මා යන්නට අඩියක් පෙරට තබා ගත් ගමන් ය. කවුරුත් ඒ බව දනිති. නමුත් මේ වතාවේ ඔය ගමනට රවීන් ද එක් වන බව සක් සුදක් සේ දන්නා නිසාවෙන් මම මඳක් පසු බා සිටියෙමි. ඒ, ගමන ගැන මගේ උද්‍යෝගය වැඩි යයි කෙනෙකු ට සිතිය හැකි නිසාවෙනි.

“ටිකිරි මලී මොකද…වෙනද ට්‍රිප් කියන්න ඕන නෑ..ට්‍රි විතරක් ඇහුණත් ලෑස්ති වෙලා එළියට බහින එකීට කී සැරයක් කතා කරන්න වුණාද…මොකද උඹ ලොකු ළමයෙක් වෙලාද…”

ලොකු අයියා මා දුටුවන කෑ ගැසුවේ ය. රවීන් ගේ ඇස් මා වෙත දැල්වීගෙන තිබෙනු දැනුණෙන් මගේ ඇස් බර ව තිබිණි.

“හරි ඉතිං…ඕගොල්ලො ඕගනයිස් කරන්න”

“මෙයා ගණං උස්සන්නෙ හැමදාම එයා තිතට ම වැඩේ කරන නිසානෙ. හරි හරි අපි ඕගනයිස් කරන්නං. හැබැයි පස්සෙ අඩුපාඩු තියනව කිය කිය චුරු චුරු ගාන්නෙපා”

ඒ පුංචා ගේ දුව ශනුද්‍රි ය.

“හරි හරි. දැන් ඉතින් කොහෙද යන්නෙ මේ සැරේ…”

හැම චාරිකා සංවිධානයක දී ම බරපතල ම ගැටළුව එයයි. කොයි තරම් කතා කළත් හැමදාමත් යන්නේ එක ම ගමන් ටිකකි. වෙනස් තැනකට යන්නට කතා කරත්දී විවිධාකාර ගැටළු මතු වේ. ප්‍රධාන ම ගැටළුව වැඩිහිටි කාන්තා පරපුර ට පයින් ගමන් කළ නො හැකි වීමයි.

“මේ…කෝ අපේ මනමාලි නැත්තෙ මොකද…”

දෙවෙනි මාමා ගේ දුව ශෙහාරා ළමයින් අතරේ නොවන නිසා මගේ හිත ඈ විමසූයේ, විනෝද ගමන් ගැන මා මෙන් ම ඇය ද දැඩි උනන්දුවක් දැක්වූ බව දන්නා නිසා ය. 

“එයා ඉතිං හෙට අනිද්ද කසාද බැඳල යන්න ඇඟිලි ගැන ගැන නෙ ඇත්තෙ දැං. ඒ නිසා මේ සැරේ ට්‍රිප් එක එයාට වැදගත් නෑ”

“ඊට වඩා ලොකු ට්‍රිප් එකක් යන්නනෙ ඉන්නෙ”

“ජීවිතේ තිත්ත වෙන ට්‍රිප් එක”

එක එක්කෙනා එක එක කතා කියමින් හඬ නගා සිනහ වූහ. මම යන්තම් රවීන් ගේ ඇස් වල පැටලී ගෙන ම දෙවෙනි මාමලා ගේ ගෙදරට ගොඩ වීමි.

“ශෙහාරා..”

ඇය සිටියේ කාමරයේ ඇඳ බදා ගෙන ය.

“ඒයි..මොකද මේ…හෙට අනිද්දට මනමාලියක් වෙලා යන්න ඉන්න ගෑනු ළමයෙක් මෙහෙමද…ෆුල් ෆන් එකේ ඉන්න එපැයි”

මම යහන මතින් හිඳ ගතිමි. ශෙහාරා නැගිට ගත්තා ය. ඇගේ ඇස් ඉදිමී ඇත්තේ නිදා ගත්තා ට නොව හැඬීමෙන් බව තේරුම් ගන්නට බැරි කමක් ගැහැනු ළමයෙකු වශයෙන් මට නැත්තේ ය. 

“ඒයි…මොකද මේ…”

මා විමසූයේ ඇගේ මුහුණට එබී ගෙන තරමක රහසිගත ස්වරයකිනි. මා විශ්වාස කළ හැකි බවක් ඇය දනී. අප ආසන්න වයස් වල පසු වන නිසා ළමා වියේ මහ ගෙදර වැලි මිදුලේ සෙල්ලම් කරන කාලයේ පටන් අපතර සමීප බවක් විය. 

ශෙහාරා ගේ ඇස් වලට අලුත් කඳුළක් උනා ආවේ ය.

“ඇයි අනේ…”

“මට බෑ සනූ..මට මේ ප්‍රපෝසල් එකට කැමති වෙන්න බෑ”

“ඉතිං ඕක මහ දෙයක්ද..කියනවකො නැන්දට”

“වැඩක් නෑ සනූ කිව්වට. ඒගොල්ලො බල කරනව මේක කරන්නම ඕන කියල”

“ඒක මාර වැඩක්නෙ. කසාද බඳින එකා කැමති නැතුව කසාදයක් කරන්න පුළුවන් ද…හරි දැං ඔයා ඇයි ඒ මනමාලයට කැමති නැත්තෙ…කොල්ල බෑන්ක් ඔෆිසර් කෙනෙක්. පෙනුමත් හැන්ඩි..මොකද්ද ඉතිං අවුල…”

“මං…වෙන කෙනෙකුට ආදරෙයි සනූ”

හදවත් පටක එක් නිමේශයක දී මුළුමනින් නාය ගියේ ය. මම මගේ පපුව මගේ ම අතකින් අල්ලා ගතිමි. ලේ ගලනා තුවාලයක රිදුම ඇතුළාන්තයේ විය. ශෙහාරා තුලින් මට පෙනුණේ මතු යම් දවසක මාව ය. ඇගේ අතක් මගේ අතකින් තදට ඇල්ලිණි.

“ඇයි ඉතිං එයා ගැන කියන්නැත්තෙ ගෙදරට…”

“කිව්වයි කියල ඒගොල්ලො කැමති වෙන්නෑ සනූ. මං ඒක දන්නව”

“ඉතිං..ඔයා දැං හදන්නෙ එක්කෙනෙකුට ආදරේ කරන ගමන් වෙන කෙනෙක්ව බඳින්නද..”

ඒ ප්‍රශ්නය මගේ හදවත විසින් මගෙන් ම විමසන්නා සේ ය මට දැනුණේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...

හිමගිරි අරණ -51

"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න." දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ...

(අ)හිමි සිහින -147

සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක...

විනාඩි දෙකෙන් තනියම සාරිය අදින පහසුම ක්‍රමයක්

සාමාන්‍යයෙන් ඔසරිය made up කරලා ඇන්දට අපි සාරියක් made up කරන්නේ නෑ.ඒත් උස අඩු කෙනෙකුට වගේම සාරිය අඳින්න ඒ තරම් අකමැති කෙනෙකුට...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content