සැරිසරන්නී – 48

කාලයත් සමග අපේ මහා පවුලේ ළමයින් ද විවාහ වෙමින්, පවුල තුළ තනිකඩ ව සිටිනා අය ඉතා අල්පයක් වෙමින් පැවතියේ ය. ඒ ද පවුල් වල බාල ම ළමයින් ය. වයස පහු වීත් අවිවාහක තත්වයෙන් පසු වූයේ ලොකු අයියා පමණකි.

“ඔයා කිය කිය හිටියෙ මං බැන්දට පස්සේ බඳිනව කියලනෙ. ඉතිං දැං මං බැඳල මාස කීයක් වුණාද…”

මම මේ බව ලොකු අයියා ට මතක් කළෙමි. ඔහු කළේ මඳහසක් පානා එක ය.

“හිනා වෙලා හරියන්නෑ හරිද…”

“කවුද බං අපිව බඳින්නෙ…”

“ඇයි…මොකද්ද ඔයාගෙ තියෙන අඩුව…”

“හරි හරි. බලමුකො එන විදිහක්”

ලොකු අයියා ඒ ප්‍රශ්නය මගහැරියේ ය. මේ වෙත්දී වෘත්තීමය වශයෙන් ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් හි ඔහු ස්ථාවරයකට පත් ව සිටියේ ය. සහජ නිර්මාණ ශීලීත්වයක් ඔහු කෙරේ නොවුණ ද, කලමණාකරණය කෙරේ ඔහු දක්ෂ වූයේ ය. දැන් ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් හි වගකීම් රාශියක් පැවරී ඇත්තේ ලොකු අයියා මත ය.

අප විවාහ වන දිනයේ මම මගේ මෝටර් රථය ඔහු ට ලබා දුන්නෙමි. මේ ගැන නංගී සේ ම අම්මා ද මා සමග හිත නොහොඳ කර ගත්ත ද, ලොකු අයියා මා වෙනුවෙන් කළ දේවල හැටියට ඔහු වෙනුවෙන් ඒ ත්‍යාගය මගේ හිතට ප්‍රමාණවත් මදි තරම් විය.

“දැන් මං ඉන්නෙ රවීන් ඉන්න තැනමනෙ. අපි දෙන්නට යන්න එක කාර් එකක් තිබුණහම ඇති”

ලොකු අයියා එය ප්‍රතික්ෂේප කළ වෙලාවේ මම කීවෙමි. සත්තකට මා වෙනුවෙන් ඔහු කළ දේ වලට එය හිලව් කළ නො හැකි ය. නමුත් ඒ වෙත්දී මගේ නමින් වූ මිලාධික ම දේ, ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් හැරුණු විට එයයි!

“ඇත්තටම ලොකු අයියට ගර්ල් කෙනෙක් නැද්ද..”

මම රවීන් ගෙන් ඇසුවෙමි. ඔවුන් දෙදෙනා ගේ මිත්‍රත්වයේ හැටියට, රවීන් එවැන්නක් නො දැන ඉන්නවා වන්නට බැරි ය.

නමුත් ඔහු කළේත් සිනහවකින් මගේ ප්‍රශ්නය මගහරිනා එක ය.

“ඔයා මොකක් හරි දන්නව. ඒත් මට කියන්නෑ”

“ඔයා කොහොමද කියන්නෙ මං දන්නව කියල…”

“ඔය හිනාවෙං මට තේරෙනවනෙ”

“ඉන්නවනං ඉතිං ඌ බඳියිනෙ”

“මං හොයාගන්නංකො. හැබැයි එදාට දෙන්නවම අල්ලගන්නව හරිද…”

මට යමක් පෞද්ගලික ව දැන ගත හැකි වූයේ නැත. ඊට පෙර ලොකු අයියා ම සිය විවාහය ගැන නයනා නැන්දාට කියා තිබිණි. කාලෙකට පස්සේ අපේ වත්තේ එදා අලුතෙන් බෝම්බයක් පිපිරුණා සේ ය.

 ඉරිදා දිනයක් වූයෙන් අප හිටියේ ගෙදර ය. නයනා නැන්දා ගෙන් මට දුරකතන ඇමතුමක් ආවේ ය.

“බලන්න සනූ අපේ මීහරකා කරන්න යන දේ. ඔයත් මේව දැනගෙන අපිට හැංගුවනං හරිම වැරදියි සනූ”

“මොනාද මං දැනගෙන හැංගුවෙ..ඇයි මොකද්ද ලොකු අයිය කරන්න යන්නෙ…”

“ඔන්න තාත්ත කෙනෙක් නැතුව ළමයෙකුත් ඉන්න ගෑනියෙක්ව කසාද බඳින්න හදනව”

“මො…කක්…මේ…අපේ ලොකු අයිය…”

මා මේ ගැන හාංකවිසියක් නො දන්නා බව කීවාට නයනා නැන්දා නො පිළිගන්නට ඇත. නමුත් සාමාන්‍ය පෘථග්ජන ගැහැනියක වශයෙන්, හැමදාමත් මගේ නංගීටත් වඩා මට සමීප ව උන් ලොකු අයියා ගැන මෙහෙව් පුවතක් අසන්නට මා පසු බෑ බව පිළිගත යුතු ය.

ලොකු අයියා විවාහ විය යුතු බව මම ද හැමදාම කීවෙමි. නමුත් ඔහු මෙවන් විවාහයක් කර ගන්නට පෙළඹෙන්නේ ඇයි?

“මොන තරං රැඩිකල් කතා කිව්වත් තමන්ට වෙනකොට මිනිස්සු බොහොම සම්ප්‍රදායිකයි”

රවීන් මට සිනහ වූයේ ය. සැබැවින් මම සසලව ගොස් සිටියෙමි.

“ඔයාගෙ අම්ම මාව ඔයා බඳිනවට විරුද්ද වෙච්ච තැනමයි සනූ ඔයා දැන් ඉන්නෙ. මාත් බැඳල ඩිවෝස් වුණ කෙනෙක්.  ඒ ගෑනු ළමය රැවටීමකින් දරුවෙක් හදා ගත්ත කෙනෙක්”

“ඒත් ඉතිං ලොකු අයියට වෙන කෙනෙක්ව බඳින්න බැරි කමක් නෑනෙ”

“ඔයාටත් වෙන කෙනෙක්ව බඳින්න තිබුණනෙ. ඌ ඒ කෙල්ලට ආදරෙයි”

“ඔයා දැනගෙනත් ඔය දේවල් මගෙං හැංගුව”

“කිව්වනං ඔයා මීට කලින් ගින්න පත්තු කරල”

අප ලොකු අයියලා ගේ ගෙදර යන විටත් එහි වූයේ මළ ගෙදරක ස්වභාවයකි. පවුලේ බොහෝ දෙනෙක් එහි රැස් ව මේ අලුත් පුවතෙන් ශෝක වෙමින් සිටියහ. මා හා රවීන් අතරේ පෙම් පටලැවිල්ල ගැන දැනගත් මොහොතේ මගේ අම්මා තැවෙන්නට ඇත්තේ ද මෙලෙස ම බව දැන් මට හිතා ගන්නට පුළුවන. එය වූ කලී තමන්ට ම සිදු වූ කල දැනෙන විදිහේ ගින්දරකි. දරුවෙකුත් සමග පතිණියක් ගෙන එන්නට ලොකු අයියාට වන හේතුව කුමක් දැයි මට වටහා ගත හැකි වූයේ නැත.

“රෙඩි මේඩ්නෙ..ඇයි නරකද..අඹු සම්පතුයි දරු සම්පතුයි එකටම”

‘මොකද්ද ලොකු අයියෙ මේ කතාව’ කියා ඇසූ විට ඔහු කීවේ එවැන්නකි. මම ඔහුට රැව්වෙමි.

“ඔයාට තිබුණා මේ ගැන මට කියන්න. නැන්දාට නැතත් මට කියන්න”

“නැන්දට කිව්වයි උඹට කිව්වයි කියල වෙනසක් නැති බව මං දන්නව තංගච්චි”

“ඉතිං අයියෙ ඔයා ඇයි ඔහොම දෙයක්..”

“සනූ…ඔය ගැන තව කොච්චර කතා කළත් වැඩක් නෑ. මේක මගෙ අන්තිම තීරණේ. ඒ ගෑනි එක සැරයක් පිරිමියෙක් ට ආදරේ කියල රැවටිල දරුවෙකුත් හදාගෙන. ඉතිං ඒක ඒකිගෙ විතරක් වරදක්ද…ඒ වරද වුණයි කියල ඒ ගෑනි හැමදාම මුළු ජීවියතෙංම වන්දි ගෙවන්න ඕනද…ඇයි ඒකිට ආයෙත් පිරිමියෙක්ට ආදරේ කරන්නවත් කසාද බඳින්නවත් අයිතියක් නැද්ද..”

“ඔයා කියන ඔක්කොම හරි  ලොකයියෙ. ඒත්…”

“ඒත්…අන්න එතන තමයි බං ප්‍රශ්නෙ තියෙන්නෙ. එතන තමයි කොස්ස තියෙන්නෙ. කෙළින් කියා ගන්න බැරුව උඹ ඔය තෙපරබාන්නෙ…ලොකු අයිය අනුංගෙ දරුවෙක්ට තාත්තා වෙන්නෙ මොකටද කියන එකනෙ. මං දන්නව අම්මලටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ. අර සජිනි දාල ගිය ළමය දිහා බලපං. ඒ ළමයවත් හදා ගෙන දිලුම් එක්ක ජීවත් වෙන්න ගෑනියෙක් කැමති වුණොත්…අපි මොකද්ද කියන්නෙ..අනේ හරිම හොඳ ගෑනියෙක් කියයි. ඒත් අපි එහෙම කැපකිරීමක් කරන්නෙ නෑ. මමත්වය තියන්නෙ ඕකට තමයි බං. අපි කොච්චර ලොකුවට හිතනව කියල පෙන්නුවත් අපි හිතන්නෙ අපි ගැන විතරයි. නැත්තං සීමිත පරාසයක විතරයි”

ඔහු කී සියල්ල ඇත්ත ය. ඉතින් මට ඒ අසා කර බා ගෙන සිටින්නට සිදු විය. නමුත් නයනා නැන්දා වරින් වර අපේ කතාවේ මැද්දට පැන්නා ය.

“මේකා මෝඩයා වෙලා. ඒ අම්මණ්ඩි මූව මෝඩයා කර ගෙන”

නයනා නැන්දා ගේ ඒ කතාවට නම් ලොකු අයියා හඬ නගා හිනැහුණේ ය.

“එතකොට අම්මගෙ ලොකු දුව ළමයෙකුත් එක්ක ම කොල්ලෙක්ව බඳිනකොට ඔය තියරි එක ඇප්ලයි කළේ නෑනෙ අම්මෙ. අපේ එකී ඒ කොල්ලව රවට්ටගෙන අනේ පව් ඒකා මේක වෙන්න දෙන්න බෑ කියල අම්මල විරුද්ද වුණේ නෑනෙ”

“ඒක වෙනයි මේක වෙනයි”

“මොකද්ද වෙනස..”

“අපේ ලොකූ වැදගත් විදිහට බැඳල ගිහිං ඒ කසාදෙ ගැලපෙන්නෙ නැති නිසා ඩිවෝස් වෙලා ආයෙ කෙනෙක්ව බැන්දා. නැතුව මේ නන්නත්තාරෙ ගිහිං ළමයෙක් හදං ඇවිත් නෙවෙයිනෙ”

“අම්මෙ මේ. අම්මල ඔය විදිහට හිතන නිසා මං කවදාවත් ඒ ගෑනිව එක්කගෙන මේ ගෙදර පැත්ත පලාතෙ එන එකක් නෑ. හැබැයි මං එයාව බඳින එක නතර කරන්න අම්මලට බෑ”

ලොකු අයියා එක හෙලා කීවේ ය.මම ලොකු සුසුමක් හෙළුවෙමි.  ලොකු අයියා ගේ ස්ථාවරය වෙනස් කරන්නට දැන් අපට නො හැකි ය.

“සනූ මේ අහපං. ළමයි කියන්නෙ ළමයි නේද…උඹ ළමයින්ට මාර ආදරෙයි නේද…පාරක හිඟන ළමයෙක්ව දැක්කත් උඹ වාහනේ පාක් කරල එතනට පයින් ගිහින් ඒ ළමයින්ට සල්ලි දීල එනව මං දැකල තියෙනවනෙ. උඹ මට කියල තියෙනව නාවර පෙරා ගත්ත ඒ ළමයෙක්ව වුණත් කිසි අප්පිරියාවක් නැතුව වඩා ගන්න බදා ගන්න උඹට පුළුවන් කියල. නැද්ද..”

ලොකු අයියා කෙළින් ම මගේ ඇස් දෙක දෙස බැලුවේ ය. මම ඔහු ට එකඟ ව හිස සැළුවෙමි.

“ළමයි කියන්නෙ ළමයි බං. කාගෙ වුණත් ළමයි. මං ළමයෙක්ට ආදරේ වෙන්නනං ඒ ළමය මගෙ වෙන්නම ඕනෙද…දැං ඔය අපේ එවුංගෙ ළමයින්ට අපි ආදරේ නැද්ද…හැමදාම හවසට මං ගෙදර එද්දි දිලුම් ගෙ පොඩි එකීට මොනාහරි ගේනව. අම්මත් නැති එකීනෙ බං. අම්ම නෑ කියල අපි ඒකිව කොං කරන්න ඕනද…ආදරේ කියන්නෙ මොකද්ද බං…අපේ අම්මල ආදරේ ගැන දන්න බම්බුවක් නෑ”

“හරි. මං අකමැති නෑ. ඔයාගෙ ආදරේ ඒ වගේනං…කොහොමද එපා කියන්නෙ. ලොකු අයිය හැමදාම සතුටෙන් ඉන්න ඕනෙ”

“අන්න එච්චරයි සිරියාවතී”

ලොකු අයියා මගේ හිස් මුදුනේ කෙහෙ රැල් අවුල් කළේ ය.

ඔහු ගේ විවාහය ලියාපදිංචි කරත්දී අයියා ගේ පැත්තෙන් අත්සන් කළේ රවීන් ය. නැන්දා මේ විවාහයට තදින් ම විරුද්ධ වූ අතර එය නැන්දා හෝ මාමාගේ සහභාගිත්වයෙන් තොර ව ලොකු අයියා හිතුවක්කාරකමට කර ගත් විවාහයකි. ලියාපදිංචියෙන් පස්සේ මනාලියගේ මව් පියන් නික්ම ගිය අතර, අලුත් යුවළ වෙනුවෙන් අපේ ගෙදර දී සුළුවෙන් සාදයක් පවත්වන්නට අපි කටයුතු කළෙමු.

“නැන්දල සහභාගී වෙන්නැති එකේ අපි ගියා කියල දැන ගත්තොත් ඒගොල්ලන්ගෙ හිත් හොඳ නැති වෙනවනෙ සනූ. ඒක නිසා ඔය පාටියට අපිට එන්න වෙන්නෙ නෑ”

අම්මා ඇරයුම් කළ ගමන් එය ප්‍රතික්ෂේප කළා ය. මම ඇගේ මතය වෙනස් කරන්න ට උත්සාහ නො කළෙමි. නමුත් නැන්දලා ට නො දන්වා ආච්චා ද තාත්තා ද ඒ අවස්ථාව සඳහා අපේ ගෙදරට පැමිණියහ.

“මං මැරෙන්න ඉස්සරිං උඹත් පිළිවෙලක් වෙච්ච එකනං ලොකු දෙයක් ලොකු පුතේ. මේ ඉන්නෙ යස කොලු පැටියෙක්. කෝ මේ ලොකු ආච්චා ළඟට එන්න”

කියමින් ආච්චා ලොකු අයියා ගේ බිරිඳ වන පවනි ගේ දරුවා ව සිය උකුලට ගත්තේ ය.

“එයාට තියෙන්නෙ ලොකු අයියගෙ ඇස් නේද ආච්චා…”

මම එවෙලේ හිතට නැගුණ අදහසක් වචන වලට පෙරළුවෙමි. ලොකු අයියා ගේ මුහුණේ ආඩම්බරකාර සිනහවක් නැගිණි.

“තාත්ත වගේ තමයි…නේද පුතේ…”

දරුවා ගේ කම්මුලක් මිරිකමින් ලොකු අයියා ඔහු ගේ හිස ද පිරිමැද්දේ ය. නොදරුවා අවිහිංසක ලෙස හිනැහිණ.

“මේ ළමයි ටික ඉපදුන දවසෙ ඉඳල අත පත ගාගෙන හදපු ආච්චි මමනෙ. ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට…මොනවද වෙලා නැත්තෙ කියල හිතෙනව ළමයිනේ..හැබැයි ඉතිං..ජීවිතේ කියන්නෙ මේක තමයි. හිනා වෙන්නයි අඬන්නයි දෙකටම අපිට ලැබිල තියෙන ජීවිතේ…අපිට ලැබෙන කොයි දේකත් සතුට හොයන්න පුළුවන් නං ජීවිතේ කියන්නෙ අමාරු දෙයක් නෙවෙයි. මලිත් වුණත් මේ අලුත් ජීවිතයක් පටං ගන්න යන වෙලාවෙ තදින් හිතා ගන්න ඕන දේ තමයි මේක තමං තෝර ගත්ත ජීවිතේ කියන එක. ඒක නිසා ඒක සාර්තක කර ගන්න වගකීම තියෙන්නෙත් තමුන්ටමයි”

ආච්චා ගේ දේශනය අතරේ මම කෑම මේසය සූදානම් කරමින් සිටියෙමි. ඇනවුම් කළ ආහාර බඳුනක් විවර කරත්දී ඉන් වහනය වූ සුවඳක් එකවර මගේ උදරයේ කැළඹීමක් ඇති කරමින් ඉහළ ට ආවේ ය. මම වහා කුස්සිය මිදුලට දිව ගොස් වමනය කරන්නට පටන් ගතිමි. රවීන් මා අල්ලා ගෙන උගුර පිරිමැද්දේ ය. ආච්චා ගේ මුහුණේ සිනහවක් ඇඳී යනු බොඳ කඳුළු දෑසින් මට දැක ගත හැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content