සැරිසරන්නී – 47

අවන් හලේ වීදුරු බිත්තියෙන් රළ නගන විසල් සයුරක දර්ශනයක් විද්‍යමාන වේ. එය වූ කලී කෙතරම් වෙලා බලා සිටියත් එපා නොවෙන විදිහේ දර්ශනයකි. මා ඉන් නෙතු මුදා ගත්තේ, මේසය මත තිබි මගේ අතක් රවීන් ගේ අතකින් අල්ලනු දැනී ය.

“ආයෙත් අපි ඒ තුවාලයක් වගේ රිදෙන ජීවිතේ තෝර ගන්න ඕන නෑ සනූ. ඔයාට පුළුවන් නං මේ අතීතෙ අමතකම කරල දාල වෙන කෙනෙක්ව  මැරි කරල ජීවිතේ අලුතෙන් පටන් ගන්න…මං චුට්ටක්වත් විරුද්ද වෙන්නෙ නෑ. දුක් වෙන්නෙත් නෑ. මටත් පුළුවන් නං එහෙම කරන්න..ඕකේ…අපි එහෙම කරමු”

“ඔයා දන්නව එහෙම කරන්න පුළුවන් කමක්වත් ඕන තමක්වත් මට තිබුණෙ නෑ කියල”

“මටත් එහෙමයි. එහෙනං අපි ඔය හඳහන් ඉරල විසි කරල එතනිං පටන් ගමු”

“හඳහනක් කියල දෙයක් මන්නං කවදාවත් බලවල නෑ. මං ඕව ගැන දන්නෙත් නෑ. ඒත් ඔයාගෙ අම්ම…”

“අම්ම ගැන මං බලා ගන්නං”

අප එතැනින් නික්මුණේ වෙන දෙයක් වුණාවේ යන ඒකායන අරමුණෙන් විවාහයට එළඹෙනවා කියන තීරණය ගෙන ය. හිතට සැහැල්ලුවක් දැනුණේ ඉනික්බිති ය. අපේ තීරණය ගැන දැනුම් දුන් වෙලාවේ අම්මා මූණ නරක් කර ගත්තත්, තාත්තා, ආච්චා හා නංගී ද ලොකු අයියා ද ඒ ගැන සතුටු වූ බවක් පෙනෙන්නට තිබිණි.

“ඔය දෙන්නගෙ තීරණේ ඒකනං ඒක තමයි හොඳම තීරණේ දරුවනේ”

ආච්චා ඉත සිතින් ආශිර්වාද කළා ය.

“මමනං ඔය වගේ බහුබූත කොහොමවත් විශ්වාස කරන්නෑ. හැබැයි ඉතිං රවීන් ගෙ පේරන්ට්ස්ලගෙ වචනෙකට විරුද්ද ව යන්නත් මගෙ කැමැත්තක් තිබුණෙ නෑ. හැබැයි ඔය දෙන්න ඔය යතාර්ථය ට මූණ දෙන්න ලෑස්තියිනං…මං කියන්නෙ ඒක තමයි හොඳ ම දේ”

තාත්තා ද සිය එකඟතාවය පළ කළේ ය. තාත්තා දෙයකට කැමැත්ත දුන් පසු අකමැත්තෙන් වුව අම්මා ඊට කැමති වෙන බව මම අත්දැකීමෙන් ම දනිමි. අපේ අවසාන තීරණය රවීන් ගෙන් දැන ගත් පසු ඒ දෙමාපියෝ වහා ම අපේ ගෙදරට පැමිණියහ.

“මේ කසාදෙ වැඩි කල් තියෙන එකක් නෙවෙයි කියලයි හොරස්කෝප් එක බලල කිව්වෙ. අපේ පුතානං කලිනුත් බැඳපු කෙනෙක්. ඒත් ඕගොල්ලන්ට ඉන්නෙ ගෑනු ළමයෙක්. ඒ ළමයගෙ ජීවිතේ ගැන මේ වගේ තීන්දුවක් ගන්න බය නැද්ද ඕගොල්ලන්ට…”

ඔවුන් කෙලින් ම චෝදනාවක් එල්ල කළා සේ ය. ඒ චෝදනාව මගේ මව්පියන්ට ය.

තාත්තා මඳහසකින් මුව සරසා ගත්තේ ය.

“දෙන්නෙක්ගෙ ජීවිතේ සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණේ වෙන්නෙ ඒ දෙන්නා  අතරෙ තියෙන අවබෝධය උඩ. හොඳටම හොරස්කෝප් මැච් කරල බැඳපු අයත් ඩිවෝස් වෙනව මං දැකල තියෙනව. ඒක නිසා හොරස්කෝප් මැච් වුණත් වැඩක් නෑ දෙන්න අතරෙ අවබෝධයක් නැත්තං. එතකොට ඒ පවුල බිඳ වැටෙනව. ඒක නිසා මේගොල්ලො ඒ චැලේන්ජ් එකට ෆේස් කරනවට මං කැමතියි”

මට හිතුණේ තාත්තා ව බදා වැළඳ ගන්නට ය. ඔහු ගේ ජීවන දර්ශනයට කවදත් මම කැමති වීමි. විවාහකයෙකු වීම මත තාත්තා රවීන් ට ඒ තරම් මනාපයක් නොපෙන්වත්දී මා පුදුම වූයේ ත් එබැවිනි.

“නෝනේ…මේ දෙන්නා අවුරුදු තුනක් දෙපැත්තට වෙලා හිටියනෙ සනූගෙ අම්ම මේකට විරුද්ද වුණ නිසා. සමහර විට ඔය කියපු වෙන් වීම ඒකෙං කැපිල ගියා වෙන්නත් ඇති. අනික ඉතිං දෙපැත්තට වෙලා වෙන කාවවත් බඳින්නෙ නැතුව ඉන්නවට වඩා හොඳ නැද්ද…බැඳල බලන එක…නොගැලපෙන තැනක් තිබුණොත් ඒව ගලපගෙන දෙන්නට ඉස්සරහට යන්න පුළුවන් ද කියල බලන එක..”

ආච්චා රවීන් ගේ අම්මා වෙත ඉදිරිපත් කළ යෝජනාව ඒ ය. ආච්චා වූ කලී මීට පරම්පරා කිහිපයකට කලින් පරපුරකට අයත් කෙනෙකු වී ද ඇගේ සිතිවිලි විශ්වීයයි කියා මට සිතිණ. ඇතැම් විට එවන් නිවහල් මනසකින් හිතන්නට අප වුව තවම පසු බාන තරම ය.

“ඔව්. නොගැලපෙන කසාදෙකට නීතියෙන් ම පහසු විසඳුමක් තියෙනවනෙ. ඩිවෝස් එක කියල..එක ට ගමන යන්න බැරිම කමක් දැනුණොත් දෙන්නට පුළුවන් කතා කරල ඒ ඔප්ශන් එක තෝර ගන්න”

“ඒත් මේ දෙන්නා මේ තරං ඒ දෙන්නා මත්තෙම නැහෙන එකේ…මං නං හිතන්නෑ එහෙම තැනකට යන්න වෙයි කියල. එහෙම වුණත්…දෙපැත්තක දුක් විඳිනවට වැඩිය ඒක හොඳයි නේද නෝනෙ…”

රවීන් ගේ අම්මා හා තාත්තා උනුන් ගේ මුහුණු බලා ගත්හ. මේ වගේ කාරණයකදී මනාලියගේ පාර්ශවයෙන් මෙහෙව් ප්‍රතිචාරයක් ඔවුන් කිසි සේත් බලාපොරොත්තු නොවන්නට ඇත.

“ඕගොල්ලන්ගෙ අදහස එහෙමනං අපෙත් විරුද්දත්වයක් නෑ. අපිත් කැමතියි අපේ ළමයි සතුටෙන් ජීවත් වෙනවට”

රවීන් ගේ පියා, අපේ පැත්තේ අදහස සම්මත කළේ ය. ඒ අනුව පොරොන්දම් නො ගැලපෙන යුවළක් ලෙස අපි විවාහය සඳහා දින නියම කර ගතිමු.

විවාහයක් ගැන කවදටත් මට ලොකු අදහසක් තිබුණේ නැත..රවීන් ව හමු වීමෙන් පසු ඔහු ගැන ආදරයකින් හදවත පිරී ගිය ද, විවාහයක් ගැන හීන මවන්නට තරම් කාලයක් අපේ ඇසුර පැවතියේ නැත. නැවත වතාවක් රවීන් මගේ ජීවිතය කරා එන්නේ මා කිසි දා විවාහ නොවන්නෙමැයි සිතා සිටි යුගයක ය..ඒ නිසා විවාහය කියන වචනය මගේ ජීවිතයට තරමක් ඈත ය.

ඒ වුණත් අපි විවාහ වුණෙමු. මනාලියක ලෙස හැඳ පැළඳ, පවුල් දෙකේ සමීප ඥාතීන් ගේ ආශිර්වාද මැද මම පති කුළයට ගියෙමි. අප වෙනුවෙන් රවීන් නව නිවසක් මිලදී ගෙන තිබිණි. ඒ අනුව දෙපස ම දෙමාපියන් ගේ නිවෙස් වල නො රැඳී අපි අපේ ම තැනක තනි ව ජීවිතය ආරම්භ කළෙමු.

මා වූ කලී තේ එකක් හෝ පිළියෙල කර ගන්නට නො දැන සිටි ගෑනු ළමයෙකු නොවේ. රවීන් ලොකු අයියා සමග අපේ ගෙදර ගැවසුණ මුල් ම කාලයේ මගේ ලොකු ම සතුට වූයේ ඔහු වෙනුවෙන් තේ පිළියෙල කිරීම ය. සනූ හදන තේ රසයි කියන මතය පවුලේ ඥාතීන් අතරේ ද විය. ගෑනු ළමයෙකු වශයෙන් ආහාර වේලක් පිළියෙල කර ගන්නට ද මම දැන සිටියෙමි. නමුත් පසුගිය තෙවසරක කාලයේ දී ඩිව්ස් ඇන්ඩ් බඩ්ස් මත්තේ ජීවත් වූයෙන්, මම ගෙදර වැඩ වලින් සම්පූර්ණයෙන් දුරස් වූයෙමි. ඉනික්බිති මගේ අතින් තේ කෝප්පයක් හෝ පිළියෙල වූයේ නැත කියා කිව හැක.

“ඒකට කමක් නෑ. ඔයාට පුළුවන් වෙලාවට ඔයාට පුළුවන් විදිහට උයන්න. මට පුළුවන් වෙලාවට මට පුළුවන් විදිහට උයන්නං…අපි දෙන්නටම බැරි වෙලාවට උයන්නැතු එළියෙං මොනා හරි කමු. ඕව ප්‍රශ්න කර ගන්න ගියහම තමයි දෙන්නෙක් එක ජීවිතයක් ගෙවන්න ගන්න එක මහා ලොකු ප්‍රශ්නයක් වෙලා නතර වෙන්නෙ”

රවීන් කීවේ ය. ඔහු ඒ වාගේ නිදහස් අදහස් දරන්නෙකු වීම මට නිදහස් හැඟීමක් වූයේ ය. ඇතැම් විට ඔහු බලයෙන් ‘බෑ කියල බෑ. ඔයා උයන්න ඉගෙන ගන්නම ඕනෙ’ වැනි අදහසක් දැරුවා නම් කිසි සේත් මා ආහාර පිසීමක් ගැන නොසිතන්නට තිබිණි. නමුත් දැන් මට අවැසි වූයේ කෙසේ හෝ රවීන් ව සතුටු කළ හැකි විදිහට ඉහුම් පිහුම් ඉගෙන ගැනීම ය.

ගෙදරක් තරම් සැනසුම් සහගත තැනක් කෙනෙකුට මිහි මත නො වන්නේ ය. තාත්තා හැදූ ගෙදරදීත් මට ඒ සැනසීම දැනිණි. නමුත් රවීන් අප වෙනුවෙන් මිලදී ගත් ගෙදර ගෘහණිය මා වීම තුළ විශේෂ වූ සතුටක් ද තිබිණ්. ඒ ගෙදර කටයුතු කෙරුණේ අම්මා රිසි පරිදි ය. ඇතැම් විට අපේ අකමැත්ත මත වුව සිදු වූ දේවල් තිබිණි. නමුත් මේ ගෙදර සියල්ල සිදු වූයේ මගේ කැමැත්ත පරිදි ය.

එයින් අදහස් වන්නේ මා රවීන් ව මගේ මතයට නම්මා ගෙන මට ඕනෑ දේ කර ගත් බව නොවේ. ඔහු ගෙන් යම් අදහසක් විමසූ කල රවීන් කීවේ ‘ඔයා කැමති ව්දිහට කරන්න, ඔයා කැමති දෙයක් ගන්න’ වැනි කතාවකි. ඒ තුළින් ඔහු ගෙදර පාලනය මගේ අතට දීමේ පිළිවෙතක් අනුගමනය කළා කියා සිතමි. ඇතැම් අවස්ථා වල අප දෙදෙනා ගේ රුචිකත්වයන් සමාන වූයේ නැත. ඔහු ට ඔහු ගේ ම ආශා හා මට මගේ ම ඒවා තිබිණි. නමුත් ගෘහ ජීවිතයේ කටයුතු වලදී මගේ රුචිකත්වයට ඉඩ දී පසෙකට වීම තුළින් ඔහු බලාපොරොත්තු වූයේ අප අතර මත ගැටුම් ඇති වෙන එක අවම කිරීම ය කියා මම සිතමි. ඒ නිසා ඇතැම් අවස්ථා වල මම මගේ කැමැත්ත යටපත් කර ගෙන ඔහු වඩාත් කැමති වෙතැයි සිතු දේ කළෙමි. එවැනි කැප කිරීමක් තුල ඉකිරි වූයේ නො රිස්සුමක් නොව පුදුම සැහැල්ලුවකි.

මේ සියල්ලෙන් අදහස් වන්නේ අප අතරේ කිසිදු ගැටළුවක් හෝ හිත් රිදීමක් බිඳීමක් හෝ ඇති නොවී අපි ඉතා සතුටෙන් ජීවත් වූ බවක් නම් නොවේ. එවැනි දේ ඕනෑ තරම් ඇති විණි. නමුත් අපට අපෙන් වෙන් වීමේ අවශ්‍යතාවයක් නැති බව හැම මොහොතක ම අපේ හිත් වල තිබිණි. කේන්දරයේ කතාව සත්‍යයක් වන්නට දිය යුතු නැති බවට හැඟීමක් අප තුළ විය.

ආච්චා කියමින් සිටියේ දිනෙක අපේ ගෙදරට විත් අප සමගින් ජීවිතයේ සැඳෑ සමය ගත කරනවා කියා ය. නමුත් ඒ කී ලෙසට ඇය ආවේ නැත. මා ද රවීන් ද ඒ ගැන මතක් කළ වෙලාවකත් ඇය සිනහ වූවා ය.

“තාම ඉතින් දෙන්නා එකට ජීවත් වෙන්න පටං ගත්තා විතරනෙ. ඔය මුල් කාලෙ දෙන්නා තනියම ඉන්න එක තමයි හොඳ”

“අනේ ඇයි ආච්චා ඒ…ආච්චා හිටියට අපිට කිසීම ප්‍රශ්නයක් නෑ”

“ඒක එහෙම තමයි සනුවො. ඒත් ඔය කසාද ජීවිතේ කියන්නෙ අපි හිතන තරං සරල සුන්දර දෙයක් නෙවෙයි කියල තේරුං ගන්නනං දෙන්නා තනියම අවුරුද්දක් දෙකක් එක වහලක් යට ඉන්නම ඕන”

“ඒකනං දැනටම තේරුං ගිහිං තියෙන්නෙ නේ රවීන්…”

මම රවීන් දෙස බලා ඇසුවෙමි. ඔහු කළේ සිනහවක් නගා ගන්නා එක ය. ඉස්සරටත් වඩා ඔහු දැන් නිහඬ තැන්පත් මිනිසෙකි. ඉස්සරටත් වඩා ඔහු ගේ ආදරය පරිනත ය.

“ඒ කාලෙ හිතේ තිබුණෙ දුරින් හිටපු කෙනෙක්ට කරපු ආදරයක්නෙ. දෙපැත්තක හිටපු දෙන්නෙක් එක වහලක් යටට වෙනව කියන්නෙ ඉතිං පැටලිලි ම තමයි. හරි අමාරුයි දෙන්නගෙ විදිහට හැඩ ගැහෙන එක. මෙන්න මේ කාලෙදි තමයි දරුවනේ ඔය දැං ඇහෙන දික්කසාද වැඩිපුරම සිද්ද වෙන්නෙ. හැබැයි අමාරුවෙන් හරි ඉවසගෙන ඔය ටික ගෙවල දැම්මනං…ඊට පස්සෙ දන්නෙම නැතුව දෙන්නට දෙන්නා හුරු වෙලා..අර මුල් කාලෙදි අරය සරම ගලවල දාන තියෙන විදිහත් වැරදියි. මෙයා කුස්සිය තියාගෙන ඉන්න විදිහත් වැරදියි..අරය පිට අය එක්ක කතා කරන විදිහ වැරදියි. මෙයා හිනා වෙන විදිහ වැරදියි…අඳින පළඳින විදිහ වැරදියි. පහු පහු වෙනකොට දන්නේම නැතුව ඒක එයාගෙ විදිහ කියල අපි හිතන්න පටන් අරං”

ආච්චා කතා කළේ ජීවත් වීම තුළින් ලත් අත්දැකීම් ඔස්සේ වන්නට පිළිවන. ඇය ඒ කියනා දේවල් වලට, සතියකට වරක් දෙකක් අපේ ගෙදර පැමිණි විට රවීන් කන් දීගෙන ඉන්නේ ඉතා උනන්දුවෙනි. ඔහු ඒ කතන්දර අපේ යුග දිවිය මත්තේ ආදේශ කළා ය කියා සිතමි.

අපි හැකි තරම් අප තුළින් සතුටු වෙන්නට වෙර දැරුවෙමු..අප ව ඉවසා දරා ගන්නට තැත් දැරුවෙමු. එහිදී ආදරය තව තවත් මෝරා වැඩුණ බව පිළි ගත යුතු ය.

අපේ විවාහයෙන් වැඩි දිනක් යන්නට පෙර සජිනි දිලුම් ව අතැර ගියා ය. ඒ ගියේ ඔවුන් ගේ දරුවා ව නිමාලි නැන්දලා ගේ ගෙදර දමා ය..මේ වෙත්දී වැඩිහිටියන් ගේ මැදිහත් වීම මත ඔවුන් දෙදෙනා විවාහ වී සිටිය ද, ඒ යුග දිවිය හැමදාමත් රණ්ඩු දබර වලින් පිරි එකක් වූයේ ය.

“ඒ මොනා වුණත් දරුවෙක් දාල යන්න පුළුවන් ද අනේ අම්ම කෙනෙක්ට”

 මම හීල්ලුවෙමි. රවීන් සිනහ වුණේ ය.

“ඔයා ගියොත් යන්නෙ දරුවොත් අරංද..”

“අනිවාර්යෙන් එහෙම වෙයි. අම්මා කෙනෙක්ට දරුවෙක් කියන්නෙ තමන්ගෙ ශරීරෙම කොටසක්නෙ දෙයියනේ. ඉතිං කොහොමද එහෙම දාල යන්නෙ…”

“දරුවෙක්ගෙ බඩේ තියං ඉඳල එළියට දැම්ම කියල හැම ගෑනියෙක්ම අම්ම කෙනෙක්  වෙන්නෙ නෑ සනූ”

එ් ගැන ආච්චා දැරුවේ එවන් මතයකි. හුරතල් දරු පැටියා බහ තෝරනු දකිත්දී මගේ නම් පපුව කඩා වැටෙන්නට තරම් විය. දිලුම් එක්ක මොන විදිහේ අර්බුද තිබුණත් ඒ දරුවා දමා ගිය එක ගැන මට සජිනි කෙරේ දැනුණේ බලවත් අප්‍රසන්න කමකි.

ලොකු අයියා සමග දෙවෙනි මාමා සජිනි ලා ගේ ගෙදර ගිහින් පවුල යළි සමාදාන කරන්නට උත්සාහ කොට තිබිණි. නමුත් සජිනි ඊට එකඟ වී තිබුණේ නැත.

“එහෙනං ඔයා අර ළමයවත් අරං යන්න. ගෑනු ළමයෙක් නේද…ගෑනු ළමයෙක්ව හදන්න තාත්ත කෙනෙක්ට බෑ. ඒක කරන්න ඕන අම්ම”

මාමා එහෙම කියා තිබේ. නමුත් සජිනි ව නම්මා ගත හැකි වී නැත.

“ඒකි මේ ලේසි පාසු අම්මණ්ඩි කෙනෙක් නෙවෙයි. බලන්න එපැයි කට. හාපෝ..මටනං ගෑනු එපා වුණා”

ලොකු අයියා කීවේ ය. ඒ අනුව ඒ පවුල විසිරී යනු ඇත. දිලුම් සේ ම සජිනිත් ටික දිනක් ඔහොම හිඳ යළි සගයෙකු සොයා ගනු ඇත. ඔවුන් නිසා අසරණ වූයේ ඔවුන් ගේ සතුට සොයා යාමක ප්‍රතිඵලයක් වූ දරුවෙකි. විවාහයක් කියන්නේ ඒ තරම් සරල ලෙස ගත හැකි වූවක් ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content