සැරිසරන්නී – අවසන් කොටස

ලොකු අයියලා එන වෙලාවේ, ඔහු දැනුම් දී තිබි පරිදි මම නයනා නැන්දා හමු වෙන මුවාවෙන් එහි ගියෙමි. ඈ සිටියේ කුස්සියට වී තේ පිළියෙල කරන්නට සූදානම් වෙමිනි. ළිප මත වන වතුර කේතලය  දෙස බලා ගෙන ඇය කල්පනා කරමින් සිටියා ය. මා මුළුතැන්ගෙට ගොඩ වනු හෝ ඕ නොදුටුවා ය.

“නැන්දෙ”

“ආ…සනූ..”

ඇය මුලින් තිගැස්සී ඊළගට සිනහවක් නගා ගත්තා ය.

“නැන්දා අයියලට  තේ ලෑස්ති කරන්නද…”

“හ්ම්. ගෙදරට ආපුවම එලෝ ගන්න බෑනෙ සනූ”

“පල නොකියා පලා බෙදන්නනං හොඳ නෑ නැන්දෙ. මොනා වුණත් පවනි දැං ඔයාගෙ ලේලිනෙ. තරහ වෙලා ඉන්න එකෙං කිසිම වෙනසක් වෙන්නෙ නෑ. ඒක නිසා ඔක්කොම අමතක කරල දාල දැං සතුටෙන් ඉන්න බලමු”

නයනා නැන්දා ගවුම්  උරහිසෙන් කඳුළක් පිස ගත්තා ය.

“ඕගොල්ලො පොඩි කාලෙ…ඔයයි ලොකු පුතායි එකටම ඉන්නකොට කට්ටිය විහිළු කළා නෑනයි මස්සිනයි වෙන් කරන්න බැරි වෙයි…දවසක බඳියි කියල..එතකොට මං හරි සතුටෙන් හිටියෙ. ලොකූ වගේ නහරඉකාරයෙක් ආම්බාන් කර ගන්න පුළුවන් ඔයා වගේ ගෑනු ළමයෙක්ට තමයි. අනික ලොකූ කොහොමත් සනූට පණ ඇරගෙනනෙ”

“ඒක සහෝදරකම නැන්දෙ”

“හ්ම්..අපේ අවාසනාව තමයි”

“එහෙම හිතන්න එපා. නැන්දා ගිහින් පවනිත් එක්ක කතා කරන්නකො. මං ඔය තේ ටික හදල ගන්නං”

මා නයනා නැන්දා ව ඉස්සරහට යැව්වේ බලයෙනි. කාලය බොහෝ දේ වෙනස් කරන බවත් බොහෝ ගැටළු විසඳන බවත් අර්බුධ දුරලන බවත් දැන් මම අවබෝධ කර ගෙන සිටිමි. ඒ අවබෝධය ලබන්නටත් ජීවත් වීමෙන් ම හැකි වන්නේ නැත. ජීවිතය දෙස නෙතු යොමා ගෙන බලා සිටිය යුතු ය.

“ඇති යන්තං. දෙන්නා ඔය කතා කරන්නෙ”

කියමින් ලොකු අයියා මුළුතැන්ගෙට ආවේ ය. මම ඔහු ට සිනහවකින් සංග්‍රහ කළෙමි.

“ඕව හරි යයි අයියෙ. මං අයියත් එක්ක ටිකක් කතා කරන්නමයි හිටියෙ. මේ ටිකේ මේ මෝනිං සික්නස් ප්‍රශ්න නිසා ඔෆිස් එන්නත් බැරි වුණානෙ”

“මොකද්ද බං…”

“ඉස්සරහට මට වැඩිය ඔෆිස් එකේ රැඳෙන්න බැරි වෙයි ලොකයියෙ. බබා ලැබුණහම එයත් එක්ක වැඩි කාලයක් ඉන්න වෙනවනෙ. කොහොමත් මං ආසයි ගෙදර බලා ගෙන ගෙදර වෙනුවෙන් වැඩිපුර කාලයක් කැප කරන ජීවිතේකට. එහෙමයි කියල බබාල හද හද බත් තම්බ තම්බ ඉන්න නිකංම ගෑනියෙක් වෙන්නත් බෑ. කම්පියුටර් එන්ජිනියර් කෙනෙක් වෙච්චි රවීන් කවදාවත් මල් බිස්නස් එකක් වගේ දෙයක් එක්ක ෆුල් ටයිම් වැඩ කරන්නෙ නෑ කියල මන් දන්නව. ඔය හැම දේටම වැඩිය…ලොකු අයිය මං එක්ක ඉන්න නිසා…මට ලොකු අයිය මං තරමටම විශ්වාස නිසා…අය්ය මීටත් වඩා මැදිහත් වෙලා ෆර්ම් එක බලා ගන්නවනං මං කැමතියි. බබා හම්බ වුණාට පස්සෙ මං උදේ වරුව විතරක් ෆර්ම් එකේ ඉඳල…වැඩ ටික සෙට්ල් කරල ගෙදර එන්නයි හිතන් ඉන්නෙ”

එතෙක් පැන්ට්‍රි කබඩ් එක මත හිඳ ගෙන උන් ලොකු අයියා ඉන් බිමට පැන ගෙන සුසුමක් හෙළුවේ ය.

“උඹ කැමති ඕන විදිහකට වැඩ සිද්ද වෙයි. වෙන්න ඕන මොකද්ද කියල මට කියපං…ඒ විදිහට වෙයි”

“තෑන්ක් යූ ලොකයියෙ”

එදායින් පස්සේ පවනි ගැන නයනා නැන්දා තුළ වූ අමනාපය දුරු වී ගියේ ය. ලේලිය ගේ ඇතැම් පිළිවෙත් නැන්දම්මා ගේ හිත් නො ගත් අවස්ථා නො තිබුණා ම නොවේ. ඒවා ගැන නයනා නැන්දා මා හමු වූ විට සේ ම පවුලේ අනිත් අය එක්ක ද කණිපින්දම් කීවා ය. සමහර නැන්දලා නැන්දම්මා ලේලි අරගලය ට ඉත සිතින් පෙට්‍රල් ගසනා සූදානමක සිටිය ද, මම නම් නයනා නැන්දා ට අනුබල නොදුනෙමි.

“එහෙම තමයි නැන්දෙ. එක එක්කෙනා පුරුදු වෙච්ච විදිහක් තියෙනවනෙ. දැන් ආච්චා ගෙ විදිහ නෙවෙයි නැන්දා. නැන්දාගෙ විදිහ නෙවෙයි පවනි. ඒත් කොයි තරං කාලයක් ඔය වෙනස්කං වලට රණ්ඩු වෙන්නයි කියලද…හොඳම දේ ඒ එයාගෙ විදිහ කියන දේ තේරුං අරං පාඩුවෙ ඉන්න එක. අපිට කොහෙත්ම පෑහෙන්න බැරි කෙනෙක් එක්කනං දුරිං ඉන්න එක හොඳයි. එහෙම නැතත් කා එක්කත් ගානට ආශ්‍රය කරල ඉන්නකොට ප්‍රශ්න අඩුයි”

මගේ එවන් බුරුලක් නොදීමේ පිළිවෙත් නිසා ඇය යම් තාක් දුරකට ලේලිය සමග කටයුතු කිරීමට හැඩ ගැහුණා ය කියා සිතමි. ලොකු අයියා නම් බිරිඳ කියන දෙයක් හෝ අම්මා කියන දෙයක් කනකට නොගෙන සිටියේ ය. මේ නිසා අම්මා සේ ම බිරිඳ ද ඔහුට දොස් කී අවස්ථා තිබිණි.

මා හා රවීන් දුරස් ව උන් කාලයේ ප්‍රංශයේ රැකියාවකට ගිය චමත්කා මේ වෙත්දී විදේශිකයෙකු සමග විවාහ නොවී එකට ජීවත් වෙන්නට පටන් ගෙන තිබිණි. ඇය ඒ බව නයනා නැන්දා ට කීවේ, නැන්දා ගේ ඥාති පවුලක් ද පැරිස් නුවර ජීවත් වන නිසා ඔවුන් වෙතින් ඇය මේ බව දැන ගත්තා ට පස්සේ ය. නැන්දා කම්පිත ව මට කතා කළා ය. මේ වෙත්දී ඇගේ පවුලේ උපදේශකවරිය ගේ තත්වයට නිතැතින් ම මා පත්වී තිබිණි.

“මගේ දරුවො එකෙක්වත් මං කියපු විදිහට වැඩ කළේ නෑ සනූ. පොඩි පුතා ඉගෙන ගෙන ඉංජිනේරුවෙක් වුණා තමයි. ඒත් ඌත් කසාදයක් කර ගද්දි අම්මගෙ කැමැත්තට පයින් ගහල වෙන ආගමක නැට්ටුක්කාරියක් කසාද බැන්දා. අද දරුවො දෙන්නවත් අපේ ආගමට නෑ. දැං මේකි…චමත්කා…ඒකි කසාද බඳින්නෙ නැතුව සුද්දෙක් එක්ක එක ගෙදරක ජීවත් වෙනවලු. මං මේව කොහොම දරා ගනනද සනූ…මාත් අම්ම කෙනෙක් නේද…”

ඇගේ විලාශය මගේ හද කම්පා කරවන ලදී. සමහර සමාජ ප්‍රශ්න දෙස අප බලනා කෝණය, අප එහිදී හිඳිනා තැන අනුව වෙනස් වන්නට පුළුවන. වේදනාව දැනෙන්නේ තුවාලය තිබෙනා කෙනාට ය යනුවෙන් කතාවක් ද තිබේ. මා මෙවන් තත්වයකට මුහුණ දුන්නා නම් කෙසේ හැසිරෙනු ඇත්දැයි සිතා ගත නො හැකි වී ද, මේ සමාජ තත්වයන් ගේ වෙනස ගැන මට වූ අවංක අදහස මම නැන්දා ට කීවෙමි.

“ආගම් කියල කියන්නෙ මිනිස්සුන්ගෙ අදහස් නැන්දෙ. බුදු හාමුදුරුවෝ වගේ ම ජේසුස් වහන්සෙත් සාමාන්‍ය මිනිස්සු විදිහට ඉපදිලා, ජීවිතේ ගැන අවබෝධ කර ගත්ත ධර්මතා ගැන අනිත් අය දැනුවත් කරපු උතුම් අය. කොයි විදිහට කිව්වත් එයාල කතා කළේ සමාන දේවල්. ආදරය ගැන. මෛත්‍රී කරුණාව ගැන. සාමය ගැන. නරකෙන් පුළුවන් තරම් ඈත් වෙලා වැඩිපුර යහපතට ලං වෙන එක ගැන. ඉතිං නිල වශයෙන් මොන ආගම ඇදහුවත් අපි ම්නිස්සුනෙ කියල හිතනවනං වෙනසක් දැනෙන්නෙ නෑ නැන්දෙ. එතකොට දැං ඔය චමත්කාගෙ ප්‍රශ්නෙට ආවොත්…ලිවින් ටුගෙදර් කියන්නෙ මහ අරුමයක් නෙවෙයි. අපේ රටේ වුණත් ඉස්සර ඔය නීති පොතක අත්සන් කරල කසාද සිද්ද වුණා ද…නෑ…වික්ටෝරියා සංස්කෘතියත් එක්ක ඔය විවාහ නීතිය වගේ දේවල් අපේ රටට නොඑන්න…මීට පරම්පරා ගාණකට කලින් අපේ මිනිස්සු එක ගෙදර ජීවත් වෙච්ච එක තමයි කළේ. එතන තිබුණෙ විශ්වාසය කියන දේ. දැන් මේ බටහිර ලෝකෙ අලුත් දෙයක් වගේ කතා කරන ලිවින් ටුගෙදර් තමයි ඒ. දැන් අය එහෙම කරන්නෙ ගැලපෙන්නෙ නැත්තං ඩිවෝස් වෙවී ඉන්න කරදරයක් නැති නිසා. මේකෙ කිසිම බැඳීමක් නැති නිසා. ඉස්සර අපේ අය ළඟ තිබුණ විශ්වාසෙනං මෙතන ඒ තරමට නෑ නැන්දෙ. ඒත් ඉතිං ඒකත් දැන් ලෝකෙ ට්‍රෙන්ඩ් එකක් වෙලා. පවුලක් ඇතුළෙ තියෙන සුරක්ෂිත කම නෑ කියල දැනෙන දවසක චමත්කා වුණත් ඒකෙං එළියට එයි”

මා ඒ මොනවා කියවූවත් අම්මා කෙනෙකු වශයෙන් ඇගේ හදවත ට දැනෙන්නා වූ වේදනාවක් වේ නම් එය මුලිනුපුටා දමන්නට මගේ වචන වලට හැකි වෙතැයි මම නො සිතමි. කෙසේ වෙතත් නයනා නැන්දා ව සන්සුන් කරන්නට මගේ වචන වලට හැකි වූයේ ය.

දරුවා ලැබෙන්නට ආසන්න වෙත්දී, සීයා ට පස්සේ අපේ පවුලේ සිදු වූ ප්‍රථම මරණය ද වූයේ ය. ඒ වැඩිපුර බීමතට ඇබිබැහි වී සිටි, ආච්චා ගේ තුන්  වන පුත්‍රයා ගේ වියෝ වීමයි. අධික බීමත නිසා ඔහු ගේ ශරීර අවයව වලට හානි වී ඇති බව වෛද්‍යවරුන් විසින් කලින් ම දැනුවත් කොට තිබිණිද ඔහු බීමත නතර නො කළේ ය. ඒ නිසා ම අකාලයේ ජීවිතයෙන් සමු ගත්තේ ය.

ආච්චා ට සේ ම අම්මා ට ද මේ වියෝගය දරා ගැනීම තරමක් අසීරු වී ද, දරා ගැනීම මිස වෙනත් විකල්පයක් වූයේ නැත. ඒ මරණයෙන් පසු ආච්චා අපේ ගෙදර නවතින්නට ආවා ය.

“අතන ඉන්නකොට මට රංජිව මතක් වෙනව වැඩියි. ජීවිතේ අනිත්‍ය ඕක තමයි කියල මන් දන්නව. මැරෙනකල් මේ පොඩි එකා එක්ක සතුටෙන් ඉන්නයි දැන් මට ඕනෙ”

ඇය මගේ කුස පිරිමැද කීවා ය. මා ඇයට ආදරය කරනවාටත් වැඩියෙන් රවීන් ඇයට ආදරය කරනා බව ආච්චා දැන සිටියා ය. එය හරියට ඈ සිය පුතුන්ටත් වඩා බෑනා වූ දුනුකේ ව විශ්වාස කිරීම සරි විය.

මගේ දෝතට දියණියක වැඩියා ය. එය මුල සිට ම රවීන් ගේ ආශාව වූයෙන් මම කැමති වීමි.

“පුතෙක් වුණානං හොඳයි. ඔයා ආස පුතෙක්ටනෙ”

වෙහෙසට පත් ව උන් මගේ හිස පිරිමද්මින් රවීන් එසේ කීවේ බොරුවට නොව ඇත්තට ම බව මම දනිමි. ඔහු අන් සියල්ලට වඩා කැමති වූයේ මගේ සතුට දකින්නට ය. මගේ ආශාවන් ඉටු කොට දෙන්නට ය.

“දුවෙක් වුණ එක හොඳයි. ඔයා ආස දුවෙක්ටනෙ”

මම සිනහවක් නගා ගනිමින් මිමිණුවෙමි. රවීන් මගේ නළලත සිප ගත්තේ ය.

“ගෑනු ළමයි දෙන්නෙක්ව බලා ගන්න එක ලේසි නෑ. දන්නවද…”

“මාව බලා ගන්න ඕන වෙන එකක් නෑ. මං දැං ලොකුයි”

ඔහු හඬ නගා සිනහ වුණේ ය. ඒ සිනහව මා ඔහු ව දුටු මුල් දිනවලට වඩා වෙනස් නැති එකකි. මා මියෙන තුරු ම වෙනසක් නැති ව ඔහු ව දකින්නට ලැබේ නම් යයි මගේ හදවත සුසුමකින් සිතුවේ ය.

අම්මා කැමති වූයේ ටික දිනක් අප දරුවා ද සමගින් මහ ගෙදර නතර වෙනවාට ය. එය ඇගේ මැහුම් වැඩ වලට කරදරයක් යයි මා කීවා ට චිරාගත සම්ප්‍රදාය වෙනස් කරන්නට ඕ තොමෝ නො රිසි වූවා ය.

“ඔයා කියන්න තාමත් කන්න ආස ජාති තියෙනව කියල. එතකොට එහේ ඉන්න එකේ මටත් පොඩි ජොලියක් තියෙනව”

රවීන් සැහැල්ලු සිතින් අපේ ගෙදර තෙමසක් නතර වන්නට එකඟ වූයේ ය.

මීට වසර කිහිපයකට පෙර ජීවිතයත් දැන් ජීවිතයත් අතරේ වන පැහැදිලි වෙනස ගැන ඉඳහිට මට සිහිපත් වේ. අම්මා කෙනෙක් වීමෙන් පසු තරුණියක ගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති වේ. තරුණයෙකුට වුව එය වලංගු ය කියා සිතෙන්නේ දූ නිසා රවීන් ගේ ඇස් බැල්මක පවා මට පෙනුණ වෙනස ගැන හිතත්දී ය. උදේ ට ඇඳට වී දූගේ කිරි සිනහා විඳිමින් සිටිනා ඔහු රැකියාවට යන්නේ හිතකින් නොවේ. හැන්දෑවට ගෙදර ආවාට පස්සේ ත් ඔහු ගේ කාලය ගෙවෙන්නේ ඈ ළඟ ය.

“පිරිමියෙක්ට පවුල කියන්නෙ තමංගෙ නෝනා. ඒ වගේම පිරිමියෙක්ට ගෙදර කියන්නෙ දරුවො”

ආච්චා නැවත නැවතත් මට ඇහෙන සේ ඒ කතාව කියයි.

 මා මේ තත්වයට ගොඩනගන්නට අම්මා කෙතරම් වෙහෙසක් දරන්නට ඇත්ද කියා, තාත්තා මොන තරම් කැප කිරීමක් කරන්නට ඇත් ද කියා, දූ දෙස බලා සිටියදි මට සිතේ. එතකොට ඔවුන් ගැන තව තවත් ස්නේහයෙන් හදවත පිරී යයි. දූ ආවාට පස්සේ අපේ පවුලේ කාටත් ඇය අලුත් ජීවිතයක් මවා දී තිබිණි. සීයා කෙනෙකු වශයෙන් තාත්තා වෙත වූයේ මට අදහා ගත නොහැකි මෘදු බවකි. දූ පොඩ්ඩක් හඬනු ඇසුණත් ඔහු මට බැන්නේ ය.

“ළමයව අඬවන්නෙ ඇයි…කරන දෙයක් ළමයව නලවල කර ගන්න බැරිද..”

“අපි පොඩි කාලෙ අපි ගැන තාත්තට ඔහොම දුකක් දැනුණෙ නෑනෙ”

එවන් ඇතැම් අවස්ථාවක මම තාත්තා ට නෑසෙන සේ කියමි.

එවන් විටෙක ආච්චා සිනහ වෙයි. ඇගේ කතා සරිත් සාගරය ගැළඹූ විට මේවා ගැන කියන්නට ඕනෑ තරම් කතා තිබේ.

“කෙනෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවට වඩා අමුතු වෙනස්ම හැඟීමක් තමයි සනූ ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වෙද්දි දැනෙන්නෙ. අම්මල තාත්තල විදිහට අපි ඉවස ගත්ත දේවල් ආච්චිල සීයල විදිහට ඉවසන්න බෑ. ඒක එහෙම තමයි”

ඒ සියල්ල වූ කලී මේ ජීවිතය පුරා සැරිසරා යාමෙන් දැකිය හැකි දේ ය. උගත හැකි දේ ය. ජීවිතය සැරිසරනා නොතින් ආශාවක් දැන් මට වේ. රවීන් වාගේ ගමන් සගයෙකු පසෙකින් හිඳියදී ඒ සැරිසැරීම පහසු වන බව ද මම දනිමි. අපට වෙහෙස දැනුණ කල ගිමන් නිවන්නට සේ ම අත්වැල් අල්ලන්න ද අප ළඟ අප හිඳිනා නිසාවෙනි.

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content