Diary එකක් පාවිච්චි කරන්න ම ඕනෙ ඇයි?

කාලයත් එක්ක, තාක්ෂණයේ දියුණුවත් එක්ක අපෙන් ටික ටික අතහැරෙන පුරුදු ගොඩක් තියනවනෙ. 

දිනපොතක් භාවිතා කිරීමේ පුරුද්දත් අන්න ඒ වගේ. .

දිනපොතක කොටස් වෙන වෙනම ඇතුළත් කරපු විවිධ යෙදවුම්, උදාහරණ ලෙස google calendar, To – do – list සහ notepad අද අපි භාවිතා කරත් ඒවා සහ දිනපොතක් භාවිතා කිරීම තරමක් වෙනස් බව මේ ලිපියෙන් පසුව ඔබට වැටහේවි. 

අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ දිනපොතක් භාවිතයේ ඇති වැදගත්කම ගැනයි. ඉතිං, අපි බලමු ඒ මොනවද කියල ?

ඔබේ ලිවීමේ හැකියාව සහ කලාත්මක හැකියාව වැඩිදියුණු කරයි

එදිනෙදා සිදුවීම් වලට අමතරව බොහෝ වෙලාවට අපේ දිනපොතේ අපි කැමති දේවල් ගැන ලියන්න තියන ඉඩ ප්‍රමාණය වැඩියි. 

ඒ දේවල් ගැන අපේ සිතුවිලි දිනපොතක සටහන් කරද්දි අපි නොදැනුවත්වම අපේ ලිවීමේ,සිතීමේ සහ කලාත්මක හැකියාවන් වැඩිදියුණු වෙනවා. 

දිනපොතක් ලියද්දි රචනාවක ආකාරයෙන්ම නෙමෙයි නිසදැස්, කවි සහ ගීත විදිහටත් අපේ අදහස් ලියන්න පුළුවන් වීම මේ සඳහා තවත් හේතුවක්. 

ඒ වගේම දිනපොතක් හැඩ කරන්න චිත්‍ර, කාටූන් සහ විවිධ මෝස්තර වර්ග එකතු කරගන්නත් අපිට පුළුවන්. 

ඔබට ඔබ ගැන පෙන්වා දෙයි

“ජීවිතය ඉක්මණින්ම ගෙවී යයි. එක් මොහොතකට නැවතී වටපිට නොබැලුවොත් ඔබට ගොඩක් දේවල් නොදැනීම මඟහැරී යාවි” යැයි සඳහන් එක් කියමනක් තිබෙනවා සමහරවිට ඔබ අසා ඇති. 

දිනපොතක් පවත්වාගෙන යාමෙන් ඔබ එදිනෙදා මුහුණදුන් සිදුවීම්, ඒ සිදුවීම් වලට ඔබ දැක්වූ ප්‍රතිචාර ගැන නැවත ආවර්ජනයක් කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. 

ඒ නිසා ඔබ ගැන ආත්ම අභිමානයක් ඇති කරගන්න වගේම ඔබට මඟහැරුණු හෝ වැරදුනු තැන් ගැන අවබෝධයක් ලබාගන්නත් ඔබට පුළුවන්. 

අන් අය ඔබ ගැන තීන්දු තීරණ දෙනවාට වඩා ඔබ ඔබ ගැන ලබාගන්න අදහසක් ගොඩක් වටිනවා. ඒ නිසා ඔබේ දුර්වල තැන් අඳුරගෙන ඒව වෙනස් කරගන්නත් ඔබට පුළුවන්.

මානසික ආතතිය අවම කරයි

සමහරවිට ඔබ එදිනෙදා ජීවිතයේ සිදුවන සමහර සිදුවීම් වලින් අතිශයින්ම මානසික පීඩනයට පත්වෙලා ඉන්න පුළුවන්. 

ඔබේ අදහස් බෙදාගන්න විශ්වාසවන්ත කෙනෙක් නැතුව නිතරම කල්පනා කරමින් පසුතැවිලි වෙනව වෙන්නත් පුළුවන්.

ඉතිං මම ඔබට යෝජනා කරන්න කැමතියි රාත්‍රී නින්දට යාමට පෙර දිනපොතක් භාවිත කරල දවසේ සිදුවුන සිදුවීම්, ඒ ගැන ඔබ සිතන දේ, දුක, සතුට හැමදේම දිනපොතේ සටහන් කරන්න කියල. 

මනස සැහැල්ලු වීම නිසා මානසික පීඩනය, විශාදය වැනි තත්වයන් ඇතිවීම අවම කරගන්නත් හොඳ නින්දක් ලබා ගන්නත් ඔබට පුළුවන්. 

ඔබ කෙනෙක්ට පවසන දේවල් කේළම්, ඕපදූප, ආරංචි බවට පත්වෙලා ඒ නිසා ඔබට මුහුණ දෙන්න සිදුවන බලපෑම් වලට වඩා මේ ක්‍රමය අතිශයින්ම සාර්ථක බව නම් සහතික කරල කියන්න පුළුවන්. 

ඔබේ මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරමින් එදිනෙදා වැඩකටයුතු ක්‍රමවත් කරයි

එදිනෙදා සිදුවීම් දිනපොතක සටහන් කරද්දී ඒව නැවත ආවර්ජනය කරන නිසා ඒ පිළිබඳ වැඩිපුර මතකයේ තැම්පත් වෙනවා. 

වැදගත් සිදුවීම් සියල්ලත් ඔබ නොදැනුවත්වම සටහන් කරගෙන තබාගන්න නිසා අවශ්‍ය වූ විටක එයින් නැවත ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. 

ඒ වගේම එදිනෙදා වැඩකටයුතු සඳහා ඔබට ගතවෙන කාලය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත්, මඟහැරුණු වැඩ කටයුතු ගැන නැවත මතක් කරගැනීමටත්, පසුදිනයේ ඔබට කරන්න තියෙන වැඩකටයුතු ගැන අවබෝධයක් ලබාගන්නත් ඔබට පුළුවන්. 

ඉතිං, අද ඔබේ දිනපොත දවසක නිදහසේ වාඩිවෙලා කියවද්දි ඔබේ ජීවිතයේ සොඳුරු මතක ආවර්ජනය කරගන්න ඔබට උදව් වේවි.

ඒ නිසා ඔබ කොතරම් කාර්යබහුල වුනත් ඔබ වෙනුවෙන් දිනපොතක් පවත්වාගෙන යන්න අමතක කරන්න එපා කියල අපි ඔබට යෝජනා කරන්න කැමතියි. 

Related Articles

Don't Miss


Latest Articles