රැජිනට හිමි වූ ඔබ නොදත් ගිනස් වාර්තා

මියගොස් වසරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබුනත් දෙවෙනි එළිසබෙත් මහ රැජිණ කියන්නෙ තව ශත වර්ෂ ගනනකට ඇය කිරුළු පැළදි එංගලන්තයේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම කතා බහට ලක්වෙන චරිතයක් කියන එකනන් නොඅනුමානයි. 

විවිධ කාලවල විවිධ මාතෘකා ඔස්සේ කරළියට එන එංගලන්ත රජ පවුලේ සාමාජිකයින් අතර දෙවෙනි එළිසබෙත් මහ රැජිණ කියන්නෙ නින්දා ප්‍රශංසා රාශියක් හමුවේ බොහොම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජීවත් වුන චරිතයක්. 

සිය ආදරවන්තයාගේ “ආදරණීය කැබේජ්” වූ සහ කුඩාකල රජ පවුලේ සමාජිකයින් අතර “ලිලිබෙත්” වූ වර්ෂ 2022 සැප්තැම්බර් මස 8 වෙනි දින සිය දිවිසැරිය නිමාකරපු එංගලන්තයේ හිටපු මහ රැජිණ මියයන විට ඇගේ ජීවිතයේ 96 වැනි විය සපුරමිනුයි හිටියෙ.

වසර 70 ක ඇගේ පාලන සමය තුල මුලු ලෝකයේම අවධානය එක ලෙසම තමන් තුල රඳවාගන්න සමත්වුන මේ අභිමානවත් කාන්තා චරිතය මියයන විට ගිනස් ලෝක වාර්තා කීපයකට උරුමකම් කියූ බව ඔබ සමහරවිට නොදන්නවා වෙන්න පුළුවන්. 

ඉතිං අද අපි ඒ ගිනස් වාර්තා මොනවද කියල  හොයල බලමු.

 වැඩිම කාලයක් රාජ්‍යත්වයට හිමිකම් කී රැජිණ ඇයයි.

වර්ෂ 1926 අප්‍රේල් මස 21 වන දින “එළිසබෙත් ඇලෙන්ඩ්‍රා මේරි” කුමරිය ලෙස යෝක්හි ආදිපාද ඇල්බට් කුමරු හා එළිසබෙත් බෝව්ස් ලියෝන් ආදිපාදවරියට දාව ඉපදුන ඇය “දෙවෙනි එළිසබෙත් රැජිණ” ලෙස රාජ්‍යත්වය භාරගන්නෙ වර්ෂ 1952 පෙබරවාරි මස 06 වන දිනයි. ඒ සිය පියා වුන සයවන ජෝර්ජ් රජතුමාගෙ මියයාමෙන් පසුවයි. 

එතැන් සිට මියයන විට වසර 70 කුත් දින 214 ක් සිය රාජ්‍යත්වය ගෙන ගිය මේ අභිමානවත් රැජිණ වර්ෂ 2015 සැප්තැම්බර් 09 වෙනි දින මේ වාර්තාවට හිමිකම් කියනු ලැබුව. ඒ ඊට පෙර වසර 63 කුත් මාස හතක් සහ දින තුනක රාජ්‍යත්වයක් ගෙන ගිය වික්ටෝරියා රැජිණ ගේ රාජ්‍ය කාලය අභිභවා යමිනුයි. 

දෙවෙනි එළිසබෙත් රැජිණ යනු මහා බ්‍රිතාන්‍යය ඉතිහාසයේ  වයස්ගතම පාලකයායි.

සිය 96 වැනි වියේදී මියගිය බ්‍රිතාන්‍ය හිටපු මහරැජිණ මෙම වාර්තාවට හිමිකම් කියන්නෙ මියයන විට 82 වැනි වියේ පසුවූ වර්ෂ 1760 සිට 1820 දක්වා මහා බ්‍රිතාන්‍ය රජ කිරුල දැරූ තුන්වන ජෝර්ජ් රජු අභිභවා යමිනුයි. 

ඇය මහා  බ්‍රිතාන්‍යය පාලනය කල වයස්ගතම රැජිණයි. 

මියයන විය සිය 81 වෙනි විය පසුකරමින් සිටි ඇගේ  මිත්තනියගේ මිත්තනිය වූ වික්ටෝරියා මහ රැජිණ අභිභවා යමින් වර්ෂ 2007 දී දෙවෙනි එළිසබෙත් මහ රැජිණ මෙම වාර්තාවට හිමිකම් කීයනු ලැබුවා.  

ලොව වැඩිම මුදල් ඒකක ගනනක සිය මුහුන සහ රාජ්‍යත්වයේ සංකේතය සටහන් කලේ දෙවෙනි එළිසබෙත් මහ රැජිණයි. 

ආසන්න වශයෙන් රටවල් 45 ක මුදල් ඒකක වල සිය රුව සටහන් කරමින් වැඩිම මුදල් ඒකක ගනනක රුව සටහන් කල ඒක පුද්ගල චරිතය ලෙස දෙවෙනි එළිසබෙත් රැජිණ මෙම වාර්තාවට හිමිකම් කියනව. ඒ මීට පෙර  පිලිවෙලින් රටවල් 21  ක හා රටවල් 19 ක මුදල් ඒකක වල සිය රුව සටහන් කල වික්ටෝරියා රැජිණ හා පස්වන ජෝර්ජ් රජු අභිභවා යමිනුයි. 

ඇය ලොව ධනවත්ම රැජිණයි. 

2012 අප්‍රේල් මස නිකුත්වූ සන්ඩේ ටයිම්ස් ලොව  ධනවත්ම පුද්ගලයන්ගේ  ලැයිස්තුව අනුව ලොව ධනවත්ම රැජිණ ලෙස නම් ලැබූ හිටපු බ්‍රිතාන්‍ය මහ රැජිණ සතුව තිබූ වත්කම ඩොලර් මිලයන පන්සිය හතරක් ලෙස දක්වා තිබෙනවා. 

මෙම වත්කම් අතරට ඉතා වටිනා කලාකෘති, ආභරණ, බ්‍රිතාන්‍යයේ සහ ස්කෝට්ලන්තයේ දේපල ද අයත් වෙන බව තමයි සටහන් වෙන්නෙ.

ලොව විශාලතම බෝට්ටු පෙලපාලිය පවත්වා ඇත්තෙ දෙවෙනි එළිසබෙත් මහ රැජිණ වෙනුවෙනුයි. 

වර්ෂ 2012 ජූනි මස 03 වෙනි දින බ්‍රිතාන්‍ය මහ රැජිණගේ රාජ්‍යත්වයට වසර 60 ක් සම්පූර්ණ වීම සමරමින් තේම්ස් දියමන්ති ජුබිලිය පැවැත්වුනා. එංගලන්තයේ තේම්ස් ගංඟාවේදී පැවැත්වූ මෙම සැමරුම වෙනුවෙන් බෝට්ටු 670 ක සසහභාගීත්වයක් හිමිවීම කැපී පෙනන කරුනක් වුනා. ඒ සඳහා රජ පවුලේ සාමාජිකයින් ගනනාවක්ද  සහභාගී වී ඇති බව තමයි සඳහන් වෙන්නෙ.

මීට පෙර එම වාර්තාව හිමිවී තිබුනෙ වර්ෂ 2011 අප්‍රේල් 30 වන දින ජර්මනියේ බ්‍රෙමහේවන් වල පැවැත්වූ බෝට්ටු 327 ක් සහභාගී වූ පෙලපාලියකටයි.

යුගයක් ගොඩ නැගූ රැජිණක් ලෙස සිය හැත්තෑ  වසරක රාජ්‍යත්වය නිමකරන විට ඇය යටතේ වින්ස්ටන් චර්චිල් ගේ සිට ලිස් ට්‍රස්ට් දක්වා බ්‍රිතාන්‍ය අගමැතිවරු පහලොස් දෙනෙක් සේවය කර තිබෙනවා.  ඒ යටතට ගෝර්ඩන් බ්‍රවුන්, ඩේවිඩ් කැමරන් සහ මාග්‍රට් තැචර් ද අයත් වෙනව.

දශක හතක් තුල ලෝකයේ සිදූවූ සාමාජීය, ආර්ථික හා තාක්ෂණික වෙනස්වීම් සියල්ල හා උරෙන් උර ගැටෙමින් සිය රාජ්‍යයේ හා රාජ්‍යත්වයේ  ගෞරවය ආරක්ෂා කිරීමට සෘජු හා දැඩි තීරණ ගත් ඇය මහා බ්‍රිතාන්‍යයේ අභිමානවත්  සංකේතය ලෙස පෙනී සිටිමින් අනෙකුත් සියලුම රටවල  රාජ්‍ය නායකයින්ටත් ආදර්ශමත් රාජ්‍ය පාලනයක් ගෙනගියා. 

ඇගේ අභාවය වෙනුවෙන් ශෝකවූ රාජ්‍ය නායකයින්ගෙ ශෝක පණිවුඩ ඒ බව සනාථ කරනු ලැබුවා. 

” රැජිණ ලෝකය ආකර්ෂණය කරගත්තේ කරුණාව, රූප ශෝභාව, සහ වෙහෙස නොබලා වැඩ කිරීමේ ආචාර ධර්ම මගින් නිර්වචනය කරන ලද පාලනයකින්” බව හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කරේ හිටපු බ්‍රිතාන්‍ය මහ රැජිණගෙ අභාවය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමිනුයි. 

ආදර ප්‍රශංසා සමඟම කොතරම් විවේචන වලට මුහුණ දුන්නද ඇගේ තනතුරේ හා පවුලේ ගෞරවය ආරක්ෂා කරමින් සිය දිවිසැරිය නිමකල මේ සුන්දර හා සුවිශේෂී කාන්තා චරිතය ඇගේ එම චරිත ලක්ෂන වලින් වගේම මේ ගිනස් වාර්තා නිසාත් තවත් කාලයක් යනතුරු නොමැකෙන නමක් සනිටුහන් කරමින් සියලු දෙනාගෙ හදවත් තුල ‍රැදෙනු නොඅනුමානයි. 

යුග යුග කිරුළු පැළදූ සුන්දර රැජිණියනි ඔබට සුභ ගමන් වේවා !

දුලානි නවෝද්‍යා 

මූලාශ්‍ර – https://www.google.com/amp/s/britishheritage.com/royals/queen-elizabeth-ii-guinness-book-world-records.amp

Related Articles

Don't Miss


Latest Articles