මතක දිගහැරුම 58 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පනස් අටවන දිගහැරුම ,

මා එමිරේට්ස් ආයතනයෙන් ඉවත් වන බව ඔවුන් හට දැනුම් දී ,මගේ බඩුබාහිරාදිය සියල්ල සූදානම් කර නැවත ලංකාව බලා පිටත් වීමට සූදානම් වූයෙමි .ඒ අතරතුර දී හෂාන් නිතර නිතර දුරකථනයෙන් අමතමින් මාගේ ගුවන් ගමන් වාරය යෙදී ඇත්තේ කීයටදැයි , සූදානම් වී අවසන් දැයි ආදී විස්තර විමසීය.ලංකාවට නැවත පැමිණීම සඳහා මා හට නොමිලේ ගුවන් ටිකට් පත් තිබුනද , ඒ දින වල දී ආසන සියල්ල පිරී ඉතිරී ගොස් තිබුණි.මා ඒ බව හෂාන් හට දුරකථනයෙන් අමතා දැනුම් දුන් විට ඔහු පැවසුවේ මුදල් ගෙවා හෝ ආසනයක් වෙන් කරවාගෙන හැකි ඉක්මනින් නැවත ලංකාවට පැමිණෙන ලෙසයි.ඉන්පසුව මා මුදල් ගෙවා වෙනත් ගුවන් සේවයකින් ටිකට් පතක් වෙන් කරවා ගෙන නැවත ලංකාවට පැමිණියෙමි .

මා ලංකාවට පැමිණෙන විට මා කැටුව යාම සඳහා හෂාන් ඉතා සතුටින් ගුවන්තොටුපල වෙත පැමිණ සිටියේය.ඔහු කෙරෙහි ගොඩනැගුණු ආදරය සහ විශ්වාසය මත මා ගොඩනගා ගත් බොහෝ දේ පරිත්‍යාග කරමින් එතැන් පටන් මා මගේ ජීවිත ගමන හෂාන් සමඟ ඇරඹුවෙමි.එළඹෙන හැම දිනයකදීම ඔහු හා අත් වැල් බැඳගෙන ඔහුට ශක්තියක් වී ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම මගේ ලොකුම අරමුණ විය.

හෂාන්ගේ දෙමව්පියන්ගෙන් සහ මල්ලීගෙන් අප දෙදෙනාටම ආශිර්වාද ලැබුණු අතර ඔවුන්ගේ නිවසේ අප වෙනුවෙන් සාදයක් ද පැවැත්විය.ඒ සඳහා හෂාන්ගේ නෑදෑයන් බොහෝ දෙනා ද සහභාගි වූ අතර ඔවුන්ගේ ආශිර්වාදය ද අපට හිමි විය.හෂාන්ගේ නෑදෑයන් සහ හිතවතුන් සියලු දෙනාම මාව ඉතා ඉහළින් පිළිගත්හ.

අප දෙදෙනා අපගේ නව ජීවිතය ආරම්භ කළ දා සිටම හෂාන් ඔහු උපයන සෑම මුදලක්ම මා වෙත ගෙනවිත් දුන්නේය.ජීවිතයේ තරුණ අවධිය ඒ වන තෙක්ම ඉතා හොඳින් විඳි අය ලෙස මම සහ හෂාන් ඉදිරි ජීවිතය ක්‍රම ක්‍රමයෙන් ගොඩනඟා ගත යුතුයි යන සිතුවිල්ල අප තුළ විය.මා මුණ ගැසෙන විට හෂාන් විසින් නව නිවසක් ඉදි කරන්නට මූලික අඩිතාලම දමා තිබුණි.එම නිවසේ ඉතිරි වැඩකටයුතු අවසන් කළ යුතුයැයි මා සිතුවෙමි.හශාන් උපයන මුදල් ඒ වෙනුවෙන් වෙන් කිරීමට මා තීරණය කලේ ඉන්පසුවය.හෂාන් පුහුණුවීම් වලට සහභාගි වන අතරතුරේදී මා නිවස ඉදි කිරීමේ වගකීම ඉටු කළෙමි.බොහෝ දින වල දී ක්‍රීඩා කටයුතු සමග හෂාන් කාර්යබහුල වන බැවින් නිවස ඉදි කිරීමේ කටයුතු වලට මා ඉතා මහන්සියෙන් කැපවූයේ හැකි ඉක්මනින් කෙසේ හෝ හෂාන් සමග එම නිවසෙහි පදිංචි වීමට ය.

හෂාන්ගේ හොඳම මිතුරෙකු වූ සජී මත්තෙගොඩ පිහිටි හිස්ව තිබූ ඔහුගේ නිවසක් අප දෙදෙනා හට ලබා දුන්නේ අපගේ නිවස ඉදි කරමින් තිබූ නිසාය.මා සහ හෂාන් අප දෙදෙනාගේ බඩු බාහිරාදිය ද රැගෙන එම නිවසේ පදිංචි වූ අතර හෂාන් සංචාරවලට සහභාගි වන විට මගෙ නංගි මගේ තනියට පැමිණියාය.නව නිවසේ ජීවිතය ඉතා අලුත් අත්දැකීමක් වූ අතර නිවසේ සියලු කටයුතු තනිවම කළමනාකරණය කරගැනීමට මා කෙමෙන් කෙමෙන් හුරු වූයෙමි.හෂාන් පුහුණුවීම් වලට සහභාගී වන බොහෝ දිනවලදී මම ද ඔහු සමඟ යන්නට හුරුවී සිටියෙමි.ඒ වගේම කුඩා කාලයේ දී මගේ අම්මා සහ තාත්තා හුරු වී සිටි ආහාර රටාවට අනුව මම ද ඉතා පෝෂ්‍යදායි ආහාර හෂාන් වෙනුවෙන් පිළියෙල කර දුන්නෙමි.මුල් දිනවල දී ආහාර පිසීම පිළිබඳව එතරම් දැනුමක් නොතිබුණු මා ආහාර වට්ටෝරු පොත් වල දැනුම උපයෝගී කරගනිමින් ද, තවත් විටෙක මගේ අම්මාට දුරකථන ඇමතුම් දෙමින් ද ආහාර පිසීම සඳහා පුරුදු වූයෙමි

පසුව හෂාන්ට පකිස්තානයේ තරග සංචාරයක් සඳහා අවස්ථාවක් ලැබුණි.එකල ක්‍රීඩකයා සමග ඔහුගේ බිරිඳ ද එම සංචාරය සඳහා සහභාගී වන්නේ නම් ඔවුන් දෙදෙනාට එකට නවාතැන් ගැනීමට අවස්ථාව හිමිවූයේ නැති අතර බිරිඳ නවාතැන් ගත යුතු වූයේය වෙනමම ස්ථානයකය.යම් හෙයකින් එම සංචාරය මාසයකට වඩා වැඩි කාලයක් යෙදෙනවානම් සති තුනක කාලයකින් පසුව බිරිඳට ක්‍රීඩකයා සිටින ස්ථානයේම නවාතැන් ගැනීමට අවස්ථාව හිමිවේ.කෙසේ හෝ පකිස්තාන සංචාරය සඳහා සති තුනකින් පසුව මා ද සහභාගි වූයෙමි.පාකිස්තානු කණ්ඩායමේ හෂාන්ගේ සමීපතම ක්‍රීඩකයන් කීප දෙනෙකුද මාගේ හොඳ මිතුරන් බවට පත්වූ අතර ඔවුන් ඉතා උණුසුම් අයුරින් මා පිළිගත්හ.

පකිස්ථානු තරඟ සංචාරයෙන් අනතුරුව හෂාන්ට සහභාගි වීමට නියමිතව තිබුණේ ඔස්ට්‍රේලියානු සංචාරයක් සඳහා ය.එය මාස කිහිපයක දීර්ඝ සංචාරයක් විය.එම නිසා ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාගේම වාගේ බිරින්දෑවරුන් සහභාගී විය.එය ඉතා විනෝදජනක සංචාරයක් වූ අතර පවුල්වල අයද සහභාගි වූ නිසා එය විනෝද චාරිකාවක් මෙන් විය .අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ පැමිණි කණ්ඩායමේ සියලු දෙනාම සිටියේ එකම පවුලක අය ලෙසය.එකිනෙකා අතර පුදුමාකාර සමගියක් දක්නට තිබූ අතර එම සමගිය ඔවුන්ගේ බිරින්දෑවරුන් අතරද දක්නට විය.අර්ජුන රණතුංග ගේ බිරිද වූ ” සමදරා ” ඇත්ත වශයෙන්ම අප සියලු දෙනාටම අපගේම සහෝදරියක් ලෙස දැනුණු අතර ඇතැම් අවස්ථාවල අප අසනීප වූ විට පවා ඇය ඉතා ආදරයෙන් අප පිළිබඳව සොයා බලයි.අප කිසි කෙනෙකුත් අතර තරඟයක් හෝ ඉරිසියාවක් නොතිබුණි .ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ මා ඉතා ලස්සනට හැඳ හැඳපැළඳ සිටීමට පුරුදු වී සිට් අයෙකු වූ බැවින් ඔවුන් නිරන්තරයෙන්ම මගේ විලාසිතා පිළිබඳව වර්ණනා කළහ.ඒ වගේම ඔවුන් සියලු දෙනාම තමන්ගේ ස්වාමිපුරුෂයන්ට ක්‍රීඩා කිරීම සඳහා ඉතා හොඳ මානසිකත්වයක් සලසා දීමට මෙන්ම ඉතා හොඳ සහයෝගයක් ලබා දීමටද කැපවී සිටියහ.හෂාන් ඇතුළු ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාම ලබාගත් ජයග්‍රහණ වලට ඔවුන්ගේ පවුලෙන් ලැබුණ සහයෝගය ද අතිශයින්ම ඉවහල් විය .

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles