මතක දිගහැරුම 88 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූ අටවන දිගහැරුම ,

අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් බලා සිටි නානාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට මා හට උවමනා විය.සුනාමි ව්‍යසනය සිදු වී දින හතරකට පමණ පසුව හම්බන්තොට බලා ගොස් ඔවුන් පිළිබඳව සොයා බලමු යැයි මා හෂාන් හට යෝජනා කළෙමි.මගේ යෝජනාවට එකවරම කැමති වූ ඔහු මා සමඟ හම්බන්තොට බලා යාමට සූදානම් විය.

හම්බන්තොට ප්‍රදේශයේ පුරාම ඒ වන විට අධික දුර්ගන්ධයක් පැතිරෙමින් තිබුණි.මුහුදු රළ හේතුවෙන් ගසාගෙන ගිය වාහන , කැඩී බිඳී ගිය ගොඩනැගිලිවල සුන්බුන් නගරය පුරාම දක්නට ලැබුණු අතර ජීවත් වීමට වාසනාව ලැබූ අය විසින් අතුරුදහන් වූ පුද්ගලයන්ව සහ මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයමින් නගරය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණි.ජීවිතයේ යනු ඉතා අනියත දෙයක් බවත්, එය කොයි මොහොතේ හෝ කුමන ආකාරයකින් හෝ අහිමි විය හැකි බව නැවත නැවතත් අප හට පසක් විය.හම්බන්තොට ඔරලෝසු කණුව අසලට අප ගියේ නානාගේ වෙළඳසැල පිහිටා තිබූයේ එය ආසන්නයේ නිසාය.හම්බන්තොට නගරය පෙර තිබූ ආකාරය හඳුනා ගත නොහැකි තරමටම විනාශ වී ගොස් තිබුණු හැර බැලූ බැලූ සෑම තැනකම දක්නට ලැබුනේ සුන්බුන් ගොඩවල් පමණි.නානාගේ වෙළඳසැල තිබූ ස්ථානයේ දක්නට නොලැබුණු විට අපට එකවරම සිහිපත් වූයේ, නානාව මුණගැසීමට එදින අප පැමිණියා නම් මේ වන විට අප දෙදෙනා ද ජීවතුන් අතර නොසිටින බවයි.ඒ ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතු වල නිරතවී සිටි පුද්ගලයෙකුගෙන් අප නානා පිළිබදව තොරතුරු විමසුවෙමු.

” අනේ නෝනා නානා ඉන්නවා. මුස්ලිම් පල්ලියේ මිනිසුන්ව නවත්තලා ඉන්නවා .නානා ඒ අයට කෑම උයනවා “

එම පුද්ගලයා එසේ පැවසූ විට හෂාන්ට සහ මට දැනුනේ වචනයෙන් කියා නිම කළ නොහැකි තරමේ සැනසීමකි.පල්ලිය තිබෙන ස්ථානය පිළිබඳව තොරතුරු එම පුද්ගලයා ගෙන් අසා දැන ගත් හෂාන් සහ මම ඉක්මනින්ම එම ස්ථානය සොයා ගියෙමු .අපගේ වාහනය එම ස්ථානයට ලඟා වන විටම එය දුටු නානා අප දෙසට වේගයෙන් දිව ආවේය.ඔහු අප වෙත දිව ආවේ දෑත් එකතුකර නළලේ තබා වැඳගෙනය.

” අනේ සර් ඔයාලාට බුදුබව අත්වෙනවා .ඔයාලා නිසා තමයි මගේ ජීවිතය බේරුණේ “

නානා එසේ පවසන විට එයට හේතුව කුමක්දැයි අප දෙදෙනාටම සිතාගත නොහැකි විය.එම නිසා අප දෙදෙනා ඒ පිළිබඳව ඔහුගෙන් කරුණු විමසුවෙමු.

” සර්ලට මේ වැඩේ හදිසි කිව්වනේ.අනික සර්ලා උදේ නමය වෙද්දි එනවා කියලාත් කිව්වනේ.ඒ ඕඩරේ තව ටිකක් තිබුන මට ඉවර කරන්න.මම උදේ 7 ට විතර කඩේට ඇවිල්ලා කටේ තිබුණු බඩු ටිකක් අරගෙන කඩේ ආපහු වහලා ගෙදර ගියා.කඩේ හිටියොත් මට මේ වැඩේ ඉවර කරගන්න බැරි වෙන නිසා ගෙදර ගිහින් වැඩේ ඉවර කරනවා කියලා හිතාගෙනයි මම ගෙදර ගියේ “

එදින උදෑසන සිදුවූ සිදුවීම් නානා විස්තර කරන විට හෂාන් සහ මම ඒවා අසාගෙන සිටියේ පුදුමයෙන් පුදුමයට පත් වීය.නානා නැවත ඔහුගේ නිවසට යන විට මුහුද ගොඩ ගලන බව පවසමින් මිනිසුන් කෑගසමින් ඒ මේ අත දිව යනු දුටු බව ඔහු පැවසුවේය.නානා දිවගොස් බලන විට මුහුදු රළ පැමිණ සියලු දේ ගසාගෙන යන ආකාරය දැක ඇත.

” නෝනයි මහත්තයයි නිසා තමයි මගේ ජීවිතේ බේරුනේ.නැත්තං ඒ වෙනදට මම කඩේ ඉන්න වෙලාව. එදා මම එතන හිටියනං මාව ගහගෙන යනවා කඩෙත් එක්කම “

ඔහුගේ ජීවිතය බේරීම පිළිබදව හෂාන් සහ මම ඉතා සතුටට පත් වුණෙමු.එපමණක් නොව හම්බන්තොට යාමට සැලසුම් කළ අපගේ ගමන අහම්බයකින් මෙන් වෙනස් වීම පිළිබඳවත් එම නිසා අප දෙදෙනාගේ ජීවිත රැක දීම පිලිබදවත් අප විශ්වාස කරන සියලූම බලවේග සිහිකරමින් ඔවුනට ස්තූති කරමින් පින් පැමිණවීය

අප ආරාක්ශා කරන අපගේ ඉශ්ට දේවතාවුන් සහ විශ්ව ශක්තිය පිළිබඳව මා දැඩි ලෙස විශ්වාස කරන අතර ඒවායෙන් මගේ ජීවිතයට යම් කිසි බලපෑමක් ඇති බවද මා විශ්වාස කරමි.කුඩා කල සිටම මගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් නොසිතු ලෙස යහපත් මාර්ග ඔස්සේ වෙනස් වූ අතර , යම්කිසි බලවේගයක් මා හට මග පෙන්වූ බවද මා සිතමි.කතරගම යාමට මා දැඩි ලෙස ප්‍රිය කළ අයෙක් වූ නිසා කුඩාකල දෙමව්පියන් සමග ද නිතර නිතර මා කතරගම වන්දනාවේ ගියෙමි .කතරගම ඉඩමක් මිලදී ගැනීමටත් මගේ සිත තුළ විශාල සැලසුමක් නොවූ අතර එය ද සිදු වූයේ ඉතා අහම්බයකිනි.එසේ මිලදී ගෙන තිබූ ඉඩමේ අපට අවශ්‍ය පරිදි නවාතැනක් සකස් කරගෙන අපට අවශ්‍ය වූ අවස්ථාවන්වලදී පැමිණ කාලය ගත කිරීමට සිතුනේ ද අහම්බෙනි.පසු කලෙක මා හට දැනගන්නට ලැබුණු පරිදි ඔහුගේ නවාතැනට මඳක් නුදුරින් නන්දිමිත්‍ර යෝධයාගේ සොහොන පිහිටා ඇති අතර එම ප්‍රදේශය පුරාම අතීතයේ පැවත ඇත්තේ රාජධානිය.ඒ ආසන්නයේ ඇති සිතුල්පව්වද රහතුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වැඩසිටි ස්ථානයක් ලෙස සැලකෙන නිසා ඒවායේ ඇති හාස්කම් පිළිබඳව ද මා විශ්වාස කරමි .විවිධ බලවේග පිළිබඳව සහ විශ්ව ශක්තීන් පිළිබඳව විශ්වාස කරන අයව ඇතැමුන් හාස්‍යයට ලක් කළත් , ඇත්ත වශයෙන් ම ඒවායේ සත්‍යයක් ඇති බව මා තරයේම විශ්වාස කරමි.කෙසේ හෝ හම්බන්තොට ගමන නවතා කතරගම යාම ඇතිවුණු සිතුවිල්ල අනුව අප කතරගම යාමටද හේතුවූයේ කිසියම් බලවේගයක් විසින් අප ආරක්ෂා කිරීමට බව මා හට සිතේ.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles