සැකය

“සමීර ගෙදර ආවද?”

අම්මාගෙන් එහෙම දුරකථන ඇමතුමක් එනකොට ඔමාලි හිටියේ රෑට උයන ගමන්.ඔමාලි ව්‍යාංජනය හැඳි ගාන ගමන්ම අම්මා එක්ක කතාවට වැටුණා.උයන්නේ දැන් කිව්වොත් රස්සාවක් කරන එකේ දෝසේ ගැන අම්මා සෝලි තියන්න පටන් ගනී.

“අද ස්පෙෂල් මීටින් එකක්ලු අම්මේ.රෑ වෙයි.අනිත් එක දැන් පුදුම ට්‍රැෆික් එකක්නෙ.”

ඔමාලි එහෙම කියනකොට අම්මා කතා කළේ සැර හඬකින්.අම්මා ඉන්නෙම ඔහොම මොනවා හරි වෙනකන් බව ඔමාලි දන්නවා.

“ඔෆිස් එකේ කාටහරි කතා කරලා ඇහුවද? ඒ මීටින් කතාව ඇත්තද කියලා..”

ඔමාලිගේ කට බාගෙට ඇරුණා.ගෑස් ලිප නිමලා සලාදයකට එලවළු කපන ගමන් ඔමාලි අම්මාට උත්තර දුන්නේ ප්‍රවේසමට.වචනයක වැරැද්ද පවා අම්මට විශාල ගින්නක් අවුලන්න හේතුවක්.

“එහෙම වෙන අයට කතා කර කර අහන්න පුලුවන්ද අම්මේ.අනික සමීරට එතන තියන වැඩ ගොඩ මමනෙ දන්නෙ..”

අම්මා නහයෙන් පිඹලා දුරකථනය තිබ්බා.දැන් තරහ ගිහින් ඇති.අම්මා ඔය ඉන්නේ භාවනා මධ්‍යස්ථානයකට ගිහින් කියලා මතක් වෙනකොටත් ඔමාලිට පුංචි හිනාවක් එනවා.සංසාරය කෙටි කරගන්න ගියාට අම්මා කරන්නේ සංසාරේ දික් කරගන්න එක.

“පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා..
පේලි පේලි පේලි සැදී නැට්ටුවෝ එනවා..

සාලේ පැත්තෙන් සින්දුවක හඬක් ඇහෙනවා.ඔමාලි සලාදෙත් හදලා සාලෙට ගියේ සින්දුවට එකතු වෙන්නම නෙවෙයි.කෑම ලෑස්තියි කියන්න.ප්ලේ මැට් එකට වෙලා සින්දු කිය කියා හිටපු ඔමාලිගේ තාත්තායි ඔමාලිගේ චූටි පුතායි තවත් සින්දුවක් කියන්න ලෑස්තියි.පුතාට සීයා තාත්තාගෙන් තොර ලෝකයක් නෑ.

“තාත්තේ, රෑට කාලා ඉමුද? බෙහෙත් බොන්නත් එපායැ”

old father

ඔමාලි එහෙම අහනකොට තාත්තා ඔරලෝසුව දිහා බලන ගමන් ඔමාලි දිහා බැලුවා.තාත්තා කියන්න යන දේ ඔමාලි දන්නවා.

“සමීර නෑනෙ පුතේ..අපි පුතා ආවමම කමු..”

තාත්තාට ප්‍රශ්නය සමීර එන්න කලින් කෑම කන එක මිසක් සමීර එන්න පරක්කු වෙන එක නෙවෙයි.ඔමාලි තාත්තා දිහා බැලුවේ අම්මා කතා කළා කියලා කියන්නද එපාද කියන හැඟීමෙන්.තාත්තාට හිතට කරදර දෙන කිසිම දෙයක් කියන්න ඔමාලි කැමති නෑ.

“අම්මා කෝල් කරානෙ තාත්තේ..අර භාවනා මධ්‍යස්ථානයේ ඉන්න ගමන්.”

කතාව කියන්න කලින් ඔමාලි එහෙම කියල පුතාගේ සෙල්ලම් බඩු අස් කරන්න පටන් ගත්තා.අම්මා පටන් ගත්තම පුතා ඒකට හවුල් වෙන්නේ කියන්නත් කලින්.කෑගහලා බැනලා දරුවෝ හදන්න බෑ කියලා ඔමාලි හොඳටම දන්නවා. අම්මා කොච්චර කෑගැහුවත් බැන්නත් ඔමාලි අන්තිමට තාත්තා තෝරා ගත්තේ ඒ නිසා.සැනසීම තියෙන්නේ තාත්තා ගාව.

“භාවනා කරන්නයි ගියේ.සමීර රෑ වෙන්නේ එයාට වෙන සම්බන්දයක් තියන හින්දද දන් නෑ කියලා මට කියනවා.මම ඕවා හිතන් නැති හින්දා හොඳයි..”

ඔමාලි කළකිරීමෙන් එහෙම කියනකොට තාත්තා හෙමින්සැරේ ඔමාලිගේ හිස අතගෑවා.මීට අවුරුදු කීපයකට කලින් අවුරුදු පහලොවක ගෑනු දරුවෙක් උසාවියේ දී තාත්තා තෝරා ගන්නවා කියද්දී තාත්තාගේ මුහුණේ ඇදුණු හිනාව ආයෙත් මතු වුණා කියලා ඔමාලිට හිතුණා.

“එහෙම සැක කර කර ජීවත් වෙන්න බෑ තාත්තේ…”

ඔමාලි ඒ කියන්නවත් ඕන දෙයක් නෙවෙයි.තාත්තා තරම් ඒ ගැන දන්න කවුරුත්ම නෑ.ඔෆිස් එකේ නානාප්‍රකාර ගෑනු අයව තාත්තට පාවා දිදී අම්මා බනිනකොට හිස් බැල්මෙන් බලා හිටිය තාත්තා තාමත් ඔමාලිට මතකයි.තාත්තා අන්තිමට ගත්තු තීරණයට ඔමාලි කවදාවත් තරහ නොවෙන්නේ ඒකයි.

“අම්මා කියන දේවල් ඕනෑවට වඩා ඔලුවට ගන්න එපා පුතේ.අම්මා ටිකක් කලබල වෙනවනෙ..”

අම්මා කලබල වෙන්නේ ටිකක් නෙවෙයි.ඒ ගැන කියන්න හිතුණත් ඔමාලි මොකුත්ම නොකියා හිටියේ තාත්තාගේ හිත රිදෙන නිසා.ඒත් අම්මා කාලයක් තිස්සේ තමන් අවුල් වෙමින් දැන් ඔමාලිවත් අවුල් කිරීම ගැන ඔමාලිට දැනෙන්නේ කෝපයක්.ඒත් තේරුම් ගැනීම සහ ආදරය ඔමාලිව ගැටළු බොහොමයකින් ගලවා ගන්නවා.

“තාත්තේ,මම මුල ඉඳලම තාත්තා ගැන විශ්වාස කරපු නිසා හොඳයි.අම්මගෙ අනිවාර්ත සැකේ හින්දා තාත්තට වෙන සම්බන්ධයක් ඇති කියලා මාත් හිතුවා නම්..ඒක තාත්තට පුදුම අසාධාරණයක්නෙ..”

couple argue

ඔමාලි එහෙම කියද්දී තාත්තා කළුවර පිරුණු මිදුල දිහා නිසොල්මනේ බලාගෙන හිටියා.කියන්න නම් ගොඩක් දේවල් තාත්තට ඇති.

“බැඳීම් විනාස කරලා දාන්නේ අනවශ්‍ය සැකය තමයි පුතේ.බොරුවට අන්ධ විශ්වාසයෙන් ඉන්න එක තරමටම කෙනෙක්ව අසීමිතව සැක කරන එකත් ගැටලුවක්.ඒකෙන් වෙන්නේ ආයේ හදන්න බැරි තරමට බැඳීම් ඉරි තලන එක..”

ඒ කතාව ඇත්තක්.අම්මා අනවශ්‍ය සැකය පස්සේ දුවන්න ගිහින් තාත්තවත් ඔමාලිවත් නැති කරගත්තා.දැන් තාත්තා ඔමාලිටත් ඒකම වෙන්න ඉඩ නොදීම සැනසීමක්.සමීරත් එක්ක ආදරයක් ඇති වුණු කාලේ ඉඳලම පිරිමි කියන්නේ මොනතරම් අවිශ්වාස කල යුතු මිනිස්සු ද කියලා අම්මා ඔමාලිට නිතරම කිව්වා.ඒත් අවිශ්වාසයට වඩා අවබෝධය බැඳීම් ආරක්ෂා කරන බව තාත්තා ඔමාලිට පැහැදිලි කරලා දුන්නා.

“කොච්චර භාවනා කරත් අම්මා තාම හැදිලා නෑ තාත්තේ..”

තාත්තාගේ ඔඩොක්කුවේ නින්ද යන චූටි පුතාව ඇඳෙන් තියන්න නැගිටින ගමන් ඔමාලි එහෙම කියද්දී තාත්තා කරේ හිනා වෙන එක විතරයි.

“අම්මා භාවනා කරන්න නෙවෙයි පුතේ ඕන..හරිනම් අම්මා කරන්න ඕන හොඳ මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන එක..”

තාත්තා ඒ ගැන දිගටම කල්පනා කරන්න ඇති.පුතාව ඇඳෙන් තියලා ආපු ඔමාලිට තාත්තා එහෙම කියද්දී ඔමාලි හිතුවේ දුකින්.ඒත් ඉතින් අම්මා ඕවා තේරුම් ගන්නේ නෑ.

“පුතා ආවා..”

සමීරගේ වාහනයේ එළිය දිහා බලාගෙන තාත්තා කියද්දී ඔමාලි පෙරමඟට ගියා.මහන්සියෙන් ගෙදර එන සමීරට අම්මා කියන දේ අහලා රණ්ඩු කරන්න ගියානම් ඒක මොනතරම් කැතද කියලා ඔමාලි හිතුවේ සමීරගේ මහන්සි පාට මූණ දිහා බලාගෙන

“බොස් එක්කත් එපා වෙනව ඔමී.මේ මහ රෑ මීටින්ස්..”

සමීර තාත්තා එක්ක හිනා වෙන ගමන් ඔමාලිට කියද්දී ඔමාලිට නැඟුණේ දඟකාර හිනාවක්.මහන්සි වුණු සමීරට ඕනෑ හිනාවක් මිසක නපුරු වෙලා කළු ගැහුණු මුහුණක් බලන්න නෙවෙයි කියලා ඔමාලි දන්නවා.

“අනේ ඉතින්..ඔයා කොහොමත් ඔය ඔෆිස් කෙල්ලො දාලා එන්න අකමැති එකේ මොකද වෙන්නෙ..”

ඔමාලිගෙ කරට අතක් දාගෙන සමීර හිනා වෙවී ගේ ඇතුළට යනකොට තාත්තා ඒ දිහා බලා හිටියේ සැනසීමෙන්.අම්මාට වඩා දුව ආදරේ ගැන තේරුම්.ගැනීම ම මොනතරම් සහනයක් ද?

More Stories

Don't Miss


Latest Articles