හිසෙහි සර්පයන් හිඳින දුටුවන් ගල් කරන බැල්මක් සහිත මෙඩූසා කවුද?

ග්‍රීක පුරාවෘතයන් අතර ජනප්‍රිය චරිතයක් “මෙඩූසා”.ග්‍රීක කතාවලට ප්‍රිය කරන කෙනෙක් නම් ඔබ ඇය ගැන අසා ඇතිවාට සැක නැහැ.Percy Jackson, Clan of titan වැනි චිත්‍රපට තුළින් හෝ මෙඩූසාව දැක ඇත්නම් ඔබ මෙඩූසා කවුදැයි දැනගන්නට කැමැත්තෙන් ඇති.

හිසෙහි සර්පයන් හිඳින දුටුවන් ගල් කරන බැල්මක් සහිත මෙඩූසා කවුද?

මෙඩූසා සම්බන්ධයෙන් ප්‍රචලිත ග්‍රීක කතා බොහොමයක් තිබුණත් ස්ත්‍රීත්වය නිසා අසාධාරණයට ලක්වූ මෙඩූසාගේ කතාව අසන්නට ඔබ ප්‍රිය කරාවි.

මෙඩූසා දුටුවන් වශී කරන රුව ඇති තරුණියක්. ඇය දෙවඟනන්ටත් වඩා රූමත් වීමත් ඉතා ලස්සන කොණ්ඩයක් තිබීමත් නිසා ඔලිම්පියන් දේවතාවියන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වූ බව කියැවෙනවා. ඇගේ රූමත් බව නිසා දෙවියන් සහ මිනිසුන් ඇගේ අතපතා ආවත් මෙඩූසාට අවශ්‍ය වන්නේ කන්‍යාවක් ලෙස ජීවත් වෙන්න.ඇගේ හිතගත් දේවතාවිය වූ ඇතීනා දෙවඟනගේ දේවාලයේ රැඳෙමින් එහි ප්‍රධාන පූජකවරිය වෙන්න. ඇතීනා ග්‍රීක දේව සභාවේ කන්‍යා දේවතාවියන් තිදෙනාගෙන් කෙනෙක් වීම නිසා ඇගේ ප්‍රධාන පූජකවරිය වන්නට කන්‍යාවක් වීම අනිවාර්යය දෙයක්. ඒ නිසා මෙඩූසාට අවශ්‍ය වන්නේ කන්‍යාවක වී ජීවිතය ගෙවමින් ඇතීනාට සේවය කරන්නට.

මිනිස්සු ඇතීනාගේ දෙවොලට වැඩිවැඩියෙන් ඇදී එන්නට මෙඩූසාගේ උන්මාදනීය රූපය හේතුවක් වනවා. එය ඇතීනාගේ ඊර්ෂ්‍යාව සහ කෝපයට හේතු වුවත් ඇතීනා එය හෙළි කරන්නේ නෑ. ඇය හිඳින්නේ මෙඩූසාගේ වරදක් සොයමින්. මේ වගක් නොදන්නා මෙඩූසා බැතිමත් ලෙස දේවාලයේ සේවයට කැප වෙනවා

දිනක් මෙඩූසා මුහුදු වෙරළේ ඇවිදිමින් හිඳින විට මුහුදට අධිපති පොසයිඩන්ගේ ඇස ගැටෙනවා. ඔහුට අවශ්‍ය වෙනවා මෙඩූසා ඔහුට නතු කර ගන්නට. ඇය සමඟ ලිංගිකව හැසිරෙන්නට අවශ්‍ය බව කියමින් ඔහු ඇයට ප්‍රේම යෝජනා ගෙන එනවා. නමුත් තමන් කන්‍යාවක් බවත් දිගටම කන්‍යාවක ලෙස ජීවත් වීමට අවශ්‍ය බවත් කියමින් මෙඩූසා පොසයිඩන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. දඩබ්බර දෙවියෙකු වූ පොසයිඩන් තමන්ගේ උවමනාව බලහත්කාරයෙන් ඉෂ්ට කරගන්නට සිතමින් මෙඩූසා ලුහුබැඳ එනවා. මෙඩූසා ආරක්ෂාව පතා දෙවොලට දිවයනවා.

කාමාතුරයෙකුගේ ගොදුරක් බවට ඈ පත් වන්නේ ඇතීනාගේ දේවාලය තුළ.ඇතීනා පැමිණෙන විට ප්‍රධාන පූජකවරිය වූ මෙඩූසා දූෂණය වී අවසන්. දෙවොල අපවිත්‍ර වෙලා. ඇතීනාගේ කෝපය යොමු වන්නේ කාමාතුරයාට නොවේ. වින්දිත තරුණියට. තමන්ගේ දේවාලය අපවිත්‍ර කිරීම ගැන ඇතීනා මෙඩූසාට ශාප කරනවා. මෙඩූසා යක්ෂණියක බවට පත් වෙනවා. ඇගේ මනරම් කෙස් වැටිය විෂඝෝර සර්පයන් බවට පත් වෙනවා.වින්දිතයා වූ තමන්ට සාධාරණය ඉල්ලමින් ඇය දිගින් දිගටම ඇතීනාට යදිනවා. මෙඩූසා නිසා ඇගේ සහෝදරියන් දෙදෙනාව ද රාක්ෂියන් බවට පත් කළ ඇතීනා අවසානයේ එක් වරයක් මෙඩූසාට ලබා දෙනවා.

ඒ මෙඩූසාගේ දෑස දෙස බලන ඕනෑම කෙනෙකු ගල් කරන හැකියාව මෙඩූසාට ලබා දීම. ඇගේ අතපතා එන බොහෝ අය ගල් වෙනවා. අවසානයේ ඇතීනාගේ උදව් සහිතව පර්සියස් විසින් මෙඩූසාගේ හිස කපා දමනවා.මෙඩූසා මරා දමා ඇගේ හිස ලබා ගන්න ගිය අය ගල් පිළිම වුණත් හේඩිස් ගේ අදිසි හිස්වැස්මත්, ඇතීනා ලබා දුන් කැඩපත් පළිහත්, හර්මිටිස්ගේ පියාඹන සපත්තු දෙකත්, සියුස් දුන්න කඩුවත් නිසා පර්සියස් මෙඩූසාගේ හිස සුන් කර වීරයෙක් වෙනවා. මෙඩූසාගෙත් පොසයිඩන්ගෙත් දරුවා වූ පෙගාසස් අශ්වයා ද ලබා ගන්නා පර්සියස් ටයිටන්වරුන්ගේ යුද්ධය ජය ගන්නවා.අවසානයේ ඇතීනාගේ පළිහ තුළ මෙඩූසාගේ හිස තබනවා. ඒ හිස තවත් යුද්ධ වලදී සතුරන් ගල් කරන්නට යොදා ගත් බවත් කියැවෙනවා.

මෙඩූසා ඉතා අහංකාර තරුණියක් නිසා ඇයට ලැබූ දඬුවම මේ සර්ප හිස බවට කියැවෙන ග්‍රීක කතා ද තිබෙනවා. වාචිකව බොහෝ අසාධාරණයන්ට තවමත් ලක් වූ මෙඩූසා අවසානයේ ජයගන්නේ මේ ඉතා මෑතකදී.ඒ 2008 වසරේදී Luciano Garbati නම් මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කළ අඩි හතක් උස මෙඩූසා ප්‍රතිමාව නිව්යෝර්ක් නගරයේ මෑන්හැට්න් උසාවිය ඉදිරිපිට සිටුවීමෙන්. එහි හිඳින්නේ පර්සියස් පරාජය කළ මෙඩූසා.මෙඩූසා පර්සියස්ගේ හිස අතින් රැගෙන වේදනාත්මකව බලා හිඳිනවා.එය අයුක්තියට එරෙහි ස්ත්‍රීවාදි පිළිරුවක් බවට මත පළ වෙනවා. Me too movement නම් අසාධාරණය, අයුක්තිය සහ දූෂණයට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන ව්‍යාපෘතියට එක් වන්නට අවසානයේ මෙඩූසාට හැකි වන්නේ ඒ අන්දමට.

දූෂණය නිසා කළලයක් දරන්නට වූ ගැහැනුන්ට වෛශ්‍යා පද බඳින, සෑම විටම තවත් ගැහැනියක වචනයෙන් හෝ තලා පෙලා දමන,තවත් ගැහැනියකට සයිබරයේ තලු මරමින් අපහාස කරන ඇතීනා කෙනෙකු ඔබ තුළ ද ඇති. ඇයට අවදි වන්නට ඉඩ තබන්න එපා.

වේදනා විඳිමින් යක්ෂණියන් වූ මෙඩූසා පරපුර බිහි නොකර හිඳින්නට අපි ප්‍රවේසම් වෙමු.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles