කුඩා දරුවෙකු වටා ඉදි වූ මිනිසත්කමේ පවුර.

අපේ කැදැල්ල ආදරය උතුරා යමින් තිබූ තැනකි.සතුට බෝ වූ තැනකි.අප සෑම මොහොතක්ම ගෙවූයේ සතුටිනි.ආදරය සහ සතුටට නිදසුනක් ඕනෑ නම් අපේ පවුල එයට ප්‍රමාණවත් විණි.

මමත් වරුණත් හඳුනා ගත්තේ සරසවියේ දී ය.සියල්ල සතුටින් අහවර විණි.අප විවාහ වී අපේම නිවසක් ඉදි කළෙමු.කුඩා දියණිය අපේ ලෝකයට සතුට රැගෙන ආවා ය.ඇයට දෑවුරුද්දක් වෙද්දී අක්කා කෙනෙකු ලෙස උසස් වීමක් ද ලැබිණ.

අපේ ලෝකය සතුටින් පිරී තිබිණ.

අපේ කුඩා පුතු අසනීප වූයේ ඒ අතර ය.සාමාන්‍ය වෛද්‍යවරයෙක් ඔහුව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කළේ ය.අපි පරීක්ෂණ වාර්තා අතර සිර වූයෙමු.එකින් එක පරීක්ෂණ ඇරඹිණ.කෙළවරක් නැති ලේ ගැනීම්, එන්නත් අපේ කුඩා පුතුට හඬන්නට පවා අමතක කර තිබිණ.ඔහු වියළී ගිය දෑසින් බලා සිටියේ ය.

“මම ඔයාලට කියන්නේ හොඳ ආරංචියක් නම් නෙවෙයි..”

වෛද්‍යවරයා අපට පැවසී ය.අපි ගැහෙන හදින් අසා හුන්නෙමු.

“අර කතාවට කියන්නේ හොඳ ආරංචියයි නරක ආරංචියයි දෙකක් කියන්න පුලුවන් කියල.මමත් හදන්නෙ එහෙම වැඩකට..”

අසීරු අවස්ථාවක පවා විහිළුවක් කරන්නට වෛද්‍යතුමා තැත් කළේ ය.මට ඕනෑ වූයේ බොරුවට හිනැහෙන්නට නොවේ.සත්‍යය අසන්නට ය.

“මේක ටිකක් දරුණු රෝගයක්.ඒක තමා නරක ආරංචිය..”

වෛද්‍යවරයා එහි නම පැවසී ය.මගේ සැමියා මගේ අත අල්ලා ගත්තේ තදිනි. එසේනම් මෙය සුළුකොට තකන්නට නොහැක.

“බේරාගන්න පුලුවන්.ඔපරේෂන් එකක් තියනවා.”

මට සැනසුම් සුසුමක් පිටවිණ.ඒ මොහොතකට ය.

“කෝටි එකහමාරක් හොයා ගන්න වෙනව.මං දන්නව වැඩේ අමාරුයි..”

කරුණාවන්ත වෛද්‍යවරයා තවත් බොහෝ දේ කියා පිටව ගියේ ය.මගේ පුතු රුධිර වහනයෙන් පීඩා විඳිමිනි.ඒ වේදනාව සිවු හැවිරිදි දරුවෙකුට දරන්නට ද අසීරු ය.

“තව මාසයක් තියනවා මාලතී..” වරුණ ඉතා සෙමින් පවසන හඬ ඇසේ.

“ගේ විකුණමු..” මම තීරණය කළෙමි.තනි තීරණයකි.කළ හැකි වෙන යමක් නැත.සියල්ල උපයා ගත හැකි ය.නමුත් මීට සිවු වසරකට ඉහත දිනයක මා දෝතට ගත් මල් සම්පත මිලින වන්නට ඉඩ නොදී හිඳීමේ තදබල තීරණයක් මට තිබිණ.

“අපේ ගේ..ඒකෙන් ඕනෙමනම් ලක්ෂ හතලිහක් ගත්තැකි.ඉතුරු ටික අපි මොකද කරන්නේ?”

වරුණගේ හඬ බිඳී තිබිණ.මගේ හොඳම යෙහෙලිය චාරුකා මා ඇමතුවේ ඒ මොහොතේ ය.

“මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ මාලි..ඔයා විශ්වාස කරන්න.පුතාව සනීප කරගෙන මිසක් අපි මේ සටන නවත්තන්නේ නෑ..”

ඒ සටන එසේ ඇරඹිණ.මම ගල් ගැසී හඬමින් බලා සිටියෙමි.දසමසක් කුස දරා ලෝකයට ගෙන ආ දරුවාට ජීවත් විය හැකි දින ගනින්නට මට සිදු වී ඇත.එය මෙලොව වසන කිසිම අම්මා කෙනෙකුට අත් නොවිය යුතු වේදනාවකි.Miracles from the Heavan, Sky is the pink වැනි චිත්‍රපට නරඹන විට වෙනත් දරුවන් වෙනුවෙන් හෙළූ කඳුළු අද මගේ පුතු වෙනුවෙන් රූරා යමින් තිබේ.

“ඇපලෝ එකට යන්න කලින් ලක්ෂ අනූවක් බඳින්න ඕන..”

මා ගිනිගන්නා බව මට දැනේ.අප මධ්‍යම පාන්තික මිනිසුන් ය.මේ සිහිනයකි.

“ටිකට් පොත් ගහලා අපි කවදා හොයන්නද මේ ගාණ..”

වරුණ දුර්මුඛව පවසයි.පරම්පරාවේ ම දේපල විකුණා දමන්නැයි ඉල්ලමින් හඬන්නට මට සිතේ.

“වරුණ, ඔයාගේ ෆෝන් එකට කෝල්ස් එන්න ගනී.අද රෑ ඉඳන් වගේ.ඔක්කොම තොරතුරු හරියට කියන්න..”

චාරුකා වරුණට එසේ කීවා ය.අපේ මිතුරන් අප වෙනුවෙන් එක්ව ඇති හැඩකි.

“ඒ කතා කරන කිසි කෙනෙක් අපේ යාලුවො නෙවෙයි.ෆේස්බුක් එකෙන් දැකලා..”

වරුණ මට පැවසීය. චාරුකා ෆේස්බුක් ක්‍රියාකාරී චරිතයකි.ඇය එකත් එකටම මොනවා හෝ ලියන්නට ඇත.

“ෆේස්බුක් ගෘප් වල එහෙම මිනිස්සු හරියට බොරු කිය කියා සල්ලි එකතු කරනවා වරුණ.චාරුත් බැනුම් අහන වැඩක්..”

මම ශෝකයෙන් පැවසීමි.වරුණ සුසුමක් හෙළී ය.

“මාලි…මොකක්ද මේ වෙන්නේ..”

වරුණ පසුදා රෝහලට ආවේ පුදුමයෙන් ය.ඔහුගේ දෑස් දිලිසෙමින් තිබිණ.

“අද එළිවෙනකොට ලක්ෂ දොලහක් ඇවිල්ලා..”

ඔහු කියයි.මම සසල වෙමි.මේ විය හැකි දෙයක් ද?

“අනුන්ට මඩ ගහන්නයි අනුන්ට රිද්දන්නයි පම්පෝරි ගහන්නයි විතරක් යැ ෆේස්බුක් තියෙන්නෙ..” පසුවදා චාරුකා කියන්නේ සන්තෝසයෙනි.

ඒ සටන ඇගේ ය.සටනක් ලෙහෙසියෙන් අත් නොහරින ගැහැනියක වූ ඇගේ ය. ඇය මගේ පුතු ගැන ලියා තිබූ සටහනට සංවේදී හදවත් දහස් ගණනක් කම්පිත වීමට පටන් ගෙන ඇත.ඔවුන් ආදරය මුදල් කර අපේ ගිණුම පුරවන්නට පටන් ගත්තේ ය.

ගායකයන්,නළු නිළියන් සහ රටේ බොහෝ ජනප්‍රිය චරිත චාරුකා තනමින් තිබූ පවුර සවිමත් කරන්නට පටන් ගත් හ.ඔවුහු පැමිණියේ ලාබ අපේක්ෂාවෙන් නොවේ.ඔවුන් ෆේස්බුක් හරහා මගේ පුතු ගැන කතා කරන්නට පටන් ගෙන තිබිණ.

“පුංචි ලවන්ට ජීවත් වෙන්න පුලුවන් අපි එකතු වුණොත් විතරයි..”

ඔවුහු එසේ පැවසූ හ.කාරුණික හදවත් දහස් ගණනක් මගේ පුතුගේ ජීවත් වීමේ අයිතිය උදෙසා සටන් කරන්නට පටන් ගත්තේ ය.

“මං මේ වගේ දේවල් දැකලා තියෙන්නෙ ෆිල්ම් වල විතරයි…”

වරුණ පවසයි.මම හිස සලන්නෙමි.මට මේ මානුෂියත්වය අදහන්නට නොහැක.

පුතු වෙනුවෙන් පවුරක් තැනෙන්නට පටන් ගෙන දෙසතියක් ගෙවී ගියේ ය.චාරුකා පැමිණ මා බදා ගත්තේ ඉකි ගසමිනි.මම බියපත් වීමි.

“අපි ඒක කළා..”

ඇය හොඳටෝම අඬන්නට පටන් ගත්තා ය.මම ද ඒ හැඬුමට එකතු වූයෙමි.

මේ රට තුළ මනුස්සකම පලා ගොස් ඇතැයි ඔබ දෙස් තබන බව දනිමි.මිනිසුන් ආත්මාර්ථකාමී වී ඇතැයි ඔබ නිතරම පවසන බව දනිමි.දෙසතියකට උඩ දී මා ද එසේ සිතුවෙමි.නමුත් අපේ බැංකු ගිණුම පිරී ඇත්තේ නොදන්නා මිනිසුන්ගේ ආදරයෙනි.ඉතින් සැබෑවටම මනුස්සකම පලා ගොස් ඇත්දැයි මම තවමත් සිතන්නෙමි.මගේ පුතු බේරා ගත යුතු බවට මට අදහසක් විය.එය අරඹන තැන ගැන මට වැටහීමක් වූයේ නැත.මගේ හොඳම මිතුරිය,චාරුකා සටනට එක් වූවා ය.ඇය සටනට එක් වී බොහෝ අය ඒ සටනට එකතු කරගත්තා ය.

පුතුගේ සැත්කම ඇරඹෙන්නට තව වැඩි වෙලාවක් නැත.ඔහු මේ සටන ජය ගන්නා වග මම දනිමි.

දහසක් ලාංකිකයන් එක් වී ඔහු වෙනුවෙන් මානුෂික මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව ඔහු වැඩුණු මිනිසෙකු වී දැන ගත යුතු ය.ජනප්‍රිය මිනිසුන් තම ජනප්‍රියත්වය යහපත වෙනුවෙන් යෙදවූ බව ඔහු දැන ගත යුතු ය.තාක්ෂණයේ අපූර්වත්වය මනුස්සකම වෙනුවෙන් යෙදවූ මිනිසුන් ගැන ඔහු දැන ගත යුතු ය.

ඔහු ඒ මානුෂියත්වයට පෙරළා ආදරය දෙන්නට සුවැති මිනිසෙකු වී වැඩිය යුතුම ය.

(සත්‍ය කතාවක් ඇසුරිනි)

More Stories

Don't Miss


Latest Articles