“මට ඔයාට කතාකරන්න අමාරුයි. I am sorry ඒකට
මං කොච්චර හිතුවත් “මං දැන් කතාකරන්නෙ ඉස්සර feelings එක්ක නෙවි” කියලා අනේ ඒක ලොකුම ලොකු බොරුවක්. ඒ feelings එහෙමමයි. පොඩ්ඩක්වත් වෙනස් නෑ. වෙනස් උනෙත් නෑ.ඒක මගෙ ලොකු කරුමයක්, අවාසනාවක් වෙන්නැති හිත වෙනස් නොවෙන එක.
“අපි පරණ දේවල් අමතක කරලා යාලුවො වගෙ කතා කරමු” කියලා මං මේ කරන්නෙ හිතේ තියෙන ලොකුම ලොකු තුවාලෙකට පපුව උඩින් ප්ලාස්ටර් එකක් අලවනවා වගේ බොරු වැඩක්.
ඒ හන්දා මට ඕන ඔයාට කතා නොකර ඉන්න. කිසිම විදියකින් කතා නොකර ඉන්න. මං කතා නොකරා කියලා ඔයාට අවුලක් නෑ, දුකක් අඩුවක් නෑ කියලා මං දන්නවා.එහෙම තියෙන්නෙ මට නෙ. ඒකනෙ මේ ඔක්කොම ප්‍රශ්න
ඒ නිසා අපි ආයෙ කලින් හිටියා වගේ කතා නොකර ඉමු ද?”
මම ඒ මැසේජ් එක එයාට යවලා කොච්චර වෙලා ඇඬුවද කියලා මටවත් මතක නෑ.
මට සවින්ද්‍රව හම්බුණේ අහම්බෙන්. ඇත්තටම කිව්වොත් සවින්ද්‍ර කියන්නෙ මං අවුරුදු ගාණක් ක්‍රශ් කරපු මනුස්සයෙක්. හැබැයි සවින්ද්‍රට ක්‍රශ් කරේ මම විතරක් නෙවෙයි, මේ ලංකාවෙ ඉන්න තව ගෑණු ළමයි මහ ගොඩක් සවින්ද්‍රට ක්‍රශ් කරා කියන එක මම දැනගෙන හිටියා. හැබැයි එච්චර ගෑණු ළමයි ඉඳලත් සවින්ද්‍ර කතා කරේ මට.අන්න එහෙම තමයි මට සවින්ද්‍රව හම්බුණේ. අහම්බෙන්.
එයා දාලා තිබ්බ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි එකකට මම රිප්ලයි කරේ කවදාවත් සවින්ද්‍ර මට රිප්ලයි කරාවි කියල බලාපොරොත්තුවෙන් නෙවි. හැබැයි මොකක් හරි දෛවයෝගයක් හන්දා සවින්ද්‍ර මට රිප්ලයි කරා.
“මගේ කතාවත් මේ වගේම තමයි” එයා එහෙම එව්වා කියලා.
“එහෙනම් අපි ඒ කතාවත් අනිවාර්‍යෙන්ම ෆිල්ම් එකක් කරන්න ඕන නේද?” කියලා මම ලියලා යැව්වෙ ලංකාවෙ උන්න දක්ෂම, ජනප්‍රියම නලුවෙක් වෙච්ච සවින්ද්‍ර මගෙ මැසේජ් එකකට රිප්ලයි කරා නේද කියන ප්‍රහර්ශෙ හිත අස්සෙ හීනියට හීනියට දලු දාද්දි.
“සමහර විට”
“සමහරවිට කියන්න එපා, කොහොමහරි කරනවා කියලා හිතන්න, කවදහරි කරනවා කියලා හිතන්න” කියලා පටන් ගත්ත අපේ කතාවෙ එකම එක දවසක එයා මට කතා කරලා කිව්වා “I love you” කියලා. ඒ වෙද්දි එකම එක දවසක්වත් අපි හම්බෙලා තිබ්බෙ නෑ. හැබැයි මම සවින්ද්‍රගෙ ඉන්ටවිව්ස් ඔක්කොම ආයෙ ආයෙ බලලා තිබ්බා. එයා ඒ ඉන්ටවිව්ස් වල කිව්ව වචනයක් පාසා මට මතක තිබ්බා. සවින්ද්‍ර කන්න ආස දේවල්, කරන්න ආස දේවල් හැමදේම මම දැනගෙන උන්නා. ඒ නිසාම සවින්ද්‍ර වගේ මනුස්සයෙක් මට ආදරෙයි කිව්ව එක මට දරාගන්න බැරි විදියෙ ඇත්තක් වුණා කියන එක පුදුම වෙන්න දෙයක් වුණේ නෑ.
අපේ ආදර කතාව පටන් ගත්තෙ අන්න ඒ විදියට.
මුල් දවස්වල සවින්ද්‍ර හැමදෙයක් ගැනම කිව්වා. පුංචිම දේ උනත් මට කියන එක වැදගත් බව එයා හිතුව විත්තිය මට තේරුණා. ඔෆිස් එකේ වැඩ ගෙදර වැඩ දහස් ගානක් අස්සෙ ඒ හැම මැසේජ් එකකටම මම රිප්ලයි කරා. මේ ලෝකෙ හැමදේටම වඩා සවින්ද්‍රව වැදගත් බව, අපේ ආදරේ පරිස්සම් කරගන්න ඕන විත්තිය මම හිතුවා. ඒ වගේම සවින්ද්‍ර කියන්නෙ ලංකාවම අඳුරන මනුස්සයෙක් හන්දා මේ ආදරේ විසකුරු ඇස්වලින් පරිස්සම් කරගන්න ඕන විත්තියත් මට මතක තිබ්බා. ඒ නිසාම “සවින්ද්‍ර මට කතා කරනවා” කියන ප්‍රහර්ශෙ මම මගේ හිත අස්සෙ හිරකරගෙන උන්නා.
හැබැයි මේ ලෝකෙ කිසිම දෙයක් සදාකාලික නෑ කියන එක මට තේරුං කරවන්න වගේ තමයි සවින්ද්‍ර චුට්ට චුට්ට වෙනස් වෙන්න පටන් ගත්තෙ. එයාගෙ පැත්තෙන් ආව දිගම දිග මැසේජස් “ම්ම්ම්, හ්ම්ම්ම්, ඔව්, නෑ” වගේ හරිම කෙටි උත්තර විදියට වෙනස් වෙන්න මහ කාලයක් ගියේ නෑ. වෙනදා හැමදේම කිව්ව එයා, මට ඇහුවත් කිසිම දෙයක් හරියට නොකියන කෙනෙක් බවට පත්වෙන්න මහ කාලයක් ගියේ නෑ. මට ටික ටික තේරෙන්න ගත්තා එයාට මාව වදයක් විගෙන එනවා කියන එක.
“ඔයා ඇයි මට දැන් ඉස්සර වගේ කතා කරන්නෙ නැත්තෙ? ඔයාට මාව වදයක්ද? ඔයාට මාව එපාවෙලාද? ඇයි මට මෙහෙම කරන්නෙ?” කියල ප්‍රශ්න දහස් ගාණක් ඇහුවට පස්සෙ මම එයාට අඬ අඬ වොයිස් නෝට්ස් යවන තැනකට වැටුණා. “ආදරේ කරන්නෙ මෙහෙම තමයි, මට ඔයාව ඕන හන්දනෙ මම මෙහෙම පස්සෙන් එන්නෙ” කියල එයාගෙන් අහ අහ යන, බාල්දු වෙන තැනකට මම ඇදගෙන වැටුණා.
“මං එහෙම පිරිමියෙක් ළඟ වැඳ වැටෙන්න ඕන ගැනියෙක් නෙවි” කියන එක කොච්චර මතක තිබ්බත් මගෙ ගෑණු හිත ඒ ඇත්ත පිළිගන්න ලෑස්ති වුණේ නැ. මගෙ ගෑණු හිතට ඕන වුණේ පස්සෙන් ගිහින්, බාල්දු වෙලා , ලැජ්ජ වෙලා හරි මේ ආදරේ පරිස්සම් කරගන්න. මං ඒ වෙලාවෙ දැනං උන්නෙ නෑ ආදරේ කියන කතාවෙදිත් තනි අතෙන් අප්පුඩි ගහන්න බැරි විත්තිය.
“මං ආදරේ නැත්තෙ නෑ. මං ආදරෙයි හැබැයි මට ඔයා එක්ක මෙහෙම කතා කරන එක ටෙක්ස්ට් කරන එක කරන්න අමාරුයි. මම වැඩිය කතා කරන මනුස්සයෙක් නෙවෙයි. මට පුරුදු හම්බෙලා දැකලා කතා කරන එක. මම නලුවෙක් නිසාද දන්නෙ නෑ මට පුරුදු දේවල් විශුවලයිස් කරලා. මට ඔය ටෙක්ස්ට් කරන එක එච්චර සෙට් වෙන්නෙ නෑ.
මට හිතෙනවා අපි මේ යන විදියෙන් ඔයා ඔයාගේ ජීවිතේ මං වෙනුවෙන් නාස්ති කරගන්නවා කියලා. ඔයා මට මැසේජ් කර කර මං දිහාම බලාගෙන ඉන්නවා. හැබැයි මට ඔයාට දෙන්න තරම් නිදහස් වෙලාවක් නෑ. මට මගේම කියලා Space එකක් ඕනේ. මං කැරැක්ටර් එකක් ඇතුළේ ඉද්දි, ෂූටින්වල ඉද්දි මට ෆෝන් එක දිහා බලන්නවත් බෑ. ඔයා මං ගැන ඕනෑවට වඩා හිතලා ඔයාගේ ඔෆිස් එකේ වැඩ, ඔයාගේ සතුට සේරම නැති කරගන්නවා දකිද්දි මට මං ගැනම ලොකු පව්කාරකමක් දැනෙනවා. මං හින්දා ඔයා පීඩාවෙන් ඉන්නවට මං කැමති නෑ.
මම මේ දවස්වල මගේ අලුත් ෆිල්ම් එකේ වැඩත් එක්ක මාරම Stress එකක ඉන්නේ. මට හිතෙනවා මට දැන් කාටවත් ආදරේ කරන්න පුළුවන් මානසිකත්වයක් නෑ කියලා. ඔයාට මට වඩා හොඳට ඔයා ගැන හොයලා බලන, ඔයාට වෙලාව දෙන කෙනෙක් ලැබෙන්න ඕනේ. මං ඔයාට බණින්නේ නෑ, ඔයාගේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි මට දැන් මේ විදියට මැසේජ් කර කර ඉන්න එක ලොකු බරක් වගේ දැනෙනවා. අපි දෙන්නම ටිකක් නිදහසේ ඉමු. ඔයත් ඔයාගේ වැඩ ටික කරගෙන සතුටින් ඉන්න බලන්න, මටත් මගේ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න” කියලා සවින්ද්‍ර එව්ව දවසෙ තමයි මට තේරුණේ ඇත්තටම මම විතරයි සවින්ද්‍රට ආදරේ කරලා තියෙන්නෙ එයා මට පොඩ්ඩක්වත් ආදරේ කරලා නෑ කියලා.
එයාට කිසිම වෙලාවක තේරිලා තිබ්බෙ නෑ මම මේ හැමදේම කරන්නෙ එයාට තියෙන ආදරේ හන්දා කියලා. මං මෙච්චර එයා ගැන හොයන්නෙ, පැය විසි හතරෙම එයාට කතා කරන්නෙ, එයාගෙන් රිප්ලයි එකක් එනකම් බලාගෙන ඉන්නෙ එයාට තියෙන ආදරේ නිසා කියන එක කවදාවත් එයාට තේරුං ගිහින් තිබ්බෙ නෑ කියන එක මට තේරුණේ ඒ මැසේජ් එක ආව වෙලාවෙ.
මට ඕන වුණේ නෑ මගේ ආදරේ ඉස්සරහා සවින්ද්‍ර මෙහෙම බොරු හේතු කියා කියා මඟහරිනවා බලන්න. එයා ෂූටින් එකක ඉද්දිත් මං දිගට හරහට කෝල් කරපු එක, රිප්ලයි විනාඩි දහයක් පරක්කු වෙද්දී මං වොයිස් නෝට්ස් දාලා අඬපු එක, ඔෆිස් එකේ වැඩ පවා පැත්තක දාලා මං එයාගේ ජීවිතේ හැම තත්පරයක්ම පාලනය කරන්න හදපු එක එයාට බරක් වුණාලු.
එයා රටක් අඳුරන නළුවෙක් වුණාට මට මොකද? මං ඒකට මොනවා කරන්නද? එයා නළුවෙක් විදියට ෆේමස් වුණාට එයා දැනගන්න ඕන නෙ මං එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන එක.
මට ඕන වුණේ මං කියන වෙලාවට, මට ඕන විදියට එයා මගේ ළඟ ඉන්න විතරයි. ඒක ආදරේ නෙවෙයිද? මං ආදරේ නාමෙන් එහෙම ඉල්ලන එක වරදක්ද?
එයා මට බණින්නේ නැතුව, මගේ කිසිම වැරැද්දක් නැහැ කිය කියා මාව ශේප් එකේ අයින් කරන්න හදන හැටි දකිද්දි මගේ හිතට ආවේ පුදුම කේන්තියක්. මට ඕන වුණේ නැහැ කවදාවත් මේ කතාවේ වැරැද්ද මගේ පිටින් ඉවර වෙනවා දකින්න. මට ඕන වුණේ සවින්ද්‍ර මාව නැති කරගෙන, එයා නැතුව මං සන්තෝසෙන් ඉන්න දිහා බලලා පසුතැවෙනවා බලන්න. මගේ හිත සනසාගන්න මට කරන්න තිබ්බේ එකම එක දෙයයි.
මම ආයෙත් ටයිප් කරන්න ගත්තෙ එහෙම හිතන ගමන්. එයාට එක වචනයක්වත් කියලා තමන්ගේ පැත්ත සාධාරණීකරණය කරන්න ඉඩක් නොතියන්න, මම මගේ හිතේ තිබ්බ හැමදේම අර මුල් මැසේජ් එක විදියට ලීවා.
“මට ඔයාට කතාකරන්න අමාරුයි. I am sorry ඒකට… මං කතා නොකරා කියලා ඔයාට අවුලක් නෑ, දුකක් අඩුවක් නෑ කියලා මං දන්නවා. එහෙම තියෙන්නෙ මට නෙ. ඒකනෙ මේ ඔක්කොම ප්‍රශ්න. ඒ නිසා අපි ආයෙ කලින් හිටියා වගේ කතා නොකර ඉමු ද?”
ඒ මැසේජ් එක සෙන්ඩ් කරපු සැනින්, එයාට ඩිලිවර්ඩ් වුණු ගමන්ම මම සවින්ද්‍රව වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් හැමතැනින්ම බ්ලොක් කරලා දැම්මා.
මට ඕන වුණේ මේ ආදර කතාවේ අන්තිම තීරණය මගේ කරගන්න.
වැරැද්ද සවින්ද්‍රගේ පිට පටවලා, එයාව සදහටම වින්දිතයෙක් කරලා, මම මගේ කාමරේ ඇඳ උඩට වෙලා මං ගැනම අනුකම්පාවෙන් ආයෙත් අඬන්න ගත්තා.
අන්තිම මොහොතෙත් මම මගේ හිත හදාගත්තා.
මම වැරදි නැහැ, සවින්ද්‍රමයි මට ආදරේ නොකර මාව මඟහැරියේ.
එයා තමයි වැරද.
මං හරි පව්!

