” මේ මොකද මේ ?”
ඇගේ වමතේ අල්ල පසෙකින් නැඟී තිබූ දිය බුබුළ දුටු ඔහු කලබලයෙන් යළිත් ඇගේ වතට එබුණේය.
” දවල් රස්නේ පිටින් බුෆේ එකේ ෆුඩ් බෝල් එකකට අත තිබ්බා. පස්සේ දැක්කේ දිය බුබුළක් ඇවිල්ලා. “
” ඉතිං මුකුත් ointment එකක් ගෑවේ නැද්ද ? “
රකුසු දෑස ඈ වෙනුවෙන් උපන් අනුකම්පාවකින් පිරී ගොස් තිබුණේය.
” මේක දවසකින් දෙකකින් බැහැලා යයි. ගෙදර දර ලිපේ උයද්දි මීට වඩා පිච්චෙනවා. “
ඈ කිසිදු බරක් පතලක් නොමැතිව සිනහවක් නැඟුවාය .
” හරි පණ්ඩිතයි…”
ඔහු එසේ පවසා නැවතත් ඉවත බලා ගත්තේය . ඇගේ මුව මත යළිත් මල් හසරැල්ලක් පීදුණේය.
” දැන් ඔය කුප්පිය කීයටද ඉවර වෙන්නේ ? ”
” අට විතර වෙයි “
” එතකොට ගෙදර යන්නේ කොහොමද ?”
” බස් එකේ. “
” මං දයාරත්නව එවන්නං. “
ඔහු සෙමින් සෙමින් අල්ලා ගෙන සිටි ඇගේ වමතේ තිබූ දිය බුබුළ වටා ඇඟිලි තුඩු මතින් පිරිමැද්දේය.
” එපා…! , කරදර වෙන්නෙපා . මං බස් එකේ යන්නං “
නැවත වතාවක් රකුසු දෑස ඇගේ උවනට බර වීමෙන් ඈ වහා තම දෑස බිමට යොමා ගත්තාය.
” මමද බොස් තමුන්ද ?”
” ඒ උනාට මේවා රාජකාරි වැඩ නෙමෙයිනේ ?”
ඔහුගේ ගෝරනාඩුව හමුවේ ඈ නැවතත් පහත් හඬින් මිමිණුවාය.
” කවුද කියන්නේ ? මේවා රාජකාරියට වඩා වටිනවා. “
” සර්…!”
ඔහු නිහඬව ඈ දෙස බලා සිටි අතර දෑස ඔසවා ඔහු දෙස බැලූ ඈ නැවතත් එය බිමට බර කර ගත්තාය.
” ආයේ මෙහෙම එන්නෙපා..”
මඳක් තිගැස්සුණද එය නොපෙන්වූ ඔහු තවත් මොහොතක් ඈ දෙස බලා සිටියේය .
” ඔයාට කරදරයක්ද මං මෙහෙම එන එක ? නැත්තන් මං මෙහෙම එනවට අකමැතිද ?”
” නෑ.. නෑ.. එහෙම දෙයක් නෙමෙයි”
ඇගේ දෑස කලබලයෙන් ඔහුගේ වත පුරා දිව්වේය.
” එහෙනං ?”
” මැඩම්ලා දැනගත්තොත් හොඳ නෑනේ සර්. අනික මගේ රස්සාවත් නැ….”
” රස්සාව වටිනවානේ මටත් වැඩිය ?”
ඇගේ කතාව අවසන් කිරීමට ඉඩ නුදුන් ඔහු එයට බාධා කරමින් එසේ පැවසූ අතර ඈ පෙරටත් වඩා කලබල වූවාය.
” දෙයියනේ සර් ! එහෙම හිතලා නෙමෙයි කිව්වේ. මැඩම් දැනගත්තොත් වැරදියට හිතයි . අනික මගේ රස්සාව උනත් නැති කරන්න මැඩම්ට පුලුවන් . මං ඒකයි මේ සර්ට…. “
ඔහු සෙමින් ඇගේ අත හැර නැවතත් ඉවත බලා ගත්තේය . තව දුරටත් තම පැහැදිලි කිරීම් ඔහු මායිම් නොකරන බව වටහා ගත් ඈ අතරමැදදිම තම කතාව නවතා දැමුවාය.
” සො.. සොරි සර්.. !”
” යං…”
එසේ පැවසූ ඔහු හිඳ සිටි පුටුවෙන් නැඟිට වේගයෙන් අවන්හලෙන් පිටව මෝටර් රථය කරා පිටව ගියේය. තම මුවින් පිට වූ වචනය ගැන තමාටම දොස් පවරා ගත් කුඩා යුවතියද තම බෑග් මල්ල ගෙන ඔහු පසුපසින් දිව ගොස් නැවතත් මෝටර් රථයට නැංඟාය.
පෙර නවතා තිබූ ග්‍රහලෝකාගාරය අසල රථ ගාලටම පැමිණ මෝටර් රථය නතර කළ සියත්‍ර කිසිවක් නොපවසාම ඉවත බලා සිටියේය. ඔහුගේ සිත පෑරී ඇති බව හොඳින් වටහා ගත් යුවතියට මෝටර් රථයෙන් බැස යාමට කිසිසේත්ම සිත් නුදුන්නාය.
” සර්… !”
ඔහු නෑසුකන්ව දිගටම ඉවත බලා සිටියේය .
” සර්.. සොරි…!”
එයටද බැල්මකින් හෝ පිළිතුරක් නොලැබුණේය . හදවත බොහෝ සෙයින් රිදුම් දෙන්නට පටන් ගත්තේය. තමා සිටින්නේ කුස ගින්නේ බව දැන දැනම මෙහි පැමිණ , බත් කටක් දුන් මිනිසාගේ සිත රිදවීම පිළිබඳව තමා කෙරෙහිම කෝපයෙන් උතුරා හැලුළු ඈ යටිසිතින් ඈටම සාප කර ගත්තාය.
එක් වරම වළක්වා ගත නොහැකිව ඉකි ගසා හඬා වැටෙන යුවතියගේ හඬට තිගැස්සුණු ඔහුද වහා කලබල වී ඈ දෙසට හැරුණේය.
” ඇයි දැන් මේ ?”
” සොරි සර්..! මං ඒක හිතලා කිව්වේ නෑ. අනේ.. සොරි…”
ඈ දෝතින්ම උවන වසා ගත්තාය. නැවත නැවතත් ඉකි ගසා හඬමින් ඔහුගෙන් සමාව යැද්දාය .
” හයට තව විනාඩි දහයයි තියෙන්නේ. දැන් යන්න පරක්කු වෙලා දුවන්නැතුව. “
ඈ කඳුළු පිරි දෙනෙතින්ම ඔහු දෙස බැලූ නමුත් ඔහු දිගින් දිගටම ඉවත බලා සිටියේය.
” සර්…! “
” මටත් පරක්කු වෙනවා , යන්න…”
මාන්නක්කාරයාගේ වචන වල පවතින්නේ දැඩි ආඩම්බරකාරීත්වයක් බව ඈට හොඳින් වැටහුණාය. තව දුරටත් ඔහු හා තර්ක කිරීමෙන් හෝ පැහැදිලි කිරීම් සිදු කිරීමට යාමෙන් ඵලක් නොමැති බව වැටහුණු ඈ දෙකොපුල් මැදින් ගලා ගිය කඳුළු පිසදා උකුල මත තිබූ අත් බෑගයද ගෙන දොර විවර කිරීමට සැරසුණාය . නමුත් එක් වරම ඇගේ වැළමිටෙන් අල්ලා ගත් ඔහු වහා ඈව තමා දෙසට හරවා ගෙන එකී කුඩා උවනට එබුණේය.
” කියනවා කරදරයක්ද මාව ? “
” නෑ .. දෙයියනේ නෑ… ඒක තමයි මෙච්චර වෙලා කිව්වේ. බඩගින්නට බත් කටක් දීපු ඔයා කොහොමද දෙයියනේ මට කරදරයක් වෙන්නේ ?”
දෑසින් ගලා යන උණු කඳුළැලි මැදින් ඔහුගේ උවන දෙස බලා වේදනාවෙන් පැවසූ ඈ තවත් කුමක් හෝ පවසන්නට උත්සාහ දැරුවා පමණි. හිතුවක්කාරයා වහා ඇගේ දෙතොලට බර වූවේය. ඔහු සෙමින් සෙමින් ඇගේ දෙතොල සිප ගත් අතර වික්ශිප්ත වූ ඈ ඇසි පිය සැලීමට පවා අමතකව ගල් ගැසී උන්නාය.
මොහොතකින් යන්තමින් සිහින් කෙඳිරියක් නැඟූ ඈ අනවසරයෙන්ම ඔහුගේ පපුව මැද හිස තබා ගත්තාය. සෙමින් ඇගේ බඳ වටා අතක් යැවූ ඔහු තව දුරටත් ඈ තමා වෙතට තුරුළු කර ගත්තේය .
*****************************************
” සර්…!”
ඇමතුම තුළින් නැඟුණේ වේගයෙන් හතිළන හඬකි .
” කොහෙද අයිසේ ඉන්නේ ? තමුසේ මාව විහිළුවකට ගත්තද ? “
” නෑ.. සර්.. නෑ.. මට විනාඩි පහක් දෙන්න. මං ඔතනට එනවා. “
ඇමතුමේ අනෙක් පස සිටින්නාගේ හදිස්සිය හෝ ඔහු හති ළන හඬ මායිම් නොකළ සියත්‍ර ඇමතුම විසන්ධි කර දමා ජංගම දුරකතනය පසෙකින් තැබුවේය. මිනිත්තුවෙන් මිනිත්තුව කාලය ගෙවී යද්දි ඔහු නැවතත් අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේය. මිනිත්තු පහක කාලය මිනිත්තු දහයක් දක්වා දිගු වී තිබුණද තමා මුණ ගැසීමට පැමිණෙතැයි බලාපොරොත්තු වූ පුද්ගලයාගේ නොපැමිණීම ඔහුගේ හදවතේ කෝපයක් ඇති කළ අතර තව දුරටත් බලා නොසිටි ඔහු මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේය.
“ස…ර්…..!”
මෝටර් රථය ඉදිරියට ඇදෙන මොහොතේම වේගයෙන් ඒ දෙසට කිසිවෙකු හෝ හඬ නඟමින් දිව ආ අතර එක් වරම පැමිණි සුදු පැහැ වෑන් රියකින් බට පිරිසක් වහා එකී පුද්ගලයාව එයට ඇද දමා ගෙන ඉගිලී ගියේය.
” කොහෙද බං ඉන්නේ ? ”
” විනාඩියෙන් ඔතන “
මහීල්ගේ දුරකතන ඇමතුමට ප්‍රතිචාර දුන් ඔහු වහා රාත්‍රී සමාජ ශාලාව මෝටර් රථය පැදවුයේය .
“කොහෙද යකෝ ගියේ ? මං කීයෙ ඉඳන්ද මෙතන ?”
සමාජ ශාලාවේ දෙවන මහලේ ප්‍රභූ පැළැන්තියට සීමා වූ කොටසට ගොඩ වැදුණු සැටියේම මහීල් සියත්‍රගේ ඇඟට කඩා පැන්නේය.
” වාඩි වෙයන්කෝ “
තමා ඉදිරියේ වූ සෝපාව මහීල්ට පෙන් වූ සියත්‍ර එහි ඉදිරිපස සෝපාවට බර වී දුම් වැටියක් දල්වා ගත් අතර ඔහු පසෙක සිටි සේවකයෙකු වහා ඉදිරියේ තිබූ ටීපෝව මත තිබූ මත්පැන් බෝතල් කිහිපය අතරින් බෝතලයක් විවර කර සියත්‍ර ඉදිරියේ තිබූ වීදුරුවට දමන්නට පටන් ගත්තේය.
” උඹ දන්නවද ෆැක්ට්‍රි එකේ යූනියන් එකේ ඉන්න නිශ්ශංකව ? “
” ඔව් අර උස කොණ්ඩේ කර්ල් එකානේ “
” ම්ම්ම්..”
” ඇයි ඉතිං මොකද්ද අවුල ?”
සියත්‍ර පිළිතුරු දීමට පෙර ඉදිරියේ තිබූ මත්පැන් වීදුරුවෙන් උගුරක් පානය කළේය.
” මිනිහා ගන්කන්ද මාර්ගයෙන් මට කතා කළා. ඌට මාව හදිස්සියක් කියලා මීට් වෙන්න ඕනේ කිව්වා. මීට් වෙන්න කියන්නේ ඌට මට දෙන්න සීක්‍රට් ඩොකියුමන්ට්ස් වගයක් තියනවා කිව්වා. “
” ඉතිං උඹ ගියාද ඌව මීට් වෙන්න?. “
” හ්ම්ම්..”
” ඊට පස්සේ ? ”
” පොර ආවේ නෑ. මට මළ පැනලා මං එන්න ආවා. “
” ඈ @$& තොට ට්‍රැක්ද ? මොකා උනත් ඔහොම තනියම එන්න කිව්වම යනවද යකෝ ? ඌ මොන ගේම් එකකට උඹට එන්න කියනවද කව්ද දන්නේ ? “
” මට ගේමක් දෙන්න පුලුවන් එකෙක් ඉපදිලා නෑ බං “
” බම්බුව තමා. යකෝ උඹ නිකන්ම නිකන් මිනිහෙක් නෙමෙයි . පොඩ්ඩක් තමන් ගැන ඔයිට වැඩිය හිතහං “
සියත්‍ර වීදුරුවේ තිබූ ඉතිරි මත්පැන් කොටසත් එක හුස්මට පානය කර හිඳ සිටි සෝපාවෙන් නැඟිට එහි බරාඳයට බර වී පහත මහල දෙස බැලුවේය. කලු පැහැ ගත් ඉතා කෙටි ගවුමක් හැඳ පමණට වඩා මත්ව තරුණයින් දෙදෙනෙකුට මැදිව නටමින් සිටින තරුණිය දුටු ඔහු නැවත මහීල් දෙස බැලුවේය.
” අපේ අම්මගේ ලේලිට පොඩ්ඩක් අද වැඩි වෙලා. “
මහීල් වහා හිඳ උන් අසුනෙන් නැඟිට බරාඳයට බර වී පහල බැලුවේය.
” හම්මටසිරි ෂෙනාර්‍යා .. නාගසලං වෙන්නම ගහලා යකෝ..”
සියත්‍ර මුව කොනින් සිනහවක් නඟා තවත් මත්පැන් වීදුරුවක් අතට ගත්තේය.


