මලක් වී යළි පිපෙන්නම් – 5

0
289

සංකල්පනී යනු එදා සිටම නිදහසේ හැදී වැඩුණු යුවතියකි. ඇගේ  පියා බොහෝවිට සිටියේ විදේශගතවය. සාරි හැට්ට මැසීමෙහි නිරත වූ ඇගේ මවට සංකල්පනී පසුපසින් සිටින්නට තරම් වේලාවක් වූයේ නැත. බොහෝ විට  ඈ ආහාරය ගත්තේ පවා පාසල් ආපන ශාලාවෙන්ය. පාසලට ඒමටත් ආපසු යාමටත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කළ සංකල්පනීට  හමුවූ යහළු යෙහෙළියන් බොහෝය. එවන් නිදහස් බාලිකාවේ වූ අන් යුවතියකට නොලැබුන තරම්ය. යමක් කමක් ඇති අයගේ දරුවන් පාසලට පැමිණියේත් ආපසු ගියේත් පෞද්ගලික වාහන වලින්ය. එදවස සංකල්පනී පැමිණ පවසන කතා අසා සිටීමට නුලාරා පමණක් නොව පන්තියේ බොහෝ ගැහැණු ළමයින් ආසා කළාය. මතකයේ හැටියට මුලින්ම පෙම්වතෙකු හමුවූයේ සංකල්පනීටය. ඔහු ඇය වෙත ලබා  දෙන ලියුම් පවා ගෙනැවිත් යහළු යෙහෙළියන්ට පෙන්වීමට ඇය  අමතක කරන්නේ නැත. නුලාරාගේ මතකයේ හැටියට ඒ නවය වසරේදීය. ප්‍රේමයට ආගන්තුක වූ කෙල්ලන් සංකල්පනීගේ කතා අසන්නට සැදී පැහැදී සිටියහ. මතකයේ හැටියට සාමාන්‍ය පෙළ පන්තියට යද්දී ඇය පෙම්වතුන් කිහිප දෙනෙකුම ගැන පවසා තිබිණ. 

“කොහොමද ඉතිං ඔයාට….”

මුලින්ම එහා පසින් ඇසුණේ සංකල්පනීගේ කටහඬය. 

“මම හොඳින් ඔයාට කොහොමද..”

“මාත් හොඳින් ඔයාට ඉතින් වරදින්න විදිහක් නෑනේ. ලොකු සල්ලිකාරයෙක්, කෙල්ලන්ගේ සිහින කුමාරයෙක්නේ ඔයා කසාද බැඳගෙන ඉන්නේ. ඉතින් කොහොමද ජීවිතේ. හොඳට එන්ජෝයි කරනවා ඇති නේද..?”

සංකල්පනී අදත් එදා සේමය. තමා වචන දහයක් කතා කරද්දී ඇයට කතා කරන්නට වචන සිය ගණනක් වේ.

“ඔව් හොඳින් ඉන්නවා..ඉතින්..”

“මං කිව්වේ අනේ අපේ කෙල්ලො සෙට් එකට අපි ඉක්මනට ගෙට් ටූ ගෙදර් එකක් ඕගනයිස් කරමු කියලා. එතකොට අපිට ඉක්මනට මීට් වෙන්න පුළුවන්නේ. මෙහෙම ගෘප් වල චැට් කර කර ඉඳලා හරියන්නෙ නෑ.”

“මම නම් ඕ ජි එකේ මීටින්ග්ස් කිහිපයකටම ගියා. ඔයා ඒ දවස්වල ලංකාවෙ හිටියේ නැද්ද?”

“හිටියා අනේ හිටියා  ලංකාවෙ ඉන්නැතුව මං කොහේ යන්නද..අපේ තාත්තා මාව බලෙන් අල්ලලා මිනිහෙක්ට කසාද බැන්දුවා. ඒ කාලෙ මගේ ජීවිතේ අපායක් උනා නුලාරා. මහ ටොක්සික්ස් මනුස්සයෙක්.”

“අනේ සොරි මං ඒ ගැන දැනගෙන හිටියේ නෑ. හැබැයි හිටිහැටියේ ඔයාට මොකද උනේ කියලා අපි කතා වුණා.

“ගෘප් එකේ කවුරුවත් මං හිතන්නේ ඒ විස්තර දන්නේ නෑ. ඔයා එක්ක උනත් මං මෙහෙම කිව්වේ ඔයා එදා ඉඳලම කාගෙවත් ඕපදූප හොයන කෙනෙක් නෙමෙයි නිසා.” 

“ඔයාව අහම්බෙන් දැක්කට පස්සේ මං ඔයාගේ ප්‍රොෆයිල් එක බැලුවා. ඔයා හස්බන්ඩ් එක්ක හරි ලස්සනට ඉන්නවා මම දැක්කා.”

නුලාරා   එසේ පැවසූයේ හිතා මතා නොවේ. සත්‍යම කතාව එය වුවත් ඒ වදන් තමාගේ මුවින් පිටවීම පිළිබඳව ඇය තැවුණාය. මුහුණු පොත පිටුව පුරාම වූයේ ඇය තැන තැන ඇවිදිමින් ගත් සේයාරූය. ඒවායේ වූයේ සතුට මිස දුකක්, කලකිරීමක් නොවේ. ඇගේ පුද්ගලික ජීවිතය පිළිබඳව තමා යම් තරමකින් හෝ සොයා බැලීමට උත්සාහ  කළේයැයි වැරදි වැටහීමක් සංකල්පනී  තුළ ඇතිවේදැයි නුලාරා  ඊළඟ තප්පරයේදී සිතුවේ තමාටම බැණ ගනිමින්ය. 

“ඒ මගේ සකන්ඩ් මැරේජ් එක අනේ. ඇත්තටම අපි සතුටින්.” 

සංකල්පනී පැවසූයේ ඇඟට පතට නොදැනෙන සේය. නුලාරා තත්පර කිහිපයකට ගොළු වූයේ ඇයට කුමක් පවසන්නේදැයි සිතමින්ය. 

“ඉස්සර වෙලා මං කසාද බැන්දේ අවුරුදු දොළහක් ඇමෙරිකාවේ ඉඳලා ආපු මනුස්සයෙක්ව. තාත්තත් එක්ක කටාර්වල  ඉඳපු යාළුවෙක්ගෙ අයිය කෙනෙක්ගෙ පුතෙක්. එයාගේ ප්ලෑන් එක තිබුණේ මැරේජ් එකෙන් පස්සේ ආපහු මමත් එක්කරගෙන ඇමරිකා වලට යන්න. කවුද අනේ ඒ වගේ රටකට යන්න ආස නැත්තේ. ඒ ප්‍රපෝසල් එක එද්දී මම දෙපාරක් නොහිතුවේ ඒ හින්දා. මට වැඩිය චුට්ටක් වයසින් වැඩිමල්. මං දන්නෑ ඒක මගේම කරුමයක්ද කියලා අපි මැරි කරලා මාස දෙකක් යද්දි එයාගේ අම්මා පැරලයිස් උනා. මැරිකරපු නැති නංගි කෙනෙකුත් ගෙදර හිටියා. නංගිට විතරක් අම්මව බලා ගන්න බෑ කියලා එයා ඇමරිකා නොගිහින් ලංකාවේ නවතින්න තීරණය කළා. ඊට පස්සේ නුලාර මට වුණේ සම්ප්‍රදායික වයිෆ් කෙනෙක් වෙන්න. ඔයා දන්නවනේ මං එහෙම ජීවිතයකට ආස කරපු කෙනෙක් නෙමෙයි කියලා. අම්මගේ වැඩනං මම කලේ නෑ. ඒවා ඔක්කොම කලේ නංගි. ඒ උනාට මං උදේ නැගිටලා එයාටයි ගෙදර අයටයි උයන්න ඕනේ ආපහු දවල්ට අම්මට කෑම රත් කරන්න ඕනේ ආපහු රෑට එයා ගෙදර එනකොට උයලා තියන්න ඕනේ, ගේ දොර අස්  පස් කරන්න ඕනේ එයාගේ රෙදි හෝදන්න ඕනේ. කොටින්ම කිව්වොත් නිවාඩු දවසකටවත් එළියට ඇවිදින්න යන්න වෙලාවක් තිබුණේ නෑ. ඔයාට කිව්වහම පුදුම හිතෙයි අවුරුදු දොළහක් ඇමරිකාවේ ඉඳලා ආපු මිනිහෙක් විදිහට නෙමෙයි එයා හැසිරුණේ. පන්සලට යනකොට දිගට අඳින්න ඕනේ. හදිසියේ හරි එයාගේ නෑදෑයෙක්ගේ ගෙදර ගියොත් මං ගවුම්  ඇඳගෙන යන්න ඕනේ. කොන්ඩේ චුට්ටක් පාට කරන්න බෑ පොඩ්ඩක් බඩ පේන විදිහට ක්‍රොප්ටොප් එකක් අඳින්න බෑ. ඒ මදිවට එයා ඉක්මනට ළමයි හදාගන්න හරියට දැඟලුවා. එයා පවුල විදිහට දැක්කේ මාව විතරක් නෙමෙයි. එයයි අම්මයි, නංගියි, මමයි මේ ඔක්කොම එකම පවුලක් කියල තමයි එයා හැමතිස්සෙම කියන්නේ. මං ගේ ඇතුලටම හිර උනා. අපේ අම්මටයි තාත්තටයිනම් බෑනගේ වරදක් පෙනුනෙම නෑ. ඊට පස්සේ මම ජොබ් එකක් කරන්න ට්‍රයි කරා. රන්දික ඒකට කැමති උනෙත් නෑ. එයා හැමතිස්සේම කිව්වේ මං ඇතිවෙන්න හම්බ කරනවනේ ඔයා සතුටින් නිදහසේ  ඉන්න ඕනේ කියලා. මහ පිස්සු කතා. එයා හිතුවේ එයා හම්බ කරලා ගෙනත් දෙන දේ කාල බීලා ඉන්න  එක තමයි මගේ සතුට කියලා. එයාට හොරෙන් මං බබාලා හදන්න බැරි වෙන්න ටැබ්ලට් ගත්තා. ඔක්කොමත් හරි එයාගේ යාලුවෝ ළඟදි මං ගැන කරන වර්ණනාව තමයි මට අහගෙන ඉන්නම බැරි…”

“ඒ කියන්නේ..”

“මං හරි හොඳයිලු. අහිංසකයිලු. එයා බලාපොරොත්තු වෙච්ච විදියම වයිෆ් කෙනෙක්ලු එයාගේ අම්මට නංගිට මං හොඳට සලකනවලු. මෙහෙමයි ඉතින් ගෙදර අයත් එක්ක රණ්ඩු වෙන්න තරම් මට හේතුවක් තිබුණෙ නෑ. හැබැයි ඉතින් මගේ හිතේ රන්දික ගැන පුදුමාකාර කලකිරීමක් තිබුණේ. ඔයා දන්නවනේ මං කොහොමත් එක තැනකට කොටුවෙන්න කැමති කෙල්ලෙක් නෙමෙයි කියලා.”

“ඉතිං ඊට පස්සේ..”

දැන් දැන් මේ කතාව අසන්නට නුලාරාට වන්නේ හදිසියකි.

“ඊට පස්සේ මට ධනුකව මීට් උනා.”

“ඒ කොහොමද..”

“දවසක් අපි වෙඩින් එකකට ගියා රන්දිකගේ ඥාති දුවෙක්ගේ. ඒ වෙඩින් එකට  ප්ලේ කරපු බෑන්ඩ් එකේ ලීඩර් තමයි ධනුක. මං දැක්ක එදා ධනුක සැරින් සැරේ හොරෙන් මගේ දිහා බලනවා. ධනුක සින්දු කිහිපයකුත් කිව්වා ඒ කිව්වෙත් මගේ දිහා බලාගෙන. අර අසංක ප්‍රියමන්ත පීරිස්ගේ සින්දුවක් තියෙන්නේ “නුපුරුදු ඔබ දුටු පළමු දිනේ  සුපුරුදු ලෙස පෙනුනා කියලා…” ධනුක ඒ සින්දුව කිව්වා මාර ලස්සනට එයාගේ ඇස් තිබුනෙම මගේ ළඟ. මං දන්නෑ නුලාරා මං ඒ ඇස් වලට වශී වුණා. මම හිත හිත හිටියේ කොහොමද මං එයා එක්ක කතා කරන්නේ කියලා. කෑම කන්න යද්දී ධනුක එයාගේ විසිටින් කාඩ් එකක් මගේ අතේ ගුලි කළා. ඊට පස්සේ අපි දෙන්නා සති කීපයක් යනකම්ම ෆෝන් එකෙන් කතා කළා.”

“හස්බන්ඩ්ට  හොරෙන්..”

“ඔව් අනේ කවුද ඉතින් කිය කිය කතා කරන්නේ. ඔයා ඉස්සර වගේමයි..මාර ප්‍රශ්න අහන්නේ..එයා ගෙදර ඉන්නේ රෑට විතරයිනේ. ඒ වෙලාවට අපි ටිකක් පරිස්සම් වුනා. මැසේජ් එකක් හුවමාරු උනා විතරයි. කොහොමත් රන්දිකට මම ගැන සැකයක් තිබුණේ නෑ. එයා කවදාවත් මගේ ෆෝන් එකටවත් එබිලා බලලා නෑ. පස්සේ පස්සේ අපි හොරෙන් මීට් උනා.”

“ඉතින් ඔයා රන්දිකට මොනවා කියලද ගෙදරින් එළියට ගියේ.”

“උවමනාව තියෙනවනං හේතු ඉබේටම හැදෙනව නුලාරා. ඒ දවස්වල අපේ ආච්ච ටිකක් අසනීපෙන් හිටියේ වෙලාවකට ආච්චි තවත් වෙලාවකට අම්මා තවත් වෙලාවකට යාලුවෝ…සමහර වෙලාවට මම ඔයාවයි ඔයාගේ හස්බන්ඩ්වයිත් පාවිච්චි කරලා තියෙනවා.”

සංකල්පනී හිනැහුනේ එසේ පවසමින්ය. 

“මං හොයපු සතුට තිබුනෙ ධනුක ලඟ. එයා ජීවිතේ කිසි දෙයක් ගැන බරපතලට හිතපු කෙනෙක් නෙමෙයි. ඩ්‍රින්ක් එකක් අරගෙන සින්දුවක් කියාගෙන හරි සතුටින් සැහැල්ලුවෙන් ඉඳපු කෙනෙක්. අපි දෙන්න අන්තිමට තීරණය කළා එක වහලක් යටට වෙන්න.”

“එතකොට හස්බන්ඩ්..”

“එයා මං ගෙදරින් එනකල්ම කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ.”

“ඒ තරමටම ඔයාව විශ්වාස කරන්න ඇති.”

“සමහරවිට.”

“ඉතින් එයා කැමැත්තෙන්ම ඩිවෝස් එක දුන්නද?”

“තවම එය මට ඩිවෝස් එක දුන්නේ නෑ අනේ. එයා තවමත් කියන්නේ වෙච්ච වැරදි හදාගෙන එයාගේ ලඟට එන්න කියලා. එහෙම යන්න තියා, ඒ පැත්ත හැරිලා බලන්නවත් බලාපොරොත්තුවක් මට නෑ. ධනුක එක්ක මං මේ ලයිෆ් එක එන්ජෝයි කරනවා. අපි දෙන්නට අපි දෙන්න විතරයි. ඕන වෙලාවට කෑවා. ඕන වෙලාවට නැටුවා ඕන වෙලාවට ගමනක් ගියා ඕන වෙලාවට නිදාගත්තා ඕන ඇදුමක් ඇන්දා. මාර නිදහස් ජීවිතයක් මේක. ධනුක කියන්නේ ජීවිතය හරියටම තේරුම් ගත්ත පිරිමියෙක්. එයා කිසිම දේකට නීති දාන පිරිමියෙක් නෙමෙයි. එයා කියන්නේ ඕන මනුස්සයෙකුට තමන් කැමති විදිහකට ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕනේ කියලා.”

“ඒත් මැරි  කරන් නැතුව ඔය දෙන්නා එකට ඉන්නේ….”

“අයියෝ නුලාරා. ඒක සාමාන්‍ය දෙයක්නේ අනේ. තව අවුරුද්දක් දෙකක් ගිහිල්ලා හරි රන්දිකට සිද්ධ වෙනවනේ මට ඩිවෝස් එක දෙන්න. අපිට මැරි කරන්න හදිස්සියක් නෑ. මේ ලයිෆ් එකෙන් එන්ජොයි කරලා අපි දෙන්නට දෙන්න තේරුම් අරගෙන හෙමිහිට මැරි කරනවා. කොහොමටත් ධනුක කැමති නෑ ඉක්මනින් බබාලා හදන්න. අපි හිත සතුටින් නම් එච්චරයිනේ. හැබැයි  කවුරුත් දන්නේ නැහැ අපි දෙන්න තවම මැරි කරලා නෑ කියලා. අඩුම තරමේ රන්දිකයි මමයි වෙන් උනා කියලවත්  මොකද අපි වෙඩින් එකක් ලොකුවට ගත්තේ නැති හින්දා යාළුවො කාටවත්ම කිව්වේ නෑ.” 

“නෑ මම ඒක කාටවත් කියන්නෙ නෑ…”

නුලාරා එසේ පැවසූයේ මද හඬකින්ය. යෙහෙළිය සමග වූ දුරකථන සංවාදය නිමා වූයේ තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියාට පසුවය. 

“නෝනා කෑම හදනවද.. ඔක්කොම ලෑස්ති කරලාා තියෙන්නේ….”

සෝමාගේ කටහඬ ඇසෙද්දිත් නුලාරා උන්නේ සංකල්පනී පැවසූ සමහර වදන් ගැන සිතමින්ය. 

“ඔයා කෑම හදන්න සෝමා මට ටිකක් මහන්සි වගේ..”

එසේ පැවසූ ඈ  තම කාමරයට ගියේ සෝමාවත් මගහරිමින්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here