කරදරකාරයෝ.

“අර නිලූලගෙ බලු තඩියගෙන් පුදුම වදයක් තියෙන්නේ.”

කුමුදු එහෙම කිව්වේ පත්තරේ බල බලා හිටිය අජිත්ට.අජිත් පත්තරෙන් ඇස් මෑත් කරලා කුමුදු දිහා බැලුවේ ඕනවට එපාවට.

“ඇයි?”

එහෙම අහන්නේ අහන්න ඕනවට මිසක් ඇත්තටම තමන්ගේ ප්‍රශ්නේ ගැන උවමනාවකට නෙවෙයි කියලා තේරෙනකොට කුමුදුගේ කේන්තිය දෙගුණ වෙනවා.

“එතනින් යනකොට උගෙ බිරිල්ල බලන්නකො.කනක් ඇහිල ඉන්න නෑ..”

අජිත් බිරිඳ දිහා බැලුවේ සමච්චලේට හිනා වෙන ගමන්.

“නැතුව ඌ සින්දු කියන්නද කුමුදු.හායි කුමුදු, අජිත් එහෙම සනීපෙන්ද අහන්නද?”

අජිත් එහෙම කියාගෙන හිනා වෙනකොට කුමුදුට තවත් තරහයි.සත්තුන්ට ආදරේ නැති මිනිස්සු,සත්තුන්ට අකමැති මිනිස්සු මේ ලෝකේ ඕනතරම් ඉන්න පුලුවන්.ඒත් අහක ඉන්න සතෙක්ට වෛර කරන්න කුමුදුට තියන උවමනාව මොකක්ද කියලා අජිත්ට තේරෙන්නේ නෑ.

“අර නිලූලගෙ බබාට කිනිතුල්ලන්ගෙ ලෙඩ බෝ වෙන් නැද්ද අනේ..”

කුමුදු ආයේ දවසක ඇහුවේ ලේන් එකේ තවත් ගෙදරක ඉන්න ඉන්දුගෙන්.ඉන්දු කුරුලු ලෑල්ලට කෑම දාන ගමන් කුමුදු එක්ක හිනා වුණා.

“ජිමී කොල්ලට කොහෙද අනේ කිනිතුල්ලො..නිලූ පුතාටත් වඩා ජිමියට වියදම් කරනවා.එයා නාලා කරලා සැපට ඉන්නවනෙ.කිනිත්තුල්ලෙක් තියා කූඹියෙක්වත් නෑ..”

කුමුදු එතැනින් ආවේ හිතින් ඉන්දුටත් බනින ගමන්.එයත් මේ ගමකට කන්න කෑම උයලා ඒවා කුරුල්ලන්ට අතාරිනවා.ඒ අස්සේ සත්තුන්ට එයා මෙයා කොල්ලා ගගා කතාව.

මේ මිනිස්සුන්ට පිස්සු!

කුමුදු හිතුවේ එහෙම.

නිලූලගේ ගෙදර වැඩෙන ජිමීගෙන් කාටවත් කරදරයක් නොතිබුණේ එයා හැදෙන්නේ ගේට්ටුවෙන් ඇතුළේ ලෝකයේ හින්දා.ජිමී කවදාවත්ම පාරේ මළපහ කරන්න ගියේ නෑ.ගෙදර අයට වගේම වටපිටාවේ අයටත් ආදරේ කරන ජිමී දැල් ගේට්ටුවෙන් එබිලා බුරන්නේ කුමුදුට විතරමයි.

“මේ බලු තඩියා කියන්නෙ අපිට ගෙවල් දොරවල් දාලා යන්න කියලද දන් නෑ.කොයි වෙලේ බැලුවත් බුරා හැලෙනව.”

කුමුදු නිලූට කිව්වෙ අමනාපයෙන්.

“කුමු ආන්ටි අපේ ගේට්ටුවෙන් ඇතුළට ගල් ගහ ගහා ජිමී අවුස්සනවනෙ.එයා ඔයා එක්ක තරහ වෙලා..”

පුංචි සදෙව් එහෙම කියනකොට හිනා යන්න ආවත් නිලූ ඒක වළක්වා ගත්තා. වැටක් ආකාරයට ඉදි වුණු ගේට්ටුව ඇතුළට ගල් එන්නේ කුමුදුගෙන් කියලා නිලුත් නොදන්නවා නෙවෙයි.

“සමහර අය සත්තුන්ට ආස නෑනෙ පුතේ.කුමූ ආන්ටි කියන්නෙත් බල්ලන්ට ආස නැති කෙනෙක්.එයා ජිමීට බැන්නට ගැහුවට පුතා කේන්ති ගන්න එපා.ජිමී කේන්ති ගනියි.එයා සතෙක්නෙ.මගෙ පුතා ළමයෙක්නෙ..”

තමන්ගේ සුරතලාට හිංසාකාරී දේවල් කරන නිතරම ආඩපාලි කියන කුමුදු ගැන සදෙව්ගේ හිතේ කෝපයක් ඇති වෙනවට නිලූ එහෙම කිව්වා.

අජිත් ව්‍යාපාරික වැඩකට ඈතකට ගිය දවසට කුමුදු ගෙදර ඉන්නේ තනියම.එදත් එහෙම දවසක්.රෑටත් තනියම ඉන්න බයක් නෑ කියලා කුමුදු කියන හින්දා අජිත් බය නැතුව රාත්‍රී ගමන් යොදා ගන්නවා.

රෑට කෑම කාලා වොෂ් එකක් දාගෙන කුමුදු ඇඳට ආවේ යූ ටියුබ් එකෙන් නාට්‍යයක් බලන්න හිතාගෙන.එකම වෙලාවට හැම චැනල් එකේම හොඳ හොඳ නාට්‍ය යන්න ගියාම යූ ටියුබ් එක පෝසත් කරන්න වෙනවා.

මෙව්නා හොඳටම අඬනවා.පවන් එයාව නළවනවා.ඒ දිහා බලාගෙන ඉන්න කුමුදුටත් ඇඬෙන්න එනවා.නොනවත්වා ජිමී බුරන සද්දෙ ඇහෙන්නේ ඒ අතරින්.කුමුදුට පුදුම කේන්තියි.එයා වෙලාව බැලුවේ ඒ කේන්තිය අතරින්. රෑ දොළහටත් ළඟයි.මෙලහට ඉන්දුගේ පූස් තඩියා එක්ක වලියක් වෙන්න ඇති.

තවමත් හදමින් තියන උඩුමහල පැත්තෙන් සද්දයක් ඇහෙනකොට කුමුදු ටෙලි නාට්‍යය නවත්තලා දැම්මා.”මං බය නෑ “කියලා අජිත්ට කිව්වට ගෙදර වටේ තාප්පයක් නැති බව එයාට මතක් වෙන්න ගත්තේ ඒ වෙලාවේ.

ඊට පස්සේ හැම දෙයක්ම හීනයක් වගේ.ගේ වටේ ඇහෙන අඩි සද්දයක් එක්ක කිහිප දෙනෙක්ගේ කටහඬවල්! පොර බැදීම් හඬක්! කුමුදු බිම වාඩි වෙලා ගැහෙමින් අහගෙන හිටියා.

“කුමුදු නංගි, මම ජානක අයියා!”

නිලූගේ සැමියාගේ කටහඬ ඇහෙනකොට කුමුදු බයෙන් බයෙන් ගේ පුරා විදුලි පහන් දල්වලා දොර ඇරියා.ඉන්දුත් නිලූත් නිදන ඇඳුම් වලින්ම ගේ මිදුලේ. නිලූ ඇවිත් කුමුදුව වැලඳ ගත්තා.

“ජිමී නිකං බුරන් නෑනෙ.නවත්තන්නේ නැතුවම බුරන හින්දා ජනක එළියට බැස්සෙ.එතකොට තමයි ඔයාලගෙ ගෙදරට ඇදෙන ඡායාවක් දැක්කෙ.අජිත් අයියා ගෙදර නෑ කියලා මතක් වෙලා එයා ඒ පැත්තට යනකොට තමයි ඒ හොරෙක් කියලා තේරිලා තිබුණෙ.ඉක්මනින් කට්ටිය ආවා..යන්තන් හොරා අල්ලා ගත්තා..”

නිලූ එහෙම කියද්දී ලේන් එකේ තරුණයන් අතර අතපය බැඳලා දාලා හිටිය මනුස්සයා දිහා කුමුදු බැලුවේ බයෙන් වගේ.

“ජිමී බිරුවේ නැත්නම් අපි කීයටවත් එළියට එන්නේ නෑ කුමූ..”

නිලූගේ හඬ ඇහෙනවා.මීට ටික වෙලාවකට කලින් ජිමීට සාප කිරීම ගැන කුමුදුට තමන් ගැනම දැනෙන්නේ තරහක්.

ඊට දවසකට විතර පස්සේ ජිමීගේ මිත්‍රශීලි කෙඳිරි ගෑම එක්ක සදෙව්ගේ කතාව ඇහෙනකොට නිලූ මිදුල පැත්ත බැලුවා.ගේට්ටුවේ එල්ලිලා ඉන්න ජිමීට යෝගට් එකක් ලැබිලා.කුමුදු තෑගි ගෙනල්ලා.

“මං කඩේට යනකොට සදෙව් කිව්වනෙ ජිමී කන්න ආස යෝගට් කියල.ඔන්න මම තෑග්ගක් ගෙනාවා මාව බේරා ගත්තු වීරයට..”

කුමුදු ආගිය තොරතුරු කතා කරලා යන්න ගියා.ජිමී හිස් යෝගට් කෝප්පේ එක්ක සෙල්ලමක්.

“ආයේ නම් කුමූ ආන්ටි හොරෙන් හොරෙන් ජිමීට ගහන එකක් නෑ නේද අම්මා..”

සදෙව්ගේ කතාවට නිලූට හිනාවක් මතු වුණා.තරහ වෙන්න තියෙනවානම් සමහරුන්ට සතෙක් වුණත් ඇති.ඒත් ඇත්ත තේරුම් යන්න තමන්ට දෙයක් වෙන්නම ඕනෑ.

නිලූ හිතුවේ තනියම හිනා වෙන අතරේ.

More Stories

Don't Miss


Latest Articles