ලේලියට රහසින් පුතාගේ වැටුප ලබා ගෙන අනවශ්‍ය ලෙස නාස්ති කල මවක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

මුදල් කළමනාකරණය කියන දේ විවාහය තුළ වගේම සාමාන්‍ය ජීවිතය තුළත් දැඩිව වැදගත් වෙන දෙයක්.මේ සම්බන්ධයෙන් පැටලිලි ඇති කරගත්තාම විවාහයක් වුණත් බිඳිලා යන්න පුලුවන්.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ සහ ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන්නේ එවැනි කතාවක්.

ජාලිය සහ ගයනි රැකියාව කළේ එකම කාර්යාලයක.ජාලිය ටිකක් සෙල්ලක්කාර ජීවිතයක් හිමි තරුණයෙක්.හැමදාම මොකක් හෝ පාටියක්, ට්‍රිප් එකක් හොයා ගන්න ජාලියට වැටුප අරගෙන සතියකින් දෙකකින් අතේ සතේ නැතිවීම ඔෆිස් එකේ කාටත් සුලබ දසුනක්.

“කීයක් හරි ඉතුරු කරන්න ඕන මේ මාසෙවත්”

එහෙම කියලා ජාලිය හැම මාසෙකම කිව්වත් කවදාවත් අතේ සල්ලි නෑ.හැමදාම මොකක් හරි දේකට වියදම් කරලා ඔහු වැටුපම නාස්ති කර ගන්නවා. ඔහුගේ හිත ගයනිට යන්නේ මේ අතර.

“ඔය බේබදු රස්තියාදුකාරයා එක්ක නම් යාලු වෙන්න එපා. බස් එකට යන්නත් සල්ලි නෑ මාසෙ අන්තිම වෙනකොට”

මිතුරියන් එහෙම කීවත් කඩවසම් ජාලිය අතාරින්න ඇත්තටම ගයනිට ලෝබයි.ඒ නිසාම ඔහුව හදාගෙන ඔහු එක්ක ජීවත් වෙන්න ඇය හිතනවා.ජාලිය ගයනිත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ ගයනි ඔහුට මුලින්ම දුන්නේ අමුතු උපදේශයක්.

“ජාලිය, ඔයා සැලරි එක අම්මා අතට දෙන්න.ඔයාගේ එදිනෙදා වියදම් වලට විතරක් අම්මාගෙන් කීයක් හරි ඉල්ලා ගන්න.නැත්නම් ඔයා මහ නාස්තිකාරයෙක් වෙනවා..”

ජාලිය ඒ උපදේශය පිළි ගත්තා.ඔහු ඉන්පසු අම්මාට වැටුප දෙන්න පටන් ගත්තා.දැන් අම්මා අතේ සල්ලි ඉතුරු වෙනවා ඇති කියලා ගයනිත් හිටියෙ හරිම සතුටකින්.

දෙදෙනාගේ විවාහ උත්සවයට සැරසෙනකොට ජාලියගේ අම්මාට මහා විශාල මට්ටමේ යෝජනා තිබුණා.ඒවාට එකඟ වෙලා ඒවා ක්‍රියාත්මක කරන්න ගිය ගයනිටත් ඇගේ පවුලේ අයටත් තරු පෙනෙන්න පටන් ගත්තා.ඒ ජාලිය ළඟ රුපියලක්වත් නැති නිසා.ඔහු අම්මාට දුන්නු වැටුපත් ඇය හිතුමනාපෙට වියදම් කරලා ඉවරයි.නමුත් දැන් ආපහු හැරෙන්න අකමැති වුණු ගයනි සහ පවුලේ අය විවාහ උත්සවය ඔවුන්ගේ වියදමින් ජයටම ගත්තා.ජාලියට මුදල් තිබුණේ යාන්තම් ඔහුගේ ඇඳුම් හදා ගන්න විතරමයි.

“කමක් නෑ.බැන්දට පස්සේ ජාලියව හදා ගන්නවා.”

ගයනි එහෙම හිත හදා ගත්තා.

ඉන්පස්සේ නව යුවල පදිංචියට ගියේ ගයනිගේ තාත්තා ඔවුන් වෙනුවෙන් හදපු නිවසකට.එහි බිම් මහල හදලා අවසන් කරලා තිබුණා.උඩු මහල ඔවුන්ට හදා ගන්න කියලා තමයි ගයනිගේ තාත්තා ඒ නිවසට ගෙවදිනකොටත් කිව්වේ.

“ඔයාගේ සැලරි එකෙන් ගෙදර වියදම් කරලා මගේ සැලරිය ඉතුරු කරමු ජාලිය.”

ගයනි එහෙම සැලසුමක් සකස් කළා නමුත්, එය පහසු වුණේ නෑ.වැටුප ළං කරලා එන ජාලියගේ අම්මා ඔහුගේ සැලකියයුතු මුදලක් පැහැර ගත්තා.ඒ බවක් ගයනි දැන හිටියේ නෑ.ජාලිය ගත්තු ණය විශාල ප්‍රමාණයක් ද තිබුණා.ඒ හැම ණයක්ම ඔහු ගත්තේ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් කියලා දන්නේ ජාලියත් අම්මාත් විතරයි. නිවස හදනවා නෙවෙයි මාසයක් කන්න බොන්නවත් ගයනිගේ වැටුප මදි වුණු දවස් ඕන තරම්.

“ඔයා මොකටද පුතා ගයනිට උයන්න උදව් කරන්නේ.එදා රෙදි මැද්දෙත් ඔයානෙ.මම තාත්තට ඔක්කොම කරලා දෙනවා අමතකද?උඹ ගෑනුන්ට වැඩ කරලා දෙන්නෙ ඇයි?”

ගෙදර ආ ගිය වෙලාවට ජාලියගේ අම්මා එහෙම විෂබීජත් ජාලියට දාන්න වගබලා ගත්තා.

“කන්න ටික දෙන්නෙත් මම.වැටිලා ඉන්නෙත් මගෙ තාත්තා හදපු ගේක.ලොකුකම් නම් තියනවා..”

ජාලිය නිවසේ වැඩ කරන එක ප්‍රතික්ෂේප කරද්දී ගයනි රණ්ඩු අල්ලන්න ගත්තා.නමුත් තවම ජාලියගේ අම්මා මුදල් කඩවඩා ගන්න බව ගයනි දන්නේ නෑ.ඇය හිතුවේ ජාලිය ජංගම දුරකථන, මෝටර් සයිකල් ගන්න අනවශ්‍ය ලෙස ගත් ණය ගෙවමින් ඉන්න බවක්.

දවසක් මෙහෙම පටන් ගත්තු රණ්ඩුව විශාල වෙලා ගහමරාගන්න තත්වයටම ආවා.තමන්ගේ ඇඳුම් කැඩුම් ටිකත් අරන් ජාලිය එළියට බැහැල යන්න ගියා. තවදුරටත් ඒ නිවසේ ඉන්න බැරි නිසා ගයනිත් තමන්ගේ මහ ගෙදරට ගියා.

“අම්මේ, ජාලිය ආයේ බීමට වැටෙයි.එයා ගැන බලන්න..”

ගයනි නැවත වාරයක් ජාලියගේ අම්මාගෙන් ඉල්ලුවා.ජාලියගේ වැටුප පැහැර ගන්න අම්මාට මේ කැඩුණු පවුල එකතු කරන්න උවමනා වුණේ නෑ. මාස පහකුත් මෙහෙම ගෙවෙනකොට යුවල පවුල් උපදේශනයට යොමු කළේ ගයනිගේ අම්මා විසින්. හැම ගැටලුවක්ම හඳුනා ගැනෙන්නේ එහිදී.

ඔබ විවාහ වූ පසු මුදල් කළමනාකරණය ගැන අතිශය සැලකිලිමත් වෙන්න ඕනෑ. රත්නා මහත්මිය ඔබට යෝජනා කරනවා දෙදෙනාගේම වැටුප එකතු කරලා මාසික වියදම් ඉන් ගෙවන්න.ඉන්පසු කොටසක් ඉතිරි කරන්න.ඒ ඉතිරිය යම් තරමක මුදලක් වුණාම වාහනයක් ගන්න, නිවසක් මිලට ගන්න හෝ සාදා ගන්න නැතිනම් ස්ථාවර තැන්පතුවක් දමන්න ඔබට පුලුවන්.සැමියාට ඔහේ නාස්ති කරන්න ඉඩ දීලා ඔබම හැම සතයම වියදම් කරන්න එපා.වියදම් බෙදා ගැනීම පවුලකට අත්‍යවශ්‍ය දෙයක්.

අනිත් කාරණාව පවුලේ දෙකේම වැඩිහිටියන්ට මුදල් ලබා දීම ගැන එකඟතාවයකට එන්න.දෙමාපියන්ගේ බෙහෙත්, බාල සහෝදරයෙකුගේ ටියුෂන් ගාස්තු වගේ මාසිකව ස්ථාවර ගණනක් ඔබේ සහකරු හෝ සහකාරිය දැනුවත් කර ලබා දෙන්න.

අනිත් කාරණාව ඔබ මොන දේ වුණත් ඔබේ පවුල් ජීවිතය තුළට දෙමාපියන් සම්බන්ධ කර ගන්න එපා.ඔබ රැකියාවක් කරනවා නම් සැමියා සමඟ කතාබහ කරලා ඔහුත් එක්ක නිවසේ කටයුතු බෙදා ගන්න.ඔහු ඒ වගේ දේවල් කරන්න අකමැති නම් කතාබහ හෝ උපදේශනය මඟින් විසඳා ගන්න.මුල්ම කාලයේ ගැටළු විසඳා නොගෙන කෝපය හිතේ ඇති වෙන්න ඉඩ දීලා අතින් පයින් ගැටලු විසඳා ගන්න.

විවාහ වූ පසු ඔබේ ජීවිතය කළමනාකරණය කරන රහස ඔබම හොයා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles