මතක දිගහැරුම 69 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට නවවන දිගහැරුම ,

මා දිනක් දරුවන් දෙදෙනා ද රැගෙන වෛද්‍යවරයා වෙත ගිය අවස්ථාවේදී එහි සිටි හෙදියක් , මා ඉතා කෙට්ටු වී ඇතැයි පැවසුවාය.පැය දෙකකට වරක් දරුවන් දෙදෙනාට මාරුවෙන් මාරුවට මා මව් කිරි ලබා දුන් නිසා මගේ ශරීරයේ බර බොහෝ සේ අඩු වී තිබුණි.ඒ තත්ත්වය යටතේ දරුවන් හට පිටිකිරි ලබාදීම මා හට පහසු දෙයක් වනමුත් එය වෛද්‍යවරයාගෙන් විමසා සිටියහොත් ඔහු බැන වැදිවී යැයි හෙදිය පැවසුවාය.එම නිසා මා ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් විමසන්නට ගියේ නැත.දරුවන්ගේ කටයුතු සඳහා මට සහයෝගය දැක්වීමට පැමිණෙන සාත්තු සේවිකාව විසින් මට පැවසුවේ දරුවන් දෙදෙනාට මාරුවෙන් මාරුවට මව්කිරි සහ පිටිකිරි ලබාදිය හැකි දැයි වෛද්‍යවරයාගෙන් විමසන ලෙසයි. ඒ අනුව අප වෛද්‍යවරයා වෙත ගිය අවස්ථාවකදී ඇය එහි සිටි හෙදිය ගෙන් ඒ පිළිබඳව විමසුවාය.එවිට ඇය පැවසුවේ පෙර දිනක මට පැවසූ දෙයමය.නමුත් මගේ සාත්තු සේවිකාව දිගින් දිගටම පැවසුවේ කෙසේ හෝ වෛද්‍යවරයාගෙන් දරුවන් හට මාරුවෙන් මාරුවට පිටිකිරි සහ මවුකිරි ලබාදීමට අවසර ගන්නා ලෙසයි.

කීප වාරයක්ම වෛද්‍යවරයා හමුවීමට ගිය නමුත් මා ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවේ නැත.වරක් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෙම්බිරිස්සාව වැළඳීම නිසා මා වෛද්‍යවරයා වෙත ගියෙමි.එවිට වෛද්‍යවරයා මා දෙස හොඳින් බැලුවේය.

” උරහිස් ඇටත් පෑදිලා නේද ? කෙට්ටු වෙලා හොඳටම “

ඔහු පැවසුවේය.දරුවන් දෙදෙනා පැය 2 කට වරක් මාරුවෙන් මාරුවට මවුකිරි බීම හේතුවෙන් මා පත්ව ඇති අපහසුතාවය පිළිබඳව මා වෛද්‍යවරයාට විස්තර කළෙමි.දරුවන්ට මව් කිරි ලබාදීම අපහසු දැයි එවිට වෛද්‍යවරයා මගෙන් විමසීය.එසේ දිගින් දිගටම මව්කිරි දීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල මා හට ශරීරය අප්‍රාණික වී ඇති ගතියක් දැනෙන බවද මා වෛද්‍යවරයාට කීවෙමි.

” එහෙනම් මම කිරිපිටි එකක් ලියලා දෙන්නම්.දෙන්නට මාරුවෙන් මාරුවට මව්කිරියි පිටිකිරියි දෙන්න “

දරුවන්ට පිටිකිරි ලබාදීම සඳහා වෛද්‍යවරයා අවසර දුන්නේ දරුවන්ට මාස හය ලැබුවායින් පසුවය.දරුවන්ට පිටිකිරි ලබාදීම ඇරඹුවායින් පසුව මට යම් තරමක් දුරට සහනයක් දැනෙන්නට විය.ශරීරයට ගුණ දෙන ඉතා පෝෂ්‍යදායි ආහාර පරිභෝජනය කිරීමට මා නිරන්තරයෙන් ම උනන්දු වූ යෙමි.ඒ අතර මගේ අම්මා නැවුම් එළකිරි ඇතුළුව විවිධ ආහාර වර්ග මා වෙනුවෙන් සකස් කර ගෙනැවිත් දුන්නා ය.ඊට අමතරව මව් කිරි වඩවන ආහාර ද මගේ අම්මා සහ හෂාන්ගේ අම්මා විසින් මා හට සකස් කර දුන්නේ දිගින් දිගටම මව්කිරි දීම හේතුවෙන් මගේ ශරීරයේ බර ඉතාම අඩු වී තිබූ නිසාය.ඔවුන් ඒ පිළිබඳව දුක් වූ අතර ඒ නිසාවෙන්ම ගේ කෑම බීම පිළිබඳව ඔවුන්ද වැඩි අවධානයක් යොමු කළහ.

ටික කාලයක් ගතවන විට ඒ තත්ත්වය සමනය විය.දරුවන් රාත්‍රී කාලයේ දී අවදි වීම තරමක් අඩු වූ අතර රාත්‍රියේ දී ඔවුන්ගේ කුස පිරෙන්නට කිරි ලබා දුන් විට ඔවුන් පසුදින අලුයම් කාලය වෙනතුරු සුවසේ නිදා ගත්හ.

දෙදෙනාටම මාස හතක් පමණ වන විට අප දකුණු ඉන්දීය කොදෙව් සංචාරයක් සඳහා සහභාගී විය.මේ සංචාරය සඳහා මගේ සහයට කිසිවකුත් සහභාගී නොවූ අතර හෂාන් සංචාරය සඳහා පිටත්වන විට මම දරුවන් දෙදෙනා රැගෙන ඔහු සමග පිටත් වූයෙමි.ඒ අවස්ථාවන් වලදී Alex Conturi මට විශාල සහයෝගයක් දැක්වූ අතර ගුවන් ගමන අතරතුර දී පවා දරුවන් වඩාගෙන ඔහු මා හට උපකාර කළේය.ඊට අමතරව ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පවා මාරුවෙන් මාරුවට දරුවන් රැකබලා ගෙන මා හට සහාය දැක්වූහ.

දකුණු ඉන්දීය කොදෙව් සංචාරයේදී අපිට නවාතැන් ගැනීමට තිබුණේ මුහුද අයිනේ පිහිටි කබානා වැනි කුඩා ගෙවල් වලය.හෂාන් තරඟ වලට සහභාගී වූ විට මා දරුවන් සමග තනිවම සිටි නිසා එම කබානා වල සේවය කළ කලු ජාතිකයන් දරුවන් දෙදෙනා රැක බලා ගැනීම සඳහා මට සහයෝගය දැක්වීමට පැමිණියහ.ඇතැම් අවස්ථාවලදී මා දරුවන් දෙදෙනාව pram එකක තබාගෙන අවට සිරි නැරඹීම සඳහා ගියෙමි.අප නවාතැන් ගත් එම කබානා අසල වූ මුහුදු තීරය ඉතා මනරම් එකක් වූ අතර සුදු පැහැ වෙරළත් ,නිල් පැහැති සාගරයත් පරිසරයට එකතු කළේ අමුතුම ආකාරයේ සුන්දරත්වයක් ය.එම සුන්දරත්වය නැරඹීමට මා ඉතා ආසා කළෙමි.

අප නවාතැන් ගත් එම කබානා වල කුඩා මුළුතැන්ගෙයක් ද විය. හෂාන් තරගවලට සහභාගී වූ විට මා එම මුළුතැන්ගෙට ගොස් විවිධ ආහාර වර්ග පිසූයෙමි.එම ආහාරවල රස බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ද ,තරඟ වාර වලින් අනතුරුව පැමිණියහ.මා එම ආහාර පිසින අතරතුරදී දරුවන් රැකබලා ගැනීම සඳහා එම කබානා වල සේවය කළ කාන්තාවක් පැමිණියාය.හෂාන් නොමැති අවස්ථාවලදී දරුවන් තනිවම තබා ස්නානය කිරීමට යාමටවත් නොහැකි නිසා එම කාන්තාව ලබා දුන් සහයෝගය මා හට විශාල සහනයක් විය

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles