වෘත්තිය ජීවිතය නිසා ප්‍රේමය අත් හරින්නට සිදු වූ Nas Daily

අන්තර්ජාලය පරිහරණය කරන හැම කෙනෙක්ම පාහේ Nas Daily සහ Dear Alyne ගැන දන්නවා. ඊශ්‍රායල් ජාතියෙක් වෙන Nuseir Yassin ෆේස්බුක්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් හි vloger කෙනෙක්. ඔහුගේ පෙම්වතිය වූ Alyne Tamir ද අන්තර්ජාලයේ තරුවක්.Girl Gone Global හි නිර්මාතෘවරිය වූයේ ඇයයි.

ඊයේ මේ යුවළ අන්තර්ජාලය කැළඹීමට පත් කළා. අතිශය සංවේදී වීඩීයෝවක් Nas Daily ෆේස්බුක් පිටුවේ පළ වෙන්නේ රසිකයන් අන්දමන්ද කරමින්.

එහෙත් ප්‍රේමය එබන්දක්. අත නොහැරෙන බවට ලෝකයම සිතා සිටින අත් පවා මඟ හැරෙන්නට පුලුවන්. නමුත් ජීවිතය එක්ව යා නොහැකි නම් අනෙකාව පීඩාවට පත් නොකර, අනෙකාගේ ජීවිතය විනාශ නොකර වෙන් වෙන්නට හැකි බව මේ විනාඩි දොළහකට නොවැඩි වීඩියෝව අපිට පසක් කරනවා.

“මේ අවසානයයි. මම සහ ඇලීන් වෙන් වෙන්නට තීරණය කළා. අපේ රසිකයන් වන ඔයාලා මීට අවුරුදු හයකට කලින් අපේ සම්බන්ධය ගැන මුලින්ම දැන ගත්තා. අපේ ජීවිතයේ නැඟීම් සහ බැසීම් සියල්ල අතර ඔයාලා අපි එක්ක හිටියා. අපිට ආශිර්වාද කළා. අපි වෙන් වන විත්තිය ඔයාලා දැන ගන්න ඕනෑ ඒ නිසා. මේ අපි මෙතුවකට කරන දිගම වීඩියෝ එක. විනාඩි දහතුනක් මේ වීඩියෝ එක දිගයි. මේක තව කෙනෙකුගේ සම්බන්ධතාවයකට උදව්වක් වෙයි කියලා අපි හිතනවා. ප්‍රමාදයට පෙර ඔයාලට තමන්ගේ වැරදි අවබෝධ කරගන්න පුලුවන් වෙයි කියලා අපි හිතනවා. මමත් ඇලීනුත් හොඳ යාළුවෝ විදියට ඉන්න තීරණය කළා. අපිට කණගාටුවක් නෑ. හදවතේ සිදුවන වර්ධනය වීම් කවදාවත්ම නාස්තියක් වෙන්නේ නෑ.”

Nuseir වීඩියෝවේ කැප්ෂන් එක සටහන් කරන්නේ එහෙම. 

ඔවුන් 2016 ජූනි මාසයේ ප්‍රේමවන්තයන් බවට පත් වූ යුවළක්. ඒ වෙද්දී ඇලීන් විවාහයකින් දික්කසාද වී ලෝකය පුරා සංචාරය කිරීම අරඹා තිබුණා. ඔවුන් සමාජ ජාලා ඔස්සේම මිතුරු වෙනවා. එකිනෙකාගේ ගතිගුණවලට ඇලුම් කරන්නට පටන් ගන්නවා.

“මම තවමත් ඔයාගේ ගොඩක් දේවල් වලට ආදරෙයි”

නුසියර් එසේ කියද්දී ඇය ද එසේ ආදරය කරන බව ඇලීන් පවසනවා.

ඔවුන් ඔවුන්ගේ ගමනේ ආරම්භය එක්ව ගත කළ සොඳුරු තැන්, සංචාර, මුණ ගැසුණු පුද්ගලයන් ගැන ගැන එහිදී මතක් කරනවා.

“ඒත් සමහර වෙලාවට වඩාත් හොඳ දේවල් පවා අවසානයට ළඟා වෙනවා.”

ඔවුන් එහෙම පවසනවා. වේදනාව දෑස් තුළ හංගාගෙනම ඔවුන් එය එසේ බව කියනවා.

“මම ඇය එක්ක ඇවිදීම් අත් හැරියා. මගේ සම්පූර්ණ කාලය වීඩියෝ වලට යෙදෙව්වා.”

නුසියර් ඒ වරද පිළිගන්නේ සමුගන්නා පෙම්වතියගේ දෑස් දෙස බලමින්.

” සම්බන්ධතාවයක් තුළ අවශ්‍ය වෙන දේ ඔයාට දෙන්න මට බැරි වුණා. ඔයාටත් ඒක බැරි වුණා.”

ඔහු ඇයට කියනවා. අවධානය සීමිත වූ කතාව ඇය ද විස්තර කරනවා.

ප්‍රේමයක් තුළ තමන් අනෙකාගේ ලෝකයට අයත් නැති බව එහි තමන්ට ඉඩක් නැති බව දැන ගැනීම වේදනාවක්. ඔවුන් ඒ වේදනාවෙන් පීඩිත වූවන්.

“මං ඔයා ගැන ඕනෑ තරම් හිතුවා. ඔයා ඔයාගේ ව්‍යාපාරය ගැන හිතුවා.”

සාකච්ඡාව අතරතුර ඇලීන් නගන චෝදනාව ලෝකයේ ආදරවන්තියන් වැඩි ප්‍රතිශතයකට ගැටළුවක් වී ඇති දෙයක්.

ඇත්තටම ඔයාට මට වෙලාවක් දෙන්න බැරි ඇයි?

බොහෝ විට තරුණයන් උත්සාහ කරන්නේ ආර්ථිකය සවිමත් කරගන්නට. ඒ වෙනුවෙන් බොහෝ කැප වෙද්දී ජීවිතය අත්ලෙන් ගිලිහෙන්නට පුලුවන්. සහකරුගේ ආර්ථිකයට මොනතරම් උදව් දුන්නත් එක් තැනක් එනවා. ඒ කාන්තාවට ආදරයම ඕනෑ වෙන තැනක්, අවධානයම අවශ්‍ය තැනක්.

“මට ඔයා දරා ගන්න සංවේදනය තිබුණේ අඩුවෙන්”

යැයි පිළිගන්නට තරම් නිහතමානි වෙන සහකරුවෙක් ජීවිතයේ සිටීම සතුටක්. ඇලීන්ට ඒ සතුට ඉතිරි වෙනවා.

“අපේ ආදර භාෂාවන් වෙනස්. ඒ නිසා අපි එකිනෙකාට ආදරය කරන බව අපිට නොදැනෙන්නට ඇති.”

සම්බන්ධතාවයක් අවසානයේ හෝ එසේ තේරුම් ගැනීම ඉතා ඉහළ දෙයක්.

“අපි දෙන්නා වෙනස් මිනිස්සු දෙන්නෙක්”

අවසානයේ නුසියර් එහෙම කියනවා.

“ජීවිතේ අවශ්‍යතා වෙනස්ව දකින දෙන්නෙක්, වෙනස් අරමුණු ඇති දෙන්නෙක්, වෙනස් ජීවන රටා ඇති දෙන්නෙක්” 

ඔවුන් එහෙම සාකච්ඡා කරනවා.

අප්‍රේල් නව වෙනිදා ඔවුන් එකිනෙකාට සමු දී තිබුණා. ඉන්පසු උදා වූයේ පහසු කාලයක් නොවේ. හැකිතරම් හඬන්නට සිදු වූ කාලයක්.

“ආත්ම සහකාරයන් ඉබේ බිහි වෙන්නේ නෑ. එයට උත්සාහයක් දරන්න ඕනෑ. “

ඒ උත්සාහය දරන්නට අමතක වූ බව ඔවුන් පිළි ගන්නවා.

“ඔයා මගේ ජීවිතයට ආවට මට සතුටුයි. ඔයා මුණ ගැහීමත් මට සතුටක්.”

නුසියර් එහෙම කියනවා.

“මට සතුටුයි. අපි ඉගෙන ගත්තා, එකට වැඩුණා. දේවල් එකට කළා.”

ඒ ඇලීන්ගේ ප්‍රතිචාරය.

සියල්ලටම අපි තවම මිතුරන් වීම සතුටක් බව කියන්නටත් නුසියර් අමතක කරන්නේ නෑ.

ප්‍රේක්ෂකයන් මහත් සංවේගයට පත් කරමින් දෑත් අල්ලා ගන්නා යුවළ ඈත් වීමේ මොහොත එළඹ ඇතැයි පවසනවා. වේදනාත්මකව හිනැහෙමින් හැඬුම් පාලනය කර ගන්නවා.

“අවුරුදු හයක් අවසානයේදී අපි ඉගෙන ගත්තා සම්බන්ධතාවය බිඳී  යාම පරාජයක් හෝ වැරදීමක් නෙවෙයි. “

එසේ කියමින් ඔවුන් කතාව අවසන් කරනවා.

එකිනෙකාට සන්සුන් වන්නට මතක් කරමින් ඔවුන් එකිනෙකා වැළඳ ගන්නේ ඉතා මිත්‍රශීලිව. ඉතා සරාගීව, ඉතා ප්‍රේමනීයව තුරුළු වූ මිනිසාට මිත්‍රත්වයේ වැළඳ ගැන්මක් දීම ගැහැනියකට පහසු නැහැ. ඔහුටත් එය එපමණකටම අපහසු ඇති. ගීයක් ගයා හිනැහෙමින් ඔවුන් දෙපසට වෙන්ව යනවා.

විවාහයක් හෝ ප්‍රේමයක් එසේ අවබෝධයෙන් අවසන් වීම මොනතරමට මිහිරි ද? ආදරය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කියන ප්‍රේමවන්තිය ගෙල කපා ඝාතනය කරන තරුණයන් සිටින රටක මෙවැනි ප්‍රේමණීය හැසිරීම් ව්‍යාප්ත විය යුතුමයි. 

ආදරය අවබෝධයෙන් ඇරඹිය යුතු බව අපි දන්නා කාරණාවක්. සතුරන් නොවී මිත්‍රත්වයෙන්ම එය අවසන් වීම සැබෑම මිහිරක්. ලෝකයම දන්නා යුවළක් වීම නිසා අපහසුවෙන් හෝ එක්ව විසීම නුසියර් සහ ඇලීන් තෝරා ගත්තේ නෑ.

ලෝකය ඔබේ ආදරය ගැන දන්නේ පිටත කතාවෙන්. ඇතුළාන්තය ගැන දන්නේ ඔබ පමණයි. රිදීම් දරමින් හිඳින්නට නොහැකි නම් එකිනෙකාව මානසික බිඳ වට්ටවන්නට එපා. සුහදව වෙන් වන්න.

ආදරය අවසන් වේවි!  එහෙත් ජීවිතය ඔබට ලබා දුන් හොඳම මිනිසෙකුගේ හිතවත්කම සදහටම ඔබ ළඟ රැඳේවි!

ඒ මදිද?

Related Articles

Don't Miss


Latest Articles