මතක දිගහැරුම 20 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසිවන දිගහැරුම ,

ගුවන් යානයේ ගුවන් නියමුවන් සතුව හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි අත් මාංචු සහිත පෙට්ටියක් ඇත. එකල මගීන් සඳහා මත්පැන් නොමිලේ ලබාදෙන නිසා ඇතැමුන් සීමාවක් රහිතව මත්පැන් පානය කර අනෙක් මගීන් අපහසුතාවයට ලක්වන අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි. එලෙස සිහි මඳ ගතියෙන් හැසිරෙන අයට සහ සැකකටයුතු පුද්ගලයන් වෙනුවෙන් භාවිත කිරීම සඳහා එම අත් මාංචු ඇත.

එකල ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනා ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවල් වලට ගිය කාලයකි.අතිශය අන්ත අසරණ කාන්තාවන් එසේ ගෘහ සේවය සඳහා යන අතර සමහරුන් පැමිණෙන්නේ ගුවන් ගමන් බලපත්‍රය පමණක් අතැතිවය. එසේ පැමිණෙන සමහර අයට ගුවන් යානයේ තිබෙන headset එක භාවිතා කිරීමට තරම්වත් අවබෝධයක් තිබුණේ නැත.ඇතැම් අය ගුවන් යානයට ඇතුළු වූ මොහොතේ සිට පවුලේ අය සහ දරුවන් සිහි කරමින් හඬා වැලපෙන අතර මා බොහෝ විට ඔවුන්ගේ දුක්ගැනවිලි අසා ඇත්තෙමි . තමන්ට හිමි දේපළ විකුණා හෝ උගස් තියා එම මුදල් වලින් ගෘහ සේවය සඳහා යන සමහරුන්ට රැකියා අහිමි සැමියන් සහ බීමත් සැමියන් නිසා එම ඉරණම අත් වී ඇත.බොහෝ අය පවසන්නේ තමන්ටම කියා නිවසක් සාදා ගැනීමට හෝ දරුවන්ට ඉගැන්වීම පිණිස තමන් ගෘහ සේවයට යන බවයි. සමහර අයගේ වැටුප පිළිබඳ මා අසා ඇති අතර ඇත්ත වශයෙන්ම ඔවුන් පවුලේ අයගෙන් ද වෙන්වී එසේ රැකියාව සඳහා මැදපෙරදිග රටවල් වලට ගොස් ලබන වැටුප ඔවුන්ට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත .
බොහෝ රටවල් වලට එසේ ගෘහ සේවය සඳහා කාන්තාවන් යනවිට ඔවුන්ට මනා පුහුණුවක් ලබා දෙයි. නමුත් ශ්‍රී ලංකාවේ ඒ වනවිට තිබූ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඇතැම් කාන්තාවන් වැසිකිළිය භාවිතා කිරීමට වත් නොදන්නා අතර ඔවුන් වාඩිවී හෝ සිටගෙන වැසිකිළි භාවිත කල පසු එය ඉතාම අපිරිසිදු වී තිබෙනු මා අත්දැකීමෙන්ම දැක ඇත්තෙමි.

එලෙස ගෘහ සේවයට යන බොහෝ දෙනා නැවත පැමිණෙන විට ඇඳුම් පැළඳුම් වල සිටම බොහෝ වෙනස්කම් සිදු වී තිබේ. ඒ වගේම නිවසට අවශ්‍ය කරන බඩු රැගෙන එන ඔවුන්ට නොවරදින උපකරණය වූයේ කැසට් එකය. තවත් සමහරුන් පැමිණෙන්නේ හිටියාටත් වඩා අන්ත අසරණ වී ය. අවුරුදු ගණන් සේවය කළත් හරිහැටි වැටුප් නොලබා පැමිණෙන ඔවුන් ඇතැම් විට නිවෙස් හිමියන්ගෙන් පහරකෑමට ලක් වූ සලකුණු අපට පෙන්වයි. විදුලි ස්ත්‍රික්කයෙන් පිලිස්සූනු සලකුණු සහිත කාන්තාවන් මා බොහෝ දැක ඇත්තෙමි. ඔවුන් පවසන්නේ තමන් අතින් කුඩා හෝ වරදක් වූ විට නිවෙස් හිමියන් එසේ සිදුකරන බවයි. ඇතැම් අය පැමිණෙන්නේ නිවෙස් හිමියන් පහර දෙනවිට ගොඩනැගිලිවලින් වැටී හෝ ගොඩනැගිලි වලින් පැන කොඳු ඇට පේළිය ට හානි සිදුවී ගිලන් ඇඳකය. වාඩි වීමට හෝ සිට ගැනීමටවත් බැරි ඔවුන් පැමිණෙන්නේ සම්පූර්ණ ලෙසම ආබාධිත තත්ත්වයට පත්වීය.

සමහර අයගේ තත්වය එසේ වෙද්දි ඇතැමුන් තමන්ගේ සිහින සැබෑ කරගෙන ආපසු තම මව් රටට පැමිණෙයි .අවුරුදු ගණනාවක් පුරාවට සේවය කර , නිවැසියන් ඉතා හොඳ බව පවසමින් හොඳ වැටුප් ලබා සමහර කාන්තාවත් පැමිණෙන්නේ අතිශය සතුටින්ය.

නිවාඩුව සඳහා මව් රටට පැමිණ නැවත සේවය කළ රට බලා යන ඇතැම් කාන්තාවන් විටෙක පවසන්නේ එතෙක් කල් ඔවුන් එවූ මුදල් සැමියන් විසින් නාස්ති කර ඇති බවයි. ඇතැමුන් එසේ නිවසට යන විට තමන්ගේ නිවස පෙර තිබූ ලෙසම තිබෙන බවත් සැමියන් ඒවා වැඩි දියුණු කර නොමැති බවත් ඔවුන් පවසන්නේ අතිශය කණගාටුවෙන් ය. ඇතැම් විට එවැනි කාන්තාවන්ගේ දියණියන් සැමියාගේ මිතුරන් අතින් දූෂණය වී ඇති ඛේදජනක පුවත් ද අප හා පවසයි .

කිසිදු රැකියාවක් නොකර තමන්ගේ බිරිඳව ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවල් වලට යවන සැමියන් අතර රැකියාවක් කර ගැනීමට නොහැකිව අසනීප වී හෝ ඔත්පල වී සිටින සැමියන් ද සිටි කාන්තාවන් මට මුණ ගැසී ඇත . සැමියා අහිමි වු සමහර කාන්තාවන් තමන්ගේ වැටුප් මුදල් එවන්නේ තමන්ගේ සහෝදරයෙකුට හෝ නෑදෑයෙකුටය.නමුත් ඔවුන් ඒ කිසිදු මුදලක් තමන්ගෙ දරුවන්ට ලබා නොදී ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ඒවා වියදම් කර ඇති බව ඇතැම් කාන්තාවන් පවසයි .

ගෘහ සේවය සඳහා කාන්තාවන් මැදපෙරදිග රටවල් වලට යාම ශ්‍රී ලංකාවට අධික විදේශ විනිමයක් ලබා දෙන දෙයක් වන නමුත් එසේ සේවය සඳහා යන කාන්තාවන්ගේ ජීවිත අතිශය දුක් කම්කටොලු වලින් සපිරි ඒවාය .ඔවුන්ගේ එම දුක්ඛිත තත්ත්වය මා දෑසින් දැක ඇති නිසා අදටත් මා හදුනන කවුරුන් හෝ එසේ ගෘහ සේවයට යන බව පවසද්දී මා ඔවුනට කියන්නේ හැකි ආකාරයෙන් ස්වයං රැකියාවක් හෝ කරමින් තමන්ගේ පවුලේ අය සමග අප රටට වී සිටින ලෙසයි .

ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට ගුවන් තොටුපළේ දී සම්පූර්ණ කිරීම සඳහා පෝරමයක් ලබා දෙයි .ඇතැම් කාන්තාවන්ට එය පිරවීමට තරම්වත් දැනුමක් නැත. ගුවන් යානයේ ගුවන් මඟීන් සඳහා මගේ සේවය ලබා දී අවසන් වූ විට මා කරන්නේ ගෘහ සේවය සඳහා යන එම කාන්තාවන්ගේ ගුවන් ගමන් බලපත්‍රයන් සහ එම පෝරමයන් එකතු කරගෙන ගොස් ඔවුන් වෙනුවෙන් ඒවා පුරවා දීමයි. අප සමග සේවය කළ බහුතරයක් ගුවන් සේවිකාවන් එම කාන්තාවන්ට එසේ සහයෝගය ලබා දුන්හ .

ඩුබායි සහ අබුඩාබි වැනි රටවල් වල සිකුරාදා දිනයන්හි අප සිටියහොත් එවැනි දිනවල අප පිටතට යන්නේ නැත. එයට හේතුව වන්නේ එම රටවල් වල සිකුරාදා දිනයේ දී ගෘහ සේවක සේවිකාවන් සියලු දෙනාවම බස් රථවලින් ගෙනවිත් වීදි වල කඩවල් තිබෙන ස්ථාන වලින් බස්වා යෑම නිසා එම වීදිවල උදෑසන සිට සවස් වනතුරු අධික සෙනගක් සිටීමයි . එම දිනයේදී උදෑසන සිට සවස් වන තුරු ඔවුන් තැන් තැන්වල කල්ලි ගැසී කතාබස් කරමින් සිටී .

ගෘහ සේවයට යන කාන්තාවන් ගැන කතා කරද්දී තවත් අමතක කළ නොහැකි ශෝකජනක සිදුවීමක් ඇත. එම රටවල් වල සේවය කරමින් සිටියදී හදිසි අනතුරු වලට ලක් වී හෝ ඇතැම් විට ගොඩනැඟිලිවලින් පහළට තල්ලු කර හෝ මිය ගිය අයගේ මෘත ශරීරද ඇතැම් විට අප ගුවන් යානා වල මෙරටට ගෙනවිත් ඇත .

ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවල් වලට යන කාන්තාවන්ගේ ජීවිත පසුපස ඇත්තේ අතිශය ඛේදාන්තයකි. අන්ත අසරණ වී කර කියා ගැනීමට දෙයක් නොමැති තැන තමන්ගේ පවුලේ අය සහ දරුවන්ව තනිකර එසේ ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවල් වලට යන බොහෝ කාන්තාවන්ගේ ජීවිත ඇතැම් විට අවිනිශ්චිතභාවයක් ගන්නා බවද මා කිව යුතු ය . තමන්ගේ සිහින සැබෑ කරගන්නා සුළුතරයක් අතරින් හීන බොඳ වූ බහුතරයක් කාන්තාවන් හිස් අතින් තම මව් රටට පැමිණීම ඉතාම සංවේදී කාරණාවක් ලෙස කිව හැකිය.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles