සැමියා සමග අනියම් සබඳතා පවත්වනවා යැයි සැක කර තරුණියන්ට බැන වැදුණු බිරිඳක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

ඔබව කවුරුන් හෝ සැක කිරීම හෝ ඔබ කවුරු හරි සැක කිරීම ඔබේ ජීවිතයම අවුල් සහගත කරන්න සමත් වෙන කාරණාවක්.පවුල් උපදේශනයට එන බොහෝ යුවලවල් වලට තියන ප්‍රධානම ගැටලුවක් කියලා මේ සැකය හඳුන්වන්න පුලුවන්.

ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද ඔබට කියන්නේ මේ සැකය නිසා සිදු වූ ගැටලුවක් ගැනයි.

ඩිලාන් ආයතනයක ඉහළ නිලධාරියෙක්.කලනි සමඟ විවාහ වූ ඔහුට දරුවන් දෙදෙනෙකුද ඉන්නවා. බාල පුතාගේ ඉපදීමත් සමඟ කලනි ඇය නිරත වී සිටි රැකියාවෙන් ඉවත් වෙනවා.නමුත් ඒ ගැන ඩිලාන් එතරම් කැමැත්තක් නෑ .

“ඔයා හොඳට ඉගෙන ගත්තු කෙනෙක්නෙ.මන් නම් අකමැති ඔයා ජොබ් එකෙන් අයින් වෙනවට. ඒත් බබාලා සර්වන්ට් එක්කයි ඩේ කෙයාවලයි තියන්න ඔයා අකමැති නිසාමයි ඔන්න මම මේ තීරණයට කැමති.”

ඩිලාන් ඒ විදියට කලනිගේ තීරණයට සහය දක්වනව . දිගු කාලයක් රැකියාව කල කලනි දරුවන් වෙනුවෙන් නිවසේ හිඳීම තෝරා ගන්නවා.නමුත් බොහෝ කාන්තාවන්ට වගේ ගෙදර හිඳීම නිසා සනීපාරක්ෂක තුවා පැකැට්ටුව පවා සැමියාගෙන් ඉල්ලන මට්ටමට ඇය ඇද වැටෙන්නේ නෑ. ඩිලාන් ඔහුගේ වැටුප කලනිගේ අතට ලබා දෙනවා.ඉතින් කලනි ගැටලුවකින් තොරව ජීවත් වෙනවා.

ප්‍රශ්නයක් නැතිව සතුටින් ගලාගෙන ජීවිතය තුළ හදිසියේ ප්‍රශ්න පෙනෙන්නට ගන්නේ කලනිට. මේ සියල්ල පටන් ගන්නෙ ඩිලාන්ට තවත් උසස්වීමක් ලැබීමෙන් පසුවයි. ඒ උසස් වීමත් සමග ඔහු ඉතාම කාර්යබහුල වෙනවා.ගෙදර එන්නෙත් රෑ බෝ වෙලා. පවුල සමග ගත කල කාලය රාජකාරි කටයුතු වෙනුවෙන් යොදන්න ඩිලාන්ට සිදුවෙනව. මීට අමතරව නිවසේ රැදෙන සති අන්තයේ සහ රාත්‍රියේ පවා ඩිලාන්ට නිතරම ඇමතුම් එන්න පටන් ගන්නවා.ඩිලාන් එවැනි වෙලාවට වහාම එළියට යනවා. කලනිගේ හිතේ මේ හැසිරීම් ගැන ඇතිවෙන්න සැකයක්.

“මොනවද ඩිලාන් එළියට ගිහින් හොරෙන් කතා කරන්නේ?”

කලනි කෑගහමින් ඔහු පසුපසින් එන්න පටන් ගන්නේ මෙවැනි වෙලාවට.මෙලෙස කෑගසන බිරිදව මගහරින්න ඩිලාන් තවත් ඈතට යාම හෝ මෝටර් රථයට ගොස් එහි අගුළු ලා ගැනීම වගේ කාරණා පටන් ගන්නවා.ඉන්පසු ඇමතුම් ගන්නවා. මේ හැසිරීම් ගැන තේරුම් ගන්න බැරි කලනි ඇගේ සැකය තව තවත් වර්ධනය කර ගන්නව.

“තමුසෙට වෙන ගෑනියෙක් ඉන්නවා නේද?”

කලනි ඒ බරපතල චෝදනාව කරමින් හැමදාම රණ්ඩු අල්ලන්නට පටන් ගන්නවා.ඩිලාන් ඇය සමඟ නිතරම රණ්ඩු කරන්න ගන්නවා.

එක් දවසක් මෙසේ ඇමතුමක් පැමිණි පසු ඩිලාන් එහෙමෙහෙ වනතුරු හිඳ එයට පෙරළා අමතන්නට කලනි කටයුතු කරනවා.අනෙක් පස හිදින්නේ යුවතියක්.ඇය “හෙලෝ”කී පසු කලනි ඇමතුම විසන්ධි කර ඩිලාන් සමඟ රණ්ඩු අල්ලන්නට පටන් ගත්තා.

“ඒ කවුද? ඒ තමුන් යාලු වෙලා ඉන්න ගෑනියක් ද”

කලනි කෑගසමින් බනින්නට පටන් ගත්තා.ඒ කාර්යාලීය හදිසි ඇමතුමක් බව මොනතරම් කීවත් ඇය පිළි ගත්තෙම නෑ.අවසානයේ දී විශාල ගැටුමක් නිර්මාණය වුණා.ඉන්පසු ඩිලාන් මොනම අවස්ථාවකවත් ජංගම දුරකථනය කලනිට අසු වෙන තැනක තිබ්බේ නෑ. ඔහු කලනිට අනුමාන කළ නොහැකි පාස්වර්ඩ් දුරකථනයට යොදන්නට ක්‍රියා කළා.

එදා කලනි ඒ ඇමතූ අංකය ලියාගෙන තිබුණු අතර ඇය ඒ අංකයට අමතා ඩිලාන්ගේ කාර්යාලයේ තරුණිය වූ සෙනාලිට බැන වැදී තිබුණා.නැවත ඩිලාන්ට ඇමතුවහොත් කාර්යාලයට විත් පහර දෙන බවට ඩිලාන්ගේ බිරිඳ යැයි කියන කාන්තාවක් තමන්ට තර්ජනය කළ බව ඩිලාන්ට සෙනාලි පැමිණිලි කරේ භීතියට පත් වෙලා. මේ සිදුවීම් එක්ක කලන ඉතාමත් ලැජ්ජාවට පත් වෙනව. නමුත් එය කාර්‍යාලයේ තුලදී සගවා තීරණය කරන කලන එය මගහරින්න උපක්‍රමයක් යොදන්නෙ ඒ අනුවයි .

“මේ මගෙ වයිෆ්ගෙ නම්බර් එක නෙවෙයි සෙනාලි.කවුරුහරි ඔයාට ජෝක් එකක් කරලා..”

කියමින් සෙනාලිගේ පැමිණිල්ල ඩිලාන් උපායශීලීව ඉවත දැමුවා.සෙනාලිද එය පිළිගත් නිසාම ඩිලාන්ට කාර්යාලයේ අය අතර ලැජ්ජා වන්නට වූයේ නෑ. නමුත් කලනි සමග ඩිලාන්ට ඇතිවන්නෙ දැඩිකේන්තියක් .

“මට කෝල් කරන්නේ ඔෆිස් වැඩවලට.ඒකට ගෑනු පිරිමි බේදයක් නෑ.රැයක් දවාලකුත් නෑ.අපි ලොකු ප්‍රොජෙක්ට් එකක ඉන්නේ.කරුණාකරලා මගෙ ඔලුව අවුල් කරන්න එපා.”

ඩිලාන් එදා ගෙදර ගොස් කලනිට බැන වැදුණේ කෝපය ඉවස ගන්නටම නොහැකි තැනයි.

ඉන්පසු හඬමින් රණ්ඩු කරමින් ඩිලාන්ට අනියම් සම්බන්ධයක් ඇති බව කියන කලනිට ඩිලාන් මොනතරම් ඇත්ත පැහැදිලි කරත් ඇය පිළි ගත්තේ ම නෑ. ඒ නිසා ඇය පවුල් උපදේශනයට ගෙන එන්නට ඩිලාන් ක්‍රියා කළා.

රත්නා මහත්මිය ගැටළුව විමසූ විට ඩිලාන් ජංගම දුරකථනය සඟවන ආකාරයත් ඇය ඒ නිසාම ඔහුව සැක කරන බවත් කියමින් කලනි හඬන්නට ගත්තා.ඩිලාන් රත්නා මහත්මියට ඇමතුවේ ඉන්පසුවයි.

“මට ප්‍රමෝෂන් එකෙන් පස්සේ හරියට වැඩ වැඩි වුණා.මෙයාලා එක්ක ඉන්න කාලේ අඩු වුණු එකත් මං පිළි ගන්නවා. මට එන හැම කෝල් එකක්ම මම ආන්සර් කරන්නම ඕන.ගොඩක් වෙලාවට මං යටතේ ඉන්න ට්‍රේනියර්ස්ලට ගැටළු එනව.මං ඒවා එවෙලෙම විසඳන්න ඕන.මම ෆෝන් එක අරන් එළියට යන්න හේතුවක් තියනවා.දැන් අපේ පුතාලා හරි දඟයි.එයාලා නිතර කෑගහනවා.ඒ වගේම කලනි ටීවී බලනවා.ඒ ශබ්ද එක්ක මට ෆෝන් එක ආන්සර් කරාම හරි ඩිස්ටර්බ්.මං එළියට ගියාම කලනි කෑගහ ගහ පස්සෙන් එන එක වදයක් උනා.ඒ වගේම එයා ඒ නම්බර්ස් වලට ආයේ කෝල් බැක් කරන්න යාම නිසා මාව ඔෆිස් එකට ජෝක් එකක් වෙන්න නොදී තමයි මම පාස්වර්ඩ් දැම්මේ. මට කිසිම අනියම් සම්බන්ධයක් නෑ.මේක විසඳා ගන්නයි මට ඕන..”

ඩිලාන් පැහැදිලිව කියා සිටියා.

අපි නීතියෙන් එකට බැඳුණාට අප අතර වෙනස්කම් තියන බව අප අමතක කරන්න නරකයි.විවාහයකින් එකට බැඳෙන්නේ අවුරුදු විසි පහක්වත් වෙන් වෙන්ව ජීවත් වූ අය.විවාහයකින් අපට අවසර ලැබෙන්නේ නෑ අනිකාගේ හැම දෙයක්ම හාරා අවුසන්න.ඒ ජීවිතය නතු කරගන්න, තමන්ගේ අතට ගන්න උත්සාහ කරන්නත් එපා.එය අනික්ට හිරිහැරයක්.ඔබ කාව හෝ සැක කරන්න යාම ඒ සැකයට බඳුන් වෙන්නාට මානසික හිරිහැරයක්. සැකය මානසික රෝගයක් කියලත් කියන්න පුලුවන්.සැකය දුරදිග යාමෙන් බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

මෙතැන ඩිලාන්ට සිදුව තිබුණේ ලොකු අසාධාරණයක්.බිරිඳ එවැනි ඇමතුම් එනවිට කළ යුත්තේ දරුවන් නිහඬ කරවීම සහ ඔහුට කතා කරන්න සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමයි.නමුත් කලනි එසේ නොකර ඇමතුම් එනවිට කෑගසමින් බැන වැදීම, ඒ අංකවලට අමතා බැන වැදීම, ඩිලාන්ට නැවත කතා නොකරන ලෙස පවසා ඒ අංකවලට එස්එම්එස් යැවීම වැනි දේ නිසා විශාල පළුද්දක් නිර්මාණය වී තිබුණා.

දුරකථනය හාරාවුස්සමින් අපට සැමියන් රැක ගන්න නොහැකියි.ඇමතුම් වලට වැට බැන්දාට අපට ඔවුන්ගේ හිත්වලට වැට බඳින්න බෑ.එකිනෙකාට නිදහස දී විශ්වාසය තහවුරු කර ගැනීමයි කළ් යුතු.ඇත්තටම එය විවාහයට පෙර සිටම ඇති කර ගත යුත්තක්.

අපේ රටේ බහුතරයකගේ විවාහ අවුල් වන්නට ප්‍රධානම හේතුව සැකය ඔඩු දිවීම බව රත්නා මහත්මිය ඇගේ උපදේශන වෘත්තීය අත්දැකීම් ඇසුරින් කියා සිටියා.සමහරු ඉන්පසු සැබෑවටම අනියම් සබඳතා ඇතිකරගන්නත් තවත් සමහරු දික්කසාද වෙන්නත් සැකය හේතුවක්.කලනිට මේ තත්ත්වය පැහැදිලි කර දී විශ්වාසය ඇති කරගන්නා ආකාරය වටහා දෙන්නට ඉහත කරුණු ඇසුරින් රත්නා මහත්මිය කටයුතු කළ නිසා ඒ පවුල බිඳී ගියේ නැහැ.

“ආදරේ ගොඩක් තියනවා නම් තමන්ගේ සහකරුව හෝ සහකාරිය අවිශ්වාස කරන්නත් ඕනෑ” වගේ විසිළු සහගත මත සමාජ මාධ්‍යවල පැතිර ගියත් ඒවා ඔලුවට ගන්න එපා.ඔබ ඔබෙ සහකරුව විශ්වාසයෙන් දිනා ගන්න.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles