මතක දිගහැරුම 125 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය විසිපස්වන දිගහැරුම ( අවසන් කොටස )

මේ වන විට ජීවිතයේ සෑහෙන දුරක් ගෙවා ගෙන පැමිණි මා හට තවත් කෙතරම් දුර යා යුතුව තිබේ දැයි මා නොදනිමි .මා මෙතෙක් කල් ඔබ හමුවේ ගෙන හැර පෑවේ මගේ ජීවිතයේ මා ලද අත්දැකීම් වලින් සමාජයට පණිවිඩයක් ගත හැකි ආකාරයේ අත්‍යවශ්‍යම අත්දැකීම් ය.වර්තමානය වන විට සරල අදහස් , සිරිත් විරිත් ,සංස්කෘතික වටිනාකම් ආදී දේවල් මනුශ්‍යයාගෙන් ගිලිහී යන කාලයක මගේ ජීවිත අත්දැකීම් ඔස්සේ සමාජයට ලබා ගත හැකි දෙයක් වේ යැයි මා සිතමි.මේ වන විට හෂාන් සහ මම අපගේ දරුවන් වෙත සංස්කෘතික වටිනාකම් , සම්ප්‍රදායික සිරිත් විරිත් ඇතුළු යහපත් බොහෝ දේවල් ක්‍රියාවෙන්ම පෙන්වා දී ඇති නිසා ඒවා මගින් ඔවුන් ඔවුන්ගේ අනාගතය යහපත් කර ගන්නා අතරම ඉදිරි පරම්පරාව වෙත ඒවා ගෙන යන බව මා විශ්වාස කරමි.

මගේ ජීවිතයේ මා මේ තාක් දුර පැමිණියේ විවිධ වූ බාධක ඔස්සේය.මා විශ්වාස කරන්නා වූ විශ්ව ශක්තියේ බලයෙන්, ආශිර්වාදයෙන් සහ චිත්ත දහිරියෙන් ඒ සෑම බාධකයක් ම, මා මේ වන තෙක් ම ජය ගත්තෙමි .ගංගාවක් තව තවත් සුන්දර වන්නේ බාදක මැද්දෙන් ගලා යන විටය.ඒ ආකාරයටම මම ද විවිධ වූ බාධක ජය ගනිමින් මගේ ජීවිතයේ බොහෝ කඩඉම් පසු කරගෙන පැමිණියෙමි.ඒ පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට මා කිසිදු සිදුවීමක් පිළිබඳව පසුතැවිලි වන්නේ නැත.බුදු දහමේ දේශනා කර ඇති පරිදි අතීතය දෙස හැරී බලා සිදුවූ සිදුවීම් පිළිබඳව පසුතැවිලි වීමෙන් හෝ දුක් වීමෙන් ඇතිවන ප්‍රතිඵලයක් නැත.මන්ද ,අතීතයේ සිදු වූ සිදුවීම් අපට නැවත නිවැරදි කළ නොහැකි නිසාය.නමුත් එකී සිදුවීම් වලින් අප උගත් පාඩම් ඔස්සේ අද දවස සහ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම අපට කළ හැකිය.

අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු පොදි බැඳගෙන සිටීම ද අප නො කළ යුතු ය.ඒවා පසුපස අසීමිතව දිවගොස් දිනක හති වැටෙන්නේ අපමය.කිසිම දිනක අප බලාපොරොත්තු වන සෑම දෙයක්ම ඒ අයුරින්ම ඉෂ්ට වන්නේ නැත.සැපක්ය කියා අප හබායන හැම දේම අවසානයේ දුකක්මය.එම නිසා බුදු දහමේ සඳහන් කළ පරිදි අද දවස ගැන සිතා අද දවස යහපත්ව ගත කිරීම අප කළ යුතුය.අපගෙ අනාගතය වෙනුවෙන් අප කළ යුතු වන්නේ අද දවසේ සිදුකරන යහපත් දේවල් ඔස්සේ අනාගතයට යහපත් දෑ එකතු කර ගැනීමයි.ධර්මානුකූලව ඉතා යහපත්ව අද දවස අප ගත කරනවානම් යහපත් වූ අනාගතයකට නිරායාසයෙන්ම පාර සැකසෙන බව මම විශ්වාස කරමි.

සමහර දෙමාපියන් ඔවුන්ගේ දරුවන් කුඩා අවධියේ සිටම ඉතා වෙහෙස මහන්සි වී ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු හෝ විශ්වවිද්‍යාල කටයුතු සඳහා මුදල් ඉතිරි කරති.ඔවුන් එසේ කළත් දරුවන් ගමන් කරන මාර්ගය ඔස්සේ ඒවා යම් දිනයක වෙනස් විය හැකිය.එවිට ඒ දෙමව්පියන් තමන්ගේ බලාපොරොත්තු සුන් කරගෙන දුකට පත්වෙති.එම නිසා ඕනෑම දෙයක් පිළිබඳව ඕනෑවට වඩා බලාපොරොත්තු තබාගෙන ඒවා පසුපස දිව යාම අප නොකළ යුතුය.

මම යනු මේ මොහොතේදී මා සතු දේවල් වලින් සතුටට පත් වන අයෙකි.මා කිසි දිනෙක මගේ සැමියාගෙන් විවිධ වූ දේවල් ඉල්ලමින් ඔහුව පීඩාවට පත් කරන්නේ නැත .නමුත් ඔහු ඉතා සතුටින් මා හට ලබාදුන් දේවල් බොහෝමයක් ඇත.මා කැමති මොනයම් හෝ දෙයක් ඇත්නම් ඒවා මා මිලදී ගන්නේ මම වෙහෙස වී ඉපැයූ මුදල් වලින්ය.සාමාන්‍යයෙන් මා ඉතා පිලිවෙලට සහ ලස්සනට හැඳ පැළඳ සිටින්නට කැමති අයෙකි.මා විශ්වාස කරන ආකාරයට අප ජීවත් වන කෙටි කාලය තුළදී අප සතු දේවල්වලින් සෑහිමකට පත්වී ඉතා හොඳින් සහ සතුටින් ජීවත් විය යුතුය.ගිහියන් ලෙස අප ජීවත් විය යුතු ආකාරය ඉතාම හොඳින් බුදු දහමේ දේශනා කර තිබේ .සියලු දේ අනිත්‍යය.නැසෙන සුලුය.ජීවත් වන කාලය තුළදී සතුටින් ජීවත්වීමට අප වෙහෙස විය යුත්තේ ඒ නිසාය.ඒ වගේම මා සෑම විටම උත්සාහ කරන්නේ මා අතින් සිදුවන වැරදි අඩුපාඩු අවම කරගෙන මධ්‍යම ප්‍රතිපදාවට අනුව යහපත් ආකාරයෙන් ජීවත් වීමට ය.පසුගිය කාලය තුළ මාගේ ජීවිතයේ සිදු වූ හොඳ සහ නරක සිදුවීම් , හිමි වීම සහ අහිමිවීම් සියල්ලම මා ඉදිරි ජීවිතයට ආශිර්වාදයක් කර ගන්න අතරම ඒ සෑම දෙයකම හොඳ පැතිකඩ දැකීමට මා උත්සාහ කරමි.

හෂාන් සහ මම අපගේ දරුවන් ව ඉතා හොඳ පාසල් වලට ඇතුළු කර ඔවුනට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නෙමු.අප දෙදෙනාට හැකි ආකාරයට සෑම පහසුකමක්ම ඔවුන් වෙත සලසා දෙමින් ඔවුන්ගේ ජීවිතය සැපවට්‍ය් එකක් කිරීමට අප උත්සාහ දැරුවෙමු.අපගේ දෙමව්පියන් අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් ,යහපත් දේවල් පිළිබඳව නිසි අවබෝධයක් ලබා දෙමින් හොඳ පුරවැසියන් ලෙස අපව සමාජ ගත කළ අතර වර්තමානයේ දී හෂාන් සහ මම දෙමව්පියන් වශයෙන් උත්සාහ කරන්නේ අපගේ දරුවන් ව ඉතා හොඳ පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීමටයි .දෙමව්පියන් අප වෙත ලබා දුන් යහපත් දේවල් ඔස්සේ , හෂාන් සහ මම අප දෙදෙනාගේ කැපවීමෙන් සහ මහන්සියෙන් ජීවිතයේ බොහෝ දේවල් උපයා ගනිමින් වර්තමානයේ අප සිටින තත්වය වෙත පැමිණ ඇත්තෙමු.අනාගතයේදී අපගේ දරුවන් තිදෙනා ද ඒ ආකාරයට ඔවුන්ගේ උත්සාහයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කරයි යන විශ්වාසය අප දෙදෙනාම තුළ ඇත.හෂාන් සහ මම ජීවිතයේ අභියෝග වලට මුහුණ දුන් ආකාරය සහ බාධක ජය ගත් ආකාරය අපගේ දරුවන් හොඳින් දන්නා නිසාම ඔවුන්ද ඔවුන්ගේ ජීවිතයට පැමිණෙන බාධාවන් වලට සාර්ථකව මුහුණ දේ යැයි මා සිතමි.මන්ද , අනාගතයේදී ඔවුන් පා තබන්නේ ඉතා විෂම වූ සමාජයකටය.ඇතැම් විට අප මූණ දුන්නට වඩා අභියෝගයන් වලට ඔවුනට මුහුණ දීමට සිදුවනු ඇත.එම නිසා ඒ සියලුම දේවල් වලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි වනු ඇතැයි මා සිතමි.හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ගැටලු සමග කටයුතු කරන්නේ කෙසේදැයි අප දැනටමත් ඔවුනට කියා දී තිබෙන නිසා අනාගතයේ දී ඔවුන් අභියෝග වලට ඉතා සාර්ථකව මුහුණ දෙනු ඇත.

මේ වන විටත් ඔවුන් හොඳ ධර්ම අවබෝධයකින් යුතුව ජීවිතය ඉතා හොඳින් සහ සතුටින් ගත කරන්නේ හෂාන් සහ මම ඔවුනට කුඩා කාලයේ සිටම ලබා දෙන යහපත් දේවල් නිසාය.ඒ ආකාරයට යහපත් දරුවන් ලොවට දායාද කිරීමට හැකිවීම පිළිබඳව මා තුළ ඇත්තේ නිහතමානී සතුටකි.හෂාන් රටට සිදුකළ සේවය මෙන්ම ඉතා හොඳ සේවයක් මගේ දරුවන් ද රට වෙනුවෙන් අනාගතයේ දී සිදු කරමින් රටට ගෞරවයක් ගෙන දෙනු ඇත.ඒ වගේම අපගේ දරුවන් අනාගතයේ දී ඔවුන්ගේ සහකාරියන් සමග ඉතාම අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් සාර්ථක විවාහ ජීවිතයක් කරා එළඹෙතැයි මා බලාපොරොත්තු වෙමි.මම සහ හෂාන් අපගේ දරුවන් වෙත පූර්වාදර්ශ ලබා දෙමින් ජීවත් වූ ආකාරයට ඔවුන් ද යම් දිනයක ඔවුන්ගේ දරුවන්ට පූර්වාදර්ශයක් වෙමින් ජීවත් වනු ඇත.

දියණියක ලෙස දෙමාපියන්ට ඉටු කළ යුතු සෑම යුතුකමක්ම පාහේ ඉටු කල මා සහෝදරියක, බිරිඳක සහ මවක වශයෙන් මගේ පවුල වෙනුවෙන් යුතුකම් සහ වගකීම් කිසිදු අඩුපාඩුවකින් තොරව ඉටු කිරීමට උත්සාහ කරමින් සිටිමි.ජීවිතයේ මෙතෙක් ගෙවාගෙන ආ දුර දෙස හැරී බලන කල මා හට සතුටු විය හැකි බොහෝ දේවල් තිබේ.මතක දිගහැරුම ඔස්සේ මා උත්සාහ කළේ මා ලද එකී අත්දැකීම් ඔස්සේ මෙය කියවන සමාජයට යහපත් පණිවිඩයන් දායාද කිරීමටයි.මේ මතක දිගහැරුම වැළඳගන්නා කුඩා පිරිසක් හෝ වඩාත් යහපත් මාර්ග වලට පිවිස තමන්ගෙ ජීවිත සාර්ථක කර ගන්නවා නම් මා හට ලද හැකි විශාලම සතුට එයයි.

නිමි

Related Articles

Don't Miss


Latest Articles