මතක දිගහැරුම 62 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට දෙවන දිගහැරුම ,

ලෝක කුසලාන කිරුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ මොහොතේ පාකිස්තානු ජාතිකයන් විශාල පිරිසක් තරඟ පිටිය වෙත දිව ආහ.පාලනය කළ නොහැකි තරමේ පිරිසක් ඒ මොහොතේදී මොහොතේ දිව ආ අතර හෂාන්ගේ අතේ තිබූ රත්‍රන් අත් පළඳනාවද කවුරුන් හෝ විසින් ගලවාගෙන ගොස් තිබුණි.තවත් ක්‍රීඩකයෙකුගේ කරමාලය කඩාගන්නට තවත් අයෙකු ඔහු අසලට පැමිණෙද්දී කඩුල්ලක් වනමින් ඔහු පිරිස පාලනය කරන්නට උත්සහ කල බවද අප හට පසුව ආරංචි විය.

ලෝක කුසලාන කිරුළ දිනා ගැනීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ චෙක් පත ද කවුරුන් හෝ විසින් ඔවුන් අතින් උදුරාගෙන ගොස් තිබුණි.කුසලානය අතැතිව සිටි අර්ජුන රණතුංගව එතැන සිටි විශාල පිරිස නිසා ඇද වැටෙන විට එම සිදුවීම සිදුවිය. චෙක් පත කවුරුන් හෝ ගත් බව තවත් අයෙකු කෑගසා කියන විට එවිට කණ්ඩායමේ අයෙකු කියා තිබුනේ ” ඒකට කමක් නැහැ කප් එක අල්ලගන්න ” කියාය.එතරම්ම ඔවුන් ඉතා කැපවීමෙන් ලබාගත් කිරුළට ආදරය කළහ.ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉතා විශාල සහ වටිනා ජයග්‍රහණයක් ලෙස ක්‍රිකට් ලෝක කුසලාන කිරුල ලබා ගැනීම කිව හැකිය.

එකල පටන්ම ක්‍රිකට් තරඟ ආවරණය කිරීම සඳහා සිටි ඡායාරූප ශිල්පියා වූයේ ප්‍රසන්න හෙන්නායක ය.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉතා වටිනා අවස්ථා සියල්ලක්ම පාහේ ඡායාරූපයට නැගුවේ ඔහුය.ඔහු සතු එම ඡායාරූප එකතුව ක්‍රිකට් කණ්ඩායමට ඉතාම වටිනා මතකයන් වන අතර පහුකාලීනව ක්‍රිකට් කණ්ඩායමේ එම වටිනා ඡායාරූප අප ඉල්ලා ගත්තේ ඔහුගෙන් ය.

ක්‍රිකට් ලෝක කුසලාන කිරුළ ලබාගැනීම අප එහිදී ඉතා සුළුවෙන් සැමරුවෙමු.මා ඇතුළු පිරිස නැවත ලංකාවට පැමිණෙන විට අප සමගම ක්‍රිකට් කණ්ඩායම ද නැවත ලංකාවට පැමිණියහ.ආපසු එන ගමන ද ඉතා විනෝදකාමී එකක් වූ අතර කණ්ඩායමේ සාමාජිකයන් විසින් ඔවුන් ලබාගත් අත්දැකීම් අප හා හුවමාරු කර ගන්නට විය.ඒ අතර යානයේ ගමන් ගත් මගින් පැමිණ ක්‍රිකට් කණ්ඩායම වෙත ඔවුන්ගේ සතුට පළකරමින් සුභ පැතුම් ද එකතු කලහ.

ලංකාවට පැමිණ ක්‍රිකට් කණ්ඩායම මුලින්ම ජනාධිපති මන්දිරය වෙත ගියා අතර ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම පිණිස මඟ දෙපස ජනතාව රැස්වී සිටියහ.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එකල ජනාධිපතිනිය වූ අතර ක්‍රිකට් කණ්ඩායම කුසලානයද රැගෙන ඇය හමුවිය.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සියලු දෙනාගේම ජීවන රටාව වෙනස් විය.පෙරටත් වඩා රටේ ජනතාවගේ ආදරය සහ ගෞරවය ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් වෙනදාටත් වඩා කාර්යබහුල වූහ.විවිධ පිළිගැනීමේ උත්සව පවා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බොහෝ දෙනා සංවිධානය කර තිබුණි.ඒ වගේම විවිධ උත්සව සහ සාද ද පිටරටවල් වලින් තවත් ආරාධනා ද බොහෝ ලෙස ගලා එන්නට විය.ඕස්ට්‍රේලියාව එංගලන්තය වැනි රටවල් වල සංචාරය සඳහා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාවන් හිමි වූ අතර ඒ රටවල් වල ක්‍රිකට් වලට ආදරය කරන අයගේ උත්සව වලට පවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ආරාධනා ලැබුණි.හෂාන් සහභාගි වූ ඒ සෑම අවස්ථාවකටම මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටි මා ද ඔහු සමඟ සහභාගි වූයෙමි.

ඇමරිකා යන ගමනට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගෙන් සහභාගි වූයේ මා පමණකි.අර්ජුන රණතුංග ගේ බිරිඳ වූ සමදරා අක්කා ඇමරිකාවේ පදිංචි ඇගේ සහෝදරයෙකු අමතා මා පිළිබඳව සොයා බලා මට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් මා රැක බලා ගන්නා ලෙස පවසා තිබුණි.ඇගේ සහෝදරයකු වූ චන්දිම අයියා මා කැමති මොනවාට දැයි ඇගෙන් අසා තිබුණි.මව් පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටි මා හට දොළදුකක් ලෙස තිබුනෙ කිරිබත් සහ සීනි සම්බෝල කෑමේ දැඩි ආසාවක් පමණි.සමදරා අක්කා ඒ පිළිබඳව චන්දිම අයියා දැනුවත් කර තිබුණි.

මා හෂාන් සමග ඇමරිකාවට ගිය විට බලාපොරොත්තු වූවාටත් වඩා ඉතා හොඳින් ඔවුන් මා රැක බලා ගත්හ. ඇමරිකාවේ පදිංචිව සිටි ලංකාවේ අය ඔවුන්ගේ නිවෙස්වල නවාතැන් ගැනීමට අපට පහසුකම් සැලසූ අතර ඒ සියලු දෙනාම ද මා ඉතා හොඳින් රැකබලා ගත්හ .ඒ වගේම ඒ හැම නිවසකින්ම මා හට ඉතා රසවත් ලෙස කිරිබත් සකස් කර දුනි.එක් එක් ස්ථානවලට අපව වාහනවලින් රැගෙන ගිය අය පවා මා සිටින තත්ත්වය පිළිබඳව සලකා බලමින් ඉතා සෙමෙන් සහ ආරක්ෂාකාරීව රිය ධාවනය කළ බව මට මතකය.

ඇමෙරිකාවට ගිය අප මුලින්ම ඩිස්නිලන්තය නැරඹීම සඳහා ගියෙමු.එහිදී ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පිරිස විවිධ ක්‍රීඩාවන් වල නිරත වෙමින් බොහෝ විනෝදජනක අත්දැකීම් ලබා ගත්හ.මා සිටි තත්ත්වය නිසා මා එම ක්‍රීඩාවල් නැරැඹුවා මිසක ඒවාට සහභාගී වන්නට ගියේ නැත.ඒ අතර අප සමග එම ගමනට සහභාගී වූ ” රීටා ආන්ටි ” ඉතා ආදරයෙන් මා පිළිබඳව සොයා බලමින් මා රැක බලා ගත්තාය.ඩිස්නිලන්තයේ දී ද ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් කණ්ඩායම හදුනාගෙන ඔවුන් සමග කතාබහ කරමින් ඔවුන්ට සුභ පැතුම් එකතු කළහ

මතුසම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles