ජීවිතේට පාඩමක්

“චාපා..චාපා..ළමයෝ අර බලන්නකො.ඔයාට පේන් නැද්ද ඒ විනාසේ..”

එහා ගෙදර ඇන්ටි කෑගහන සද්දෙට මම එළියට ආවා.ඇන්ටි ඔළුවේ අතක් තියාගෙන කෑගහනවා.වතුර ලයින් එක වත් කැඩිලද? මම විපරම් කළා.

“මොකද ඇන්ටි වෙලා තියෙන්නෙ?”

මම අහනකොට ඇන්ටි කම්මුලට අතක් තියාගත්තා.ඊට පස්සේ මං දිහා රවලා බැලුවා.

“හොඳ අම්මා..කෝ කෙල්ල..”

ඇන්ටි අහන්නේ සැරෙන්.එතකොටම මගේ ඔළුවට උඩින් හිනා සද්දයක් ඇහුණා.අපේ පුංචි කෙල්ල පේර ගහ මුදුනේ.මට මගේ පුංචි කාලේ මතක් වුණා.

“හරි ෂෝක් ගෑනු ළමයෙක් හැදෙන හැටි බහිනවා බිමට..”

ඇන්ටි කෑගහනවා.අපේ පුංචි කෙල්ල සෙනුලිට ගානක්වත් නෑ.

“මල්ලිටත් ගෙඩියක් කඩන්න පුතේ.”මම එහෙම කිව්වා.ඇන්ටි මට රවන්න ගත්තා.සාක්කු පිරෙන්න පේර කඩාගත්තු දුව ගහෙන් බැහැලා මගේ ලගට ආවා.

“දැන් වොෂ් දාලා හෝම් වර්ක් පටන් ගන්න.මල්ලිටත් ගෙඩියක් දෙන්න පුතේ..”

මං එයාගෙ ඔලුව අත ගෑවා.

“ළමයා හොඳ ටොක්කක් අනින්න ඕනේ වැඩක් කරාම අම්මා කෙනෙක් හැසිරෙන හැටි නියමයි..”

ඇන්ටි බනිනවා.මම හිනා වුණා මිසක් කිසිම දෙයක් කිව්වේ නෑ.

“චාපා..පොඩි කෙල්ල ශිෂ්‍යත්වෙත් ලිව්වා නේද? දැන් කොයි වෙලේද නෑ..”

ඇන්ටි කියන්නේ මොකක්ද කියලා මට තේරුණා.ඔය කොයි වෙලාවෙද නොදන්න කතාව මම පුංචි කාලෙත් අහලා තියනවා.ඒත් මම මෝඩ උත්තරයක් දෙන්න හිතුවා.

“රිසල්ට්ස් එන්නද ඇන්ටි..අනේ අපේ චූටි නෝනානම් පාස් නැතුව ඇති..”

ඇන්ටි මං දිහා ආයෙමත් තරහින් බලාගෙන හිටියා.

“එහෙම කෙහෙම්මලක් නෙවෙයි ළමයො.කොයිවෙලේ ලොකු ළමයෙක් වෙයිද දන් නෑ.එහෙම කෙල්ලක් ගස් නගිනවා.ඔයාටත් ගාණක්වත් නෑ..”

මගේ දූ වැඩිවිය පැමිණීම ගැන දන්නවා.යට ඇඳුමේ රුධිර පැල්ලමක් තිබුණොත් අම්මට හරි තාත්තට හරි කියන්න ඕනෑ බව එයා දන්නවා.ඉස්කෝලේදි නම් ටීචට.ඒ වගේම නරක ස්පර්ශයන් ගැන, එයාට නරකක් වරදක් වෙන්න පුලුවන් තැන් ගැන එයා දන්නවා.ඇන්ටීට ඒ දේවල් කියලා වැඩක් නෑ.මගේ දුව ගස් නගින එක, බයිසිකල් පදින එක , වෙන එකක් තියා ඉස්කෝලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට බැඳෙන්න වයස එනකම් බලන් ඉන්න එක ඇන්ටිට අනුව විකාර වැඩ.

“කෙල්ලක් හැදෙන්න ඕනෑ කෙල්ලක් වගේ..”

උයපු කොස් වගයක් තියෙන බවත් අරගෙන එනබවත් කියලා ඇන්ටි මගෙන් සමුගත්තා.මම කුස්සියේ වැඩට හිතත් ඇහැත් යොමු කළා.

“අනේ..මොකද පොඩි රත්තරං ඔය කරන්නෙ..අයියෝ කොල්ලො ඕවා කරනවා කියල දැනගත්තොත් මේ අහල පහල කොල්ලො මගෙ පුතාට හූ කියයි..”

පැයකට විතර පස්සේ ඇන්ටිගෙ හඬ ආවේ මුළුතැන්ගෙයි පිවිසුම් දොර ළඟින් ඇහුණා.මම හැරිලා බලද්දී අපේ පුතා බෝංචි කඩනවා.

“ඕක තියලා එළියට ගිහිං සෙල්ලම් කරන්න පුතේ.මේ කොල්ලෙක් කුස්සියේ රිංගන් ඉන්න එක මොන කැත වැඩක්ද?”

පුතා ඔලුව වැනුවේ බෑ කියන්න.

“අද මං අම්මිට උදව් වෙන දවස..”

තුන වසරේ ඉන්න පුතා කියන්නේ ආඩම්බරෙන්.

“මං අද රෙදි නැමුවා.දැන් අම්මිට රෑට උයන්න උදව් කරනවා.හවසට බුදුන් වඳින්න මල් කඩන්නෙත් මම..”

පුතා හොඳ වැඩ ලැයිස්තුවක් කියාගෙන ගියා.ඇන්ටි හරිම නරක මුහුණක් මවා ගත්තා.මම පුතාගේ අතින් බෝංචි ටික අරගෙන එයාව සාලෙට පිටත් කළා.

“චාපා..මං මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා.තරණ වගේ ගෑනු වැඩ මේ කොල්ලත් කරන්න ඕන කියල ඔයා හිතන්නේ ඇයි?”

මට හිනාවක් උපන්නේ මටත් නොදැනීම.තරණටත් මටත් ගෑනු වැඩ, පිරිමි වැඩ කියලා දේවල් නෑ.අපි ගෙදර වැඩ ඉඩ ලැබෙන හැටියට කරනවා.එයා උයන දවස්, බබාල නාවන දවස්,ගේ මොප් කරන දවස් තියෙනවා.මං කාර් එක ඩ්‍රයිව් කරගෙන මාකට් එකට යන දවස්, පිච්චුණු බල්බ් මාරු කරන දවස්, වහලෙට පාත් වුණු අඹ අතු කපන දවස් තියනවා.

“ඒවා මේ සරල ජීවන කුසලතා චාපා..”

තරණ කියන්නේ එහෙමයි.අපි අපේ බබාලා හදන්නෙත් ඒ සරල ජීවන කුසලතා එක්ක.දූ ගස් නගිනවා,පාර අයිනෙන් කඩේට යනවා, බයිසිකල් පදිනවා,ඒ වගේම එයාට රයිස් කුකර් එකේ බත් උයන්න සම්බෝලයක් හදා ගන්න පරිප්පු උයන්න පුලුවන්.ගේ අතුගාන්න, අස් කරන්න, මල් වවන්න දුව හපනියක්.පුතාත් ඒ සේරම දන්නවා.එයා අක්කාගෙන් හැමදෙයක්ම ඉගෙන ගන්නවා.කවදාහරි පවුලක ආදරයෙන් හැදෙන දුවෙක්ට එයාගේ අතටපයට මෙහෙවර කරන වැඩකාරී වෙන්න වුණොත් මම අසාර්ථක අම්මා කෙනෙක් කියලයි මට හිතෙන්නේ.

“බබාලා මට උදව් වෙන්න ආසයි ඇන්ටි..”

මං එහෙම උත්තරයක් දුන්නා.ඇන්ටි මගේ තේ එකත් බීලා නැගිට්ටේ කොන්දට අතක් තියාගෙන.

“කොන්දේ අමාරුවක්ද ඇන්ටි.බාම් එකක් දෙන්නද? මට ගත්තු එකක් තියෙනවා..”

පුතාගේ කාමරේ අස් කරලා කොන්ද රිදෙන බව කියමින් ඇන්ටි බනින්න ගත්තා.

“මං අද උන්දැගෙ කාමරේ අස් කරානෙ දුව.ඔයාට කියන්න මගෙ කුස්සියේ තියනවට වඩා මග් තියෙන්නේ කොල්ලගෙ ඇඳ යට.කාමරේට කර පොවන්න බෑ හඩු ගඳ.මම කෝල් කරලා බැන්නා.ඒ ඉන්න කැරපොත්තන්ට එහෙම එයා නම් දාලලු තියෙන්නෙ.අනේ මගෙ කට..කාමරේ එහෙම් පිටින් සත්තු වත්තක්..”

ඇන්ටි යන්න ගියේ බැන බැන.එයා මල්ලිට කිසිම වැඩක් කරන්න නොදුන් බවත් අතට පයට සේරම කළ බවත් මම දන්නේ දීග ආපු දවසේ ඉඳලා.දැන් ඉතින් තත්වෙ එහෙමයි.මං සාලෙට ආවේ ඇන්ටි ගිහින් විනාඩි දහයකට පහළොවකට පස්සේ.පුතා අඬනවා.

“ඇයි මගෙ රත්තරං අඬන්නෙ.අත්තම්මා මොකුත් කීවද?

මං එහෙම අහනකොට පුතා එයාගේ දණහිස පෙන්නුවා.එයා වැටිලා.අක්කා බෙහෙත් දාලත් ඉවරයි.

“අම්මි ,අත්තම්මා කිව්වනෙ කොල්ලො අඬන්නේ නෑ කියලා.ඇත්තද ඒ..”

දූ ඇහුවා. මං එයාව තුරුලට ගත්තේ තව පාඩමක් කියාදෙන්න.

“දුක හිතුණම අපි කාටත් අඬන්න අයිතිය තියනවා පුතේ.දූලට වගේම පුතාලටත් අයිතිය තියනවා.අපි මිනිස්සුනෙ.අපි සංවේදියි.අඬන්න,හිනා වෙන්න අපිට පුලුවන්.ගමේ අත්තම්මා නැති වුණු දවසේ තාත්ති හුඟක් ඇඬුවනෙ.අපි කවුරුත් තාත්තිට හිනා වුණාද? එහෙම තමයි.අපි කාටත් අඬන්න පුලුවන්.”

පුතා කඳුළු පිහදාගෙන හිනා වුණා.අක්කයි මල්ලියි කතන්දර පොතක් දිගෑරගෙන ලොකු සංවාදයක්.

දරුවෝ හරි විදියට හදනවා මිසක් ලිංග බේද හදාගෙන වරප්‍රසාද වෙන් කරන්න මම ලෑස්ති නෑ.ලෝකෙට බරක් නැති දරුවෝ හදනවා මිසක් වීරයෝ හදන්නේ මොකටද?

එයාලා මනුස්සකමත් තමන්ගේ වැඩත් දන්න හොඳ මිනිස්සු වුණාම මට ඇති.

More Stories

Don't Miss


Latest Articles