මතක දිගහැරුම 59 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පනස් නමවන දිගහැරුම ,

හෂාන් තරඟ සංචාරවලට සහභාගි වීමට පෙර ඔහුගේ මිතුරන් ජාතික ධජය රැගෙන නිවසට පැමිණෙන අතර ඔවුන් සියලු දෙනාම හෂාන් වෙත සුබ පැතුම් එකතු කරති.හෂාන් සාජා හි තරඟ වලට සහභාගී වන අතරතුර දී මම නංගී සමග මත්තේගොඩ පන්සලකට ගොස් ඔවුන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූයෙමි.

අදටත් බොහෝ දෙනා කතා බහ කරන ක්‍රිකට් තරඟයක් ලෙස, සාජා හී පැවැත්වුනු, තරඟය අතරතුර දී වෙස්ට් ඉන්ඩීස් තරඟකරුවෙකු විසින් තරඟ පිටියේ මායිම් රේඛාව පාගමින් පන්දුව රැක ගත් තරඟය කිව හැකිය.හෂාන් ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව එම තරගයේ දී පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළේය.සාජා හි පැවති අධික රස්නය නිසා හෂාන් අවසන් අවස්ථා වලදී , වමනය කරමින් වුවද අති දක්ෂ ලෙස ක්‍රීඩා කළ ආකාරය අදටත් බොහෝ දෙනා බොහෝ තැන්වලදී කතාබහ කරයි.කුමන අපහසුතා මධ්‍යයේ වුවද එකල සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ම පාහේ ඉතා කැපවීමෙන් ක්‍රීඩා කළහ.මායිම් රේඛාව පෑගීම පිළිබඳව රූපවාහිනි කැමරා වල සටහන් වී නොතිබීම නිසා ප්‍රේක්ෂකයන් හට එය ප්‍රහේලිකාවක් උන නමුත් එදින තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වූයේ නැත.නමුත් අදාල ක්‍රීඩකයා විසින්ම තමන්ට මායිම් රේඛාව පෑගුනේ නැති බව එම අවස්ථාවේදී හෂාන් හට පවසා තිබුනි.සාජා හි පැවති එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ දක්ෂතා මැනවින් පෙන්වූ අතර ඔවුන් දැක්වූ එම දස්කම් ලෝක කුසලානය දක්වා ඔවුන්ව රැගෙන ඒමට බෙහෙවින් ප්‍රයෝජනවත් විය.ඒ වගේම තරඟය නැරඹීමෙන් පසුව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය අතර ඔහුගෙ අවමංගල්‍ය උත්සවයට හෂාන්ගේ තාත්තාද සහභාගි විය.

වරක් ක්‍රීඩා තරගයක් අතරතුරදී බෝලයක් වැදීම නිසා හෂාන්ගේ පාදයක මහපට ඇඟිල්ලේ නියපොත්ත කැඩී ගියේය.ඊට පසු දිනද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු බැවින් හෂාන් ඔහුගේ සපත්තුවේ මහපට ඇඟිල්ල ආශ්‍රිත ප්‍රදේශය කපා , ඇඟිල්ල එළියට හිටින සේ වෙළුම් පටිවලින් ඔතා ගත්තේය.ඒ වගේම බොහෝ අවස්ථාවන් වලදී පන්දුව වේගයෙන් පැමිණෙන විට ඒ වෙතට පපුව ඇල්ලීම හෂාන් බිය නැතිව කළ දෙයක් විය.ඒ සඳහා ඔහු ප්‍රසිද්ධියක් ඉසිලූ අතර කළ වේග පන්දු යවන්නන්ගේ පන්දු පහරවල් වැදී ඔහුගේ සිරුරේ ඇතැම් ස්ථාන රතු පැහැ ගැන්වී ඉදිමී තිබුණු අවස්ථා ද විය.තරගය නිමා වී නැවත නවාතැනට පැමිණි විට හෂාන් එම පන්දු පහරවල් මත අයිස් තබාගෙන සිටි අවස්ථාද මගේ මතකයේ ඇත.එවැනි අපහසු අවස්ථා පැමිණියද කිසිම දිනක දී ඊළඟ තරඟ වලට සහභාගී වීම හෂාන් ඇතුළු ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකු මඟ හැරියේ නැත.ඔවුන් බොහෝ අවස්ථාවල දී තමන් ඉදිරියේ ඇති අවදානම් පිළිබඳව ද නොතකා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැපවී සිටියහ.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා හෂාන් පුහුණු වීම් කටයුතු වල යෙදෙමින් කාර්යබහුල විය .ඒ අතරතුර මව් පදවිය සඳහා සූදානම් වෙමින් සිටි මා ඔහු සමඟ වෛද්‍යවරයා මුණ ගැසීමට යාම ද , නිවස ඉදිකිරීමේ කටයුතු වල ද සුපුරුදු පරිදි නියැලෙමින් සිටියෙමි.එකල ලංකාවේ දරුණු ලෙස යුද්ධය පැවති සමයක් වූ බැවින් ඇතැම් තරග වාර සඳහා සහභාගී වීමට සමහර රටවල් විසින් අප රටට පැමිණීම ප්‍රතික්ෂේප කළහ.පකිස්ථානය සහ ඉන්දියාව එකතු එකතුවී කණ්ඩායමක් සකස් කර , අපට සහයෝගය ,මිත්‍රත්වය සහ සුහදතාවය දැක්වීම සඳහා අප රටට එව්වේ ඒ අතරතුරය.සමහර ප්‍රබල රටවල් පවා අප රටට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී එම කණ්ඩායම පැමිණ ලෝක කුසලානයට පෙර ක්‍රිකට් තරගයක් අප රටේ දී පැවැත්වී ය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙර ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාම දළදා මාලිගාව , ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය ද වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්හ. ඒ වගේම හින්දු ආගමික උත්සව සහ ක්‍රිස්තියානි පල්ලිවල උත්සව වලට සහභාගී වීමටද ඔවුන් අමතක කලේ නැත. මුස්ලිම් පූජකවරු පවා ක්‍රිකට් කණ්ඩායම වෙත සුභ පැතුම් එක් කලහ. එපමනක් නොව ශ්‍රී ලාංකික බොහෝ දෙනාගේ ආදරය සහ ආශිර්වාදයද ක්‍රිකට් කණ්ඩායම වෙත නොමඳව හිමි විය.එකල ක්‍රිකට් ආයතනයේ සේවය කළේ සුළු පිරිසක් වුවද ඒ හැම දෙනාගෙන්ම ද ක්‍රිකට් කණ්ඩායම වෙත විශාල සහයෝගයක් ලැබුණි.

ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගයක් නැරඹීම සඳහා හෂාන් එක්වරක් මගේ තාත්තාව කැටුව ගියේය.තාත්තාට එය අලුත්ම අත්දැකීමක් වූ අතර ඔහු එයින් බොහෝ සතුටු විය.තරගාවලියට අදාළ බොහෝ තරගවලදී ශ්‍රී ලංකාව ඉතා හොඳ ජයග්‍රහණ හිමිකර ගන්නට සමත් විය.

අවසාන මහා තරගය දින දෙකකට පමණ පෙර හෂාන් මා හට දුරකථනයෙන් ඇමතුවේය.අවසාන මහා තරඟය නැරඹීමට පැමිණෙන්නැයි ඔහු මට පැවසූ අතර අවසාන මහා තරඟය පැවැත්වෙන දින උදෑසන ලාහෝර් වෙත විශේශ ගුවන් ගමන් වාරයක් තිබෙන බවද ඔහු පැවසීය.එම ගුවන් ගමන් වාරයේ , ලෝක කුසලාන අවසාන මහා තරඟය නැරඹීම සඳහා පැමිණෙන අය වෙනුවෙන්ම යෙදූ විශේශ ගුවන් ගමන් වාරයක් බව ද ඔහු පැවසීය.නමුත් ගුවන් ගමන් වල නිරත වීම මොහොතේ මා සිටි තත්ත්වය අනුව එතරම් හිතකර නොවන බව මා හෂාන් හට කීවෙමි.

” නෑ නෑ බය වෙන්න එපා. ඔයාට මොකුත් වෙන්නේ නැහැ .ඔයා එන්න.මේ වගේ අවස්ථාවක් ඔයාට ජීවිතයේ ආයෙ උදා වෙයි ද දන්නේ නැහැ.ඒ නිසා ඒ චාන්ස් එක මිස් කරගන්න එපා.එදාට එන්න “

හෂාන් එසේ පැවසූ විට ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මට නොහැකි විය.ඒ ගැන සිතා බලන්නම් යැයි පවසා මා දුරකථන ඇමතුම් අවසන් කළෙමි

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles