පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳ
ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා”

සිංහබාහු වේදිකා නාට්‍යය නිසා අතිශය ජනප්‍රිය වූ මේ ගීය පියෙකුගේ සෙනෙහස මනාව හඟවන්නක්.පිය සෙනෙහස අරුත් ගන්වන්නට මීට වඩා යමක් ඇත්තේ නැහැ.පුත්‍ර ස්නේහය දරා ගන්නට නොහැකි තැන ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක ඔබට අමතක නැතිව ඇති.

කවුද සේපාල ඒකනායක?

1949 මාතර කරතොට ප්‍රදේශයේ ඉපදුණු සේපාල ඒකනායක, හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.පියා සමඟ ඇති කරගත් ආරෝවකට පසු ඔහු කොළණට එන්නේ නව යොවුන් වියේදීමයි.1972 දී මිතුරෙකු රැගෙන දුන් තුන්දහසක් වටිනා ගුවන් ගමන් බලපත්‍රයෙන් ඔහු ජර්මනිය බලා යනවා.එසේ යෑමෙන් පසු ඔහු එහි රැකියා කිහිපයක නිරත වෙනවා.ඉන්අනතුරුව අත ඇති මුදලින් ඔහු ඉතාලිය වෙත යනවා.ඔහුට අන්නා මුණ ගැසෙන්නේ එහිදී.අන්නා ඉතාලි ජාතික තරුණියක්.ඒ හඳුනා ගැනීම අවසන් වන්නේ ෆ්‍රී ඒකනායක පුතු 1979 උපත ලැබීමෙන්.

ක්‍රමයෙන් මතු වූ ගැටළු

විවාහ ජීවිතය මුලදී තරමට මිහිරි වන්නේ නෑ.අන්නා සහ සේපාල අතර විවිධ කාරණාවලට මත ගැටුම් ඇති වෙනවා.ඔවුන් අතර ඇති එකම සබඳතාවය ෆ්‍රීගේ මව් පියන් වීම පමණක් වනවා.මේ අතර සේපාල තවත් ගැටළුවකට මුහුණ දෙනවා.අන්නා සමග විවාහ වීම නිසා සේපාලට ඉතාලියේ පුරවැසිභාවය ලැබෙනවා. නමුත් මේ අදාළ අවසර පත්‍රය වාර්ෂිකව යාවත්කාලීන කළ යුතු වෙනවා. එක්තරා අවස්ථාවක තානාපති කාර්‍යාලයට ගොස් තමන්ගේ අවසර පත්‍රය අලුත් කරද්දී තම කාර්යාලයේ සේපාලගේ පරණ අවසරපත්‍ර නැති බවත්,  නැවතත් කොළඹට ගොස් අදාළ අවසර පත්‍රය ලබා ගත යුතු බවත් ඔවුන් දන්වනවා.සේපාල අන්නා සහ ෆ්‍රී සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙනවා.එහිදී එක්තරා තානාපති කාර්යාල නිලධාරියෙකු නිසා සේපාලට වීසා ලබා ගැනීම අතිශය දුෂ්කර වෙනවා.මෙය මහා විකාරයක් බවට පත් වෙද්දී අන්නා ෆ්‍රී ද රැගෙන ලංකාවෙන් යන්නට යනවා.මේ නිසා දැඩි මානසික කම්පනයෙන් සේපාල නැවත වීසා ඉල්ලමින් කරදර කරද්දී එය රැගෙන පෙන්වන්නැයි නිලධාරියා ඔහුට අභියෝග කරනවා.ගුවන්යානයක් පැහැර ගැනීමේ අදහස ඔහුට ඇති වන්නේ ඒ නිසා.

ගුවන් යානා කොල්ලය

1982  ජූනි 30 වෙනිදා සේපාල ඉන්දියාවේ නවදිල්ලියට ගොස් එහි ගුවන් තොටුපළෙන්  ඉතාලියේ “අලිටාලියා” ගුවන් සමාගමට අයිති බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට ගොඩ වෙනවා. රෝමයේ ඉඳන් ටෝකියෝ වෙත ගමන් කළ මේ ගුවන් යානයේ මගීන් 300ක පිරිසක් හිටියා.සේපාල තමන්ගේ සැලැස්ම දියත් කළේ ගුවන් යානය පොළොවේ සිට අඩි 35000ක උඩින් ගමන් කරද්දී සේපාල ලියුමක් මඟින්, ගුවන් නියමුවන්ට තමන්ගේ කොන්දේසි සහ ඉල්ලීම් ඉදිරිපත් කළා.

පළමුවෙනි ඉල්ලීම වුණේ මේ ගුවන් යානය තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපළ ට ගොඩ බැස්සවිය යුතු බව. ඒ ගුවන් තොටුපළට තමන්ගේ බිරිඳත් දරුවාත් අරගෙන ආ යුතු බව සහ ඩොලර් 300000ක කප්පම් මුදලක් අවශ්‍ය බව ඔහු දැන්වූවා.බැංකොක් ගුවන් තොටුපළේදී ගොඩ බැස්වුණු ගුවන් යානයේ සියලු ම දොරවල් වසා තැබිය යුතුද වුණා.ඔහු සතුව පුපුරන ද්‍රව්‍ය ඇති බවත් ඒවා පුපුරවා ගන්නා බවටත් ඔහු තර්ජනය කළා

කෙසේ හෝ පැය තිහකට පසු අන්නා සහ ෆ්‍රී බැංකොක් ගුවන් තොටුපළට ආ අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නට සේපාල ක්‍රියා කළා.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වූ මානෙල් අබේසේකර මහත්මිය සේපාලට කරදරයකින් තොරව ලංකාවේ ජීවත් වීමට අවස්ථාව සලසන බව කීවත් එය ව්‍යර්ථ වූයේ ඉතාලි රජයෙන් නැඟුණු බරපතල විරෝධය නිසා.මෙවැනි වරදකට ලැබිය යුතු දඬුවම කුමක්දැයි නීති පොත්වල සඳහන් නොවුණත් සේපාලට දඬුවම් කරන්නට ඔවුන් ලංකා රජයට බල කළා.පාර්ලිමේන්තුව විසින් අතීතයට බලපාන පරිදි නීති සම්මත කොට සේපාලව ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරනවා.නමුත් ඔහු අභියාචනාවක් මගින් එම කාලය වසර 5ක් දක්වා අඩු කර ගන්නවා.ඔහු සිර ගත කළ කාලය තුළදී අන්නා ඔහුගෙන් දික්කසාද වනවා.

සේපාලගේ ඉන්පසු ජීවිතය

සේපාල ගුවන්‍ යානයක් හයිජැක් කරන්නේ අන්නා ලබා ගැනීමට නොවේ.ෆ්‍රී ලබා ගැනීමටයි.සිරගත ජීවිතය අවසන් කර නැවත විවාහ වී දරුවන් ලැබුවත් ඔහුට ෆ්‍රී අමතකව යන්නේ නෑ.තමන්ගේ තාත්තා තමන් නිසා කළ දඩබ්බර ක්‍රියා සම්බන්ධයෙන් දුක් වන ෆ්‍රී ලංකාවට පැමිණ ඔහුව සහ බාල සහෝදර සහෝදරියන් මුණ ගැසෙන්නට පටන් ගන්නවා.ඒ ගුවන්‍ යානා සිදුවීමෙන් දහසය වසරකට පසුවයි.

ව්‍යාපාරිකයෙකු වන සේපාල තරුණ කාලයේ කළ ඒ දඩබ්බර ක්‍රියාව ගැන දැන් නම් කතා කරන්නේ පසුතැවීමෙන්.නමුත් ඒ ගුවන් යානා පැහැර ගැනීම ආදරය වෙනුවෙන් කළ දෙයකට වඩා පුත්‍ර ස්නේහය වෙනුවෙන් කළ දෙයක් ලෙස හඳුන්වන්නට ඔහු කැමතියි.

Related Articles

Don't Miss


Latest Articles