මියගිය බිරිඳගේ සොහොන ළඟ රැය පහන් කළ ප්‍රේමයේ රජු

“මම මැරුණම ඔයා අඬනවද?”
ජීවිතේ එක පාරක් හරි ඔයා ඔයාගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් මේ කතාව අහල ඇති.
ඒක හරියට ආදරේ තහවුරු කරගන්න අහන ප්‍රශ්නයක් වගේ.
හැබැයි මැරුණත් වෙනස් වෙන්නෙ නැති ආදර කතා වර්තමාන ලෝකෙ ඇතුලෙනම් අපිට හම්බුවෙන්නෙ හරිම කලාතුරකින්.
“මම මැරුණත් ඔයාව අමතක කරන්නෙ නෑ” කියන ආදර කතා හමු වුණත්, මියගිය තමන්ගෙ බිරිඳගෙ සොහොන ළඟ රැය පහන් කරපු රජෙක් ගැන මීට කළින් අහල තියෙනවද?
එහෙම කෙනෙක් ඉන්නවා.
ඒ තමයි ජෝසනයේ ජොංජො රජතුමා.
කොරියන් කතා වලට ආදරය කරන අයට නම් මේ විශිෂ්ට පාලකයා අලුත් චරිතයක් නෙවෙයි.
ආදරේ වෙනුවෙන් කවි ගී ලියවෙන ලෝකෙක, තමන්ගේ මිය ගිය ආදරිය වෙනුවෙන්, ඇයගේ සොහොන ළඟ රැය පහන් කරපු මේ ප්‍රේමවන්තයව අපිට හරිම සමීපයි.
ශ්‍රී ලාංකික කොරියානු රසිකයන්ට මේ ශ්‍රේෂ්ඨ පාලකයාව පලමු වරට මුණ ගැහෙන්නෙ “අසලියා මල” නාට්‍යය හරහා.
ඊට පස්සෙ සිංහලට හඬ කවා විකාශය වුණු “යහපත් මහරජ” සහ “දිරිය දියණිය” තුළිනුත් ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය වන මේ ජොංජෝ රජතුමාව මෑත කාලයේ වැඩිපුරම කතාවට ලක්වෙන්නේ “The Red Sleeve Cuff” කියන නාට්‍යය හරහා.
“The Red Sleeve Cuff” කියන පොත ඇසුරෙන් හදපු මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ ජොංජෝ රජු හෙවත් යී – සං සහ උයිබින් – සොං අතර තිබුණ ඛේදජනක ආදර කතාව ගැන.
මේ නාට්‍යයට පාදක වෙන්නෙ රජ මාළිගාවේ සේවය කළ සොන්ග්-දොක්-ඉම්ගෙ සිතේ තමන්ගෙ රජතුමා කෙරේ තිබුණු අසීමිත පක්ෂපාතී බව සහ පසුව ඇය යී සන් රජු, එහෙම නැත්තම් මේ ජොංජෝ රජුගෙ උප බිසවක් බවට පත් වන කතාව.
ටෙලි නාට්‍යට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න ප්‍රේමණීය හමුවීම් ගැන සඳහන් කර තිබුණත් 18 වන සියවසේදි සිදු වු මේ ප්‍රේම කතාවෙ පෙම්වතුන් දෙදෙනා හමුවුණේ කොහොමද කියන එක ගැන ලිඛිත ඉතිහාසයේ නම් සඳහනක් නැහැ.
හැබැයි ජොංජෝ රජතුමාම පසු කාලෙක කියන විදියට, මේ දෙන්නා මුණ ගැහිල තියෙන්නෙ ජොංජෝ රජුගේ අම්මාගේ නිවසේ සේවිකාවක් විදියට සොන්ග්-දොක්-ඉම් සේවය කරන කොට.
ජොංජෝ රජුගේ තාත්තාගෙ මරණයෙන් පස්සෙ හ්‍යෙග්යොං ආර්යාව තරුණ යී – සං කුමාරයා එක්ක මාළිගාවෙන් පිටවෙලා තමන්ගේ මහගෙදරට යනවා.
ඒ එනකොටත් අපේ යී – සං කුමාරයා විවාහ වෙලා හිටියේ.
අවුරුදු 9 දි මේ විවාහය සිදු වුණේ යී- සං කුමාරය සහ හ්‍යෝයි බිසව සමග.
හ්‍යෝයි බිසව සමග ඉතාම කුළුපග සේවිකාවක් වුණ අපේ කතා නායිකාව වන සොන්ග්-දොක්-ඉම් මුල්ම දවස්වල ජොංජෝ රජුගේ ආදරය ප්‍රතික්ෂේප කරන්න ප්‍රධාන හේතුවක් වුනේ ඒ කුළුපගකම කියලත් ඉතිහාසයේ කියවෙනවා.
ජොංජෝ රජතුමාගෙන් සොන්ග්-දොක්-ඉම්ට මුල්ම වතාවට ප්‍රේමාරාධනාවක් කරන්නෙ ඔහුට වයස අවුරුදු 15 දී.
හ්‍යෝයි බිසවට තවමත් දරුවන් නැති බවත්, දොක්-ඉම්ට ප්‍රථමයෙන් දරුවෙකු පිළිසිඳ ගතහොත් එය බිසවගේ ස්ථාවරය සම්බන්ධව ගැටළු ඇති කරන බවත් කියලා දොක්-ඉම් මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරල තියෙනවා.
ඒ විදියට අවුරුදු 15දි දොක් – ඉම් ගෙන් ප්‍රතික්ෂේප වුණු යී – සං කුමාරයා තවත් අවුරුදු 15කට පස්සෙ දොක් – ඉම්ට ආයෙමත් තමන්ගෙ බිසවක් වෙන්න ආරාධනා කරන්නේ ජෝසන්හි ජොංජෝ රජු විදියට.
හැබැයි ඒ වතාවෙත් “හ්‍යෝයි බිසවට තවමත් දරුවන් නෑ වගේම, රජතුමාට තවත් උප බිසවුන් දෙන්නෙක්ම ඉද්දි මේ මාළිගාවේ පහළ මට්ටමේ ගෘහ සේවිකාවක් සමග බැඳෙන්න හේතුවක් නෑනෙ” කියල ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නත් දොක් – ඉම් නම් පසුබට වෙලා නෑ.
හැබැයි ආදරෙයි කැස්සයි ඉතින් ගොඩක් කල් හංගගෙන ඉන්න බෑ කියනවනේ.
ඒ විදියට දෙන්නගෙම හිත් වල තිබුණ ආදරේ ප්‍රතිපලයක් විදියට ජොංජෝ රජු සහ දොක් – ඉම් ප්‍රීතිමත් විවාහයකින් එක් වෙනවා.
එයට හේතුවුණ කාරණා නම් කොරියානු ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නැතිම තරම්.
මාළිගාවෙ නිල වාර්තා වල දොක් – ඉම් බිසව ගැන ලියවෙන්නෙ 1782 දී ජොංජෝ රජුගේ පළමු වන දරුවා වන ඔටුන්න හිමි මුන්හ්යෝ කුමාරයාව බිහි කළාට පස්සෙ.

 
මේ උරුමකරුගෙ උපත එක්ක ජොංජෝ රජු දොක් – ඉම් ගේ තනතුර “සොයොන්” කියන තුන්වන ජ්‍යේෂ්ට නිලය දක්වාත්, පසුව 1784 දී එය “බින්” කියන ඉහළම උප භාර්‍යා තනතුරටත් ඉහළ නංවලා “උයි” කියන පෞද්ගලික නාමය ලබා දීල තියෙනවා.
1782 දී ඔටුන්න හිමි කුමාරයා ඉපදීම මොනතරම් සතුටක් එකතු කරත්, 1786 දී ඒ සතුට ජොංජෝ රජුගෙන් ගිලිහෙන්නෙ මුන්හ්යෝ කුමාරයා මැයි මාසයේදී සරම්ප රෝගය වැළඳීමෙන් අකාලයේ මිය යෑම නිසා.
ඒ වේදනාවත් හිතේ දරාගෙන හිටපු යූ – බින් – සොන්ග් එහෙමත් නැත්තම් දොක් – ඉම් උප බිසව ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසයේ ගැබිණියක්ව සිටියදී පිළිකාවක් යැයි සැක කෙරෙන රෝගයකින් මිය යනවා.
ඒ ජෝසුන් රාජ වංශයේ බිහි වූ ශ්‍රේෂ්ඨම පාලකයෙක් සහ ආදරණීය මිනිසෙක් වුණ ජොංජෝ රජුගේ හිතේ ලොකු හිස් තැනක් ඉතිරි කරගෙන.
උප බිසවගේ අවසාන මාස කීපයේ රජතුමා ඇයව පෞද්ගලිකවම, ළඟ හිඳිමින් රැක බලා ගත් බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා.
තමන්ව මේ ලෝකෙ තනි කරල ගිය ආදරණීය උප බිසව වෙනුවෙන් තැනූ සොහොන් ගලෙහි තියෙන සෙල්ලිපිය රජතුමාම ලියපු එකක්ලු.
ඒ වගේම ජොංජෝ රජතුමා බිසවගේ මරණයෙන් වසර ගණනාවක් ගෙවෙන තුරුම බිරිඳට ලිපි ලිව්වලු.
පුදුමත් හිතෙනවා නේද?
තමන්ගේ ආදර අන්දරය තමන්ගෙ අතින්ම ලේඛනගත කල එකම ජෝසුන් රජතුමා බවට ජොංජෝ රජතුමා පත් වුණේ ඒ නිසා.
බිරිඳගෙ මරණයෙන් පස්සෙ ජීවත් වීමේ ආසාව අතෑරගත්ත ජොංජෝ රජතුමා වයසටත් කළින් වයසට ගියා කියල තමයි කොරියානු ඉතිහාසයේ ලියවිලා තියෙන්නෙ.
උසාවි නීති සහ ජෝසුන් සම්ප්‍රදායට පටහැනිව ජොංජෝ රජතුමා ඇයගේ සොහොන ඔවුන්ගේ පුතුගේ සොහොනට පියවර සීයක් ඈතින් හදල තියෙනව.
ඒකට හේතුව විදියට රජතුමා දක්වල තියෙන්නෙ එහෙම කළාම එකම මොහොතෙදි එතුමාට තමන්ගේ මියගිය බිරිඳ සහ දරුවව මුණ ගැහෙන්න පුළුවන් වීම කියන එක.
නිතරම ඔවුන් බලන්න ගිය ජොංජෝ රජතුමා සොහොනෙහි රාත්‍රිය පවා ගත කරලා තියෙනවා.
මුල දී තමන් විසින් ප්‍රතික්ෂේප කළ ආදරවන්තයා තමන්ව මරණයේදිවත් අමතක කළේ නෑ කියල දැනගත්ත දොක් – ඉම්ට මොනවා හිතුනාද දන්නෙ නෑ.
ඛේදයකින් ඉවර වුණාට අදටත් කොරියානු වැසියො ජොංජෝ රජතුමාව සළකන්නෙ ජෝසනයේ සැබෑ ආදරයේ ප්‍රතිමූර්තිය විදියට.
ඉතින්, අපිත් ප්‍රාර්තනා කරමු හැම ආත්මෙකම අපිටත් ජොංජෝ රජතුමා වගේම මරණයෙන්වත් කෙළවර නොවන ආදරයක් දෙන ආදරවන්තයෙක් හමු වන්න කියල.

සටහන – උදතාරි

Related Articles

Don't Miss


Latest Articles