අනාචාරයේ යෙදෙමින් බිරිඳත් ඕනෑ කිවූ සැමියෙක්

(නීතිඥ මේකලා දහනායක මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත ය)

උමාගේ ලෝකය බොහොම කුඩා එකක් වුණා. ඒ ලෝකයේ හිටියේ චාමරත් පුංචි පුතාත් විතරයි. අඟහිඟකමක් නැති වුණත් උමා සහ චාමර මහා ලොකු මුදල් තිබුණු අය වුණෙත් නෑ.

“ඒ දවස්වල කැපුවත් ගඟේ මූදේ දැම්මත් ඔයාට මාව දෙන් නෑ කියපු අම්මලා දැන් පුතාව හුරතල් කරනකොටනම් හිනා යනවා”

චාමර එහෙම කියලා හිනා වෙන්නේ අතීතය මතක් කරමින්. චාමර පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක් බව කියමින් උමාගේ දෙමාපියන් ඔහුව තරයේම ප්‍රතික්ෂේප කළා. ඒ ඔවුන්ට විශාල දේපලක් හිමි වී තිබුණු නිසා. ඒ දේපල දෑවැද්දට දීලා උමාට හොඳ කසාදයක් කරලා දෙන්න පුලුවන් කියන විශ්වාසය දෙමාපියන්ට තදින්ම තිබුණා. ඒත් උමා හිටියේ එකම තීරණේක.

“මං ආදරේ චාමරට. මට ලක්සෙට කොඩි දාගෙන ජීවත් වෙන්න ඕන නෑ. සතුටකින් සැනසීමකින් ඉන්න ලැබුණානම් ඇති.”

උමා දිගටම එහෙම කියනකොට අම්මලාට කරන්න කිසිවක්ම තිබුණේ නෑ. ඒ නිසා බොහොම සරු විවාහ මංගල්ලයකින් පස්සේ උමාව චාමරට අයිති වුණා.උමා හිතාගෙන හිටියේ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැනියක ඇය කියලා. අම්මලා හීන දැක්ක විදියට කෝටිපතියෙක්, රජයේ ඉහළ තානාන්තර දරන්නෙක් නැති වුණාට ආදරේ කරන කෙනෙක් ලැබීමේ සතුට ඇයට ඕනෑවටත් වඩා දැනුණා.

පුතා ඉපදුණා. උමා පුතා එක්ක බොහොම කාර්යබහුල වුණා. අම්මලා රොස් පරොස්කම් අමතක කරලා ගෙදර යන එක වැඩි කළෙත් පුතා නිසාමයි.

“කවුද චාමර ඔය හැමතිස්සෙම කෝල් කරන්නේ?”

උමා එහෙම අහනකොට චාමර බොහොම පරිස්සමින් උත්තර දුන්නා.

“අපේ ඔෆිස් එකට රුවනි කියලා අලුත් ගෑනු ළමයෙක් ඇවිල්ල ඉන්නව. අනේ මන්දා උමා කොහොම රස්සා ලැබෙනවද කියලා. මෙලෝ දෙයක් බෑ. රිපෝට් එකක් හදා ගන්න එහෙම පුදුම වදයක්නෙ දෙන්නේ.”

කවුරු වුණත් රස්සාවක මුල් කාලයේ හැසිරෙන්නේ එහෙම කියලා චාමරට මතක් කළෙත් උමා. ඒ අලුත් ළමයට උදව් කරන්න කියලා ඔහුට කියන්නත් ඇය අමතක කළේ නෑ.

“ආ උමාද?”

චාමරට ඇමතුමක් ඇවිල්ලා කාර්යබහුල වෙනවානම් උමා එහෙම අහනවා. එතනින් එහා කිසිවක්ම හොයන්නේ නෑ. කොහොමටත් ඇයට චාමර ගැන පොඩි සැකයක්වත් තිබුණේ නෑ.

පුතා දිගින් දිගටම සෙම රෝගයට ලක් වෙන්න ගත්තේ ඒ කාලයේදී. උමා ඒ ගැන බොහොම කලබලයට පත් වුණා. ඇදුම තත්ත්වයක් දක්වා අසනීපය වර්ධනය වෙනකොට අම්මලා තාත්තලා උමාට යෝජනාවක් ගෙනාවා. 

“මේ ගෙදර පාර අයිනෙ නිසා දූවිල්ල වැඩී දුව.චූටි පුතාට සනීප වෙනකම් අපේ ගෙදර යං.”

උමා ඒ ගැන චාමර එක්ක කතාබහ කරලා අන්තිමට ඒ යෝජනාව බාර ගන්න තීරණය කළා. ඉන්පස්සේ උමා පුතාවත් අරගෙන මහ ගෙදර යන්න ගියා. 

“මේ ගෙදර ඉඳගෙනම ඔෆිස් යන එක ලේසියි. මං මෙහෙ ඉන්නම්.”

පදිංචි වෙලා ඉන්න කුලි ගෙදර ගැන චාමරට තිබුණේ එහෙම අදහසක්. උමා ඒ යෝජනාවටත් කැමති වුණා.

“පුතාට සනීප වුණාම අපි වෙන ගෙයක් බලමු. මං අපේ ගෙදර ආපහු දෙන්න හිතුවා. බොරුවට විසිදාහක කුලියක් ගෙවන්නෙ ඇයි අනේ. මං පොඩි බෝඩිමක් ගත්තා.”

චාමරගේ ඒ කතාවත් උමා අත් උස්සලා පිළි ගත්තා. පුතා ගමේ මහ ගෙදරට හුරු වෙලා. උමාටත් අම්මා එක්ක ඉන්න එක පුදුම තරම් පහසුයි.චාමර සති අන්තේ ඇවිල්ලා යනවා.එක දවසක් උමා හදිසි වැඩකට චාමරගේ ජංගම දුරකථනය ගත්තෙ එය පරීක්ෂා කරන්න හිතාගෙන නෙවෙයි. එහි තිබ්බ පුතාගේ ඡායාරූප වගයක් හොයන්න. නමුත් නොකඩවා ආපු පණිවිඩ තොගයක් පරීක්ෂා නොකර ඉන්න ඇයට බැරි වුණා.

පණිවිඩ රුවිනිගෙන්!

ඒ ආදර පණිවිඩ විතරක් වුණානම් එකක්. ඒ පණිවිඩ අනුව ඔවුන් එක්ව ජීවත් වෙන බව පැහැදිලි වෙද්දී උමාව සිහිසුන් වුණු තරම්. ආදර පණිවිඩ වලට අමතරව ග්‍රොසරි බඩු ලිස්ට් පවා රුවිනි එවලා තියෙන්නේ බිරිඳක් වගේ.

“මොනවද චාමර මේ.”

රණ්ඩුව ආරම්භ වුණා. චාමර වහාම මහ ගෙදරින් යන්න ගියා. දික්කසාදයකට අවශ්‍ය සාක්ෂි එක්රැස් කරගෙන උමා අපි වෙත ආවේ ඉන්පස්සේ. චාමර දැන් ඔවුන් සමඟ නැති නිසා නඩුවක් ගොනු කරන්න සියලුම කටයුතු සූදානම් වුණා.

“මට දික්කසාද වෙන්න බෑ. මගෙ දරුවයි නෝනයි මට ඕනෑ.”

චාමර එහෙම කියන්න ගත්තේ ඒ අතර. ඔහුගේ පවුල උමා සහ දරුවා බවත් රුවිනි ඔහුගේ පාළු මකන්නිය බවත් ඒ සම්බන්ධය නිකම්ම නිකම් ටයිම් පාස් එකක් බවත් ඔහු උමාට කිසිම ලැජ්ජාවකින් තොරව කියලා තිබුණා.

“ඒ වගේ ජරා කතාවක් නොකිව්වනම් මම චාමරට සමාව දෙන්නත් තිබුණා. ගෑනු ඉන්නේ පාලු මකන්න කියලා හිතන මිනිහෙක් එක්ක මට එක මොහොතක්වත් ඉන්න ඕන නෑ”

උමා එහෙම කියන්නේ පුදුම තරමේ අප්පිරියාවකින්.

දික්කසාදය අනවශ්‍ය බවත් රුවිනි එක්ක සම්බන්ධය වැඩිය හිතා බලා කළ දෙයක් නොවන වගත් කියමින් චාමර දිගටම නඩුව ප්‍රතික්ෂේප කළා. නමුත් උමා කිසිම අනුකම්පාවක් දැක්වූයේ නෑ. සැමියාගේ ද්වේෂ සහගත අතැර යාම ඔප්පු කරගත් ඇය දික්කසාදය ලබා ගත්තා. දරුවාට නඩත්තුවක් පවා ලබා ගන්නට ඇයට හැකි වුණා.

“චාමර වැරැද්ද පිළි ගත්තනම් මම සමහරවිට සමාව දෙයි. ඒත් ටයිම් පාස් කරන්නත් කෙල්ලො තියාගන්න පුලුවන්. ඒ වුණාට පවුල තමයි අංක එක කියනකොට මට පුදුම අප්පිරියයි. මිනිස්සු එච්චර තිරිසන් වෙන්න ඕනෑ නෑ.”

නඩු තීන්දුවකට පස්සෙ උමා අපි එක්ක එහෙම කිව්වේ ඉතාම අපුලකින්.

අනාචාරයට යොමු වූ සැමියෙකුට සමාව දෙන ගැහැනු අල්පයි. එවැනි ගැහැනියකගේ වේදනාවට හේතුවක් වෙන්නත් කිසිම ගැහැනියක් උත්සාහ කරන්න හොඳ නෑ. ඒ වගේම තමන්ගේ පවුල අත නොහරින බව කියමින් පාළු කපා ගන්නට ඔබව පාවිච්චියට ගන්න හදන මිනිසෙකුගේ අතකොලුවක් නොවන්නටත් බුද්ධිමත් වෙන්න. උමා අපේ සේවා දායිකාව නිසා ඇය තමන් වෙනුවෙන් නිර්භීතව සටන් කළ ආකාරය අපි දැක්කා. 

ඒත්, කාලය ගෙවා ගන්න පාවිච්චියට ගැනුණු රුවිනිට චාමර සාධාරණයක් කරාද කියන්න අපි ඇත්තටම දන්නේ නැහැ.

Related Articles

Don't Miss


Latest Articles