ඩිප්‍රෙෂන්වලට බෙහෙත් බොනකොට මත්ද්‍රව්‍ය ගත්තොත් මොකද වෙන්නෙ?

විශාද නාශක ඖෂධ යනු මධ්‍යස්ථ සහ දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා ඇති ඖෂධ වර්ගයි. මේවා මගින් මානසික අවපීඩනය පාලනය කිරීම , එවැනි අවපීඩනයක් සඳහා හේතු වන මොළයේ රසායනික ක්‍රියා පාලනය කිරීම , නින්ද නොයාම වැනි ගැටලු පාලනය කිරීම වැනි බොහෝ කාර්යයන් සිදු කරනවා. මේවා භාවිතා කළ යුතු වන්නේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ කිරීම මත පමණයි. ඉතින් මේ ඖෂධ ලබා ගන්නා අය සැලකිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව කතාබහ කරන්න අපි හිතුවා 

ඖෂධ ලබා ගැනීම නතර කිරීම 

විශාදනාශක ඖෂධ ලබා ගැනීම ආරම්භ කිරීමෙන් පසු සති හතරත් අටත් කාලයක් ඇතුළත ඔබට තරමක සුවයක් දැනෙන්නට පටන් ගන්නවා. නමුත් ඒ නිසා ඔබ ඖෂධ ගැනීම නතර කළ යුතු නැහැ.එම ඖෂධ ලබා ගැනීම නියමිත මාත්‍රාවෙන් සිදු කළ යුතු වන අතර ඒවා නතර කළ යුතු කාලය පිළිබඳව ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන තුරුම ඔබ ඒවා ලබාගත යුතුයි.

අතුරු ආබාධ

සාමාන්‍ය ඖෂධ වලින් ඇතිවන අතුරු ආබාධ වලට අමතර අතුරු ආබාධ විශාද නාශක ඖෂධ නිසා ඇති වීමට හැකියාව තියෙනවා.

බර වැඩිවීම

ආහාර රුචිය අඩු හෝ වැඩිවීම 

ඔක්කාරය 

මල බද්ධය 

තෙහෙට්ටුව

කරකැවිල්ල

ඖෂධ ලබාගැනීම ආරම්භ කර සති දෙකක් තුනක් අතර කාලයක් යනතුරු මෙවැනි අතුරු ආබාධ ඇති වන අතර ඉන්පසු ඒවා ක්‍රමයෙන් මඟ හැරී යනවා. නමුත් මීට වඩා අතුරු ආබාධ හෝ මෙවැනි අතුරු ආබාධ දිගින් දිගටම පවතිනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හා සාකච්ඡා කළ යුතු වෙනවා

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම

විශාද නාශක ඖෂධ ලබාගන්නා අතරතුර මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඔබට හානිකර ප්‍රතිඵල අත්කර අත් කර දීමේ හැකියාව තිබෙනවා.සමහර පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ඖෂධ ලබාගන්නා අතරතුර මත්පැන් පානය කලහොත් මානසික අවපීඩන රෝග තත්වයන් වඩාත් නරක අතට හැරීමේ අවදානමක්ද ඇති විය හැකියි.

ඔබ ලබාගන්නා වෙනත් ඖෂධ වර්ග

ඔබ විශාද නාශක ඖෂධ ලබාගන්නා අතරතුර වෙනත් රෝගයක් සඳහා ඖෂධ ලබා ගන්නවානම් ඒ පිළිබදවත් ඔබ ඔබේ වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. එයට හේතුව ඖෂධවල අඩංගු යම් යම් සංඝටක එකිනෙකට ප්‍රතික්‍රියාකිරීමේ හැකියාව තිබීමයි.එම නිසා විශාද නාශක ඖෂධ ලබා ලබා ගැනීමට ප්‍රථමයෙන් ඔබ ලබාගන්නා අනෙකුත් සියලුම ඖෂධ වර්ග සහ විටමින් වර්ග පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීමට සැලකිලිමත්  වන්න

ඔබේ සෞඛ්‍ය තත්වය සහ රෝග ලක්ෂණ

සමහර අවස්ථාවලදී ඔබට මූලික අවධියේදී ඇතිවන රෝග ලක්ෂණ ට වඩා වෙනස් ලක්ෂණ ඉදිරි කාලයේදී පෙන්නුම් කරන්නට පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හා ඔබ අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු වනවා.

විශාද නාශක මත පමණක් ම රඳා පැවතීම 

මානසික අව පීඩනය පාලනය කිරීම සඳහා විශාල නාශක විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නමුත් මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ඖෂධ පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඖෂධ ලබාගැනීමට අමතරව උපදේශනය සඳහා යොමුවීම , ඔබ කැමති ක්‍රියාකාරකම් වල නිරත වීම , ඉතා හොඳින් විවේක ගැනීම ආදී පියවරයන් සඳහාද ඔබ යොමු විය යුතුයි.

ඖෂධ මගින් සහනයක් නොදැනීම 

ඕනෑම ඖෂධයක ප්‍රතිඵල ලැබිම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර විශාද නාශක ඖෂධ ලබා ගන්නා ඔබට සති කිහිපයක් ඇතුළත වත් කිසිදු සහනයක් නොදැනෙන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඔබ ලබා ගන්නා ඖෂධ වෙනස් කිරීම හෝ මාත්‍රාව වෙනස් කිරීම වෛද්‍යවරයා තීරණය කළ යුතු අතර කිසිම අවස්ථාවකදී ඔබ ඖෂධ වෙනස් කිරීම හෝ මාත්‍රාව වෙනස් කිරීමට පියවර නොගත යුතුයි. 

මානසික අවපීඩනය යනු ඕනෑම පුද්ගලයෙකුට ඇති විය හැකි තත්ත්වයක්. මෙය දරුණු තත්වයක් කරා දිව යන බව දැනෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැසි ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. ඒ වගේම ඔබ එම ඖෂධය ලබා ගැනීමේදී සැලකිය යුතු කාරණා ද බොහෝමයක් තිබෙනවා. එයින් කිහිපයක් පිළිබඳවයි මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කලේ.

Related Articles

Don't Miss


Latest Articles