කාමාශාවෙන් උමතු වූ තරුණයෙක්ට ගොදුරු වෙන තරුණියකගේ කතාව රැගත් Hacked Film

තරුණියක් තමන්ගේ මිතුරෙක්ව උනත් විශ්වාස කරන්න කලින් මොන තරම් සැලකිලිමත් වෙන්න ඕනද? ඒ වගේම නවීන තාක්ෂණයට අනුව කෙනෙකුගේ ජීවිතයට කල නොහැක්කේ මොනවද ? විශ්වාසය නැමති දේ ආදරයට මොන තරම් බලපානවද ? ආදරය නිසා අසරණ වන තරුණියන්ගෙන් ප්‍රයෝජන ගන්න දෑස් අයාගෙන ඉන්න මිනිස්සු මොන තරම් ඉන්නවද ? මේ සියල්ල කැටිවූ හරි අපූරු චිත්‍රපටයක් තමයි Hacked කියන්නේ.

2020 වර්ශයේ පෙබරවාරි 07 වන දින ප්‍රේක්ෂකයා වෙත පිදෙන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන සමීරා ඛන්නා ලෙස හීනා ඛාන් ද , විවේක් ලෙස රොහාන් ෂා ද දායක වනවා.අති විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වන ඔවුන් මෙම සිනමා පටයේ තමන්ගේ චරිත වලට මනා සාධාරණයක් ඉශ්ට කරන බව පෙනෙන්නට තිබෙනවා.

සමීරා ඛන්නා යනු සඟරාවක කතෘවරියක් හැටියට සේවය කරන ,සුඛෝපභෝගී මහල් නිවාසයක තනිව ජීවත් වන ධනවත් යුවතියක්.ඇය සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වන ඕම් කපූර් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා.නමුත් ඒ සම්බන්ධ තුළ සෑම් හෙවත් සමීරා සිටින්නේ සතුටින් නෙමෙයි.මොන තරම් සැප සම්පත් සහිත උනත් සමීරාගේ ජීවිතයට ආදරය කියන්නේ පිරවිය නොහැකි තරමේ අඩුවක් වෙනවා.
ඇය ජීවත් වන මහල් නිවාස සංකීර්ණයේම ජීවත් වන 19 වියැති විවේක් නැමති තරුණයා සමීරාගේ හොඳ මිතුරෙක් බවට පත් වන්නේ ඇයට විවිධ උපකාර කිරීමට ඔහු ඉදිරිපත් වන නිසා.
මේ අතර සමීරා තම උපන්දිනය වෙනුවෙන් සාදයක් පවත්වනවා. එයට තම පෙම්වතා වන ඕම් සහභාගී වෙතැයි ඇය ඉතා බලාපොරොත්තු සහගතව සිටියත් ඔහු එයට සහභාගි වන්නේ නෑ.බලාපොරොත්තු කඩ කරගන්නා සමීරා සාදය අතරතුරවත් සතුටින් සිටින බවක් දකින්නට ලැබෙන්නේ නෑ.කණස්සල්ලට පත්වන ඇයගේ දුක නිවාලීමට ඉදිරිපත් වන්නේ අසල්වැසි ලාබාල තරුණයා වන විවේක්.අමුත්තන් සියලු දෙනා පිටව ගිය පසුත් සමීරාගේ නිවසේ රැඳී සිටින විවේක් බීමත්ව හඬන සමීරාව සැනසීමට උත්සහ කරනවා.ඉන්පසු සිදුවන සිදුවීමකින් සමීරාගේ ජීවිතය උඩු යටිකුරු වන්නට පටන් ගන්නවා.

සමීරා සිහිනෙකින්වත් නොසිතන විදියේ සිදුවීම් වලට ඇයට මුහුණ දෙන්නට සිදුවෙනවා.සමීරාට වඩා වයසින් ඉතා ලාබාල විවේක් ඇගේ ආදරය පතා පැමිණෙනවා.ඇය කොතෙකුත් එය ඔහුට වටහා දෙන්නට උත්සහ කලත් ඔහු ඉන් නතර වන්නේ නෑ.සමීරාගේ ජීවිතයට ඔහු විශාල ලෙස බලපෑම් කරන්නට පටන් ගන්නවා.

මනස විකෘති වූ ,තාක්ෂණය අනිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා හිතුවක්කාර තරුණයෙකුගේ පාලනයට යට වෙන්නට සමීරාට සිදුවෙන්නේ ඊට පස්සෙයි.

වික්‍රම් භට් විසින් අධ්‍යක්ශනය කරන ලද මෙම චිත්‍රපටයෙන් මිනිත්තු 118 පුරාවට පුදුමාකාර කතාන්දරයක් දිග හැරෙනවා.

තමන්ගේ ආදරය නිසා කම්පාවට පත්ව සිටින තරුණියක් , විශ්වාස කල මිතුරෙක් නිසා පත්වන අසරණභාවය මෙම සිනමා පටය පුරා අපූරුවට කියා පානවා.උමතුවක් බවට පත්වන විවේක් ගේ ආදරය සමීරාගේ ජීවිතයට ඇති කරන බලපෑම කොතරම්ද යන්න දැනගැනීමට නම් ඔබ මේ චිත්‍රපටය නැරඹිය යුතුම වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles